අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු
එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික සහල්, වියළි මිරිස් සහ කඩල ඇතුළු බොහෝ කෘෂිකාර්මික බෝග සහ ඒ ආශ්රිත නිෂ්පාදනවල මිල ඉදිරියේදී අනිවාර්යයෙන්ම ඉහළ යා හැකි බවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ සඳහන් කරති. මේ වනවිට වැඩිම බලපෑමට යටත්ව ඇත්තේ සීනි සහ ආනයනික සහල් බවත් මෙවර සීනි තොග ඇණවුම් කර ඇත්තේ පැවැති මිලට වඩා කිලෝ ග්‍රෑමයකට රුපියල් 20ක් වැඩියෙන් බවද ඔවුහු පවසති. තවමත් සීනි මිලේ ඉහළ යෑම මෙරට වෙළෙඳපොළ තුළ දැඩි ලෙස බලපෑමක් කර නොමැති අතර ඉදිරියේදී ඉහළ මිලට ඇණවුම් කළ සීනි තොග මෙරටට ලැබෙනු ඇත.




