මව්කිරි දරුවාගේ බුද්ධිය වඩවයි
මවුකිරි දීම ප්‍රවර්ධනය කිරීම උදෙසා ජාතික මවුකිරි දීමේ සතියක් පසුගිය පළමුවැනි දා සිට නම් කර තිබිණි. මෙම ලිපිය පලවන්නේ ඒ නිමිත්තෙනි. මවුකිරි යනු මවකට තම දරුවාට දිය හැකි අමිල දායාදයකි. අලුත උපන් දරුවකුට ලොව ඇති වැදගත්ම ආහාරය වනමෙන් මවට මෙන්ම දරුවාටද වාසි බොහොමයකි. රැකියාවක් නොකරන මෙන්ම රැකියාවක නියුතු මවුවරුන්ටද තම බිළිඳාට මවුකිරි ලබා දීමට හැකි නිදහස් වාතාවරණයක් මේ වනවිට සැකසී ඇති අතර ඒ සඳහා රජය මෙන්ම රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයද මවුවරු දිරිමත් කිරීම සිදු කෙරේ. දරුවකු වෙනුවෙන් මවකට කළ හැකි ඉහළම ආයෝජනයක් වන මවුකිරෙහි බිළිඳෙකුගේ බුද්ධි වර්ධනය උදෙසා සිදු කෙරෙන අපමණ මෙහෙය ගැන අප මෙවරදී කතාබස් කළෙමු.

අලුත උපන් බිළිඳකුගේ දෛනික පෝෂණ අවශ්‍යතාව සපුරාලන මවුකිරි ප්‍රධානතම ශක්ති මූලාශ්‍රයය. මවුකිරි නිපදවීමේදී හෝමෝන දෙකක් සම්බන්ධ වේ. ‘prolactin‘ හෝමෝනය පටකවල කිරි නිපද වීමට හේතුවන අතර ගර්භණී සමයේදී ස්‍රාවය වීම සිදු වේ. ‘oxytocin ‘ නමින් හැඳින්වෙන අනෙක් හෝමෝනය දරුවාගේ උපතින් පසු මවුකිරි නිපද වීමට හේතු වේ. උපතින් පසු පළමු දින කිහිපය තුළ නිපදෙන කිරිවල කොලස්ට්‍රම් සහිත වේ. එය ඝන සේම කහ පැහැයෙන් යුතුය. මවුකිරෙහි කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, ප්‍රෝටීන්, විටමින් ,ඛනිජ ක්ෂුද්‍ර පෝෂක සහ ප්‍රමාණවත් පරිදි ජලය ඇතුළු බිළිඳාට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ අඩංගුය. කොලස්ට්‍රම්වල ආසාදනවලට එරෙහිව සටන් කිරීමේ හැකියාව ඇති අතර ප්‍රෝටීන් සංඝටකවලින්ද පිරිපුන්ය.

අලුත උපන් දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය රෝගවලට එරෙහිව සටන් කිරීමට තවමත් සැකසී නැති නිසා කොලස්ට්‍රම් බොහෝ ආසාදනවලට එරෙහිව ක්‍රියා කිරීමේ සුවිශේෂි ගුණයෙන් යුතුය. එබැවින් මුල් දිනවලදී නිපදෙන කහ පැහැති කිරි ඉවත දැමීම වෙනුවට ඒවා බිළිඳාට ලබා දිය යුතුමය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත පදනම්ව සෑම දරුවකුටම අනුපූරක ආහාර ලබා දීමට මත්තෙන් මාස හයක් පමණ වන තෙක් මවුකිරි පමණක් ලබා දිය යුතු බව මේ වනවිට සියල්ලෝම දන්නා පොදු කරුණකි. මෙයින් අදහස් කෙරෙනුයේ මෙම අවදියේදී වෛද්‍යවරයකු විසින් දරුවාට නියම කෙරෙන ඖෂධීය සිරප් හැර ජලය හෝ වෙනත් කිසිඳු ආහාරයක් අවැසි නොවන බවය. පළමු මාස 6 තුළ දරුවාගේ වර්ධනයට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණවත් පරිදි මවුකිරිවල අඩංගු වීම මීට හේතුවය. විටමින් ‘කේ ‘ වැනි ඇතැම් විටමින මවුකිරිවල නොමැති බව සොයාගෙන ඇති අතර ඒවා උපතේදී සහ පසුව දරුවාට අතිරේකයක් ලෙස ලබා දේ.
සංවාද සටහන
ධාරා අබේනායක




