NovelsTharu Mal ViyanTharu Mal Viyan තරු මල් වියන් - 25

Tharu Mal Viyan තරු මල් වියන් – 25

-

spot_img

Tharu Mal Viyan තරු මල් වියන්

අංජලී කාමරයේ ජනේලයෙන් ඈතින් පෙනෙන වෙල් යාය දෙස බලා සිටියාය. කුඹුරු කපා අවසන්ය. තැනින් තැන ගොඩ ගසා ඇති පිදුරු ගොඩවල් දැක ඇයට අතීතය සිහි විය. එකල අවුරුදු නිවාඩුවට මාමාගේ නිවසට පැමිණි විට මාලකත් මේනකත් සමඟ පිදුරු ගොඩවල් උඩ නැඟ සෙල්ලම් කළ කාලය කෙතරම් අපූරුද.! සියල්ල අද සිහිනයක් මෙනි. මාලක සමඟ ප්‍රේම සබඳකමක් ඇති කරගන්නට ඈ කෙදිනකවත් සිතා නොතිබිණි. දැන් එය බිඳී ද අවසන්ය. සියල්ල පුදුමාකාර යැයි ඇයට සිතිණි. සවස මාලකත් මේනකත් නිවසට එන විට ඈ සිටියේ ආලින්දයේ ගිම්හානි සමඟ කතා බහකය. මේනක අංජලී දැක සතුටින් ඈ අමතන විට මාලක කාමරයට වැදුණේය. ගිම්හානි තේ සාදන්නට යන අතරේ අංජලීද වහා කාමරයට වැදුණේ මාලකට මුහුණ දෙන්නට ඇති අකමැත්ත නිසාය.
ගිම්හානි තේ සාදාගෙන ඇගේ තේ කෝප්පයත් රැගෙන කාමරයට පැමිණියේ ඈ ජනේලය අසලට වී කල්පනා කරමින් සිටින විටය.

“මොකෝ මේ කාමරේට වෙලා…?”

ගිම්හානිගේ හඬින් අංජලී හැරී බැලුවාය.

“කම්මැළියි…”

ඈ මුවට ආවාට කීවේ ගිම්හානි දිගු කළ තේ කෝප්පය අතට ගනිමිනි. ගිම්හානි යහන මත හිඳ ගත්තේ කුමක් හෝ කතා බහකට මුළ පුරමින් බව අංජලීට වැටහිණි. ඇයද යහන පසෙක හිඳ ගෙන තේ උගුරක රස බැලුවාය.

“ඔයා පහුගිය ටිකේ ගෙදර නාවේ මල්ලිට මුහුණ දෙන්න බැරි නිසාද…?”

“එයා කරපු දේට එයාටයි මට මූණ දෙන්න බැරි අක්කේ…මගේ අතින් එයාට වරදක් වුණේ නැහැනේ…මට දුක මං මාමලාට වරදක් කළා කියන එකයි…”

“දැන් ඒ ගැන හිතලා වැඩක් නැහැ…කොහොම වුණත් අම්මලා සංචලාට නම් කොහෙත්ම කැමති නැහැ…”

“හ්ම්ම්…සුදු අයියාත් ඒක කිව්වා…”

“හැබැයි ඉතින් මාලකට ගැළපෙන්නෙත් එහෙම කෙනෙක් තමා…”

අංජලී එවිට පුදුමයෙන් ගිම්හානි දෙස බැලුවාය.

“ඇයි අක්කා එහෙම කියන්නේ…?”

“එයාව පාලනය කරන් ඉන්න පුළුවන් ඉතින් එහෙම කෙනෙක්ට තමා…”

අංජලී එයට කිසිත් නොකීවාය. මාලක කා සමඟ විවාහ වුවත් දැන් ඇයට ඉන් කමක් නැත.

“නංගිත් යමු අපි එක්ක ගම්පොළ…”

ගිම්හානි යෝජනා කළේ රාත්‍රී ආහාරගෙන සියළු දෙන ආලින්දයට වී කතා බහ කරමින් සිටින විටය. ඒ අදහස නම් හොඳ යැයි අංජලිද සිතුවාය.

“ඒක නම් හොඳයි තමා දුව…වෙනසකටත් එක්ක දුවවත් එක්ක යන්න…”

හේෂාන්ද එම අදහස අනුමත කරමින් කීය. ගිම්හානිත් මේනකත් සමඟ ගම්පොළ යා හැකි නම් මෙහි සිටිනවාට වඩා එය අගේය. අවුරුද්දට සංචලාගේ නිවැසියන්ද මෙහි පැමිණෙනු ඇත.

“ඔන්න ඔයාට ඒ පැත්තෙන් ප්‍රොපෝසල් එකක් බලන්නද කියලා සිරිවර්ධන ඇන්ටි ඇහුවා…”

නැන්දා කියන විට අංජලී තිගැස්සී ගියාය. ඒ නම් විහිළුවට කියූවක් නොවන බව ඇයට වැටහිණි.මාලකද වහා හිස හරවා තමා දෙස බලනු ඈ දෑසට හසු විය.

“අනේ…ප්‍රොපොසල් නම් එපා…මං නම් ඔය ප්‍රොපෝසල් වලින් මැරි කරන්න කැමති නැහැ…”

අංජලී වහා කීවාය.

“ඒ ඇයි…?”

ගිම්හානිත් මේනකත් ඇසුවේ එක්වරමය.

“හරියට ආශ්‍රය නොකර දැන අඳුනගන්නේ නැතුව කොහොමද නොදන්න කෙනෙක්ව මැරි කරන්නේ…අද කාලේ දන්න කියන කෙනෙක්වවත් විශ්වාස කරන්න බැහැනේ…”

ඈ කල් යල් බලා එල්ල කළ පහර වැදුණේ මාලකටය. ඔහු රැවුමක් පා කළ බවක් ඈ නොදුටු මුත් ගිම්හානි එය දුටුවාය. ඇගේ මුවේ නැගුණු සිනහව ඈ සඟවා ගත්තේ පහර මාලකට වැදුණ බව දැනය.

“එහෙනම් ඉතින් දැන් දුව කවුරු හරි හොයන් ඇති…”

හේෂාන් විහිළුවට මෙන් ඇසීය.

“නැහැ…මං හොයන් යන්නේ නම් නැහැ… මං බඳින්නේ මාව හොයන් එන කෙනෙක්ව…”

අංජලී කීවේ සැවොම අතර සිනහවක් නංවමිනි.

“මේකි පැහිලා තියන තරම පේනවද ඉන්දු…?”

“ඒකනේ…හොඳයි…හොඳයි…අපිට එහෙනම් කරදර වෙන්න ඕන නැහැ කොල්ලො හොයන්න…”

ඉන්ද්‍රාණිද කීවේ සිනහ මුවිනි. මාලක නැඟිට කාමරයට ගියේ නොසතුටු මුහුණක් මවාගෙනය. කිසිවෙකු ඔහුට නවතින්නැයි බල නොකළෝය.

“දැන් කවුරුවත් නැත්ද කොල්ලෙක් එතකොට…?”

මේනක ඇසුවේ උස් හඬිනි.

“දෙන්නෙක්ම ඉන්නවා සුදු අයියා…ඒත් කාවද තෝර ගන්නේ කියලා හිතා ගන්න බැරිව ඉන්නේ…”

අංජලීද උස් හඬින් කියන විට යළිත් පැතිර ගියේ උස් සිනා හඬකි.

“වැඩට ගියාට පස්සේ මේ ළමයා සෑහෙන්න දියුණු වෙලා…”

ඉන්ද්‍රාණි යළිත් කීවාය.

“එහෙම නැතුව බැහැ නැන්දා…”

අංජලී මඳහසකින් පිළිතුරු දුන්නාය.
——————————————————————————————————
පරිසරය පුරා පැවති අමුතු සීතලය ගත හී ගඬු නැංවීය. ඈතින් පෙනෙන අම්බුළුවාව කන්ද දකින විට අංජලී මේනකට කැ ගැසුවාය.

“අයියේ අපි අම්බුළුවාවෙ යමුද…?”

මේනක ගිම්හානි දෙස බැලුවේ මඳහසක් පාමිනි.

“යමු…යමු…මෙයා මේ අම්බුළුවාවේ ගිහින් නැහැ වගේනේ කෑ ගහන්නේ…”

මේනක වෙනුවට පිළිතුරු දුන්නේ ගිම්හානිය.

“ආයේ යන්න ආසයි…”

“අවුරුදු දවස් දෙක තුන පහු වෙලා යමු…මේ දවස් වල සෙනඟත් ඇති…”

“හ්ම්ම්…”

රිය කවුළුවෙන් එපිට බලාන ඈ කීවේ අවට පරිසරයේ සිරි නරඹමිනි. සිරිවර්ධන යුවළ ඔවුන් එන තුරු පෙරමඟ බලා සිටියෝය.

“අම්මේ…අපි මඟ බල බලා හිටියේ…”

රියෙන් බට අංජලී දිව ගොස් ගිම්හානිගේ මව සිප වැලඳ ගත්තාය.

“මේ කෙල්ලත් ආව එක නම් හරිම හොඳයි…යමු ළමයිනේ ගෙට…මහන්සිත් ඇති…”

සිරිවර්ධන මේනකගේ කරවටා දෑත යවමින් ඔවුන්ද නිවසට කැඳවාගෙන පැමිණියේය. අංජලී පළමුව දිව ගියේ පිටුපසටය. මුළුතැන්ගෙයි දොර අසල සිට බලන විට ඈතින් කඳු පන්තියක් දිස්වේ. ඒ සිරිය අපූරුය. මේ මොහොතේ කඳු පෙළ වසාගෙන වළාකුළු රෑනක් අහස පුරා ඇදී යමින් තිබිණි.

“මං බැලුවා මෙයා මේ කොහෙද දුවන් ආවේ කියලා…කෝපි බොමුද තේ බොමුද දුව…”

ගිම්හානිගේ මව අසන විට අංජලී ඈ වෙත හැරුණාය.

“කිරි කෝපි…”

ඈ කීවේ මඳහසක් පාමිනි.

“මං හිතුවා…ටක්ගාලා හදන්නම්…ඔයාට බඩගිනිද…?”

“නැහැ…අපි එන ගමන් ඔය එක එක ඒවා කකා ආවේ…ඇන්ටිගේ කෝපි එකක් තමා බොන්න ඕන…”

අංජලී කීවේ සිනහසෙමිනි.

“මං දන්නවානේ…ඔයා ඒකට ආසයි කියලා…”

පස්දෙනම ආගිය තොරතුරු කතා බහ කරමින් කෝපි පානය කළේ මිදුලේ බංකුව මත හිඳගෙනය.

“ඊලඟට ඉතින් අපේ අනෙක් කෙල්ලගේ වෙඩින් එක…”

සිරිවර්ධන කීවේ අංජලී පෙන්වමිනි.

“අපෝ…මං දැන්ම බඳින්නේ නැහැ…”

අංජලී වහා කීවේ කෝපි උගුරක රස බලමිනි. සීනි පිටි රස පදමට දමා තිබූ කිරි කෝපි කෝප්පයෙන් හැමුවේ ඉමිහිරි කෝපි සුවඳකි.

“ඒවා වෙලාවට කලාවට වෙයි…දැන් පේන්නේ නැත්ද අපේ එක්කෙනත් ඔහොම තමා කිය කියා හිටියේ..මේනක දැක්කාම කැමති වුණා…”

ගිම්හානි එවිට මේනක දෙස බලා ලැජ්ජාමුසු සිනහවක් පාන විට ඔහු ඇගේ කරවටා අත දමා ගත්තේ අලුතින් ඇති වූ සෙනෙහසකින් මෙනි.

“හැමෝම සුදු අයියා වගේ නෙවේනේ…අංකල්…”

අංජලී කීවේ එකම මව් කුසින් ඉපදුණත් මාලකත් මේනකත් අතර ඇති වෙනස සිහි කරමිනි.

“ඒක අපේ දුවගේ වාසනාව…හේෂාන් වගේ යාළුවෙක් මට නොහිටියා නම්…මගේ කෙල්ලට මේ වගේ කොල්ලෙක් හම්බෙන්නේ නැහැ…”

සිරිවර්ධන ඒ මොහොතේ කීවේ දැස් වල කඳුළු පුරෝගෙනය. අංජලී අසුනින් නැඟිට විත් ඔහු පසුපසින් සිටගෙන ඔහුගේ කරවටා දෑත යවා ගත්තේ පිය සෙනෙහස ඇයටද එම කතාවෙන් වඩාත් දැනුණ නිසාය.

“අංකල්ට තව පුතෙක්වත් හදන්න තිබුණානේ…එහෙනම් මට එයාව කසාඳ බඳින්න තිබුණා…”

ඈ විහිළුවට කී කතාවෙන් ඔවුන් අතර පැතිර ගියේ සිනහ හඬකි.

-28 වන සඳුදා නැවත කියවමු-

Latest news

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...
- Advertisement -spot_img

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

රත් දෝතළු – 67

රත් දෝතළු - 67 විහඟ මේ කුමක් කියනවාද කියා මට සිතාගන්නට නොහැකිය. ඔහු කරන්නේ විහිළුවක් නොවන බව ඔහුගේ මුහුණින්ම මට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you