FeaturesDonilaye AmmeDonilaye Amme -15 දෝණිලයෙ අම්මේ

Donilaye Amme -15 දෝණිලයෙ අම්මේ

-

spot_img

Donilaye Amme – නිවාඩු දවසක් කියන්නෙ ඉතිං මට මගේ පාඩුවෙ සමරන්න ඕනේ දවසක්. ඉස්සර ඉඳලා මං එහෙමයි. නිවාඩු දවසට මට කිසිම සැළසුමක් නෑ. ඒ මොකද මං එදාට කීයට ඇහැරෙයිද කියලා මංවත් දන්නැති නිසා. තනිකඩ ජීවිතේදී යාළුවො එක්ක නිවාඩු දවසට ගහපු හුඟක් ප්ලෑන් කුඩු වෙන්නෙ උන්ට මාව ඇහැරවගන්න බැරුව. ඉස්සර අපේ අම්මලා, නංගිලා වුණත් නිදාගෙන ඉන්න මාව ඇහැරවන්නෑ කිසිම සාධාරණ හේතුවක් මට ඉදිරිපත් කරන්න බැරිනම්. ඒත් කසාදෙන් පස්සෙ ඒ හුඟක් දේවල් වෙනස් වුණා. දෝණිලයෙ අම්මටත් මං ඇහැරෙනකං මාව ඇහැරවන්නෙ නැති පුරුද්ද යම් ප්‍රතිශතයකට තිබුණත්, කසාද ජීවිතේ ඇතුලේ සමහර කාරණා නිසා, ඒ පරණ පුරුදු බිඳෙන අවස්ථා බහුලව සිද්ධවෙලා තියනවා. සමහර වෙලාවට බැඳීම් වලදී අපි කොටුවෙනවා. නිදහස් ජීවිතය අවහිර වෙනවා. යුතුකම්, වගකීම් කියන ගණුදෙනු එක්ක නැහෙන මිනිස්සු වෙනවා. ඒ ගැන කවුරු මොන “ලොරි ටෝක්”, ” නැව් ටෝක්” දුන්නත් ඇත්ත තත්වෙ කසාද බැඳපු මිනිස්සු තමා හොඳටම දන්නෙ. අදත් ඒ වගේ දවසක්. නිවාඩුව අකාරුණිකව මගෙන් උදුරාගෙන, දෝණිලයෙ අම්මාගේ තියුණු තීරණයක් උඩ, එයාලගෙ මහ ගෙදරට එන්න වුණා, දවල් කෑමකට. හුඟක් ස්වාමි පුරුෂයෝ බිරිඳගේ නෑදෑ පිරිවර ප්‍රසිද්ධියේ විවේචනය කරන්නේ ඇත්තටම හේතුවක් නැතුව. පොදු සමාජ මතය හා යමින් රැල්ලට. ඒත් මට තියෙනවා හරි සාධාරණ හේතූ කීපයක් එහෙම කරන්න. පළවෙනි එක මගේ නිදහස්, අදහස්, විවෘත මතවාද වලින් එයාලා හිත රිදෝගන්න එක. අනිත් එක මං පුරාජේරු සහ පම්පෝරි අහන්න අකමැති එක. ඒ වගේ වෙලාවට මගේ කටට නොහොබිනා වචනයක් ඇවිත් නෑදෑයන්ගේ මූණු ඇදවෙනවට මං එච්චර කැමති නෑ. ඒ ඔක්කෝටම වඩා මං අකමැති දේ එහෙම සිද්ධියක් වෙලා සතියක් ,දෙකක් යනකං ඕක අපේ ගේ ඇතුළේ මාතෘකාවක් වෙලා, දෝණිලයෙ අම්මට මාව වැරදි කාරයෙක් වෙන එක. දෝණිලයෙ අම්මගෙ පොඩි අයිය එයාගෙ පවුලත් එක්ක පදිංචි වෙලා ඉන්නේ මහගෙදරමයි. කෑම පිළියෙල වෙනකං අපි හිටියෙ සාලෙ ටී.වී එකේ යන 2022 අයවැය විස්තරේ බල,බලා.

“ඔන්න අයියේ බිස්නස් එකක් පටංගන්නවනම් දැන් තමා මරු චාන්ස් එක..”

එහෙම කීවේ දෝණිලයෙ අම්මයෙ පොඩි අයියා. කිසිම උනන්දුවක් නැතුව ඔහේ ටී.වී එක දිහා ඇස් ඔබාගෙන හිටපු මං මස්සිනාගේ මූණ දිහා බැලුවා.

“මල්ලිට ඉතිං බිස්නස් දෙක,තුනක් තියනවනෙ..තව එකක් වැඩි නැද්ද.”

“මට නෙවේ අයියට..දැන් ඔය බිස්නස් රෙජිස්ට්‍රේෂන් ෆී එකත් බජට් එකෙන් අඩුකරලා තියෙන්නේ..”

මගේ කට කොනකට හිනාවක් ආවත්, බොහොම අමාරුවෙන් ඒක මං විකාගෙන හිටියා.

“රටේ ව්‍යාපාරයක් කරන්න පුළුවන් වාතාවරණයක් තියනවනම්, ඔය ව්‍යාපාර ලියාපදිංචි ගාස්තුවනම් මහ ලොකු දෙයක් කරගන්න එකක් නෑ මලේ මිනිස්සු..”

මං ඒක කීවේ පුළුවන් තරම් සැර බාල කරලා. ඒ වචන ටිකටත් පොඩි මස්සිනාගේ මූණ ඇකිලෙනවා මං බලාගෙන.

“ඔය රස්සාවෙන් පුළුවන්ද හැමදාම ජීවත්වෙන්න..කෙල්ලො දෙන්නත් එන්න,එන්න ලොකු වෙනවනෙ..කෙල්ලො දෙන්නෙක් කසාද බන්දවනවා කියන්නෙ සුළුවට ගන්න පුළුවන් දෙයක් නෙවේ අයියෙ..”

“මේ තාක් උන් දෙන්නා ලොකු මහත් වුණේ මං මේ කරපු රස්සාවෙන්නෙ මලේ…මං දෑවැදි එක්ක කසාද බැන්දෙ නෑ වගේ, මගේ කෙල්ලො දෙන්නත් දවසක උන්ට ජීවත්වෙන්න පුළුවන් මිනිස්සු දෙන්නෙක් හොයාගනී බං..”

මගේ පුරුදු කට ඉස්සර වුණා. කියපු දේ ඉතිං ආයේ ඇදලා ගන්නයැ. හොඳ වෙලාවට පොඩි නෑනා තේ බන්දේසියක් අරං සාලෙට ආවේ.

“කෑම ලෑස්ති වෙනකං තේ ටිකක් බොමු අයියේ..”

කෑමට කලිං අපිනම් සාමාන්‍යයෙන් බොන්නෙ තේ නෙවේ කියලා කියන්න කට නලියන එක මං වදෙන් පොරෙන් නතර කරගෙන හිනාවෙලා, කරලා නෑනගෙ තේ එක අතට ගත්ත.

“යන්තං ඇති මේ සැරේ අයවැයෙන් ගුරුවරුන්ගෙ ප්‍රශ්නෙ විසඳුවා, නැත්තං අයියලාගේ දෝණිලට තව කාලයක් ඉස්කෝලේ නොයා ඉන්න වෙනවා…”

පොඩි නෑනා එහෙම කියාගෙන ගෙට ගියා. මං හිතන්නෙ එයා එහෙම කියන්න ඇත්තෙ එයාලගෙ දරුවො ඉන්ටර්නැෂනල් ස්කූල් යන නිසයි මගේ දරුවො රජයේ ඉස්කෝල වලට යන නිසයි වෙන්නැති. පොඩි නෑනට දොස් කියලා වැඩක් නෑ. ඕක තමා මේ රටේ බහුතරයක් දෙමාපියන්ගේ අධ්‍යපනය ගැන තියන අවබෝධය. දැන් ඔය අයවැයෙන් අධ්‍යපනයට වෙන් කෙරුවා කියන මුදල් රජයේ පාසල් වලට විතරක් කියලා තමා එයාලා හිතං ඉන්නේ. එයාලා දරුවන්ට උගන්නන්නේ එයාලගෙ සල්ලි වලින් කියලා තමා සල්ලි තියන හුඟක් දෙමව්පියො හිතන්නෙ. ඒක තමා අපේ රටේ අධ්‍යපනයේ තරම. ඇත්ත. අපේ රටේ දරුවො ඉගෙනගන්නෙ දෙමව්පියන්ගෙ දාඩිය මහන්සියෙන්. නිදහස් අධ්‍යපනය කියලා පම්පෝරි ගහන්න බඩකඩෙත්තුවක් අපට තිබ්බට, ඕක කොච්චර නිදහස්ද, හිරවෙලාද කියලා අපිට පහුගිය කාලේ හොඳටම තේරුණා. ලෝකේ අධ්‍යපන ක්‍රමවේදයන් ගැන උදාහරණ අරං අපේ වරිගෙ නහගන්නැතුව අපි නිකමට මෙහෙම හිතමු. ලෝකයම පොදුවේ මුහුණ දීපූ ව්‍යසනයකදී අධ්‍යපනය සම්බන්ධයෙන් ලෝකය සහ අපි ඒකට මුහුණ දීපු හැටි අධ්‍යයනය කරපු ගුරුවරු සහ දෙමාපියො කීදෙනෙක් ඉන්න ඇද්ද අපේ රටේ..?
ඔව්. අපිට අපේ දරුවො තමා ලොකු. එහෙම කියලා තනියෙන් ජාත්‍යන්තර හරි රජයේ හරි ඉස්කෝලයක් දාගෙන උගන්නන්න පුළුවන්ද අපේ රටේ දෙමව්පියන්ට.. ? බෑනේ. ඒ නිසා තමයි අවුරුදු හැත්තෑ ගානක් තිස්සේ එක,එක ආණ්ඩු පත් කරගෙන මිනිස්සු තමන්ගේ දරුවන්ගෙ අනාගතේ හදලා දෙන්න කියලා පත්වෙච්චි ආණ්ඩු වලින් ඉල්ලුවේ. හැබැයි හැම ආණ්ඩුවම උන්ගෙ දරුවන්ගෙ ඇර අපේ දරුවන්ගෙ අනාගතේ වෙනුවෙන් මොනාද කරලා තියෙන්නේ..?

“කෑම ලෑස්තියි පොඩි අයියෙ..”

දෝණිලයෙ අම්මා එහෙම කියාගෙන සාලෙට එනකොටත් කවුද හාදයෙක් ගොත ගගහා අයවැය කියවනවා. මායි මස්සිනයි කට ඇරං ඒ දිහා බලං ඉන්නවා.

“සුරංග..යං..”

දෝණිලයෙ අම්ම මගෙ අත් ගොබයක් මිරිකන ගමං එහෙම කිව්වා.

“මස්සිනාලට හම්බෙච්චි මොනාත් නැද්ද දන්නෑ නේ කෑමට කලින් ගන්න..”

මං දෝණිලයෙ අම්මයෙ කණට කරලා එහෙම ඇහුවාම, එයා රවාගෙන ගේ ඇතුළට ගියා.

“පොඩි මස්සිනේ..”

මං මෙලෝ සිහියක් නැතුව අයවැය බලන මස්සිනා පොඩ්ඩට කතා කරා.

“දැන් ඔය බිස්නස් රෙජිස්ට්‍රේෂන් ෆී එකත් අඩු කරා කීව නේද බජට් එකෙන්..”

“ඔව් අයියේ..”

“දැන් ඔය ගුරු විදුහල්පති වැටුප් විෂමතාත් බජට් එකෙන් විසඳපු එකේ උඔ ඉන්ටර්නැෂනල් ස්කූල් එකක් දාපංකෝ එහෙනම්, එතකොට ඊළඟ අවුරුද්දේ ඉඳලා මගේ කෙල්ලෝ දෙන්නත් ඒකට දාන්න පුළුවන්නෙ මස්සිනාගෙ ඉස්කෝලේ කියන ෆිට් එකට..”

මස්සිනා පුටුව පස්සට කරලා, වේගෙන් නැඟිටලා ගේ ඇතුළට ගියා. මං කෑම කනවද, තව ටිකක් අයවැය බලනවද කියලා හිත,හිතා සාලෙම හිටියා.

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කරුප්පුසාමි දෙවියන්ගේ අවතාරය

කරුප්පුසාමි දෙවියන්ගේ අවතාරය - Karuppu Karuppu (2026) චිත්‍රපටය සමකාලීන දකුණු ඉන්දියානු සිනමාවේ සමාජ, දේශපාලන සහ සංස්කෘතික තේමා විමර්ශනය කරන වෙනස්ම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you