FeaturesDonilaye AmmeDonilaye Amme - 01 දෝණිලයෙ අම්මේ

Donilaye Amme – 01 දෝණිලයෙ අම්මේ

-

spot_img

Donilaye Amme – 01: “ප්‍රේමය විවාහයෙන් කෙළවර වේය” යන කියමන කුමන හේතූ කාරණා මත, කොහේ කොතැන සමාජගත වූයේද යන්න නොදනිමි. එහෙත් “පෙම් සුව” අහිමි අපමණ “යුගදිවි” මේ සමාජයෙන් මුණගැසේ. පෝරුවේදී නූලකින් ගැට ගසන බැඳීම් උසාවියකදීනියෝගයකින්ලිහීයනඅවස්ථාද එමටය. විවාහය කෙතරම් පුළුල් විෂයක්දැයි මම නොදනිමි. එකී විෂය කියවූ, අධ්‍යනය කළ ඇත්තන් මේ සමාජයේ නැතැයිද මම නොකියමි. එහෙත් ප්‍රේමය විවාහයටද අයිති හැඟීමකැයි මම විශ්වාස කරමි. ඇසට නොපෙනන මුත් හිතට අහුවෙන යුගදිවියේ එවන් ප්‍රේමණීය ඉසව් සුසර කරනවා විනා, මා යුගදිවි රහස් දන්නා සෘෂිවරයෙකු නම් නොවේ. වැරදි, අඩුපාඩු කප්පරක් ඇති මාද ඔබේම පිලේ සාමාජිකයෙකි.සංවේදී නිල කිපෙන පෘතග්ජනයෙකි.එබැවින් මේ සටහනෙන් මා තක්සේරු කරන්නට නොව,ඔබට මඟහැරි දෙයක් වෙත්නම් එය අල්ලාගන්නට යොදාගන්නැයි ඉල්ලමි.ලියන්නට උපන්ගෙයි කම්මැළියෙකු වන මා,ඒ අලස නින්දෙන් කීද්දූ ගාමීණී සමරසිංහ නම් මගේ පත්තර සහෝදරත්වයට ආදරෙයි කියා කියමි.

හරියටම කණ ළඟ හෙණ හඬක් තරම් සද්දයක්. දිගෑරිලා හිටපු නින්දෙන් ඇහැරුණු මං ඇද විට්ටමට හේත්තු වුණේ ඇකිලිලා. ටික වෙලාවක් එහෙමම හිටියේ වෙච්චි දේ තේරුම් ගන්න. ඇඳේ කොනක තිබ්බ මේස ඔරලෝසුව අතට අහුවුණේ විනාඩියකට, දෙකකට පස්සෙ. ඒකේ එලාම් එක ඕෆ් කරන ගමන් හිතුවේම මේක මෙතෙනට ආවේ කොහොමද කියලා. වෙනදා සාමාන්‍යයෙන් මං ඇහැරෙන්නේ දෝණිලයෙ අම්මා එක අත් ගොබේකට දාන තට්ටුවෙන් හරි හැමදාම කණ ළඟ ඇහෙන එයාගේ කරච්චලෙන් හරි. එලාම් එක එයාට වඩා කොච්චර අකාරුණිකද කියලා හිතන ගමං මං ඇඳෙන් බිමට කකුලක් තිබ්බා. අඩ නින්දේ ඇඳ පාමුල තිබුණු මොකක්දෝ කකුලේ දැවටුනා. කොට්ටෙකුයි පැදුරකුයි. ඇත්තටම මට හරියට ඇහැරුණේ එතකොට. ඇඳේ එක කොනක චූටී දෝණි තාම නිදි. එතකොට බිම නිදාගත්තේ කවුද..? ලොකූද… දෝණිලැයි අම්මද…? හිතෙන් පොඩ්ඩක් ආපස්සට ගිහිං බැලුවා. ටික, ටික මතකයත් ඇහැරුණා. ඊයේ වැලන්ටයින් කියලා කියලා අඩියක් ගහන ගමන් චමියා කීවා යාන්තමට වාගේ මතකයි. අද නිවාඩු නිසා ගෙදර ආවේ රෑ දෙගොඩහරියෙ වෙන්න ඕනේ. දෝණිලයෙ අම්මට මොනාහරි ගත්තා වාගෙත් මතකයි. ඒක දෙන්න බැරිවුණාවත්ද…? කණ්නාඩි මේසේ ගාවට ගිහිං බැලුවේ ඔෆීස් බෑග් එක කොහෙද කියලා. මේස් දෙකයි, යට ඇඳුමයි ඒක උඩ. ඒත් බෑග් එක නෑ. අනුමානයක් නෑ ඒක චමියගෙ කාර් එකේ. ඉබේම අත නළලට ආවා. “වසලා හමාරයි” මං කීවා නෙවේ කියවුණා. ඉබ්බ කටුවෙන් එන ගානට මං කාමරෙන් එළියට ආවා. ලොකූ සාලේ ටී.වී බලනවා. මං එයාට පේන තැනකින් ඉඳගත්තා. ඒත් එයාගේ ඇස් තිබුණේ ටී.වී ස්ක්‍රීන් එකේ.

” අද පන්ති නෑ ලොකූ..”

මං සිවිලිම දිහා බලාගෙන ඇහුවේ. එයා වමට, දකුණට ඔලුව වැනුවා.

“කෝ අම්මා”

ඒකටත් එයා බෙල්ල කුස්සිය පැත්තට දික් කරලා පෙන්නුවා. මං නැඟිටලා කුස්සිය පැත්තට ගියා. දෝණිලයෙ අම්මා උයනවා. මං උගුර පෑදුවා. ඒත් එයා හැරිලා බැලුවේ නෑ. “ටකස්” ගාලා හයියෙන් ගෑස් ලිප දාල කේතලේ ඒ උඩට අතෑරියා. කරාමේ උපරිම වේගෙන් ඇරලා, මහ සද්දෙට කෝප්පයක් හේදුවා. සීනී බෝතල්, කිරිපිටි බෝතල්, තේකුඩු බෝතල් දඩ බඩ ගාල මේසේ උඩට වැටුණා. මොනාහරි කතාකරන්න තිබුණු ආසාව මැඬගෙන මං කුස්සිය අතෑරලා පෝටිකෝව යටට ආවා. සයිවර් කඩේක තේ හදන සද්දෙට ජෝගුවේ තේ හැන්ද වැදෙන එක මට පෝටිකෝවට ඇහුණා. මං පුටුවෙ ඈඳිලා කණාටු පොල් ගස් දිහා බලාගෙන හිටියා.දෝණිලයෙ අම්මා පෝටිකෝව ළඟින් මතුවුණේ තේ කෝප්පෙ එක්ක. ඒ වෙලාවේ තමා මං හරියට එයාගේ මූණ දැක්කේ. මූණ තඩිස්සි වෙලා. නිදිමත ගතියක් තිබුණා. මං හිනාවුණාද දත් ටික පෙන්නුවද දන්නෑ.තේ කෝප්පේ ටීපෝ එක දිගේ තල්ලුවෙලා මගේ පැත්තට එනවත් එක්කම එයා නොපෙනී ගියා. උගුරේ ඉඳලා යටි බඩට එනකං පොඩි දැවිල්ලක් වගේ ආවා. ඊයේ බීපු නිසා ගෑස්ට්‍රයිටීස් ඇවිස්සිලා වෙන්නැති. සුදු කිරි එකක් බීවාම හරියයි. මං තේ එකට එබුණා. තේ කහට දැක්කාම ආයෙත් පපුව පිච්චීගෙන වගේ ගියා.ඒත් එක්කම මතකයත් ටිකක් අතීතෙට ගියා. ඉස්සර බොරැල්ල බිංගේ ළඟින් නාරහේන්පිට පැත්තට යද්දි කොට්ටම්බා ගහක් යට පුංචි සයිවර් කඩයක් තිබුණා. දෝණිලයෙ අම්මයි, මායි තේ බීවේ ඒ කඩෙන්. ඒ මගේ රස්තියාදු ජීවිත කාලේ. වෙලාවකට තේ එකක් බොන්නවත් අතේ සතේ නෑ. මං ආසයි තෝසේ කාලා ප්ලේන්ටියක් බොන්න. දෝණිලයෙ අම්මා ඒක දන්නවා. මාසෙකට සැරයක් එක දවස් ආදර රවුම් ගහන කාලේ ඒ. උදේට එතනින් කාලා, දවල්ට දෝණිලයෙ අම්මා ඔතාගෙන එන බත් එක කාලා. විහාරමහා දේවී පාර්ක් එකේ ඉඳගෙන ඉඳලා. හැන්දෑ කළුවර එක්ක ගෙදර ගිය ජීවිතේ හරි සුන්දරයි. එක තේ එක බෙදං බීලා, එක බීම බටෙන් ස්මැක් බීලා,ඔයාගේ අතින් අනපු බත් කාපූ අතීතය සුන්දරයි දෝණිලයෙ අම්මේ. හයියෙන් ඇස්පියන් විදුලි කෙටුවා. ඇහැ ඇතුලෙන් කෙවෙනවා වගේ දැණුනා. නාගත්තනම් හොඳයි කියලා හිතුණේ ඒකයි. නැඟිටින්න හදද්දී කකුලේ මොකක් හරි වදිනවා වගේ දැණුනා. දෝණිලයෙ අම්මා කොස්ස පුටුව යටට දාලා අතුගානවා. මං කකුල් දෙක උඩට උස්සගෙන හිටියා. එත් එයාගේ අතුගෑම ඉවරවෙන පාටක් නෑ. එහෙ, මෙහෙ හැරී, හැරී එයා අතුගෑවෙම පුටුව වටේ. එහෙම කරද්දි කොහු මිට මගේ මූණේ ඇණුනා. මට මොකක්දෝ පාලනයෙන් තොර හැඟීමක් ආවා. එකපාරටම නැඟිටපු මං කොස්සට පයින් පාරක් ගැහුවා. ඒක ඉගිලිලා ගිහිං මිදුලට වැටුණා. පාඩුවේ මිදුලේ නිදාගෙන හිටපු “ලකියා” ඒකට බයවෙලා පණ කඩාගෙන පාරට වෙනකං දුවලා, එතන ඉඳං ගෙදරට බුරන්න ගත්තා. මං මිදුලට බැහැලා ගඩොල් භාගයක් අරං ඌට දමලා ගැහුවා. ඌ ආගිය අතක් නැතුව ගියා. දෝණිලයෙ අම්මත් පෝටිකෝව යට පේන්න හිටියේ නෑ.

මහ මූසල පාළුවක් දැණුනා. කඩේ පැත්තට ගිහිං පත්තරයක්වත් අරං එනවා කියලා හිතලා ගේ ඇතුලට ගියේ කමිසයක් දාගන්න. කාමරේ පිළිවෙලට අස් කරලා තිබුණා. ඊයේ මං ඇඳපු ඇඳුම් ඔක්කොම ලොන්ඩ්‍රි බෑග් එකට ඔබලා තියනවා දැක්කා. කණ්නාඩි මේසේ ළඟ පුටු ඇන්ද උඩ අලුත් ටී ෂර්ට් එකක් තියනවා. ඒ වගේ එකක් මීට කලින් මට තිබුණේ නෑ. මං අතට අරං බැලුවා. තාම ටැග් එකවත් ගලවලා නෑ. ආයෙත් අර උගුරේ ඉඳං පපුව රිදීගෙන යටි බඩට එන දැවිල්ල ආවා. කෙල හිඳිලා තොල, කට වේලෙන ගතිය දැණුනා. අයිස් වතුර ටිකක් බොන්න හිතාගෙනයි කුස්සියට ගියේ. දෝණිලයෙ අම්මා මිටි බංකුව උඩ ඉඳගෙන නහය සූරනවා. දනිස් දෙක උඩ මූණ තියාගෙන ඉන්න එයාගේ උරිස් ගැස්සෙනවා පේනවා. අඬනවා වගේ. ගිහිං ළඟින් ඉඳගෙන ඔලුව අතගාන්න ක්ෂණිකව හිතට ආපු හැඟීම මරාගෙන ගිහිං මං සද්දෙට ෆ්‍රිජ් එක ඇරියා. බංකුවෙන් නැඟිටලා එයා ගවුම් වාටියෙන් නහය පිහිදදා එළියට ගියා. මං අයිස් වතුර බෝතලේ උඩ බලාගෙන උගුරට හලාගත්තා. උදේ ඉඳං තිබ්බ දැවිල්ල මොහොතකට අතුරුදන් වුණා.

කසාදේ ගිවිසුමක්, ලියවිල්ලක්, ලියාපදිංචියක් කරේ කවුද දන්නෑ දෝණිලයෙ අම්මේ. ඒක ඇතුලට යුතුකම්, වගකීම්, කොන්දේසි එබුවෙ ඇයි කියලා දන්නෙත් නෑ. ඒත් ඒ ලියවිල්ල ඇතුලෙ කාලයක් හරි අපූරුවට කොන්දේසි විරහිතව එකිනෙකාට පෙන්නපු ආදරේ මැරෙනව පේනවා. පෙරලා කිසි දෙයක් නොඉල්ලා, තමන්ට පුළුවන් දේ දුන්නු කාලේ තිබ්බ සතුට මේක ඇතුලෙදි හුස්ම හිරකරගන්නවා දැනෙනවා. බැඳෙනවා කියන්නේ දැනෙනවා කියලා තේරෙන්නැති මොකක්දෝ රොබෝ හැඟීමක අපි අත පය වනනවා නේද කියලා හිතෙනවා. කඩදාසි කොලේක ජීවිතය සින්නක්කර ලියන්න බෑ දෝණිලයෙ අම්මේ. ඉඩම් නඩු වගේ ආදරේ ගැන දෙපැත්තෙ අයිතිය හොයන්න බෑ. බැඳීම්වල සීමා හොයන්න ගියාම ආදරේ නිකංම නිකං සිල්ලර ගණුදෙනුවක් විතරක් වෙනවා. අපි මේ දෝණිලා දෙන්නත් එක්කම ගිහිං ඉස්සර ආදරේ හංඟපු තැන් හොයමු. කවුදෝ කඩදාසියක ලියපු මේ වැරදි බැඳීම ඉරලා දාමු.

1 COMMENT

Comments are closed.

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...
- Advertisement -spot_img

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

රසකාරක නැති චිකන් සීසනින් කියුබ්

රසකාරක නැති චිකන් සීසනින් කියුබ් - Chicken seasoning Cube චිකන් සීසනින් කියුබ් (Chicken seasoning Cube) කියන්නෙ මේ වෙනකොට ගෘහණියන්ට කෑම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you