Aap Jaisa Koi – මේ ලෝකෙ කොහෙහරි තැනක අපිට ආදරේ කරන්න කැමති කෙනෙක් ඉන්නව කියලා කතාවක් තියෙනවනේ. ඉතින් මේ කෙනා කවද කොයි මොහොතෙ හමුවෙයිද කියන්න බැහැ. සමහරවිට අපිට හදිසි වුණත් ඒ මුණගැහීම සිදුවෙන්නෙ නියමිත කාලයට. හොඳම මොහොතට. නමුත් ආසියානු සමාජය ඇතුලෙ ඔය මුණගැහීම ප්‍රමාද වෙනකොට, ඒ කියන්නෙ කෙනෙක් කසාද බඳින්න පරක්කු වෙනකොට ඒ කෙනාට වඩා එයාගෙ අසල්වැසියන්ට, නෑදෑයන්ට, යාළු මිත්‍රයන්ට මේක බරපතල ප්‍රශ්නයක් වෙනව.

මේ ප්‍රශ්නෙ අවුරුදු හතලිස් දෙකක් වයස අවිවාහක ගුරුවරයෙක් වුණ ශ්‍රීරේණු මහත්තයටත් තිබුණා. එයාට නෙමේ එයාගෙ පවුලෙ අයට, හිතවතුන්ට විතරක් නෙමේ එයාගෙ ශිෂ්‍යයන්ටත් ශ්‍රීරේණු බඳින්නෙ නැති එක ලොකු ගැටළුවක් වෙලා තිබුණා. ඔවුන් ඒ දිහා බැලුවෙ හාස්‍යයෙන්. ඒක ඔහුගෙ දුර්වලකමක් විදිහට. ඇත්තටම ශ්‍රීරේණු කියන්නෙ සම්ප්‍රදායික තාලෙට ජීවත්වුණ, ජීවිතේට ප්‍රේමවන්තියක් නොසිටිය, Virgin පිරිමියෙක්. ඔය අතරෙ යාළුවෙක් ඔහුට Dating App එකක් හඳුන්වල දුන්නා. එතැන විවිධාකාර කාන්තාවො සිටියා. ශ්‍රීරේණුගෙ ජීවිතේ Boring ගතිය ඔය App එකත් එක්ක නැතිවෙලා ගියා. එහෙම ඉන්නකොට තමයි ඔහුට Aap Jaisa Koi කියන මේ App එකෙන් මධූ මුණගැහෙන්නෙ.

ඔවුන් දෙදෙනා අතර හිතවත්කම ඉක්මනින් වර්ධනය වෙනවා. ඇත්තටම මේ දෙන්න අහසත් පොළවත් තරමට එකිනෙකාට වෙනස් ගතිගුණ තිබුණ දෙන්නෙක්. ඒ විතරක් නෙමේ සම්ප්‍රදායික සමාජයක් ඇතුලෙදි විවාහයක් සිදුවීමේදි ඇතිවෙන ගැටළු ගැළපීම් – නොගැළපීම් වගේ දේවල්වලට මුහුණ දෙන්නත් මේ දෙන්නට සිද්ධ වුණා.




