NovelsMandaramen EhaMandaramen Eha - 23 මන්දාරමෙන් එහා

Mandaramen Eha – 23 මන්දාරමෙන් එහා

-

spot_img

Mandaramen Eha – කැලේගම වැව දෙසින් “සූ…” ශබ්දයට හමා ආ සුළං රැළි නිසා වලව් වත්තේ පොල් ගස් ” කර..කරාස්..” හඬින් ඇඹරෙන්නට ගත්හ. ඇඳෙහි වැතිරී ආයාසයෙන් ඒ හඬ දරාගෙන සිටි සරලා, එය කන්දොස්කිරියාවක් වූ තැන ඇස් ඇරියාය. බිත්ති ඔරලෝසුව සිව් වරක් මහ හඬින් ගිගුම් දුන්නේය. වේලාව අළුයම හතර වී ඇති බව වටහා ගත් ඈ වියන් ඇඳෙහි තිර මෑත්කර ඉන් බැස ජනේලය අසළට ගියාය. ජනේලය විවර කළ සැනින් මා වවුලන් රංචුවක් තටු ගසමින් ඒ අසලින් පියාඹා ගියහ. ඇගේ කාමරයට එක එල්ලේ පෙනෙන්නේ වලව්වේ ගේට්ටුවය. පරිසරය තාමත් ඝන අඳුරේය. ගේට්ටුවට උඩින් දෑස යැවූ ඈ දුටුවේ, බැම්මට අඩි පහක් පමණ උසින් ඇවිද යන කුඩා එළි කිහිපයකි. ජනේල් කූරූ අසළට වඩාත් සමීපව ඒවා නිරීක්ෂණය කරද්දී, ඉන් එක් එළියක් ගේට්ටුව අසළ සොහොන් කොත් වටේ ඇවිද යනු ඈ දුටුවාය. වහා ජනේල් පියන් වසා දැමූ ඈ ඇඳෙහි හිඳගත්තාය. ඇගේ ළය වේගයෙන් ගැහෙන්නට වූවාය. බැම්මේ තිබූ හීන් එළි එකවර තනි එළියක් වී සොහොන් කොත් අතරින් මතුවූයේ කෙසේද.? ඇය ළැමට අත තබා එහි රිද්මය වේගවත් බව හැඳින ගත්තාය. එකවරම මුළුතැන්ගෙය දෙසින් යමක් බිම වැටී පෙරලී යන හඬ ඇසෙන්නට විය. ක්ෂණයකින් ඈ සිටියේ දොර අසළය. මිනිත්තු කිහිපයක් ඊට කන්දී සිටිද්දී කිසියම් මිමිණුම් හඬක් පිටතින් ඇසෙන්නට විය. ඈ එක් දොර පළුවක් සෙමෙන් විවර කොට කනක් ඉන් පිටතට එබුවාය. ඒ හඬ කැලේගම මැණිකේගේ බව හඳුනාගත් පසු ඈ සැහැල්ලු හුස්මක් බිම අතහැර, එදෙසට පියමැන යන්නට වූවාය. රිදී නැන්දා මුළුතැන්ගෙය අසළ දොරකඩ හිඳ හුන් අතර, දෑතම ඉනේ ගසාගෙන අසළ උන්නේ කැලේගම මැණිකේය.

“චූටී මොකෝ මහ පාන්දර ඇහැරිලා..” කැලේගම මැණිකේ ඇසුයේ සරලාගෙනි.

“සද්දෙ ඇහිලා ආවේ ඉස්කෝලෙ නැන්..” කියා අතරමඟ නැවතූ ඈ

“නැන්දම්මා…” කියා සිය වාක්‍යය සම්පූර්ණ කළාය.

“රිදී නැන්දගෙ කෝළංනෙ..කකුල බිඳගෙනත් පාඩුවෙ ඉන්නෑ.. පාන්දර සොහොනට ගිහිං වලව්වෙ හාදුරුවොන්ට කේළං කියන්ඩ..”

කැලේගම මැණිකේ කීයේ උපහාසයෙනි. සරලා රිදී නැන්දා අසළට පාත් වූවාය.

“මොකෑ වුණේ නැන්දේ..”

සරලාගේ පැනයට පිළිතුරු බඳිනු වෙනුවට රිදී නැන්දා කළේ කෙඳිරි ගාමින් නැඟිට සිටීමට උත්සාහ කිරීමය.

“මොනා වෙන්නද කොර ඇන,ඇන කේළමේ ගිහිං එද්දී මෙතන ඇදගෙන වැටිලා…චූටී ගිහිං බුදියගන්ඩ..”

” මං ටිහිකින් එන්නං..නැන්..දම්මා..යන්න..”

පිටව යන කැලේගම මැණිකේ දෙස බලමින්, සරලා රිදී නැන්දාගේ අත් ගොබයකින් ඇල්ලූයේ ඇයව එසවීමටය.

“පුංචි අම්මණ්ඩී කීවැහෙ..බබා ගොහිං බුදියගන්ඩකෝ…”

“හරි ඉතිං මං ඇඟෙන් ඇල්ලුවා කියලා නැන්ද කුලෙන් බාල වෙනවයැ…යමු..”

බලෙන්ම රිදී නැන්දාව වත්තන් කරගත් සරලා, ඇයව මුළුතැන්ගෙය සමීපයේ ඇති කුඩා කාමරයේ ලණු ඇඳ මත වැතිරෙව්වාය. වැතිර ගත් සැනින් නැඟී සිටි ඈ සිය කකුල වේදනාවෙන් පිරිමදින්නට වූවාය.

“රිදෙනවද..”

රිදී නැන්දා “නැත” යන්න හැඟෙන්නට හිස සැලුවාය. වටපිට බැලූ සරලා, එහි තිබූ බෙහෙත් තෙල් බෝතලයකින් ස්වල්පයක් අල්ලට ගෙන රිදී නැන්දාගේ පාදය අසළට පහත් වූවාය.

“කීවම අහන්නෑනේ බබා…ඕනැන්නැහෑ…”

රිදී නැන්දා බෑඟිරි දෙද්දී, සරලා ඇගේ වේදනා දෙන පාදය තෙල් තවරා, ඉහළ පහළ පිරිමදින්නට වූවාය. නිතර මවාගත් රෞද්‍ර පෙනුමින් යුතු රිදී නැන්දාගේ මුහුණ තප්පර කිහිපයක් ඇතුළත අන්ත අසරණ පෙනුමකට පරිවර්තනය වන්නට වූවාය. සම හැකිළී ඇති මුහුණේ ගිලා ගිය ඇස්, කඳුලේ ගිලී දිලිසෙනු ච්මිනි ලාම්පු එළියට සරලා හොඳින් දුටුවාය.

“බැරිගාතේ අවේලාවේ ඇවිදින්න යන්ඩෙපා නැන්දේ.”

“වලව්වෙ හාදුරුවොන්ට ඉන්න තැන ලකේට ඕනෑ බබා…මං ලෙඩා දුකා වුනායින් ඒවා ජරාවාස වෙලා…හීනෙනුත් ඇවිත් මට සෝලී තියනවා…”

“ඉතිං සොහොනට ගිහිං එන්නැතුව වැවේ ඇවිද්දේ මොකෑ…”

“වැවේ ගියේ කවුදෑ බබා..”

“මං දැක්කනෙ බැම්ම උඩ පන්දම් එළි වගයක් යනවා…”

“අඩමානයක් නෑ…මී ඇට අහුලන්ඩ යන බඩහැල කොල්ලන්ගෙ පැපොල් බට පන්දම්..ගහක මී ඇටයක්වත් තියෙන්න දෙන්නෑ මේ කුම්මැහි බඩහැල හැත්ත..”

රිදී නැන්දාගේ සුපුරුදු වාග් විලාශය උස්ව නැඟී එද්දී සරලාගේ මුවට පළල් හිනාවක් නැඟී ආවාය.

තාරුකා උන්නේ මිදුලෙහි ඇසළ ගස පාමුල ලෑලි බංකුවෙහි හිඳගෙන, දෙපා ඒ මත තබාගෙන ගෙල උඩු අතට හරවා ඇසළ ගස දෙස බලාගෙනය. සමන්තීගේ කුඩා පුතු කවිරූ බංකුව පාමුල වැලි අනමින් හුන්නේය. කිසියම් කාරණයක් අරඹයා ඔහු තාරුකාට “පුංචී… පුංචී..” යනුවෙන් ඇමතුවද, ඇයට එය ඇසුණේ නැත. අවසන බංකුවට නැඟ ඇගේ කන සමීපයටම මුව තබා තමන්ට හැකි උපරිම වේගයෙන් ඔහු තාරුකාට “පුංචීඊඊ….” කියා ඇමතීය. ඉන් කළබල වූ තාරුකාගේ ඇඟේ වැදී කවිරූ බංකුවේ එක් පසෙකටත්, තාරුකා අනෙක් පසටත් බිම ඇද වැටුණෝය.

“උඔට පිස්සුද කොල්ලෝ..”

“මං ඔයාට කතා කරානේ..”

“ඔහොම කන උඩ නලා පිඹින්නේ මං බීරෙක් කියලා හිතුවද..”

“බීරෙක් කියන්නෙ කාටද..”

“කන් ඇහෙන්නැති උන්ට..”

“එතකොට පුංචිත් බීරිද..”

“නෑ…මගේ කන් හොඳට ඇහෙනවා…”

“ඒත් මං හුඟක් කතා කරා පුංචිට ඇහුන්නෑනේ..”

“කොයි වෙලේද..”

“පුංචි උඩ බලං හිටි වෙලේ..”

තොල් නොපිට පෙරලා කවිරූට විරුත්තූ තාරුකා ,

“තෝ හොඳ තොපේ අප්පටම තමා..” යැයි තමන්ටම මුමුණා ගත්තාය.

“පුංචි මොනාහරි කීවද..”

“නෑ…නෑ…මොකූත් නෑ..”

“මට වතුර තිබහයි..”

“කුස්සියේ ලොකු කිරිඅම්මා ඉන්නවා.. ගිහිං බීලා එන්න..”

පිම්මේ නිවස දෙසට දුවන කවිරූ දෙස බලාගෙන තාරුකා සැහැල්ලු හුස්මක් ගත්තාය. ජීවිතයේ අනේක විධ කම්කටොළු අතරට වුවද, සිනහවක් රැඟෙන පැමිණිය හැක්කේ දරුවන්ට පමණකැයි ඇයට සිතිණි. තමන් ජීවිතයේ සැනසුම යැයි සිතා සිටි බැඳීම් තමන්ට කෙතරම් දුරදැයි සිතී ඇයට හීල්ලිනි. ශාරික දැන් තමාට මුණ ගැහෙන්නේ අවාරෙට අඹ හැදෙනවා මෙනි. ඔහු ඊට බොහෝ හේතූ දක්වයි. තෙහෙට්ටුව, අවිවේකය, කාර්‍යබහුල කම, වැනි පොදු කාරණා ඉදිරියේ ආදරය අවශේෂ විය හැකිදැයි ඇයට හිතුණු වාර අනන්තය. ඒ අතර ඔහුගේ සේවා ස්ථානයේ ඇතැයි ඔහුම කියූ මාධවී ගැන සිහිවී හිත රිදුණු, නෙත තෙමුණු වාර බොහෝය. ජිල්බුගෙන් අසා දැනගත් පරිදි අයියා වගා ළිඳේ කැණීම් අතරමඟ නවතා ඇත්තේ, අක්කාගේ නිවස අසළ කැරකුණේයැයි කියන, ශාරිකගේ ආයතනයේ ලොක්කා ගැන හොයන්නට වෙහෙසෙන නිසාය. ශාරිකට අනුව ඔහු තමන්ව නොදන්නා ගානට හැසිරෙන බව කියයි. දිනෙක මේ සියලු දේ එකට ගැළපී මහා විනාශයක් වේයැයි ඇයට සිතෙයි. එහෙත් ඒවා ශාරිකට කී විට ඔලොක්කුවට හිනාවෙන අයුරු සිහිකොට තමන් කරබාගෙන සිටිනා බව ඔහු දන්නේ නැත.

“උඔ මොනාද මෙතෙන්ට වෙලා උඩ බලාගෙන කරන්නේ..” තාරුකා කල්පනා ලොවින් මිදුණේ කාලිංගගේ හඬිනි.

“මේක යකාගේ වැඩක්නෙ..මං දැන් අහවල් දිහා බලාගෙනද ඉන්නෝනෙ..”

“ඇයි..බලාගන්න ගෙදරදොරේ වැඩක් ඇත්තෙම නැද්ද..”

“ඒවා බලාගන්න අම්ම ඉන්නේ..”

“ඔව්..වොව්..උන්දැ කළේම තොපිලා දෙන්නගෙ නාඩගම් දිහා බලාගෙන හිටපු එකනෙ..”

තාරුකා පොළොවට රවාගත්තේ, ඉන් එහා වචනයක් කතා කිරීම එතරම් සුබදායී නොවන නිසාය.

“කෝ දැන් අරකී..”

“ඒකී ඔයාව දාලා ගමෙං ගියානේ..දන්නෑහ්ං…”

“ගහහ්ං..තොගෙ කට කැඩෙන්න..”

තාරුකාට ගසන්නට අත එසවූවද, ඇය බිමට හැකිලෙනු දැක කාලිංග සිය අත පහල හෙලුවේය.

“මං උඔ වගේ දාලා ගිය උන් පස්සෙ අඬ, අඬා යන ජාතියේ නෙවේ..”

“එතකොට අයියා අර මිදි ඇඹුලයි කියපු නරියගෙ ජාතියෙද..”

“නරියා මමද, ඌද කියලා නංගිට ඉක්මන්ට තේරෙයි..සමන්තිට කියහං ගේ පරෙස්සම් කර,කර ඉන්නැතුව ඇවිත් ඒකිගෙ දරුවා පරෙස්සම් කරගන්න කියලා…මොකද..මට තියනවා හෙට අනිද්දට පරෙස්සම් කරන්න දෙයක් උඔට බාරදෙන්න..”

එසේ කියා තාරුකාගේ නිකට මිරිකූ කාලිංග අඩියට, දෙකට ගෙට රිංගුවේය. සිදුවූ දෙයෙහි හතර කොන ගළපා ගන්නට මෙන් තාරුකා බංකුව මතට වැටුණාය.

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් - Sausage Bun බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක්...

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you