NovelsShort Storiesආදර ඇසුරුම

ආදර ඇසුරුම

-

spot_img

ආදර ඇසුරුම – What Fits in a Suitcase by Sophie De La Fuente

මධ්‍යම රාත්‍රිය වන විට ලොන්ඩරිය පුරා උණුසුම් කපු රෙදිවල සුවඳත්, ලැවෙන්ඩර් සුවඳත්, කවුරුන් හෝ එතරම් උනන්දුවකින් තොරව බිමට දැමූ ලෙමන් සුවඳැති පිරිසිදුකාරකයේ සුවඳත් පැතිර තිබුණේය. ජැස්මින් කෙළවරම තිබූ රෙදි සෝදන යන්ත්‍රයක් තෝරාගෙන තිබුණි. ඉහළින් තිබූ ප්‍රතිදීප්ත බල්බය මිනිත්තු කිහිපයකට වරක් නිවි නිවී දැල්වුණි. අංක 9 දරන රෙදි සෝදන යන්ත්‍රය රෙදි මිරිකන අවස්ථාවේදී ඉන් හඬක් නැගුණේය. එතැන යන්ත්‍ර දාහතරක් තිබුණි. ඇය දෙවරක්ම ඒවා ගණන් කළේ වෙන කිරීමට දෙයක් නොතිබුණ නිසාය.

ඇගේ ගමන් මල්ල ප්ලාස්ටික් පුටුව අසල කෙළින් සිටුවා තිබුණි. එහි එක් රෝදයක් කැඩී ගොස්ය. මීට වසර තුනකට පෙර ප්‍රාග් නගරයට යාමට දුම්රිය ස්ථානයේ රථගාලට පැමිණි අවස්ථාවේදී ඒ රෝදය ගැලවුණේය. අලුත් ගමන් මල්ලක් මිලදී ගත යුතු බව ඩියාගෝ එදා පවසා තිබුණත් ඔවුන් තවමත් එකක් මිලට ගත්තේ නැත. මදක් ඇලකරගෙන ඇදගෙන යමින් එය තවමත් පාවිච්චියට ගැනීමට පුළුවන. බොහෝ දේ එලෙසය. ඇය අසල පුටුව මත තිබූ දුරකථනය දැල්විණි.

ඩියාගෝ……. ඔහුගේ නම තිරයෙන් මැකී යන තුරු ඇය බලා සිටියාය. දැන් පිළිතුරු නොදුන් ඇමතුම් නවයකි. රෙදි සෝදන යන්ත්‍රයේ වටකුරු වීදුරුව තුළින් ඇගේ ඇඳුම් සෙමින් කැරකෙනු පෙනුණි. ජීන්ස්, යට ඇඳුම්, බ්ලවුස් දෙකක් සහ කහ පැහැති කාඩිගන් ස්වෙටරය. කලබල වූ සෑම අවස්ථාවකම සීතල දැනෙන නිසා ඈ එය ගමන් මල්ලට දමාගෙන තිබුණාය. ඒ අතර, ඩියාගෝගේ තද නිල් පැහැති ස්වෙටරයද තිබුණි. ගමන් මල්ලේ තිබූ සියල්ල මේසය මතට ගත් පසුව මිස ඇයට එය දක්නට ලැබුණේ නැත. ගමන් මල්ල අසුරන විට ඇගේ ස්වෙටරයට යටින් නිදන කාමරයේ පුටුව මත ඔහුගේ ස්වෙටරය තිබෙන්නට ඇත. ඇය එය අතට ගෙන මොහොතක් බලා සිටියාය. ඉන්පසු අනෙක් ඇඳුම්ද සමඟ එය ගමන් මල්ලට දැමුවාය. එය එතැනම දමා යයෑම අනවශ්‍ය ක්‍රියාවක් සේ හැඟුණි.
මධ්‍යම රාත්‍රිය පසු වී විනාඩි විස්සකට පමණ පසු රෝස පැහැති ප්ලාස්ටික් රෙදි කූඩයක් රැගත් මිනිසෙක් පැමිණියේය. කූඩය මත කහ පැහැති ජිරාෆ් රූපවලින් සැරසුණු ඇඳ ඇතිරිල්ලක් තිබුණි. ඔහු අංක 6 යන්ත්‍රය අසල නතර විය.

What Fits in a Suitcase

“මේක කැඩිලද?”

“මම දන්නෙ නැහැ.”

“ඔයා මට වඩා වැඩි වෙලාවක් මෙතැන ඉන්න ඇතිනේ ”

“ඒ නිසා මම මේවගෙ අයිතිකාරයා වෙන්නෙ නැහැනේ.”

ඔහු සිනාසී ජිරාෆ් රූප සහිත ඇඳ ඇතිරිල්ල යන්ත්‍රයට දැමුවේය. ඇගේ දුරකථනය නැවතත් දැල්විණි.

“මේක විකාරයක්. ගෙදර එන්න. අපි කතා කරමු.”

ඇය දුරකථනය පසෙකින් තැබුවාය. මිනිසා සෝදන දියරය වැරදි කුටියකට වත් කළේය.

“මැද එකට දාන්න,”

ජස්මීන් කීවාය.

“මොකක්ද?”

“ෆැබ්රික් සොෆ්ට්නර් එක “

ඔහු බෝතලය දෙස හොඳින් බැලුවේය.

“මම හිතුවේ ඒකේ තියෙන මලෙන් කියවෙන්නෙ සුවඳ ගැන කියලා.”

“ඒක රෙදි මෘදු කරනවා.”

“මලකට දරන්න වෙලා තියෙන වගකීම්වල හැටියට ඒක නම් එච්චර හරි නෑ.”

ජස්මීන් සිනාසුණාය. මිනිත්තු කිහිපයකට පසු ඔහු කාටදෝ දුරකථන ඇමතුමක් ගත්තේය.

“එයා හොඳින්. අම්මා කිව්වා එයා නිදි කියලා.”

මඳ විරාමයක්.

“ඔව්, මම ඔක්කොම දැම්මා.”

තවත් විරාමයක්.

“මම රෙදි සෝදන හැටි දන්නව ලෙයිලා.”

ඔහු ජස්මීන් දෙස බැලුවේය.

“මම ඒ මල ගැන කලින්ම දැනගෙන හිටියා කියලා නම් කියන්නෙ නෑ .”

ඇය සිනාසුණාය. ඔහුගේ නොරිස්සුම් සහගත කතාබහ තුළ ආදරයක් තිබුණි. රෙදි සෝදා අවසන් වූ පසු ඔහු කූඩය අතට ගත්තේය. දොර අසලදී ඔහුගේ බැල්ම එක් වරක් ඇගේ ගමන් මල්ල වෙත යොමු විය.

“ඔයා මෙහේ නවතිනවද?”

“ටික දවසකට.”

“හරි.” 

What Fits in a Suitcase

ඇයිදැයි නොඅසාම ඔහු පිටව ගියේය. පාන්දර තුනයි දහහත වන විට ඇගේ රෙදි සේදී අවසන්ව තිබුණි. එය අලුත් ගැටලුවක් ඇති කළේය. කුලියට ගත් කාමරය ඇයට ලබාගත හැකි වන්නේ රාත්‍රී හතයි තිහටය. ගෙහිමි කාන්තාව දුරකථනයෙන් තුන් වතාවක්ම සමාව ඉල්ලුවාය. සහෝදරියගේ උපන්දිනයක් තිබූ බැවින් ඇය උදෑසන වන තුරු ආපසු නොඑන බව පැවසුවාය. ජැස්මින් ඒකට කමක් නැතැයි පැවසුවාය. ඒ වන විට ඇය සිටියේ තමන්ගේම නිවසේ ඉදිරිපස දොර අසලය. ගමන් මල්ලද අතැතිව. ඇයට පිටුපසින් වසර විසි නවයක විවාහ ජීවිතයක් තිබුණි. ඒ හා සසඳන විට අනෙක් හැමදේම මහ ලොකු ප්‍රශ්න සේ නොපෙණුනි. ඇය පිරිසිදු ඇඳුම් නැවත ගමන් මල්ලට දමා තවත් වරක් සෝදා ගත්තාය. ඒ සඳහා යුරෝ හයක් වැය විය. පාන්දර හතරට ඇය යන්ත්‍රයෙන් කෝපි එකක් මිලට ගත්තාය. එයින් සුප් රසයක් දැනුනත් ඇය එය පානය කළාය. ඩියාගෝ නැවතත් ඈව ඇමතුවේය. මෙවර ඇය ඔහුගේ පණිවිඩයට සවන් දුන්නාය.

“ජස්මීන්. දැන් මේක ඇති.”

ඔහුගේ කටහඬ සන්සුන්ය. ඔහු සෑම විටම සන්සුන් මිනිසෙකි. කලක් එය ඇය ඔහුගේ කැමතිම ගතිගුණවලින් එකකි.

“ඔයා ඔයාගේ අදහස කියලා ඉවරයි. දැන් ගෙදර එන්න. අපි දෙන්නම හොඳට නිදාගෙන හෙට මේ ගැන කතා කරමු.”

“ඔයා හෝටලේක නම්, අඩුම තරමේ හෝටලේ නමවත් මට කියන්න. එතකොට ඔයා පරිස්සමට ඉන්නවා කියලා මට දැනගන්න පුළුවන්.”

තවත් විරාමයක්.

“ප්ලීස් .”

ඒ අවසන් වචනය ආයාචනාත්මකය. ඇය එය නැවත වරක් අසා සිට මකා දැමුවාය. පාන්දර හතරයි හතළිස් පහට කුලී රථයක් පිටත නතර විය. දොර විවෘත වීමටත් පෙර ඒ ඩියාගෝ බව ඇය දැන සිටියාය. ඔහු අතේ ඇගේ දත් බුරුසුව, දුරකථන චාජරය සහ කියවීම සඳහා භාවිත කරන උපැස් යුවළ තිබුණි. මොහොතක් යනතුරු දෙදෙනාගෙන් කිසිවකු කතා කළේ නැත. ඔහු තවමත් ඇඳ සිටියේ රාත්‍රී ආහාරය ගන්නා අවස්ථාවේ ඇඳ සිටි අළු පැහැති කමිසයමය. දැන් එය රැලි වැටී තිබූ අතර එක් පැත්තක් කලිසමෙන් පිටතට පැමිණ තිබුණි. ඔහුගේ හිසකෙස් අවුල් වී තිබුණි.

“ඔයාට මේවා අමතක වෙලා.”

ඔහු ඒ දේවල් මේසය මත තැබුවේය. ජස්මීන් එදෙස බැලුවාය.

“ස්තුතියි.”

“ඔයාට කණ්ණාඩියත් ඕනේනෙ.”

“මම දන්නවා.”

“ඔයා යනකොට ෆෝන් එකේ බැටරිය තිබුණේ සියයට දොළහයි.”

“ඒකත් මම දන්නවා.”

ඔහු රෙදි සෝදන යන්ත්‍ර දෙස බැලුවේය.

“ඔයා රෙදි හෝදනවද?”

“ඒ වගේ පේන්නේ.”

“පාන්දර පහට?”

“පැය විසි හතරම මේක ඇරලනෙ ” 

What Fits in a Suitcase

ඔහු ඇයට මුහුණලා තිබූ ප්ලාස්ටික් පුටුව ඇදගෙන වාඩි විය. ඔවුන් දෙදෙනා විවාහ වූ මුල් අවුරුද්දේ මුළුතැන්ගෙයෙහි තිබුණේ මීට බොහෝ දුරට සමාන පුටු දෙකකි. මිල අඩු සුදු පැහැති පුටු දෙකක් වූ ඒවා ලැබ්‍රඩෝර් බල්ලෙකුටත් වඩා බරැති කෙනකු වාඩි වූ විට මඳක් නැවුණේය. වරක් නත්තල් රාත්‍රී භෝජනයකදී ඩියාගෝ පුටුවත් කඩාගෙන බිම්ට වැටුණේය. ඒ පුටු දැන් කොහේ ඇත්දැයි ඇය කල්පනා කළාය.

“එලී කතා කළා,”

ඔහු කීවේය. ජස්මීන් හිස එසවූවාය.

“ඇයි?”

“ඔයා රෑ එකොළහට එයාට පණිවිඩයක් යවලා තිබුණා, ඔයා එයාට ආදරෙයි කියලා.”

“ආහ්.”

“ඒක දැකලා එයා කලබල වෙලා.”

“මම එයාට මම ආදරෙයි කියලා කියනවානේ.”

“බ්‍රහස්පතින්දා රෑ එකොළහට, කිසිම විරාම ලකුණක්වත් නැතිව, ඔහොම කියන එක නම් සාමාන්‍ය දෙයක් වගේ පේන්නෙ නැහැනේ.”

ජස්මීන් කෝපි කෝප්පයේ කාඩ්බෝඩ් රවුම අතින් පිරිමැද්දාය.

“ඔයා එයාට කිව්වද?”

“මොකක්ද?”

“මම ගෙදරින් ගියා කියලා.”

ඩියාගෝ මුහුණ පිරිමැද්දේය.

“අපි දෙන්නා රණ්ඩු වුණා කියලා කිව්වා.”

“අපි රණ්ඩු වුණේ නැහැනේ.”

“ඔව්. ඒක නම් ඇත්ත.”

අංක 9 යන්ත්‍රය නැවතත් රෙදි මිරිකීම ආරම්භ කළේය. ඔහුගේ ස්වෙටරය සෑම තත්පර කිහිපයකට වරක් වීදුරුවේ වැදී තට්ටු කරන හඬක් නැඟුවේය. ඩියාගෝ ඒ දෙස බැලුවේය.

“ඒ මගේ ස්වෙටර් එකද?”

“ඔව්.”

“මම ඒක හොය හොයා හිටියේ.”

“මම දන්නවා.”

“ඇයි ඔයා ඒක හෝදන්නේ?”

“ඒක මගෙ මල්ලේ තිබුණා.”

ඔහු ඇය දෙස බලා සිටියේය. ඉන්පසු ඔහු හිනැහුණේය.

“මාව දාලා ගියා මදිවට මගේ ස්වෙටර් එකත් හොරකම් කරාද?”

“අත්වැරදීමකින්.”

“හොඳම එක.”

“මම දන්නවා.”

“ඒක ඔයාගේ රෙදි හෝදන යන්ත්‍රයේ තියෙන නිසා ඒක හොඳම එක බව ඔයා දන්නවා ඇතිනේ.”

ඒ කතාවට ඇයත් සිනාසුණාය. ඔවුහු ඒ අවලස්සන ප්‍රතිදීප්ත විදුලි එළිය යට හිඳිමින් සිනාසුණහ. එම සතිය පුරාම ඔවුන් සැහැල්ලුවෙන් හැසිරුණු අවස්ථාව එය විය. ඉන්පසු ඩියාගෝගේ සිනහව නැවතුණි.

“ගෙදර එන්න.”

ජස්මීන් රෙදි සෝදන යන්ත්‍රයේ වීදුරුව තුළින් බැලුවාය.

“මට බැහැ.”

“ඇයි?”

ඇයට පිළිතුරු සියයක් පමණ දිය හැකිව තිබුණි. මාස ගණනක් පුරා ඇය එවැනි පිළිතුරු සියයක්ම දී තිබුණාය. බොහෝ විට ඩියාගෝ ලිපි විවෘත කරමින් සිටින විට, නැතහොත් පිඟන් සෝදන යන්ත්‍රයට පිඟන් අසුරන විට, නැතහොත් පිටුපස දොර අගුළු දමා ඇත්දැයි පරීක්ෂා කරන විට. ඒ වෙනුවට ඇය මෙසේ ඇසුවාය.

“අඟහරුවාදා දවස මතකද?”

ඔහු නළල රැළි කළේය.

“ඔයා මගෙන් මොකක්දෝ ඇහුවා කියලා මතකයි.”

“ඔයාට තවමත් මාත් එක්ක ඉන්න ඕනෙද කියලා මම ඇහුවා.”

ඔහුගේ මුහුණේ ඉරියව් මඳක් වෙනස් විය.

“ජස්මීන්….”

“ඔයා මොකක්ද කිව්වේ?”

“හරියටම මොකක්ද කියලා මට මතක නැහැ.”

“ඔයා මට කිව්වා, ඔයා වෙන කොහේ යන්නද? කියලා.”

ඔහු තම දෑත් දෙස බලා සිටියේය.

“මම ඒක ඒ විදිහට අදහස් කළේ නැහැ.”

“මම දන්නවා.”

“මම විහිළුවක් කළේ.”

“මම දන්නවා.”

“එහෙනම් ඇයි ඔයා ඒක මෙහෙම…”

“මම ඒක කිසිම විදිහකට හරවලා කියන්නේ නැහැ.”

ඔහු නිහඬව සිටියේය. රෙදි සෝදන යන්ත්‍රවල හඬ හිස් අවකාශය පුරවා දැමුවේය. ඔහු ප්ලාස්ටික් මේසයේ තිබූ සීරීමක් මත තම මහපට ඇඟිල්ල සෙමින් ගෙන ගියේය.

“එහෙනම් ඒකද? මෝඩ විහිළුවක් නිසා අවුරුදු විසි නවයක්ම ඉවර කරනවද?”

“නැහැ.”

“එහෙනම් .”

ඇය ඔහු දෙස බැලුවාය. දැන් ඔහුගේ මුහුණේ සැබෑ බියක් තිබුණි. ඇයට එය දරාගැනීම අපහසු විය. මාස ගණනක් තිස්සේ යමක් අවසන් වෙමින් පවතින බව ඔහු තේරුම් ගන්නවාට ඈ ආශා කළාය. දැන් ඔහුට එය වැටහෙමින් තිබියදී, එය දැකීමට තමන් කිසිදා කැමැත්තෙන් නොසිටි බවත් ඇයට වැටහුණි.

“ඔයාව දාලා යන්න තරම් ලොකු හේතුවක් මට නැහැ,”

ඇය කීවාය. ඔහු නිහඬව සිටියේය.

“එහෙම එකක් මට හොයාගන්න පුළුවන් වෙයි කියලා මම හිතුවා.”

“මාව දාලා යන්නද?”

“ඒකට මට අයිතියක් තියෙනවා කියලා පිළිගන්න.”

ඔහු වෙනතක් බැලුවේය.

“ඔයාට ඒ අයිතිය තියෙනවා,”

අවසානයේ ඔහු කීවේය. ජස්මීන් හිස සැලුවාය.

“මම ඒක දන්නවා.”

දැන් ඇය එය දැන සිටියාය. අංක 9 යන්ත්‍රය සෙමින් වේගය අඩු කළේය. දොර අගුල විවෘත වූ විට ඔහු නැඟිට්ටේය. ඉන්පසු ඇගේ ජීන්ස් කලිසම, කහ පැහැති කාඩිගන් ස්වෙටරය සහ කළු බ්ලවුසය එළියට ගත්තේය. අනතුරුව ඔහුගේ ස්වෙටරයද ගත්තේය.

“මේක ඩ්‍රයර් එකට දැම්මොත් නාස්ති වෙයි.”

“මම හිතුවේ අඩු රස්නෙට දාන්න.”

“අඩු රස්නෙට අත් කොට වෙනවා.”

“ඔයා ජීවිතේට ඔයාගේ රෙදි තනියම හෝදලා නැහැනේ.”

“මම ඉගෙනගෙන තියෙනවා.”

“ළඟ ඉඳලා?”

“අවුරුදු විසි නවයක්ම ඔයා ළඟ ඉඳලා.” 

What Fits in a Suitcase

ඔහු ස්වෙටරය මේසය මත තබා එහි උරහිස් දෙක සෙමින් සකස් කළේය. ජස්මීන් එහි අනෙක් කෙළවර අල්ලා ගත්තාය. දෙදෙනා එක්ව එය හොඳින් දිග හැර සකස් කළහ. එය විවාහ ජීවිතය තුළ කිසිවකුගේ අවධානයට ලක් නොවී එකතු වන කුඩා හවුල්වලින් එකකි. ඇඳ ඇතිරිලි සකස් කිරීම, ගෘහ භාණ්ඩ දොරවල් අතරින් ගෙන යෑම, නත්තල් ගස් සකස් කිරීම, වසාගත නොහැකි ගමන් මලු වැසීම වැනි දේවල්. ඩියාගෝ ස්වෙටරයේ එක් අතක් පපුව හරහා නැමුවේය. ජස්මීන් අනෙක් අත නැමුවාය. ඔහු එය දෙකට නවා අවසන් කළේය.

“හරි,”

“ඒක ඔයා අරගෙන යන්න.”

ඔහුගේ දෑත් තවමත් ස්වෙටරය මත රැඳී තිබුණි.

“තව මොනවද මගේ?”

ඔවුහු ගමන් මල්ල විවෘත කළහ. ඩියාගෝගේ මේස් ජෝඩු තුනක්, ටී ෂර්ට් එකක්, ස්වෙටරය සහ ඔවුන් හමුවීමටත් පෙර සිටම ඔහු සතුව තිබූ කුඩා කළු කුඩය එහි තිබුණි.

“ඔයා මගේ කුඩයත් අරගත්තද?”

“වැස්ස වැටුණා.”

“කෙනෙක් ගෙදරින් යන්නෙ නම් ඔහොම නෙවෙයි.”

“මම කලබලෙන් හිටියේ.”

ඔවුහු බිම වාඩි වී ඇඳුම් වෙන් කිරීමට පටන් ගත්හ. ජස්මීන්ගේ දේවල්. ඩියාගෝගේ දේවල්. දෙදෙනාගෙන් කිසිවකුටවත් හඳුනාගත නොහැකි වූ තනි ගෙවතු වැඩ අත්වැස්මක්. උදෑසන හයයි දහය වන විට ඔහු තම දේවල් සුපිරි වෙළෙඳසලකින් ගත් ප්ලාස්ටික් බෑගයකට දැමුවේය. රෙදි සෝදන ස්ථානයේ ජනේලයෙන් පිටත අහස කළු පැහැයෙන් මැකී ගොස්, වර්ණවත් උදෑසනකට පෙර ඇති වන අඳුරු නිල්, අළු පැහැයට හැරෙමින් තිබුණි. ඩියාගෝ නැඟිට්ටේය.

“ඔයාට විශ්වාසද?”

“නැහැ.”

එම පිළිතුරෙන් ඔහු මඳක් අමනාප වූවාක් මෙන් පෙනුණි.

“නැද්ද?”

“මම මේ වගේ දෙයක් මීට කලින් කවදාවත් කරලා නැහැ.”

පළමු වතාවට ඔහු සිනාසුණේ විහිළුවට නොවේ.

“මමත් නැහැ.”

“මට හිතුණේ මට විශ්වාසයක් දැනෙයි කියලා.”

“එහෙම වුණා නම් කොච්චර පහසුද?”

“ඔව්.”

ඔහු තම බෑගය අතට ගත්තේය. දොර ළඟදී ආපසු හැරුණේය.

“ඔයා හොඳින් ඉන්නවා කියලා එලීට කියන්නද?”

“මම කියන්නම්.”

“ඔයා නවතින තැනත් කියනවද?”

“සමහරවිට.”

“ජස්මීන්.”

“මම එයාට කියන්නම්.”

ඔහු හිස සැලුවේය. ඉන්පසු පිටව ගියේය. සුපිරි වෙළෙඳසලකින් ගත් ප්ලාස්ටික් බෑගයක දමාගත් තද නිල් පැහැති ස්වෙටරය අතැතිව ඔහු හිස් රථගාල හරහා ගමන් කරන අයුරු ඇය බලා සිටියාය. හත වන විට ජස්මීන් තම ඇඳුම් වියළන යන්ත්‍රයට දැමුවාය. එක් වරක් පමණි. එක් එක් ඇඳුම තවමත් උණුසුම්ව තිබියදීම ඇය ඒවා පිළිවෙළට නැමුවාය. ඉන්පසු ගමන් මල්ලට අසුරා ගත්තාය. ඩියාගෝගේ ඇඳුම් එහි නොතිබූ නිසා ඇය බලාපොරොත්තු වූවාට වඩා වැඩි ඉඩක් ඉතිරි වී තිබුණි. මල්ලේ පියන වසාගැනීමට ඇයට තදින් ඔබන්නටවත්, සිපර් එකට ගැළපෙන තුරු ඒ මත වාඩිවීමටවත් අවශ්‍ය නොවීය.

පිටත බස් රථ ධාවනය ආරම්භ වී තිබුණි. ඒ අසල කොතැනක හෝ බේකරියක උඳුන් දැල්වී තිබූ අතර, රෙදි සෝදන ස්ථානයේ දොර විවෘත වන සෑම විටම සබන් සුවඳත්, උණුසුම් කපු රෙදිවල සුවඳත් අතරින් පාන් සුවඳ මොහොතකට ඇතුළට ගලා ආවේය. ජස්මීන් තම කබාය ඇඳගත්තාය. ඇගේ දුරකථනයේ බැටරිය දැන් සම්පූර්ණයෙන්ම ආරෝපණය වී තිබුණි. ඩියාගෝ චාජරය දඟර ගසා මේසය මත තබා ගොස් තිබුණේය. එය ඇගේ කණ්ණාඩිය සහ දත් බුරුසුව අසල පිළිවෙළකට තබා තිබුණි. ඇය එය පිරිසිදු ඇඳුම් මත තැබුවාය. ඉන්පසු ගමන් මල්ල වසා දැමුවාය. දැනට නම්, ඇය එය තිබූ අයුරින්ම තිබෙන්නට හැරියාය.

Poornima Sewwandi
[ Reedsy වෙබ් අඩවියෙහි පළවූ Sophie De La Fuente විසින් රචිත What Fits in a Suitcase කෙටිකතාව ඇසුරින් සිදුකළ අනුවර්තනයකි ]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

වැඩ 25% යි, තවත් බිලියන 6ක් ඉල්ලයි

වැඩ 25% යි, තවත් බිලියන 6ක් ඉල්ලයි රටම පිරිසිදු කිරීමේ මහා සංකල්පයක් ලෙස 2025 වසරේදී මහත් ඝෝෂාවක් මැද ආරම්භ කළ...

දළදා මාළිගාවේ මහ කරඬුව ගත්තේ “ඇන්ටික් බඩු” ව්‍යාපාරිකයෙක්ද?

දළදා මාළිගාවේ මහ කරඬුව ගත්තේ "ඇන්ටික් බඩු" ව්‍යාපාරිකයෙක්ද? ශ්‍රී ලංකාවේ සමස්ත බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ මෙන්ම රාජ්‍යත්වයේ සංකේතය ලෙස සලකනු...

රනිල් ‘ලාෆ්’ කියන හැටි අනුරගෙන් අහගන්න

රනිල් 'ලාෆ්' කියන හැටි අනුරගෙන් අහගන්න හඳුන්නෙත්තිගේ 'බොරු බිල්ලා' සහ ධම්මිකගේ ව්‍යාපාරික මෙහෙයුම එදා විපක්ෂයේ සිටියදී රනිල් වික්‍රමසිංහ පාලනයේ ගෑස් මිල...

Bing Chun අයිස්ක්‍රීම් උගුලේ වැටුණු පාරිභෝගිකයා

Bing Chun අයිස්ක්‍රීම් උගුලේ වැටුණු පාරිභෝගිකයා පසුගිය දිනවල කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල තරුණ තරුණියන් අතර උන්මාදයක් බවට පත්වූ "Bing Chun"...
- Advertisement -spot_img

බිලියන ගණන් වෙන් කළත් පිට්ටනියක් නැති ක්‍රීඩකයෝ

බිලියන ගණන් වෙන් කළත් පිට්ටනියක් නැති ක්‍රීඩකයෝ ගියවර වසරේ බිලියන 13.5න් පිට්ටනිය හදාගන්න බැරි වූ ආණ්ඩුව, 2027 අයවැයෙන් බිලියන 17ක...

Bing Chun අයිස්ක්‍රීම් උගුලේ වැටුණු පාරිභෝගිකයා

Bing Chun අයිස්ක්‍රීම් උගුලේ වැටුණු පාරිභෝගිකයා පසුගිය දිනවල කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල තරුණ තරුණියන් අතර උන්මාදයක් බවට පත්වූ "Bing Chun"...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you