වෘෂභ ලග්නෙ අය හරිම මුරණ්ඩුයි – Chase Infiniti
විසිහය හැවිරිදි චේස් ඉන්ෆිනිටි (Chase Infiniti) හොලිවුඩයට පිවිසුණේ ජේක් ගිලෙන්හාල් සහ රූත් නෙග්ගා රඟපෑ ඇපල් ටීවී කතා මාලාව Presumed Innocent ඔස්සේයි. අතිශය ජනප්‍රිය වූ මෙම කතා මාලාවෙන් පසු පෝල් තෝමස් ඇන්ඩර්සන්ගේ One Battle After Another චිත්‍රපටයේ රඟපෑමට ලැබීම චේස්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වූ අතර One Battle After Another එම වසරේ හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂක ඇතුළු ඔස්කාර් සම්මාන හයක් දිනා ගත්තේ චේස් ඉන්ෆිනිටි නව පරම්පරාවේ ආකර්ෂණීයම නිළියන්ගෙන් කෙනෙකු බවට පත් කරමින්. හොලිවුඩයේ ප්‍රමුඛතම තරු වන ඇන්ඩර්සන්, ලියනාඩෝ ඩිකැප්‍රියෝ, රෙජිනා කිං සහ බෙනිසියෝ ඩෙල් ටොරෝ සමඟ වැඩ කිරීමෙන් පසු, ඉන්ෆිනිටි ඇගේ වයසේ නවකයන් සමඟ මාග්‍රට් ඇට්වුඩ්ගේ “The Handmaid’s Tale” චිත්‍රපටයේ පූර්ව කතා මාලාව වන “Hulu” හි “The Testaments” හි රඟපෑමට අවස්ථාව හිමි කර ගත්තා. එමෙන්ම ඇගේ විලාසිතා බොහෝ අයගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත්ව තිබෙනවා. මේ චේස් ඉන්ෆිනිටි W Magazine සමග සිදුකළ කතා බහක්.
• The Testaments ඔයාව හොයාගෙන ආවෙ කොහොමද?
2024 අවුරුද්දෙ මම One Battle After Another ඉවර කරාට පස්සෙ ඒ අය මාව හම්බවෙන්න කැමැත්තෙන් ඉන්නව කියලා පණිවිඩයක් ආවා. One Battle After Another එකේ Willa චරිතය කරලා The Testaments එකේ Agnes වෙන එක අමාරු දෙයක් වුණේ නැහැ. ඇග්නස් කියන්නෙ එයාගෙ යාළුවන්ට ගොඩක් ආදරේ කෙනෙක්. මම ඇගේ ආසම දේවල්වලින් එකක් තමයි ඒ.

• ඔස්කාර් සම්මාන උත්සවේ කොහොමද? One Battle හැම සම්මානයක්ම වගේ දිනුවා..
ඒක පිස්සුවක්. මම තාමත් ඒ ගැන හිතනවා. ඒක හීනයක්ම තමයි. [ලුවී වුටන් නිර්මාණය කරන ලද] මම හරිම ලස්සන ඇඳුමකින් සැරසිලා ඉන්න බව මට දැණුනා. ඒ වගේම නළු නිළියන් සහ පෝල් තෝමස් ඇන්ඩර්සන් එක්ක ඉන්න ලැබීම හරිම විශේෂයි. ඊට පස්සේ හොඳම නළු නිළියන්ට ලැබෙන සම්මාන අපේ නළු නිළියන් කණ්ඩායමටත්, ඩිරෙක්ට කැසැන්ඩ්‍රා කුලුකුන්ඩිස්ටත් ලැබීම හරිම සුවිශේෂයි. ඒ මොහොත මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඇත්තටම ඒ අත්දැකීම මගේ ජීවිතය සෑහෙන විදිවලින් වෙනස් කළා.
• ඇකඩමි සම්මාන උළෙලේදී, ඔබ සියලු දෙනා හොඳම චිත්‍රපටය වෙනුවෙන් සම්මාන ලැබුවම පෝල් තෝමස් ඇන්ඩර්සන් ඔබ ගැන කිව්වෙ, “my American girl” සහ “the heart of this movie.” වගේ දේවල්?
පිස්සුවෙන් වගේ හිටිය නිසා ස්ටේජ් එකේදි ඔහු කිව්ව මොකුත් මට ඇහුණේ නැහැ. ඔහු මගේ නම කියනවා මට ඇහුණා. වැඩසටහනෙන් පස්සෙ මට මැසේජ් ලැබෙනවා. මම ” එයා මොනවද කිව්වේ?” කියලා හිතුව. ඊට පස්සේ තමයි මම ඒක බැලුවේ. මම පෝල්ට ගොඩක් ආදරෙයි කියලා හිතුණා..

• One Battle චිත්‍රපටයේ රඟපානකොට ඔයාට ටෙයානා ටේලර්ගෙන් උපදෙස් ලැබුණාද?
ටෙයානා එක්ක මම චිත්‍රපටවල රඟපාලා නැති නිසා මට ඇත්තටම උපදෙස් ලැබුණේ නැහැ, නමුත් රෙජිනා [කිං] ගෙන් මට ගොඩක් දේවල් ලැබුණා. ඊට පස්සේ, රූත් නෙගා. මට ඇයගෙන් ගොඩක් උපදෙස් ලැබුණා. ඇය මගේ සමීපම සහ හොඳම මිතුරියක්.
• රූත් ඔයාට කිව්ව හොඳම දේ මොකක්ද?
විශේෂයෙන්, ඇය මට බය වෙන්න එපා කියලා කිව්වා. මේ රස්සාවෙදි ඔයාට කරන්න පුලුවන් දේවල් ගැන බයෙන් ඉන්න එපා කියන එකයි ඇය අදහස් කළේ. මම The Testaments රඟපාද්දි ඒ විදිහට හිටියා. ඒ වගේම ඒ දේ මගේ අනිත් නළු නිළියන්ට දෙන්නත් උනන්දු වුණා. මොකද කිව්වොත් මම මගේ වයසේ ගැහැණු ළමයින් ගොඩක් එක්ක වැඩ කරා. මම ඒක මීට කලින් නොකෙරුව දෙයක්. හොලිවුඩයට මට වරප්‍රසාද ලත් ප්‍රවේශයක් තියෙනව කියලා මම දන්න නිසාම මට ඕනෙ වුණා පුළුවන් හැම වෙලාවෙම අනිත් ගෑණු ළමයින්ට උදව් කරන්න.




