ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ – Ananya Panday
අනන්‍යා පාණ්ඩේ යනු සමකාලීන බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය නිළියන්ගෙන් කෙනෙකි. ඉන්දීය නළු චන්කි පාන්ඩේ සහ භාවනා පාන්ඩේගේ දියණිය ලෙසින් බොලිවුඩයට පා තැබූ අනන්‍යා සිය පවුල් පසුබිම මත පමණක් රඳා නොසිට බොලිවුඩය තුළ තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගා ගත්තාය. ඇය රඟපෑ Student of the year 2, Kho Gaye Hum Kahan, Dream Girl 2 ,Gehraiyaan, Pati Patni Aur Woh වැනි චිත්‍රපට බෙහෙවින් ජනප්‍රිය වූ අතර ෆිල්ම් ෆෙයාර් ඇතුළු සම්මාන වලින් පිදුම් ලැබීමටත් ඇය සමත් වුණා. එමෙන්ම අනන්‍යාගේ විලාසිතා, lifestyle එක නව පරම්පරාව අතර බෙහෙවින් ජනප්‍රියයි.
නිළියක වීමේ උමතුව කුඩා කාලයේ සිටම තමන් තුළ තිබූ බවයි අනන්‍යා පාන්ඩේ පවසන්නේ. කුඩා අවධියේදී ඈ ජනප්‍රිය බොලිවුඩ් සිනමාපටවල ගීතවලට නැටූ අතර ඇගේ පියා ඒ නැටුම් වීඩියෝ කර එකතු කළේය. දියණිය බොලිවුඩයේ ජනප්‍රිය තාරකාවක් වනු දැකීම ඔහුගේ සිහිනය වන්නට ඇත.

“ඒ වුණාට ටික ටික ලොකු වෙනකොට මම හරිම ලැජ්ජාශීලී කෙල්ලෙක් වුණා. ඉස්කෝලෙ කොන්සර්ට්වල මම හිටියෙ පිටිපස්සෙ පේළියේ, කැමැත්තෙන්ම. මම මගේ හීනය ගැන ගොඩක් බය වුණා. නිළියක් වෙන්න ආස වුනත් මට ඒ දේ කරන්න බැහැ කියන බය තිබුණා.”
ඕනෑවට වඩා සිතීමට පටන් ගත්විට ඔබ ඔබවම අවුල් කර ගන්නා බවයි ඇය පවසන්නේ. වසර ගණනාවක්ම කවුරුත් ඇයව ගණන් නොගන්නා බව අනන්‍යා සිතා සිටියාය.
“මම ඉස්සරහ පේළියෙ නැටුවොත් මිනිස්සු, ‘අනේ දෙවියනේ, එයාට කවදාවත් බොලිවුඩ් නිළියක් වෙන්න නම් බැහැ මොකද එයාට නටන්න බැහැනේ’, එහෙම නැත්තං මම විභාගෙ අවුල් කරගත්තම ‘ කොහොමද එයා නිළියක් වෙන්නෙ. මේ තරං ලේසි විභාගයක්වත් පාස් කරගන්න බැරුව’ වගේ කතා කියයි කියල හිතුණා. මිනිස්සු මොනව කියාවිද කියන බය මට හැමතිස්සෙම තිබුණා. බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ආශ්‍රය කරද්දි වුණත්. ඔහු මට මගෙ වැරදි පෙන්නුවත් අනිත් මිනිස්සු ඒ දේවල් දකිනවට මම අකමැති වුණා. කවුරු හරි මාව judge කරනවට මම බයයි. එතකොට මට මම ගැන බයක් අවතක්සේරුවක් දැනෙන්න ගන්නව.”

කෙසේ වෙතත් මේ සියලු අභියෝග මධ්‍යයේ වුව ඇය බොලිවුඩයේ ජනප්‍රිය තාරකාවක් බවට පත්වූවාය. එය සමහරුන්ගේ අදහස් ගැන කරදර නොවී ආ ගමනකි.
“බොලිවුඩයේ මම වෙනස් කරන්න කැමති දෙයක් තමයි චිත්‍රපටයක් කියන්නෙ නළු නිළියො විතරක්ම නෙමේ. තිරය පිටිපස්සෙ ලොකු කණ්ඩායමක් ඉන්නව. එයාල ගොඩක් මහන්සි වෙනව. ඒ අය ගැන ගැන මීට වඩා සැළකිලිමත් වෙන්න ඕනෙ. විශේෂයෙන් කාර්ය මණ්ඩලය සඳහා. අපි සවස 6 ට රූගත කිරීම් අවසන් කර උදේ 6 ට පටන් ගත්තොත් ටීම් එක පාන්දර 4 ට ඇවිල්ලා රෑ 10 ට ගෙදරට යන්න ඕනෙ. එයාලට විවේක ගන්න කාලයක් නෑ. මම කියන්නෙ ඒ අයගෙ සෞඛ්‍යය වැදගත්. ගෙවීම් ගැන කතා කරොත්, ඒක නං ඉතිං…. මම ඒක තවදුරටත් පැහැදිලි කරන්නේ නැහැ.”
නිළියක් වූ විට ඇගේ ජීවිතයට සතුට නැවත පැමිණියේය. දැන් ඇයට නැවතත් ළමා කාලයට ගියාක් මෙන් දැනේ. රාත්‍රී හතට ස්නැක් එකක් ගන්නා ඇයට, පාන්දර පහට අවදි වීම, ලෝනාවාලා වෙත රිය පැදවීම, පැය 12 ක් රූගත කිරීම් සමගින් අතිශය කාර්යබහුල දින චරියාවක් ගෙවීමට සිදුවී තිබේ.
“ඉතින්, නිවාඩු දවසක, මම පුළුවන් තරම් පරක්කුවෙලා ඇහැරෙනවා. උදේ 11 හෝ 12 වගේ. ඊට පස්සෙ exercise කරනවා. සමහර වෙලාවට කරන්නෙ නෑ. ඊට පස්සේ පත්තර බලනවා. මම හැමදාම පත්තර බලන්න කැමතියි. ඊළඟර භාවනා කරලා යාච්ඤා කරනවා. මට තනියම ඉන්න පැයක් හරි දෙකක් හරි ඕනෙ. පොතක් කියවනවා, චිත්‍රපටයක් බලන්න වගේම මගෙ බව්වො හතර දෙනත් එක්ක සෙල්ලම් කරන්න.”

Riot, Honey & Thumper, Astro නැමති අනන්‍යාගේ බව්වන් හතරදෙනා ඇගේ ජීවිතය සතුටින් පුරවයි. ඔවුන් නිසා ඈට තනිකමක් දැනෙන්නේ නැත.
“මම කලින් තනියෙන් ඉන්න බය කෙනෙක්. විනාඩි 10ක්වත් තනියෙන් ඉන්න බයයි. මට කවුරුහරි, පාට්නර්, දෙමාපියන්, යාළුවො ඕනෙ වුණා. ඒත් මම තනියම ජීවත් වෙන්න පටන් ගත්තම, මම මගේ අම්මල ඉන්න ගොඩනැගිල්ලේම හිටියත්, මගේ පොඩි ඉඩ ප්‍රමාණය හැම දෙයක්ම වෙනස් කළා. තමන්ගෙම පරිසරයක් හදා ගැනීම සහ මගෙම විදිහට ජීවත් වෙන්න ලැබීම ගොඩක් දේවල් වෙනස් කරා. දැන් මම තනියම ඉන්න කැමතියි.”
තනිව ජීවත් වීමත් සමඟ ඇයට වැඩිපුර කියවීමට, බොහෝ විට එකවර පොත් දෙකක් කියවීමට, වැඩිපුර චිත්‍රපට නැරඹීමට සහ බව්වන් සමඟ සෙල්ලම් කිරීමට ඕනෑ තරම් වෙලාව ලැබී ඇතිවාක් මෙන්ම ඒ හේතුවෙන් ආදර සම්බන්ධතා පිළිබඳ පෙර පැවති අදහස්ද වෙනස් වී ඇත.




