පැලවත්තේ පැළ මගඩිය – Clean Sri Lanka
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ පළාත්, දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය මට්ටමින් සම්බන්ධීකාරකවරුන් පත් කිරීමට ආණ්ඩුව තීරණය කර හමාරය. මෙය රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ කැලඹීමට හේතු වී ඇත. ක්ලීන් ශ්‍රී ලංකා යනු ජනපති අනුර ආරම්භ කළ ව්‍යාපෘතියක් වුවත්, එය රාජ්‍ය සේවයට පැලවත්ත තුළින් කරන අනීතික මෙහෙයුමක් බව පැහැදිලිය. පැලවත්ත ප්‍රධානී ටිල්වින් සිල්වා මැයි දිනදී කළ කතාවේදී කීවේ මේ ලංකාවේ අවසන් ආණ්ඩුව බවත් නැවැත ආණ්ඩු නැති බවය. කතාව සරල නැත. මෙය අන්තිම ආණ්ඩුව කරන්නට නම් නැවැත අලුත් ආණ්ඩු පත් නොවන තැනට වැඩ කරන්න නම් චීනය ගෙනයන මට්ටමේ මෙහෙයුමක් දියත් කළ යුතුය. මුළු රාජ්‍ය බලයම පැලවත්ත බලයට නතු කළ යුතුය. ටිල්වින් ප්‍රමුඛ අනුර බල ඇණිය කරනුයේ ඊට පාර කපා ගැනීමය. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ අස්සන සහිත ලිපිය ඊට කදිම නිදසුනකි. 2026 මාර්තු 20 වැනි දින මෙම ලිපිය නිකුත් කොට ඇත. මෙම ලිපිය නිකුත් කොට ඇත්තේ සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ටය. ලිපිය තුළ මෙසේ ඇත. “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සම්බන්ධ තීරණ සහ නියෝග අනුව රජය මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා නව පරිපාලන හා සම්බන්ධීකරණ ව්‍යුහයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බවය.
“ලස්සන රටක් – ප්‍රීතිමත් ජනතාවක්” යන දැක්ම යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ලංකාවේ පළාත්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටම් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා සම්බන්ධීකාරකවරුන් පත්කර ඇති බව ලිපියෙහි සඳහන්ය. ඒ අනුව සෑම පළාතකටම, දිස්ත්‍රික්කයකටම සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම වෙන්ව සම්බන්ධීකාරකවරුන් පත්කර තිබේ. ඔවුන්ට රජයේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ සම්බන්ධීකරණ කාර්යයන් පැවරී ඇත. මෙලෙස පත්කර ඇති සම්බන්ධීකාරකවරුන්ගේ රාජකාරී කටයුතු සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල තුළ කාර්යාල කාමර සහ පහසුකම් ලබාදෙන ලෙසත්, ඒ සඳහා කළමනාකරණ සේවා නිලධාරියකු හෝ සංවර්ධන නිලධාරියකු අනුයුක්ත කරන ලෙසත් උපදෙස් ලබා දී ඇත. මේ ආණ්ඩුව සෑම අමාත්‍යාංශයකටම පාහේ පැලවත්තෙ කාඩරයකු හෝ කිහිප දෙනකු ඇතුළත් කර ඇත. ඔවුහු එම අමාත්‍යාංශයේ ඇමැතිට, ලේකම්ට වඩා බලසම්පන්නයෝ වෙති. මෙලෙස මෙලෝ මලදානයක් නොදන්නා මේ අය ඒ තැන්වල වැඩ අල කර ඇත. එම ක්‍රමවේදයම පළාත්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් එළා පහළ ස්ථරයේ බලයද ව්‍යාප්ත කරනට සූදානම් ය. මේ වූ කලී ටිල්වින්ලාගේ සදාකාලික ආණ්ඩුව හැදීමේ සැලසුමේ විධිමත් වැඩපිළිවෙළය. මේ සම්බන්ධීකාරකවරුන් වූ කලී එතැන් සිට ඒ ආයතනවල ප්‍රධාන තීරකයන් වීම වැළැක්විය නොහැකිය. පැලවත්ත සැලසුම ක්‍රියාත්මක කරන සැලසුම්කරුවෝ මොවුහු වෙති.
මෙම සම්බන්ධීකාරකවරු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පිරිසක් ලෙස ආණ්ඩුව පෙන්වා දෙති. මේ ආණ්ඩුවේ ඇමැතිවරයාගේ සිට සැවොම වැටුප පවා පැලවත්ත කාර්යාලයට පූජා කොට රට වෙනුවෙන්ම කැපවෙන ස්වේච්ඡා පිරිස් වෙති. මේ සම්බන්ධීකාරකවරුද එසේම කැප කරන්නෝය. ඒ නිසා ඔවුන්ට පූර්ණ සහාය ලබා දීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් බව ලේකම් තැන ලිපියෙහි සඳහන් කර ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ ලැයිස්තුව අනුව දිවයින පුරා දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරු 25 දෙනකු සහ ප්‍රාදේශීය මට්ටමේ සම්බන්ධීකාරකවරුන් 300කට අධික පිරිසක් පත්කර ඇත. මේ ආණ්ඩුව සද්භාවයේ මුහුණ පෙන්නා කරන යටිකූට්ටු වැඩේ ස්වභාවය එළියට එනුයේ නැවැත සම්බන්ධීකාරකවරු කියා පත්කරන චරිත දුටු විටය. කොළඹ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි නජිත් ඉන්දික දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලෙස පත් කර ඇත. එහි ප්‍රාදේශීය මට්ටමින් දහතුන් දෙනකු පත්කර ඇත. ඒ අයද ජවිපෙ කාඩරයෝය. ගම්පහ දිස්ත්‍රික්කයට සඳුන් මුතුමාලය. ඔහුටද දහතුන් දෙනෙක් අයිතිය. කළුතර දිස්ත්‍රික්කය ඩබ්ලිව්. ජී. මහේෂ් වරුණට ලබා දී ඇති අතර ඔහුට 14 දෙනකුගේ සේනාවක් ලබා දී ඇත. මේ ආකාරයට හැම තැනකටම පැලවත්ත දේශපාලන නියමුවෝ පත්කර ඇත. මෙයින් බලාපොරොත්තු වන ක්ලීන් කිරිල්ල වෙන කිසිවක් නොව තම අණසක යටතේ සියල්ල රඳවා ගැනීමය.
රජයේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණ හා පරිපාලන යාන්ත්‍රණය දැනටමත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ පවතී. මේ සම්බන්ධීකාරකවරු ඊට එබ්බ වීම හරහා ආණ්ඩුව කරනුයේ එම සම්බන්ධීකරණය සියතට ගැනීමය. මේ ආණ්ඩුවට රාජ්‍ය සේවය කෙරෙහි ලොකු විශ්වාසයක් නැත. කුමන්ත්‍රණ න්‍යායවල් දියත් කිරීමට නම් තමාගේම වහලුන් ඒ තැන්වලට ආදේශ කළ යුතු බව මේ ආණ්ඩුවේ ඇදහිල්ලය. මේ ඉටුවනුයේ ඉටුකර ගන්නට තටමනුයේ ඒ අභිප්‍රාය වේ. මේ සෘජුවම දේශපාලන අත පෙවීමකි. පැලවත්තේ දේශපාලන කාඩරය හැම අහු මුල්ලකම පැළ කිරීමකි. එය ඉතා අපූරුවට සිදුකර හමාරය. ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය මෙම ක්‍රියාවලියට තදින් විරුද්ධය. ඔවුහු දැනටමත් ජනාධිපති ලේකම්වරයාට පිළිතුරු ලිපි ලියා ඇත. එහෙත් ඒවාට ඇහුම්කන්දේවි යැයි සැක සහිතය. දැන් අශ්වයා පැන ගොස් ඇති බැවින් ඉස්තාලය වැසීමෙන් පළක් වේද යන පැනය ඉතිරිය. එසේනම් මේ අනතුර තේරුම්ගෙන විපක්ෂය මීට වඩා බරපතළ විධියට මේ ප්‍රශ්නය විසඳාලීමට මැදිහත් විය යුතුව ඇත. එහෙත් එවැනි හඬක් මතුවනු නොපෙනේ. මෙවැනි පත් කිරීම් හරහා රාජ්‍ය සේවයේ මධ්‍යස්ථභාවයට හා ස්වාධීනත්වයට බරපතළ බලපෑම් වන බව අමුතුවෙන් කිව යුතු නැත.
අත දාන්න දුන්නහම ඇඟම දාගන්නා යන්න පැරැණි කතාවකි. දැන් මේ ආණ්ඩුව අත්හදා බලනුයේ එහි ප්‍රායෝගික පැත්තය. පළාත් දිස්‍ත්‍රික්වලට රිංගා ගන්නා මේ අය එහි පදිංචිව අපූරුව වැඩ අල්ලනු ඇත. ඉන්පසු දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ බලතල ඔවුන් යටතට ගනු ඇත. ඇත්ත වුවමනාව එයය. ඉන්පසු මේවායේ විගණන පද්ධතියද සියතට ගනු ඇත. මහ භාණ්ඩාගාරයටත් විද්ද අයට ඉතිරි අංශ කජ්ජක්ද?
මෙතෙක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පද්ධතිය ගැන ජනතා විශ්වාසය වුයේ ඒවා ස්වාධීන ආයතන බවය. මෙතැන් සිට ඒවා සෘජු දේශපාලන අතපෙවීමකට යටත්ය. අද ඇත්තේ වෙනසක් කරන්නට දිවුරුම් දී ආ ආණ්ඩුවක්ය. ඔවුහු වෙනස අපූරුවට කරමින් සිටිති. වෙනස සැපද කියා අහන්නට අද කෙනෙක් නැත. අභාග්‍ය එයය. මාලිමා ආණ්ඩුව මුල සිටම පිඹුරු සැකසුවේ ලබාගත් බලය නැවත ලබා නොදෙන වැඩපිළිවෙළ හදන්නටය. ක්ලීන් ශ්‍රී ලංකා යනු එම ගමනේ පළමු පස් පිඬැල්ලය. ජනපතිගේ වැඩක් යැයි කියූ කල ඇන්දෙන බහුතරයක් තවම සිටිති. ඒ නිසා ආණ්ඩුව නොව ජනපති තනිව සිතා කරන වැඩ වූ කලී සදාකාලික සිහින රාජ්‍ය අරබයා දියත් වන දෑය. බලයට කවුරුත් කෑදරය. මාලිමාවට ඇලුණු ජවිපෙ දැන් උපරිම කෑදරය. ඒ අය කරගෙන යනුයේ ජවිපෙ පෙර සැලැස්ම වෙති. ක්ලීන් ශ්‍රී ලංකා හරහා ක්ලීන් කරනුයේ ඒ පාරය. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සාමාජිකයකු වූ චමින්ද ජයසූරිය 2025 ජනවාරි මෙම වැඩසටහන ආරම්භ කළ පසු කී කතාවක් අමතක නැත. එය මේ ගමන ගැන කියූ ප්‍රබල කතාවකි. “නීති වෙනස් කරන්න ඕනේ නම් නීති වෙනස් කරනවා. අලුතින් චක්‍රලේඛ ඕන නම් ගහනවා. මිනිසුන්ගේ හිත් වෙනස් කරන්න ඕනේ නම් අපි ඒ හිත් වෙනස් කරනවා. මිනිසුන්ගේ හැසිරීම වෙනස් කරන්න ඕනේ නම් අපි ඒ හැසිරීමත් වෙනස් කරනවා. කිසිදු බාධාවක් නොමැතිව ඉදිරියට යෑමට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන නාමකරණය කර ඇති බවද ඔහු ගිය වසරේ මුල බී.බී.සී. සිංහල සේවයට පවසා තිබිණි. එහි තවත් අපූරු කෑල්ලක් කියා තිබිණි. “අපි තෘප්තිමත් වෙන ලෙවල් එකට මේ වැඩේ වෙනකම් මේ වැඩේ ගෙනියනවා.” යන්නය. මේ ක්‍රියාත්මක වන්නෙ එයය. මේ ආණ්ඩුව රටට වැඩදායි වැඩ කිරීම කෙසේ වෙතත් ආණ්ඩුව රැක ගැනීමට ඉතා අපූරුවට සැලසුම් සකස් කර ඇති බව පැහැදිලිය. මේ ක්‍රියාත්මක වන්නේ ඒවාය.
ක්ලීන් ශ්‍රී ලංකා මුලට ගොස් බැලූ කළ එය ඉතා ශක්තිමත්ව එළා ඇති බව පැහැදිලිය. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ නිල උත්සවයේදී ඊට සමගාමීව රාජ්‍ය ආයතනවල ක්ලීන් ශ්‍රී ලංකා දිවුරුම ලබාදී නව වසරේ වැඩ කටයුතු ආරම්භ කිරීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය උපදෙස් දී ඇත. “සමාජීය, පාරිසරික සහ සදාචාරාත්මක පුනර්ජීවනයක් තුළින් සමාජය ඉහළ තලයකට ඔසවා තැබීමේ අරමුණින් ක්ලීන් ශ්‍රී ලංකා මුල පිරීම දියත් කරන බව” ජනාධිපති අනුර කුමාර නිවේදනය කළේ 2025 ජනවාරි 01 වැනිදාය. පැලවත්තේ වටුකුරුලු රංචුව සමඟිව ඉහළට ඔසවන්නට යනුයේ මේ ඒ දැලය. මේ යටිකූට්ටු ආරම්භය එයය. මෙයට විරුද්ධව ඒ ඒ ආයතනවලට අදාළ සංගමයන් හඬක් නඟනු දක්නට ඇතත්, එයට කළ හැකි දෙයක් ඇත්දැයි ගැටලුවක් පවතී. මෙයට විපක්ෂ දේශපාලන හඬ වුවමනා වනුයේ මෙය අනතුරක සේයාවක් බව මනාව වටහාගෙනය.




