ආහාර පාලනයේ ට්‍රැෆික් ලයිට් හඳුනාගන්න
නිරෝගීකම ගැන කතා කරද්දී පෝෂණය ඉතාම වැදගත් සාධකයකි. බඩගින්නට කුමන හෝ දෙයක් ආහාරයට ගනු විනා සමබල ආහාර වේලක් ගැනීම අද බොහෝ දෙනකුටම අමතකය. වාණිජකරණය, නාගරීකරණය සහ තරගකාරීත්වය තුළ හිරවී ඇති අපේ ජීවිතවලින් ක්‍රම ක්‍රමයෙන් නිරෝගීකම ඈත් වී යන අයුරු දක්නට ලැබේ. ඒ සඳහා මෑතක සිට ලොකුම බලපෑම වනුයේ වේගයෙන් වෙනස් වන අපේ ආහාර රටාව මෙන්ම ජීවන රටාවය.

අද දරුවන්ගේ කෑම රටාව දිහා බැලුවම පුංචි හිත් රිදවීමට අපේ ඇති නොකැමැත්ත නිසාම වෙළෙඳ ප්‍රචාරක දැන්වීම්වල ඇති විවිධ කෑම දරුවන්ට දීමට තරම් මවුපියො කෙතරම් පෙළැඹී ඇත්ද? එසේම බර වැඩි, තරබාරු දරුවන් කෙතරම් අප අතර සිටීද? දරුවන්ගෙන් සියයට 10 කට ආසන්න ප්‍රමාණයක් බර වැඩි, තරබාරු ගණයට වැටේ. ඒ වගේම වැඩිහිටි පිරිමි පුද්ගලයන්ගෙන් සියයට 25ක් බර වැඩි, තරබාරු ගණයට වැටේ. ඒ තත්වය කාන්තාවන් අතර සියයට 45කි. ඒ වගේම ඔබ දන්නවාද තරුණ වැඩිහිටි පුද්ගලයන් ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂයේද සියයට 34ක්, ඒ කියන්නේ තිදෙනෙකුගෙන් එක් අයකු අධික රුධිර පීඩනයෙන් පෙළෙන බව. නාගරිකව සියයට 25 ක් දියවැඩියාවෙන්, සියයට 30ක් පූර්ව දියවැඩියා තත්වයෙන් පෙළේ. ගර්භනී මවුවරුන්ගෙන් සියයට 10 ක් දියවැඩියාවෙන් පෙළේ. මේ සියල්ලටම හේතුව වනුයේ අහිතකර ආහාර රටාවය.

ආහාර නිසා අපි රෝගීන් වෙන්නේ මෙහෙමයි
කන්දක් වගේ බත් පිඟානක් ආහාරයට ගෙන කය වෙහෙසා වැඩ නොකර එකතැන හිඳ වැඩ කිරීමට ඔබ පුරුදු වී ඇත්නම් ඒ සියල්ල තෙල් ලෙස ශරීරයේ තැන්පත් වීමට පටන් ගැනේ. බර වැඩි, තරබාරු තත්වයට පත් වීම මෙමගින් වැළැක්විය නොහැකිය. මෙසේ සිදු වනවිට ශරීරය අභ්‍යන්තරයේද ඔබට නොදැනී වෙනස්වීම් සිදු වේ. සත්ව ආහාර, මස්, බිත්තර, චීස්, කිරි වැනි ආහාර වැඩිපුර ගැනීම ඔබේ කොලෙස්ට්‍රෝල් මට්ටම ඉහළ දමයි. ඒවා රුධිරවාහිනීවල තැන්පත් වීමෙන් රුධිර වාහිනී ගණ වේ. පටු වේ. එහි ප්‍රතිඵලය අධික රුධිර පීඩනය, හෘදයාබාධ සහ ආඝාතයයි. සීනි අධික ආහාර, බිස්කට්, බේකරි නිෂ්පාදන, පැණි බීම රුධිරයේ සීනි මට්ටම ඉහළ දමයි. නිරන්තරයෙන් මෙකී ආහාර ගැනීම නිසා රුධිරයේ සීනි පාලනය ගිලිහී යයි. එවිට පූර්ව දියවැඩියාවට ගොදුරු වෙයි. මේ සියල්ලම අපට පාලනය කළ හැකිය.

තෙල්, ලුණු, සීනි අඩුවෙන් ආහාරයට ගැනීමට පුරුදු වෙමු
වෙළෙඳපොලේ ඇති පැකට් කළ ආහාරවල, බීම වර්ගවල, ඇති වර්ණ සංඥා බලන්න. බිස්කට් වැනි අර්ධ ඝණ හෝ ඝණ ආහාර පැකට්ටුවල රතු, කහ, කොළ වර්ණවලින් යුතු කොටු 03ක් ඔබ නිරීක්ෂණය කර ඇති. එහි ලුණු, තෙල්, සීනි යනුවෙනුත් නම් කර ඇති යම් අගයන්ද ඇතුළත් කර ඇත. ලුණු ලෙස නම් කර ඇති කොටුවේ පැහැය ‘රතු‘ නම් ඉන් කියැවෙන්නේ එහි ලුණු අධික බවය. සීනි ලෙස නම්කොට ඇති කොටුවේ පැහැය ‘කහ‘ නම් එයින් කියැවෙන්නේ සීනි මධ්‍යස්ථ ප්‍රමාණයෙන් ඇති බවය. එමෙන්ම ‘තෙල්‘ ලෙස නම් කර ඇතිකොටුවේ වර්ණය ‘කොළ‘ නම් ඉන් කියැවෙන්නේ අඩු වශයෙන් තෙල් ඇති බවය. එසේ නම් ආහාර පැකැට්ටුවේ තෙල්, ලුණු කොටු දෙකම ‘රතු‘ වර්ණය සහ සීනි ‘කොළ‘ වර්ණයෙන් දක්වා ඇති නම් ඔබ එය අවබෝධ කර ගන්නේ කෙසේද?

සමහර විට බිස්කට් පැකැට්ටුවේ රතු පැහැති කොටුවක් සහ කහ හෝ කොළ කොටුවක් මුද්‍රණය කර ඇති. එය අවබෝධ කර ගත යුත්තේ මේ අයුරිනි. පැකැට්ටුවේ රතු කොටු එකක් හෝ තිබේ නම් (එනම් ලුණු හෝ තෙල් හෝ සීනි ) එවැනි දෑ ආහාරයට ගැනීම හැකිතාක් අවම කරන්න. හේතුව එවන් ආහාර නිතර ගැනීම ඔබට හෘදයාබාධ, අධික රුධිර පීඩනය, දියවැඩියාව වැනි බෝ නොවන රෝග ඇති වීමේ අවධානම ඉතා වැඩි කරන බැවිනි. එමෙන්ම ‘රතු ‘ කොටුවක් නැති වුවත් ‘කහ‘ කොටු එකක් හෝ ඇති නම් එම ආහාරද මිලදී ගැනීම අඩු කරන්න. ආහාර ඇසුරුමේ කොළ පැහැති වර්ණ කොටු ඇත් නම් ඒවා ආහරයට ගන්න. මන්ද ඒවා නිතර ආහාරයට ගැනීම එතරම් හානිකර නොවේ. මෙයාකාරයෙන් මෙවැනි ආහාර ගැනීම සීමා කළහොත් තෙල්, ලුණු, සීනි භාවිතය අවම කර ගැනීමට හැකි වනු ඇති. එමගින් නිරෝගීකම පවත්වා ගැනීමටද අවකාශය සැලසේ.

බීම බොතලයේ වර්ණ සංඥා
ඔබ පැණි බීම බෝතලයක් මිලදී ගන්නේ නම් එහි ඇති වර්ණ සංඥා ගැන සැලකිලිමත් වන්න. එහිද රතු, තැඹිලි/ කහ, කොළ පැහැති රවුමක් ඔබ දැක ඇති. එහි ‘රතු‘ රවුමෙන් පෙන්වන්නේ බීම මිලිලීටර් 100ක ඇති සීනි ප්‍රමාණයයි. එය ග්‍රෑම් 08කට වැඩි නම් සීනි අධික බව අවබෝධ කරගෙන එම බීම වර්ග පානය කිරීම හැකිතාක් අවම කරගත යුතුය. කහ/ තැඹිලි රවුමෙන් පෙන්වන්නේ බීම මිලි ලීටර් 100ක සීනි ග්‍රෑම් 2.5ක් 7.9ක් අතර මධ්‍යස්ථ මට්ටමින් පවතින බවය. ඒවාද අඩුවෙන් පානය කිරීම ශරීරයට හිතකරය. එමෙන්ම ‘කොළ‘ රවුමෙන් පෙන්වන්නේ බීම මිලි ලීටර් 100ක සීනි ග්‍රෑම් 2.5ට අඩුවෙන් පවතින බවය. ඒවා පානය කළ හැකිය. එහෙත් හැකිතාක් ස්වභාවික පාන වර්ග එනම් තැඹිලි, කුරුම්බා, බෙලි මල්, රණවරා, කැඳ වර්ග පානය කිරීම උචිතය.
මේ ලාංඡන, වර්ණ සංඥා ඔබේ ශරීරයේ නිරෝගී පැවැත්ම සඳහා ඉතාම අවශ්‍යය. එබැවින් ඔබ වෙළෙඳපොළට යනවිට ආහාර මිලදී ගැනීමේදී මෙකී සලකුණු ගැන දැනුවත් වන්න. ඔබගේ දරුවන්ද දැනුවත් කරන්න. එය ඔබගේත් ඔබේ දරුවාගේත් නිරෝගී සුවයට, බෝ නොවන රෝග ඇති වීමේ අවධානම අඩු කිරීමට බෙහෙවින්ම ඉවහල් වනු ඇති.
කතාබහ
ධාරා අබේනායක




