NovelsRath Dothaluරත් දෝතළු - 54

රත් දෝතළු – 54

-

spot_img

රත් දෝතළු – 54

කේෂව මා ගැන කුමක් ඇසුවාද.? මා ඉතේ ඇති වූයේ හදිසි බියකි.

“මං ගැන මොනවද ඇහුවේ…?”

සිතේ වූ තිගැස්ම පිටතට නොපෙන්වා මම ඇසුවෙමි.

“ඔය කොහෙද ඇහුවේ… මං කිව්වා කොළඹ පැත්තේ ජොබ් එකක් කරනවා කියලා…”

මම කිසිත් නොකීවෙමි. ඔහුට මා ගැන වෙන යමක් අසන්නට නොහැකිය.

“පාලිත මාමා බලන්න යන්නත් ඕන… සල්ලි දෙන්න ඕන…”

කතාව වෙනතකට යොමු කරන අටියෙන් මම කීවෙමි.

“හිමින් බැරියැ… මේ හවස් වෙලා ඔහේ යන්න ඕන නැහැ… කෝල් එකක් දුන්නා නම් එයි…”

මම නිහඬව සිටියෙමි. අම්මා කියන්නාක් මෙන් දැන් නම් ඒ රබර් වත්ත මැදින් යෑමටද බියක් සිතට දැනේ.

“කෝ චූටි මල්ලී…?”

අම්මා ඇසුවේ මුළුතැන්ගෙයට ආ නංගීගෙනි.

“ඔය ඉන්නේ ෆෝන් එක ඔබ ඔබා…”

“හ්ම්ම්… හරි ෂෝක්… දැන් ඉතින් වෙන වැඩක් නැතිවෙයි…”

තාත්තා කීවේ නොසතුටෙනි.

“අදට විතරක් ඔන්න ඔහේ…”

අම්මා කීවේ අනුකම්පාවෙන් මෙනි.

“ඕක පුරුද්දට යයි… එන්න කියන්න චුටි මල්ලිට…”

තාත්තා කියන්නේ ඇත්තය. එය පුරුද්දට ගියා නම් පාසැල් වැඩක්වත් නොකර ඔවුන් දුරකථනය බලමින් සිටිනු ඇත. කෑම කා අවසන් වූ සැණින් මම පාලිත මාමාට ඇමතුමක් ගෙන මා පැමිණි බව කීවෙමි. ඔහු පැමිණියේ සවසය. ප්‍රියනන්ද විදෙස්ගත වූ බවක් ඔහු මා හා කීය.

“කොහොමද රස්සාව ළමයෝ…?”

පාලිත මාමා මා පිළිගැන්වූ තේ කෝප්පය අතට ගනිමින් විමසුවේය.

“හොඳයි මාමේ… වරදක් නැහැ…”

“එහෙනම් ඉතින් කමක් නැහැ…”

ජංගම දුරකථනයක් ගත් බව මම ඔහු හා පැවසුවෙමි. සංදීපාගේ අංකය මම ඔහුගෙන් ඉල්ලා ගතිමි. ආගිය තොරතුරු කතාබස් කරමින් හිඳ පාලිත මාමා පිටව යන්නට සූදානම් වන විට මමද ඔහු සමඟම සුධර්මාගේ නිවසට පැමිණියේ පොඩි දෙදෙනාට ගත් පුංචි රස කැවිලි පාර්සලයත් රැගෙනය.

“අනේ කෙල්ලේ… උඹ ගෙදර ආවාද… අම්මා කිව්වා උඹ රස්සාවකට ගියා කියලා…”

ඈ මා නිවසට පිළිගනිමින් කීවාය. මම කුඩා පාර්සලය ඈ අතට දුනිමි.

“ඉතින්… ඉතින්…? අනේ… උඹ මේවත් උස්සන් ආවද…?”

ඈ මා හා කතා බහට පිවිසියේ ඒ මොහොතේම එහි වූ චොකලට්ටුවක් කඩා දරුවන්ට දෙමිනි.

“පාඩුවේ කනවලා… කරදර කරන්න එපා… මට මේ නැන්දා එක්ක කතා කරන්න ඕන…”

දරු දෙදෙනා දිව ගියේ චොකලට් ලද සන්තෝෂයෙනි.

“ඉතින් අරවින්දි… කොහොමද රස්සාව…?”

“හොඳයි සුධර්මා… කෝ පොඩි එකා…?”

ඇගේ බාලම දරුවා නොවූ බැවින් මම විමසුවෙමි.

“අම්මලා ගෙදර අරන් ගියා… මුන් දෙන්නා අද ගෙදරනේ… ඌට නිදාගන්න දෙන්නෙත් නැහැ කෑගහනවා…”

අපි මොහොතක් කතා කරමින් සිටින අතරේ ඈ මා නොඇසූ පුවතක් මා සමඟ කීවාය.

“ඔයා දන්නවද වැඩක්…? අර කේෂව ගැන නම් අම්මා කියන්න ඇතිනේ…”

මම හිස සැළීමි.

“මේ ඊයේ පෙරේදා ඌ නාමලි අක්කට කරදර කරන්න හදලා…”

ඒ ඇසූ මා තිගැස්සී ගියෙමි.

“මොනවා සුධර්මා… මේ කකුල් දෙකම පණ නැතුව ඉන්නකොට…”

පුදුමයෙන් මම ඇසීමි.

“ඔව්… දැන් දවස් දෙක තුනක් ඇති… ඔයාලා අම්මා දැන් එහෙ යන්නේ නැති නිසා නාමලී අක්කා උදව්වට යනවලුනේ… මූ වතුර එකක් ඕන කියපු නිසා කාමරේට වතුර වීදුරුව අරන් ගියාලු… මේස උඩින් වතුර වීදුරුව තියලා ආයේ එන්න යනකොට මූ නාමලී අක්කාගේ අතින් ඇදලා අරන් ඇඳට තල්ලු කළාලු…”

දෙවියනේ..! මා හද බියෙන් ගැසෙන්නට වූයේ එය මට සිදුවූවාක් මෙනි.

“ඉ..තින්…?”

“අබ්බගාතයා වුණාට… කොහොමද මුගේ හයිය… නාමලී අක්කා නිකන් ඉඳලා නැහැ.. මුගේ මුණ හූරලා… ඇඳෙන් බිමට ඇදලා දාලා හොඳට ගහලා…”

“හොඳ වැඩේ… ඉතින් ගෙදර අය…?”

“මහ ගෑණි වත්තේ ඉඳලා තියෙන්නේ… නාමලී අක්කා කෑගහ, ගහ බනින සද්දෙට කට්ටිය දුවන් ඇවිත්… වත්තේ වැඩ කරපු මිනිස්සුත් එකතු වෙලා කේෂවයට ගහන්න හදලා තියෙන්නේ… කොහොම හරි කීප දෙනෙක් එකතුවෙලා බේරලා… දැන් කවුරුවත් ඒ ගෙදරට යන්නේ නැහැ වැඩට…”

මේ අසන්නට ලැබුණු කතාවෙන් මා සිතේ කේෂව කෙරෙහි කෝපය මෙන්ම පිලිකුළත් වැඩි විය. මේ කතාව අම්මා නොදැන සිටිනවා විය නොහැකිය. මා හා නොකීවේ එය කීමට සුදුසු දෙයක් නොවන නිසා වන්නට ඇත. ගමේ හැමදෙනම දැන් ඔවුන් පිළිකුල් කරන බවක් සුධර්මා මා සමඟ කීවාය. එසේ නොවුණා නම් එය පුදුමයකි. මම යළි නිවසට පැමිණෙන විට අම්මා ජිනපාල මුදලාලිගේ නිවසට ගොස් සිටියේ පොළී මුදල් දීමටය. ඈ යළි පැමිණියේ අඳුරු කරගත් මුහුණිනි.

“මොකද අම්මේ…?”

කිසිත් නොකී අම්මා ගේ මැදින් මුළුතැන්ගෙයට යනවිට මමද ඈ පසුපසම ආවෙමි. නිහඬවම බංකුව මතින් හිඳගත් ඈ කෙටි සුසුමක් පා කළාය.

“මොකද වුණේ…?”

මම යළිත් ඇසුවේ ඈ පිළිතුරක් නොදුන් නිසාය.

“අර මිනිහා කියනවා… ඉක්මනට ඉඩමේ උකස බේරගත්තේ නැත්නම්… පොළිය වැඩි කරන්න වෙනවා කියලා…”

“මොනවා… එහෙම කොහොමද කරන්නේ…? අපි ගත්ත ගානටනේ අපි පොළිය දෙන්න ඕන… එහෙම පොළී වැඩි කරන්න බැහැ…”

මම කෑ ගැසීමි.

“ඒ සල්ලි බිස්නස් වැඩකට යෙදෙව්වා නම් මීට වඩා ගාණක් මාසෙට හම්බකරගන්න පුළුවන් කියලා කෙඳිරිගානවා…”

“කෙඳිරි ගාපුදෙන්… අපි ඉක්මනට ඉඩම බේරගමු…”

“මේ සේරම කරන්නේ කේෂව… ඌ තමා මහ මිනිහව අවුස්සන්නේ…”

“එහෙම උන්ට ඕන ඕන දේවල් කරන්න බැහැ අම්මා… නීතියක් කියලා දෙයක් තියනවානේ…”

මේ පිළිබඳව උපදෙසක් පැතිය හැක්කේ අහස් සහ විනීෆ්‍රීඩා මහත්මියගෙන් බව මට සිහි විය. නැවත ගිය විගස මෙයට විසඳුමක් පැතිය යුතුය.

“තව දෙයක්…”

අම්මා රහසින් මෙන් කීවාය. ඈ මේ කියන්නට සැරසෙන්නේ සුධර්මා මා සමඟ කී කතාව යැයි මම අනුමානකළෙමි.
————————————————————————————————————————————————————-
පසුදින නිර්මාණි පැමිණියේ එන බව නොකියාමය.

“කෝල් කළෙත් නැහැ එනවා කියලා…”

මම නෝක්කාඩු කීවේ බොරුවටය. ඈ නොදන්වා හෝ පැමිණීම අගනේය.

“කියලා ආවා නම් සර්ප්‍රයිස් වෙන්නේ නැහැනේ… අනික කිව්වා කියලා මෙයා තොරණ් ගහන්නද…?”

“පාවඩ දාලා පිළිගන්නේ එහෙනම්…”

මම ඇගේ අතින් ඇදගෙන ආවේ ඇට්ටේරියා ගස යට බංකුවටය.

“ඉතින්…?”

කකුලක් නවා බංකුව මත හිඳගනිමින් ඈ විමසුවාය.

“කිතුල්…”

සිනහවක් මුවේ නංවාගනිමින් මම කියන විට නිර්මාණි මුව ඇද කළාය.

“වැඩ කරනකොට හිතනවා නිවාඩු දාලා ගෙදර යන්නේ කවද්ද කියලා… ගෙදර ආවාම පට්ට කම්මැළියි… අම්මාට කියලා මෙහෙට දුවන් ආවා…”

“ඉතින් එච්චර දුර ඉඳන් දුවගෙනම ආවද…?”

“මෝඩයා…”

අපි දෙදෙනම එකතුව උස් හඬින් සිනහසුණෙමු.

“හ්ම්ම්…. ඉස්කෝලේ කාලේ මතක් වුණා…”

සුසුමක් හෙළමින් ඈ කිවේ රබර් වතු යාය දෙස බලානය. මගේ දෑස්ද එවෙත යොමු වූයේ නිතැනිනි.

“ඉස්සර ඉස්කෝලේ ඇරිලා… වෙල දිගේ ඇවිත්… රබර් වත්තට පැනලා… රබර් ඇට අහුළන්න රබර් වත්ත පුරා දුවපු හැටි මතකද…?”

නිර්මාණි අතීතය සිහිකළාය.

“නැතුව… රබර් ඇට උරච්චි කරලා සංදීපාගෙයි අනෝමාගෙයි බෙල්ලේ තියලා උන් දෙන්නා කැගහලා විද්‍යා මිස් අපිව එළියේ දණගැස්සුවා මතකද…?”

“අම්මෝ ඔව්… කොල්ලෝ සේරම හිනාවුණා…”

අපි එම අතීතය සිහි කළේ ශෝකයෙනි. නංගී අප අතරට ආවේ පැණි දොඩම් බීම වීදුරු දෙකක්ද රැගෙනය.

“අනේ… කෙල්ල ජූස් හදලා…”

“මං නෙවේ… අම්මා හැදුවේ අක්කේ…”

“මේකි දැන් ලොකුයි නේද අරවින්දි… අපි ඉස්කෝලේ යන කාලේ ජංගි කොටේ ගහගෙන… හොටු පෙරාගෙන හිටියේ…”

නිර්මාණි එසේ කීවේ විහිළුවටය. නංගීගේ මුහුණ ලැජ්ජාවෙන් රතුව ගියේ බලා සිටියදීමය.

“අනේ… බොරු… එහෙම හිටියේ නැහැ…”

ඈ වහා ගෙතුළට දිව ගියාය.

“මෙහෙ එන්න අනේ… විහිළුවක් කළේ…”

නිර්මාණි කෑ ගැසුවද නංගි නම් නොආවාය. සුළු මොහොතකට පසුව අම්මාද අප අතරට ආවාය.

“දුවට පින් සිද්ධවෙනව… අපේ කෙල්ලට ජොබ් එකක් හොයලා දුන්න එකට…”

නිර්මාණි ඉක්මන් බැල්මක් මවෙත හෙළූ අතර මම යටි තොළ සපාගෙන බිමට නෙත් නැඹුරු කොට ගතිමි.

“ඒක මං හොයලා දුන්න එකක් නෙවේ නැන්දා… මෙයාම ගිහින් හොයාගත්තු එකක්…”

මා සිතේ බියක් ඇති වූයේ ඈ එසේ කියනු ඇතිද කියාය.

-හෙටත් හමුවෙමු-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රමුඛතා බස් සේවාව හෙට (21) සිට

ආබාධ සහිත පුද්ගලයින් සඳහා පහත් මහලේ ප්‍රමුඛතා බස් සේවාවක් හෙට (21) මාකුඹුර බහුමාධ්‍ය මධ්‍යස්ථානයෙන් (MMC) ආරම්භ කරන බව ප්‍රවාහන,...

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...
- Advertisement -spot_img

තේ වෙලාවට චොක්ලට් ස්විස් රෝල්

තේ වෙලාවට - Chocolate Swiss Roll තේ වෙලාවට ගැළපෙනම දෙයක් තමයි ස්විස් රෝල් කියන්නෙ. රසම රස චොක්ලට් ස්විස් රෝල් එකක්...

ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රමුඛතා බස් සේවාව හෙට (21) සිට

ආබාධ සහිත පුද්ගලයින් සඳහා පහත් මහලේ ප්‍රමුඛතා බස් සේවාවක් හෙට (21) මාකුඹුර බහුමාධ්‍ය මධ්‍යස්ථානයෙන් (MMC) ආරම්භ කරන බව ප්‍රවාහන,...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you