NovelsTharu Mal ViyanTharu Mal Viyan තරු මල් වියන් - 37

Tharu Mal Viyan තරු මල් වියන් – 37

-

spot_img

Tharu Mal Viyan තරු මල් වියන්

රංගිකාගේ විවාහයට තෙමසකට පමණ පෙර ඈ රැකියාවෙන් ඉවත් වූවාය. අංජලීත් ගයානිත් තව ටික කාලයක් ආයතනය තුළ රැඳී සිටීමට තීරණය කර තිබූ මුත් අංජලී රැකියාවක් සොයන බව කිසිවෙකුට දන්වා නොතිබුණාය. තුෂරගේ යෝජනාව ප්‍රතික්ෂේප කළදාම ඈ ඉවත් වන්නට තීරණයන් කළේ පෙර වූ හැඟීමෙන් ඔහු සමඟ එකට හිඳ සේවය කරන්නට නොහැකි බව දැන සිටි නිසාය. එය සිතට අමතර බරකි. ශාමින්දගේ අදහස වූයේ ගයානිගේ විවාහයෙන් අනතුරුව විවාහ වන්නටය. ඒ බව ඔහු ඈ සමඟ කතා බහ කරන කීප වරක්ම පවසා තිබුණාය. අංජලී ඒ පිළිබඳව සිහින මවන්නට නොගියාය. ඈ එය භාරගත්තේ සැහැල්ලුවෙනි. සියල්ලට කාලය වුවමනාය. තම සිතේද ඔහු කෙරෙහි ආදරයක් ඇති බව ඈ දැන සිටි මුත් ඈ පසු වූයේ කිව නොහැකි බියකිනි. රංගිකාගේ විවාහයට සතියකට පමණ පෙරම ගයානිත් අංජලීත් ඇගේ නිවසට පැමිණියේ දෙවෙනි මනමාලියන්ද සූදානම් විය යුතු නිසාය.

“මට නම් බයකුත් දැනෙනවා…”

රංගිකා කිවේ ඔවුන් තිදෙන රූපලාවණ්‍ය ශිල්පිණිය හමුවීමට ගොස් පැමිණෙන අතරය.

“ඒක ඉතින් ඕනම කෙනෙක්ට දැනෙන දෙයක්…”

ගයානි කීවේ ඒ පිළිබඳව අත්දැකීම් ඇතිවාක් මෙනි.

“මෙයා කලින් බැඳලා වගේනේ කියන්නේ…”

අංජලී කියන විට ගයා මවගත් නොමනාපයකින් ඇයට වැළමිටෙන් ඇන්නාය.

“බඳින්නම ඕනද ඕකට…”

මුව ඇද කරමින් ඈ ඇසුවාය.

“මියුර කියලා දෙනවා ඇති…”

රංගිකාද ඇයට වද කළාය.

“අනේ යනවා…”

ඈ කෑ ගැසුවාය.

“මෙයා මියුරට කියලා දෙනවා ඇති…”

අංජලී යළිත් කියන විට රංගිකා සිනහසුණේ රථය දෝංකාර නංවමිනි. කෙසේ වුවද හේෂාන් සහ ඉන්ද්‍රාණිටත් මේනක සහ ගිම්හානිටත් විවාහයට ඇරයුම් පත් දී ආරාධනා කළද රංගිකා සිතා මතාම මාලකත් සංචලාත් මඟහැරියාය. ඈ ඒ බව ඉන්ද්‍රාණි සමඟද කතා කළාය.

“නැන්දා මං ගැන මොකුත් හිතන්න එපා…සංචලාවත් මාලකවත් මගේ යාළුවෙක් නෙවේනේ…ආදි හෝම් කමින් එකට නම් ඉන්වයිට් කරනවා කිව්වා…ඒත් මං හිතන්නේ නැහැ සංචලා එයි කියලා…එයා අංජලීට කරන වෙනස්කම් බල බලාත් මට බැහැ එයාට මගේ වෙඩින් එකට ඉන්වයිට් කරන්න…”

ඉන්ද්‍රාණි ඒ ගැන අහිතක් නොහිතන බව කීවාය.

“අපි එනවා වෙඩින් එකට…”

ඉන්ද්‍රාණි සිනහසෙමින් කීවාය. එය ඉතා සුන්දර විවාහ උත්සවයකි. රංගිකා මෙන්ම දෙවන මනමාලියන් දෙදෙනද සුන්දරව සිටියහ. දෙවන මනමාලයන් දෙදෙනාගෙන් එක් තරුණයෙකු ආදිත්‍යගේ මිතුරෙකි. අනෙක් අය ඔහුගේ සොයුරාය. මිතුරා අංජලීට බැල්ම හෙළන බව දුටුවේ ගයානිය.

“කොල්ල නම් හැන්ඩියා…”

ඈ අංජලීට රහසින් කීවේ ඔහු පෙන්වමිනි. ඈ නොමනාපයෙන් ගයානිව කෙනිත්තුවාය.

“පාඩුවේ ඉන්නවද…විකාර නොකියා…”

“හැමදාම ඔහොම ඉන්න බැහැනේ…”

“ආහ්…ඒක මං බලා ගන්නම් නංගී…ඔයා ඉන්න පාඩුවේ…”

ගයානි සිනහසුණේ ඈ කෝප වූ බව දැනය. විවාහ උත්සවයේ දෙවෙනි ගමනේ උත්සවයෙන් පසුව අංජලී මාමාගේ නිවසට පැමිණියේ ඔවුන් සමඟය. පසුදින සවස ගයානිද එහි ඒමට පොරොන්දු වී සිටියාය.මේ දින කීපයේම සුව නින්දක් නොලැබූ නිසා ඈ පසුදිනත් දහවල් වන තුරුම නිදා ගත්තාය. ගයානි පැමිණියේ දහයට පමණය. ඒ මොහොතේ අංජලී සිටියේ උදෑසන තේ කෝප්පය රස බලමිනි. සංචලා ඇයට මුහුණ දෙන්නට නොආවාය. ඇයත් ගයානිත් එකතුව ගිම්හානිට රෝහලට ගෙන යෑමට ඇඳුම් සූදානම් කරමින් සිටින විට ඉන්ද්‍රාණිත් එහි පැමිණියාය.

“අපේ පවුලට එන පළවෙනි මුණුබුරා…”

ඉන්ද්‍රාණි කීවේ ආඩම්බර මුසු හැඟීමකිනි. ලැබෙන්නට සිටින්නේ පුතෙකි. ගිම්හානිද කැමැත්තෙන් සිටියේ පුතෙකු මුත් මේනක නම් දියණියකට ආසාවෙන් සිටි බව අංජලී දැන සිටියාය.

“අම්මාට ඕන තාත්තා වගේ පුතෙක්… තාත්තට ඕන අම්මා වගේ දුවෙක්…”

අංජලී කීවේ සිනහසෙමිනි.

“දැන් පුතා…ඊට පස්සේ දුව…”

ගයානි වහා කීවාය. ගිම්හානි තිගැස්සුණු බැල්මෙන් ගයානි දෙස බැලුවාය.

“ආයෙමත්…?”

ගිම්හානි ඇසුවේ මවිතයෙන් මෙනි.

“ඇයි බය වුණාද…?”

ගයානි අසන විට ඈ ලැජ්ජාවෙන් සිනහසුණාය.

“හදනකොට එක ළඟ ළමයි හදන එක තම හොඳ…එකටම ලොකු වෙන නිසා කරදරයක් නැහැ…”

ඉන්ද්‍රාණිද එයට එක් කළාය.

“ඔන්න ඉතින්…අම්මාත් මෙයාලටම හරි යනවා…”

ඈ මවා ගත් නොමනාපයකින් කීවාය.

“හරි…හරි…මම නිකමට කිව්වේ…”

ඉන්ද්‍රාණි වහා කීවාය. සුළු මොහොතක් ගිම්හානි සමඟ කාලය ගෙවා අංජලීත් ගයානිත් මිදුලට පැමිණියේ ගිම්හානිට විවේක ගැනීමට ඉඩ හරිමිනි. අද හෙට දිනක සිරිවර්ධන යුවළද පැමිණෙනු ඇත. ඔවුන් සංචලාට නම් කැමැත්තක් නොදක්වන බව සංචලා පවා දැන සිටි කාරණයකි. වෙල් යාය සිප ආ සුළඟ තුළ වූයේ මෘදු සිසිලසකි.

“රංගිත් මැරි කළා එහෙනම්…”

ගයානි කීවේ හුස්මක් අදිමිනි.

“පාළුයි වගේ නේද…?”

අංජලී මිතුරිය දෙස බලා කීවාය.

“වගේ නෙවේ අනේ…පට්ට පාළුයි…”

“ඊලඟට ඔයා…”

අංජලී කීවාය.

“මට කළින් ඔයා වෙයිද දන්නේ නැහැනේ…”

“ආහ්…එහෙම වෙන්නේ නැහැ…ඔයා තමා…”

“හරි…හරි…අපි බලමුකෝ…”

ගයානි කීවේ ඉඟියෙන් ඔවුන් දෙසට එන සංචලා පෙන්වමිනි. අංජලී මිතුරිය දෑසින් පෙන්වූ දෙසට බැල්මක් හෙළුවාය. ලතාවකට පා තමබින් සංචලා පැමිණියේ පාව යන්නාක් මෙනි. අංජලී වහා ඉවත බලා ගත්තාය.

“මොකට එනවද මංදා…”

ඈ කියා ගත්තේ තමාටමය.

“ඔයා ඇවිත් ගොඩක් වෙලාද…?”

සංචලා ඇසුවේ ඔවුන් ඉදිරියේ සිට ගනිමිනි.

“දැන් ටිකක් වෙලා…”

ගයානි පිළිතුරු දුන්නේ ඕනවට එපාවටය. අංජලී මෙන්ම ඇයත් සංචලා ප්‍රිය නොකළාය.

“කොහොමද වෙඩින් එක…?”

ඈ යළිත් ඇසුවාය.

“ෂෝක් අනේ…හොඳට තිබුණා…රංගිත් හරි ලස්සනට හිටියා…නේ අංජලී…?”

අංජලී කිසිත් නොකියා නිහඬව සිටියද සංචලාගේ මුව ඇද වී ගියේය.

“මාලක කතා කරන්නෙ නැත්ද දැන් ඔයාලට…?”

ඈ තව කතාවකට මුල පිරුවේ නම් හොඳකට නොවන බව දෙදෙනාටම වැටහිණි. අංජලීට වුවමනා වූයේ නම් සංචලා සිය කතා බහ මෙතනින්ම නවතා ඉවත ගියා නම් හොඳයි කියා මුත් ඈ දිගටම කතා කරන බලාපොරොත්තුවෙන් එහිම සිටියාය.

“එයා අපි එක්ක එහෙම කතා කරන්න තරම් ලොකු හිතවත් කමක් නැහැනේ…”

ගයානි කීවේ නොසතුටෙනි.

“මං හිතුවා තාම කතා කරනවා ඇති කියලා…”

“එයා එක්ක මොනවා කතා කරන්නද…?”

ගයානි නොමනාපයෙන් කීවාය.

“හ්ම්ම්…මං අහන්නමයි හිටියේ…අංජලීගෙයි මාලකගෙයි අෆෙයාර් එක ගොඩක් කල් ඉඳන් තිබුණාද…?”

එවර අංජලී සංචලා දෙස බැලුවේ කෝපය මුසු වූ දෑසිනි.

“ඔයා මොනවටද දැන් එන්න හදන්නේ සංචලා…ඔයාට ලැජ්ජාවක් කියන නාමයක් වත් ගෑවිලා නැත්ද…?”

ඈ ඇසුවේ කෝපයෙනි.

“ආහ්…මං ඉතින් දැන ගන්නනේ ඇහුවේ… ඔයා ඇයි කේන්තියෙන්…?”

මවිතයක් පෙන්වා සංචලා ඇසුවාය.

“ඔයා ඔය ටික මාලකගෙන් අහන්න තිබුණානේ…ඇයි අංජලීගෙන්ම අහන්නේ…ඔයා හිතන් ඉන්නේ අංජලී බලෙන් ගිහින් මාලකගේ කරේ එළ්ලුණා කියලද…?”

“කවුද ඉතින් දන්නේ…මං මේවා දන්නෙත් මැරි කරන්න ඔන්න මෙන්න කියලා තියනකොටනේ…”

මුහුණ පුළුටු කරගත් සංචලා කීවේ මාලක ඈ රවටා විවාහ කරගත්තාක් මෙනි.

“ඉතින් ඔයාට තිබුණානේ එහෙනම් මාලකව මැරි කරන් නැතුව ඉන්න…”

උපහාසයෙන් ගයානි කීවාය.

“එතකොට ඉතින් සේරම…රෙඩි කරලානේ තිබුණේ…”

“දැන් ඔයා මේ ප්‍රශ්න අහන්නේ මාලකගෙන් ඩිවෝස් වෙන්න හිතාගෙනද…?”

එවර ගයානි ඇසු දෙයින් සංචලා තිගැස්මෙන් ඈ දෙස බලුවාය.

“තව පොඩ්ඩෙන් වෙන්නේ ඒක තමා…ඒකත් මෙයා නිසා…”

අංජලී දෙසට ඇඟිල්ල දිගු කරමින් සංචලා කෑ ගැසුවාය

“මොකක්ද මං නිසා කියන්නේ….මං මාලකව කරේ දාන් හිටියද…ඔයා මොනවද කියන්න හදන්නේ…ඔයාට ලැජ්ජාවක් නැහැ නේද…? ආයේ මෙතන ප්‍රශ්න ඇති කරගන්නද ඔයාට ඕන…මාලක මගේ මාමාගේ පුතා…මට එයා එක්ක වෙන සම්බන්ධයක් ඕන නැහැ…ඔයා මෙතන රඟපාන්න එන්න හදන්න එපා… එහෙම වුණොත් ඔයාට වෙන්නේ ආතක් පාතක් නැතුව ආයේ ආපු දිහාවටම යන්නයි… තේරුණාද…?”

හිඳ සිටි තැනින් නැඟිට ගත් අංජලී කෑ ගැසුවාය. ඉන්ද්‍රාණි මිදුලට බැස්සේ එවිටය.

“මාව එළවන්න හිතුවා මදි…ඔයාට වඩා අයිතියක් මට මේ පවුල එක්ක තියනවා…ඔයාට තමා ආපු තැනටම යන්න වෙන්නේ…”

“මොකක්ද මට වඩා ඔයාට තියෙන බැඳීම ඔයා මාලකගේ වයිෆ් නිසාද?…හේෂාන් මගේ මාමා…තේරුණාද…?”

සංචලාගේ මුවේ ඇඳුණේ කුරිරු සිනහවකි. ඉන්ද්‍රාණි පසෙක සිටින බව නොදත් ඈ දිගටම කතා කරගෙන ගියේ බොහෝ කාලයක් සිතේ ඇතිව තිබූ වෛරී හැඟීමත් සමඟය. එය පිට කරන්නට මීට වඩා සුදුසු අවස්ථාවක් නැත.

“එයා ඔයාගේ මාමා නෙවේ…ඔයාට මේ පවුලේ අය එක්ක කිසිම සම්බන්ධයක් නැහැ…ඔයා පිට එක්කෙනෙක්…ඔයාගේ තාත්තාත් ඔයාට ආදරේ නැත්තේ…ඔයාලව දාලා වෙන කසාදයක් කර ගත්තේ ඒ නිසයි…”

“සංචලා…”

ඉන්ද්‍රාණි කෑ ගැසුවේත් ගයානි අසුනින් නැඟිට සංචලාට අතුල් පහරක් ගැසුවේත් එක්වරමය. සංචලා අන්දුන් කුන්දුන් වී ගිය අතර අංජලී මේ ඇසුණු දෙයින් කම්පනයට පත්ව මොහොතක් බලා සිටියාය. ඇයට දැනුණේ මහා උසකින් බිමට ඇද වැටුණාක් මෙන්ම මුළු ලෝකයම තමා වටා කැරකෙන්නාක් මෙනි. ඈ ගයානිට වාරු වූයේ ඈ දෙපා අප්‍රාණිකව යන බවක් දැන්ණු නිසාය.

“පිට කෙනෙක්…?”

-හෙටත් හමුවෙමු-

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you