More
    NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 67

    Pini Muthu Palasa පිනි මුතු පලස – 67

    -

    spot_img

    Pini Muthu Palasa පිනි මුතු පලස

    උදෑසන පටන් පරිසරය මඳ අඳුරකින් පිරී තිබුණේ වැස්සක පෙරනිමිති කියා පාමිනි. මම අහස දෙස බලා සිටියේ හිස් දෑසිනි. විවර වූ ගේට්ටුවෙන් ඇතුළට පිවිසෙන රුව දුටු මම ඈ පිළිගැනුමට ඉදිරියට දිව ආවෙමි. තරුෂි දකින විට මා සිතේ සතුටක් ඉපදිණි.

    “මම අද ආවේ ඔයාව අපේ දිහා එක්ක යන්න…”

    මගේ අතින් අල්ලාගෙන ඈ කියන විට මම පුදුමයෙන් විසල් කොට ගත් දෑසින් ඈ දෙස බැලීමි.

    “ඇත්තටම…?”

    “ඔව්…ඔව්….නැතුව ඉතින්…”

    “ඒත්…ඒ මොකෝ හදිසියේම…?”

    “වෙඩින් එක ළඟ නිසා වැඩ ගොඩක් තියනවා කරගන්න…ඔයාටත් ගෙදර ඉඳලා එපා වෙලා ඇති කියලා හිතුණා…”

    එය එසේ බව මමද පිළිගතිමි.

    “ඔව්…ඉතින් ඔයා අවුරුද්දක් තිස්සේ ඉඳන් බඳිනවානේ…”

    මම කියන විට තරුෂි සිනහසුණාය.

    “ඒ බොරු කියන් ඔයාව බලන්න ආවේ රජිව් අයියා නිසානේ…”

    “හ්ම්ම්…මං දන්නවා…”

    සුසුමක් මුදා හරිමින් මම කීවෙමි.

    “අම්මා එවයි නේද ඔයාව…?”

    “ඔයා අහන්නකෝ…එපා කිව්වත් මං එනවා…”

    අම්මා විරුද්ධ නොවනු ඇති මුත් අයියා සිටියා නම් ඊට විරුද්ධ වනු ඇතිවාට සැක නැත. අපි කතා බහ කරමින් සිටින විට අම්මාද අප අතරට පැමිණියාය. තරුෂි ඈ පැමිණි කාරණය අම්මාට කියන විට ඈ එක්පයින්ම එයට එකඟ වූයේ මාද අලස ලෙස නිවසට වී සිටිනවාට වඩා එය හොඳ බව කියමිනි. මාත් තරුෂිත් ටවුමට පැමිණ ඇයට වුවමනා බඩු කීපයක්ද මිලදී ගෙන ත්‍රී රෝද රියක නැඟී ඇගේ නිවසට පැමිණියෙමු. රථය රජිව්ගේ නිවස අසළම නවතන්නට සිදු වූයේ එහි ගේට්ටුවෙන් පිටතට දැමූ පොල් ලොරියක් නිසාවෙනි. රජිව් ගේට්ටුව අසල සිටිනු දැක තරුෂි ඔහු අමතමින් අත වැනුවාය. මා සිත වේගයෙන් ගැහෙයි. ලොරිය පිටව යන විට රජිව් ත්‍රී රෝද රිය අසලට පැමිණ් ඊට එබිකම් කළේය. මා දුටු ඔහුගේ දෑස් වල සනිටුහන් වූ විමතිය මම පැහැදිලිවම දුටිමි.

    “මංදාකිණි…ඔයා කවද්ද ආවේ…?”

    ඔහු පුදුමයෙන් ඇසීය.

    “දැන් ටිකක් කල් ගෙදර ඇවිත්…”

    “මම දන්නෙවත් නැහැනේ…”

    එය තරුෂිගේ වරදක් බව පවසන බැල්මක් ඈ වෙත හෙළමින් ඔහු කීය.

    “ඇයි දැන ගත්‍තා නම් ගෙදර යන්නද…? මම නොකියා හිටියේ මෙයා ගෙවල් පැත්තේ කැරකෙන්න හදයි කියලාම තමා…”

    ඔහු රැවුමක් ඈ වෙත පා කළේය.

    “රවන්න ඕන නැහැ…මෙයා ටික දවසක් අපේ ගෙදර ඉන්නවා…”

    එවිට ඒ මුහුණට එළියක් වැටිණි. එය ඔහුට නොකියා කළ ආරාධනයක් කියා මට නිකමට සිතිණි.

    “හරි…මං එහෙනම් හවස් වෙලා එන්නම් ඒ පැත්තේ…”

    ඔහු වහා කීවේය. අපි ඔහුට සමු දී පැමිණියෙමු.

    “ඇයි මම මෙහෙ ටික දවසක් ඉන්නවා කියලා රජිව් අයියට කිව්වේ…?”

    රථයෙන් බැස ගත් ඇසිල්ලේ මම තරුෂිගෙන් ඇසුවේ රථය තුළදී අසන්නට නොහැකිව සිරකරගෙන සිටි පැනයයි.

    “ඇයි…ඔයා ටික දවසක් ඉන්නනේ ආවේ… නැත්ද…?”

    “ඉන්නවා තමයි…”

    “ඉතින් එහෙනම් එහෙම කිව්ව එක හොඳ නැත්ද…?”

    “මොන හොඳක්ද ඕකෙන් වෙන්නේ…?”

    නොමනාපයෙන් මම ඇසීමි.

    “ඇයි…කැමති නැත්ද එයා එක්ක කතා කරන්න…? රජිව් අයියාත් දවසින් දවස මඟුල් කල් දදා ඉන්න එකේ නරකද ට්‍රයි කළා නම්…මෙන්න මෙහේ එනවා මැට්ටී…පේන බලන්නේ නැතුව…”

    මා කිසිත් කීමටත් පෙර තරුෂි මගේ අතින් ඇදගෙන මෙන් මිදුල දිගේ ගෙතුළට ආවාය. අම්මා මා පිළිගත්තේ සෙනෙහසිනි.

    “දුව ආවාද…ඉතින් කොහොමද දරුවෝ…ඔයාටත් හරිම කරදර ගොඩක් නේද සිද්ධ වුණේ…”

    තරුෂිගේ අම්මා කීවේ සැබෑ ශෝකයකින් බව සැබෑවක් මුත් එයින් මා සිත අලුතින් පෑරිණි.

    “අනේ අම්මේ…ඕවා කතා කරන්න නෙවේ මම මංදිව මෙහෙ එක්ක ආවේ…”

    තරුෂි නොසතුටෙන් කීවාය.

    “හරි ළමයෝ…මං තේ ටිකක් හදන්නම්…”

    ඈ වහා ගෙතුළට යන විට තරුෂි මා කැඳවාගෙන කාමරයට පැමිණියාය. අපි තේ බොමින් සිටින විටම රජිව් එහි පැමිණියේය. මෙතරම් ඉක්මනින් ඔහු ඒවි යැයි සිතා නොතිබූ නිසා මා සිතේ ඇති වූයේ තරමක කැලඹීමකි. මිදුලේ කොහොඹ ගස යට සෙවණට වී හිඳ ගෙන අපි කතා බස් කළෙමු.

    “පූජිතව මැරුවේ රාජකරුණාගේ මිනිස්සු කියලා ඔප්පු වෙලා…”

    රජිව් පැවසූ ඒ පුවතින් මම තිගැස්සුණෙමි.

    “කොහොමද දන්නේ…?”

    “වෙන කේස් එක්කට මුංව අල්ලන් තියෙන්නේ…එතකොට තමා හොයාගෙන තියෙන්නේ…ඒක කෙරෙව්වේ රාජකරුණා කියලා…”

    මට හීල්ලිණි. දැන් ඉතින් එය දැනගත්තා කියා සිදුවන යහපත කුමක්ද…?

    “හීල්ලුවා කියලා මොනව කරන්නද මංදාකිණි…ඒ මිනිහටත් ලැබෙන්න ඕන දඬුවම ලැබුණානේ…”

    එසේ සිතා මටද සිත සනසා ගන්නට තිබුණා නම් හොඳය.නමුත් මා එසේ සිත හදා ගන්නේ කෙසේද? වයස සපිරෙන්නටත් පෙර විවාහයක් කොට දී අඩු වයසේදී විඳින්නට නුවුවමනා තරම් දුක් ගැහැටත් විඳ අද මා වැන්ඳඹුවක වී ඇත. ඉතින් මා හූල්ලනවා හැරෙන්නට වෙන කුමක් කරන්නද…?

    “කාට දඬුවම් ලැබුණත් මොකද රජිව් අයියේ…ජීවිතේ සිද්ධ වෙන්න ඕන දේවල් සේරම සිද්ධ වුණාට පස්සේ…අනික ඉතින් ලොකුම දඬුවම ලැබුණේ මටයි…”

    “ඒක ඇත්තම කියමුකෝ…ඒත් තවම ජීවිතේ තියනවනේ…”

    “ජීවිතේ…! මේ ජීවිතේ මටවත් අයිතියක් නැහැ රජිව් අයියේ…මට කියලා තීරණයක් ගන්න බැහැ…මට ඕන විදියකට ජීවත් වෙන්න බැහැ…එහෙම ජීවිතයක් මට මොකටද…අනුන්ට ඕන විදියට ජීවත් වෙන එක ජීවිතයක්ද…? අයියා බයේ මං ගෙදර නවතියි කියලා…පූජිතලා ගෙදර ගිහින් මට ඉන්න බැහැ…අම්මා මාව එක්ක එන දවසේ පූජිතගේ අම්මා කියනවා පුතා නැතුව මේ ළමයා ගෙදර ඉඳන් මොනවා කරන්නද කියලා…හරියට පල නොකියා පලා බෙදනවා වගේ…”

    ආත්මානුකම්පාවෙන් මසිත බර විය.

    “මිනිස්සු හැමෝම එහෙම තමා මංදාකිණි…ආත්මාර්ථකාමීයි…තව කෙනෙකුගේ අසරණ කමින් ප්‍රයෝජන ගන්න බලන් ඉන්නේ…”

    ඔහු කීවේ ඔහුගේද අත්දැකීම් එසේ වූ නිසා වන්නට ඇත. මම දිගු හුස්මක් ඇද්දෙමි. සුළු මොහොතකට අප අතර වූයේ නිහැඬියාවකි.

    “මිස්ට දැන් හොඳයි නේද…?”

    නිහඬ බව බිඳිමින් මම ඇසීමි.

    “දැන් හොඳටම හොඳයි…ඔයාව මතක් කරනවා නිතරම…”

    “මටත් මිස්ව මතක් වෙනවා…”

    “මිස්ව විතරද…?”

    ඔහු අසන විට මා සිත කැලඹිණි. මට ඔහුව සිහි නොවේ යැයි කෙසේ කියන්නද…? ඔහු තවමත් මා පිළිබඳව සිතන බව නොරහසකි. පිළිතුරක් නොදුන් මම කළේ බිමට හිස නැඹුරු කොට ගැනීමය.

    “මම අහපු දේ නොතේරුණා වගේ ඉන්නවා නේද…?”

    ඔහු අසන විට මම හිස ඔසවා බැලීමි.

    “සමහර දේවල් නොතේරෙනවා වගේ, නොදැනෙනවා වගේ ඉන්න දැන් හුරු වෙලා…”

    පහත් හඬින් මම කියන විට ඔහු නිහඬ සුසුමක් හෙළුවේය.

    ගෙවුණ දින කීපය පුරා රජිව් තරුෂිගේ නිවසට පැමිණියේය. තිබෙන නොයෙකුත් වැඩ කටයුතු වලට ඔහු අපට සහාය විය. අපට එක්ව ගමන් බිමන් යාමටද සිදු වූ අවස්ථා බොහෝ විය. අපද නොදැනුවත්වම අප අතර අලුත් සබඳතායක් ගොඩ නැඟී තිබිණි. එය අලුත් යැයි කිව නොහැකිය. පැරණි සබඳතාවය අලුත් වූවා කීම වඩා නිවැරදිය. මාත් තරුෂිත් එක් සැඳෑ වරුවක චිත්‍රා මිස් බැලීමට එහි ගියෙමු. ඈ මා දැක මා පිළිගත්තේ ඉතාමත් සතුටිනි.

    “පුතා කිව්වා ඔයා මෙහෙ ඉන්නේ කියලා…කොහොමද දරුවෝ…?”

    මම හොඳින් බව ඇයට කීවෙමි. නමුත් මා සිටියේ හොඳින්ද…? ඒ මොහොතේ නම් මා සිටියේ තරමක සතුටිනි. ප්‍රේමා නැන්දා කීවේ මගේ නරක කාලය දැන් ගෙවී ඇති නිසා ජීවිතය ලස්සන වෙනු ඇතැයි කියාය. මම සිනහවක් පෑවා මිස කිසිත් නොකීවෙමි. ඈ මා පිළිබඳව සිත් තැවුළෙන් පසු වූ බව මම දනිමි. අම්මාට වඩා ආදරයක් සෙනෙහසක් ඈ මා මෙහි සිටි කාලයේ මා හට පෑවාය.

    “ඉඳලා හිටලා මේ පැත්තේ එන්න ළමයෝ…”

    අපි යළි පිටව ඒමට සූදානම් වන විට චිත්‍රා මිස් කීවාය. නමුත් එසේ පැමිණිය නොහැකි බවක් මම නොකියා එයට එකඟව හිස පමණක් සෙළවීමි.
    තරුෂිගේ මංගල උත්සවයට මම සහභාගී නොවීමි. සුදු වතින් සැරසී මට ඇගේ විවාහ උත්සවයට සහභාගී විය නොහැකිය. ඈ කෙතරම් ඇවිටිළි කළද මට එයට සිත හදා ගත නොහැකි විය.

    “අනේ…ඔයා මගේ හොඳම යාළුවා වෙලත්…”

    “හොඳම යාළුවා නිසා තමා මට එන්න බැරි…”

    ඒ මොහොතේ මම කීවෙමි.

    යළි නිවසට පැමිණි පසු මම එහි සිරකාරියක වීමි. අයියා මට නිවසින් පිටතට බැසීම තහනම් කළේය. එයට හේතුව වූයේ තරුෂිගේ නිවසේ සිට මා නිවසට ගෙනැවිත් හැරළුවේ රජිව් වීමය. තරුෂි මා සමඟ නොපැමිණියේ පසු දින ඇගේ විවාහ මංගල්‍යය නිසාය. රථයෙන් බසිමින් මම රජිව්ට අත වනා නිවසට එන විට අයියා ඉස්තෝප්පුවේ සිට බලා සිටියේ රකුසු කරගත් මුහුණිනි. තනිකමෙන් පාළුවෙන් මම දවස් ගෙවූයේ කළකිරීමෙනි. මා කරන්නේ වරදක් දැයි නොදන්නා මුත් මම රජිව්ට ආදරය කරමින් සිටියෙමි. තාවකාලිකව සිත යට සැඟව තිබූ ආදරය යළි ඉස්මතු වූවා වන්නට ඇත. මම ඔහුට ආදරය කිරීම නවතා තිබු බවක් මම නොකියමි. මන්ද මම පූජිතට කෙදිනකවත් ආදරය නොකළ නිසාය. එසේ මුත් මම පසුව ඔහුට අනුකම්පා කරන්නට වූයෙමි. කෙසේ වුවද එදා පටන් මාත් රජිව් අතර වූයේ අහසට පොළොව තරම් විසල් වූ පරතරයකි. දැන් එය තවත් පුළුල් වූවා මිස අපි කෙදිනකවත් එක් නොවන බව මම හොඳාකාරවම දනිමි. නොලැබෙන බව, එක්වනු නොහැකි බව දැන දැනම සිත මෙතරම් ඔහු වෙනුවෙන් හඬන්නේ මන්දැයි කියා මට සිතා ගන්නට අපහසුය. මහමෙරක් තරම් දුක්ඛ දෝමනස්ස පුංචිම වූ හදවතක් කෙලෙස දරා ගන්නද..? එයටත් දරා ගැනීමට සීමාවක් ඇත. සෑම මොහොතකම සතුට අප ළඟ නොරැඳෙන බව සත්‍යයකි. ජීවිතය යනු මේ සියල්ලේ සංකලනයකි. එසේමුත් සියල්ල දරා ගැනීමට නොහැකි අවස්ථාද එළඹෙන්නේය. මිනිසුන් බොහෝ විට සිය දිවි නසාගන්නවා ඇත්තේ මෙවන් අවස්ථාවලය. කාලය මේ මොහොතේ නපුරු යැයි සිතුවත් එය නොදැනුවත්වම හෝ අප වෙනුවෙන් කරනුයේ යහපත් දෙයක් වීමටත් ඉඩ ඇත. එය කාට නම් කිව හැකිද…?

    -හෙටත් හමුවෙමු-

    Latest news

    78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 49කට ජනපති සමාව

    78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 49 දෙනෙකු විශේෂ ජනාධිපති සමාව ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයාට...

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 25

    රත් දෝතළු - 25 මා සමඟ ආලින්දය වෙත පැමිණි අහස් පෙර අසුනේම හිඳ ගත්තේ යළිත් රැවුමක් මා වෙත පා කරමිනි. "මැඩම්...

    ආදරයේ අපූරු පාඩම

    ආදරයේ අපූරු පාඩම - The Little Broken Cake මගේ ළමා කාලය රසවත් මතක, ඉගෙනගත් පාඩම් සහ අලුත් පරම්පරාවට ඉගැන්වීමට අපූරු...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page