FeaturesDonilaye AmmeDonilaye Amme - 12 දෝණිලයෙ අම්මේ

Donilaye Amme – 12 දෝණිලයෙ අම්මේ

-

spot_img

Donilaye Amme – උදේ ඉඳලම වැස්ස “චුරු චුරු ” ගාලා පටං ගත්ත එක දැන් නාකපන්න වහිනවා. මුළු පලාතම මහ අඳුරක ගිලිලා. ඒ අඳුර මකාගෙන සැරින් සැරේ පොඩි විදුලි එළි රේඛාවක් කළුවර කපාගෙන ඇවිල්ලා යනවා. ඉස්සර අපි පොඩි උන් කාලේ මේ විදුලිය කොටනකොටම කන් දෙකට ඇඟිලි ගහගෙන ගේ මුල්ලට ඇකිළිලා ඉන්නවා අකුණ පත්තු වෙනකං. බයකට වඩා අපිට තිබ්බේ ඒ මොහොත අත්විඳීමේ සතුට. ඉස්සර අපේ ගෙවල්වල වැස්ස එක්ක බද්ධ වුණු හරි අපූරූ සිදුවීම් සිද්ධ වෙනවා. අපේ අප්පච්චි තමා අහස දිහා ටික වෙලාවක් බලං ඉඳලා වළාකුළු කියවලා. “අදනම් වහින පාටක් තියෙන්නේ” කියන අනාවැකිය මුලින්ම කියන්නේ. ඒක අද කාළගුණික දෙපාර්තමේන්තුවේ එකට වඩා අපිට ෂුවර්. අප්පච්චි ඕක කියලා ටික වෙලාවක් යද්දි අම්මා රෙදි වැල්වල තියන රෙදි ටික ඔක්කෝම එකතු කරං ගෙට යනවා. එළියේ වනලා තියන, වී,කව්පි,මුං, ඉරිඟු මාගල් වගේ දේවල් ගෙට දාලා, ඇරලා තියන දොර ජනේල් වහනවා. වැස්සට කලිං ගේ ඇතුලෙ තියන අලවංගු, කැති, උදලු වගේ ලෝහ භාණ්ඩ එළියෙන් තියන්නේ අකුණු උවදුරු වලින් ආරක්ෂා වෙන්න කියලා. ඒ විතරක් නෙවේ, වැස්සට ගෙට ගොඩවෙයි කියලා හිතෙන බල්ලෙකුට, පූසෙකුට ලගින්න ඉස්තෝප්පුවෙ මුල්ලක ගෝණි කඩමාළු දෙක තුනක් එලලා තියනවා. මේ කිසිම දෙයක් අපිට ඉස්කෝලේ විෂය නිර්දේශ වලින් උගන්නපුවා නෙවේ. මේ තමා නියම සමාජ අධ්‍යයනය සහ පරිසර අධ්‍යයනය. දරුවෙකුට පාරිසරික සාධක දිහා ඇහැ ගහං ඉඳලා ඉගෙනගන්න පුළුවන් දේවල් අද අපේ විෂය නිර්දේශ වල නෑ. ඒකයි අද දරුවො පරිසරයෙන් වියුක්ත වෙලා, තාක්ෂණික මෙවලම් එක්ක බද්ධ වෙන්න හේතුව.

” මොකෝ මේ කවදාවත් නැතුව නිවාඩු දවසෙ උදේම නැඟිටලා..”

දෝණිලයෙ අම්මා දුම් දාන කෝපී කෝප්පෙකුත් එක්ක ඉස්තෝප්පුවෙ.

” කලිං ඇහැරුණා…නින්ද යන්නැති නිසා එළියට ආවා..”

“ඔයාලට තියෙන්නේ ඒ වගේ ලෙඩ තමා ඉතිං…”

දෝණිලයෙ අම්ම එයාට පුරුදු වචන හරඹෙ පටං ගත්තා.

“මොකක්ද දැන් මට තියන ලෙඩේ..”

“අපිට මේ තියන වැඩ කන්දරාවත් එක්ක නිදාගන්න වෙලාවක් නෑ. ඔයාට ඕෆ් දවසෙවත් නිදාගන්න පිනක් නෑ…”

“කෝ මේ ළමයි දෙන්නා..තාම නිදිද…”

මාතෘකාව වෙනස් කරනෙක ඇඟට ගුණ නිසයි මං එහෙම ඇහැව්වේ.

“නැතුව ඉතිං මේ නිවාඩු දවසේ උදේම ඇහැරවගෙන මොනා කරන්නද අනික මේ වැස්සේ..”

“ඔයා පොඩි කාලේ වහිද්දි මොනාද කළේ…”

“හොඳට පොරවගෙන නිදාගත්තා අනේ..වෙන මොනා කරන්නද…”

එහෙම කියලා දෝණිලයෙ අම්මා කුස්සිය පැත්තට ගියා. වැස්ස ගැන එයත් එක්ක මගේ මතක බෙදාගන්න තිබ්බ අදහස අතෑරලා මං ගේට්ටුවෙන් පාර දිහා බලාගෙන කෝපි එක තොල ගෑවා. පාට,පාට කුඩ යටින් එහෙ,මෙහෙ යන මිනිස්සු එක්ක මං හබරල කොල, කෙහෙල් කොල යට ඇවිදින මිනිස්සු දැක්කා. රේන් කෝට් අන්දවාගෙන ළමයි එක්ක පාරේ යන අම්මලාගෙන් මං චීත්ත පොටෙන් මාව වහගෙන වැස්සෙන් මාව ආරක්ෂා කරපු අපේ අම්මව දැක්කා. වැස්සට පැනලා, තෙමිලා, මඩ නාගෙන ඇවිදින මායි,මගෙ නංගිලා දෙන්නගෙයි, මල්ලිගෙයි පොඩි කාලේ දැක්කා. අවදිවෙන්න ඕනේ වෙලාවේ, ඇද උඩ පොරෝනයකට ගුලි වුණාම දරුවන්ට ලෝකේ කොච්චර දේවල් මඟෑරෙනවද කියලා හිතිලා උන් වෙනුවෙන් මට හීල්ලුණා.

“මං බැලුවා මොකක්ද මේ අමුතු ගඳක් එන්නේ කියලා.. මෙන්න මූව එළියට දාන්න සුරංග..”

දෝණිලයෙ අම්ම එහෙම කියාගෙන ආයෙ ඉස්තෝප්පුවට එනකොටයි මං දැක්කෙ “ලකියා” තෙමීගෙන ඇවිත් ඉස්තෝප්පුවෙ වක වහගෙන නිදි කියලා.

“ඒ සතා මේ වැස්සෙ කොහෙ යන්නද අනේ..ඕං ඔහෙ හිටපුවාවේ..”

“සත්තුන්ටයි,අපිටයි එකට ඉන්න පුළුවන්ද අනේ..ඕකව අර එළියේ ගබඩා කාමරේට දාන්න විකාර නැතුව..”

එහෙම කියලා දෝණිලයෙ අම්මා මගෙන් හිස් කෝප්පෙත් අරං ආයේ ගෙට ගියා. මං ලකියා දිහා බැලුවා. කොහෙහරි ඇවිදලා හොඳටම තෙමිලා. වෙව්ල,වෙව්ලා නිදි. මං ළඟට ගියාම නගුට වනලා ඔලුව උස්සලා බැලුවා. ඒත් නැගිට්ටේ නෑ. මං ගෙට ගිහිං පරණ රෙදි කෑල්ලක් අරං ඇවිත් ඌගේ ඇඟ උඩින් දැම්මා. චූටී එකී නිදි ඇස් වලින් සාලේ මැදින් ඇවිදගෙන එනවා දැක්කේ එතකොට.

“ඔයා ඇහැරුණාද පැටියො.. එන්නකෝ ටිකක් මෙහාට…”

මගේ කටහඬට ඒකී නිදි ගැට කඩ,කඩා ඉස්තෝප්පුවට ආවා.

“හුඟක් නිදාගෙනනෙ මයෙ කෙල්ල…”

මං චූටි එකීව ඔඩොක්කුවෙ ඉන්ඳවගන්න ගමං ඇහුවා.

“වැස්සෙ සද්දෙට නින්ද යන්නෑ තාත්තෙ…”

“ඒකනෙ වැස්ස ඇහැරිලා බලන්න ඕනේ එතකොටයි ලස්සන….”

“ඒ වුණාට වහිද්දි කම්මැළියි නේ තාත්තේ…”

“මයෙ පුතා දන්නවද වැස්ස නැති රටවල් කොච්චර තියනවද..ඒ රටවල මිනිස්සු වැස්සට කොච්චර ආදරේද කියලා..”

“එයාලටත් වැස්ස දිගටම තිබ්බොත් කම්මැළි හිතෙයි නේ ඒ වුණාට…”

“අපිට දෙයක් ඉබේම ලැබෙනකොට ඒකේ වටිනාකමක් නෑ පුතේ..ඒ රටවලට වැස්ස ඕනේ වුණාම ඒ ගොල්ලෝ කෘතීම වැහි වස්සනවා…”

“ඒ කිව්වේ…”

“දැන් මේ අපිට වගේ ඉබේ වැහි නැති නිසා, වැහි වලාකුළු රසායනික ක්‍රම වලින් හදලා වැහි වස්සනවා….”

පොඩි එකීගේ ඇස් පළල් වුණු විදිහෙන්ම මං දැනගත්තා ඒකීට “කෘතීම වැහි” තේරුණ්නෑ කියලා.

“පුතා දන්නවනෙ සමාධිගෙ අම්මා…”

“ඔව් එයාගෙ අම්මා ඉන්නේ කුවේට් වලනෙ..”

“ආන්න හරි..ඒ වගේ රටවල් වලට අපිට වගේ වැස්ස නෑ… තාත්‍තගෙත් යාළුවෙක් ඉන්නවා කටාර් වල…”

“ඉතිං…”

දැන් කෙල්ලට කතාවට පොඩි උනන්දුවක් ඇතිවෙලා කියලා මට තේරුණා.

“ඒ මාමට නිදාගන්න ඕනේ වුණාම, රෙකෝඩ් කරපු වැස්සක සද්දයක් හයියෙන් දාලා නිදාගන්නවලු….”

“ආහ්ං..මං බැලුවා මේ ළමයා කොහෙද කියලා…කුණු,කෙළ පිටින් කතන්දර අහනවද..මේං මෙහෙ එන්න මූණ,කට හෝදගන්න…”

දෝණිලයෙ අම්මා අපි අතරට ආවේ එහෙම කියාගෙන. පොඩි එකී මගෙ ඔඩොක්කුවෙන් පැනලා අම්මා එක්ක ගියා.

දරුවො මල් වගේ කියලා තමා හැමෝම කියන්නේ. ඒ කියමන හින්දා වෙන්නැති අම්මලා දරුවො එක්ක මේ තරමට නැහෙන්නේ. මල් කොච්චර මටසිලිටි වුණත් පිපෙන්නේ හුඟක් ලොකු පීඩන දරාගෙන. හැමෝම උදාහරණෙට ගන්නෙ රෝස මල් කටු අග පිපෙනවා කියනෙක. හැබැයි කටුක බව දරාගෙන පිපෙන වරාමල්, කරඹ මල්, දහස්පෙතියා, පිච්ව මල්..ඒවා මල් නෙවෙයිද ? ඔව්..දරුවො මල් නම්, පාරිසරික හේතූ මත, පවුල් පසුබිම මත කොටින්ම හැකියාව, නොහැකියාව මත උන්ගෙ ජීවිත වෙනස් වෙනවා. අවම පහසුකම් යටතේ වගේම උපරිම පහසුකම් යටතෙත් හැදෙන දරුවො ඉන්නවා. හරියට පාත්ති වල සාත්තු කරලා හදන මල් වගේම කැලේ ඉබේ පිපෙන මලුත් තියනවා වගේ. වෙනසකට තියෙන්නේ සාත්තු කරලා හදන මල් වලට වඩා, ඉබේ හැදෙන මල් වල පැවැත්ම ශක්තිමත්. දරුවන්ට පැවතෙන්න උගන්වන්න ඕනේ. එතකොටයි උන්ගේ ගමන සාත්තු, සත්කාර නැතත් ශක්තිමත්ව යන්න පුළුවන්.

“කීයේ ඉඳන්ද සුරංග ඔයා ඔතන, එපාවෙන්නැද්ද අනේ..” ආයෙත් දෝණිලයෙ අම්මා.

“මට එපාවෙන්නෙම නැති දෙයක් තමා වැස්ස..නොකා නොබී බලං ඉන්න පුළුවන් වහින දිහා…”

“කොහොමත් අද නොකා, නොබී තමා ඉන්න වෙන්නෙ..අන්න කුස්සියෙ පීල්ලක් ගැලවිලා වතුර ගලනවා….තව ටිකක් වැස්සොත් මුළු ගේම යටවෙයි…”

ඒක ඇහුවා විතරයි මට ගංවතුර ආධාර, නිවාස ණය වගේ දේවලුත් මතක් වුණා. ඉස්සර අපේ අම්මා ගේ තෙමෙන තැන් වලට කුස්සියේ මැටි භාජන තියන ඒවත් මතක් වුණා. හැබැයි මේ ඒවා කියන වෙලාව නෙවේ නිසා කරබාගත්තා. වැහි පීල්ලක් දිහා ඇහිපිල්ලමක් වත් ගහලා නැති මං කොහෙ ඒවා හදන්නද? වටේ පිටේ ඉන්න හැම බාස් කෙනෙක්ම මතකෙට ආවා. මොබයිල් එක හොයාගෙන කාමරේට දිව්වේ ඒකයි.

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you