FeaturesDonilaye AmmeDonilaye Amme – 03 දෝණිලයෙ අම්මේ

Donilaye Amme – 03 දෝණිලයෙ අම්මේ

-

spot_img

Donilaye Amme – 03

දෝණිලයෙ අම්මා සාලේ ටී.වී එක ඉස්සරහ. දෝණිලා දෙන්නා දෙපැත්තෙ. ඒකේ යන රියැලිටි කන්දොස්කිරියාව දිහා ඇහිපිය නොහෙලා බලාගෙන.මං සපත්තු දෙක පා පිසිනය උඩ දෙපාරක් “කරාස්” ගාලා ඇතිල්ලුවේ ආපු බව අඟවන්න. ඒත් දූලයෙ, අම්මලායෙ අවධානය තිබුණේ රූපවාහිනියේ.උගුර කාරලා කැස්සක් ආරූඪ කරගත්තත් එයාලයෙ අවධානය මං දිහාට ගන්න පුළුවන් වුණේ නෑ. බෑග් එක සද්දෙට පුටුවක් උඩට අතෑරලා ඒ වේගෙන්ම මං පුටුව උඩට ඇදගෙන වැටුණ.එක පාරක් හැරිලා බලපු දෝණිලයෙ අම්මා ලොකු දෝණි දිහාට හැරිලා මොනාහරි කීවත්,එයාගේ මූණ බෙරිවෙලා ආයෙම ටී.වී එක දිහාවටයි හැරුණේ. මං පුටුවෙම ඉඳගෙන සපත්තු දෙක ගලවලා, මේස් දෙක ගුලි කරලා බිම දැම්මා.

” ආ…පෝ… මේස් ගඳ තාත්තා….”

ලොක්කී නහය අකුලාගෙන එහෙම කීවා. මං ඇහුන්නෑ වගේ හිටියා.

” මොනාද අනේ ඔය සපත්තු එළියෙන් ගලවලා එන්න බැරිද…? ”

දෝණිලයෙ අම්මා නෝක්කාඩු කියන්න ගත්තා. මං වේගෙන් පුටුව පිටිපස්සට තල්ලු කරලා නැඟිටලා, රිමෝට් එක අරං ටී.වී එක ඕෆ් කරලා දැම්මා.

“ඔය නරි නාටක බලං ඉන්නේ ගිහිං පොතක් බලාගන්නවා…”

මගේ සද්දෙ හයියෙන් ඇහෙන්න ඇති. මොකද ටී.වී එකත් ඕෆ් වෙලානේ තිබුණේ. චුට්ටී ගැස්සිලා දෝණිලයෙ අම්මගේ ඇඟේ ඇලුණා. ලොක්කී ගසා,බසා දාගෙන කාමරේට දිව්වා.එතකොටයි දැක්කේ එයාලගෙ අම්මා මෑකරල් වගේක රේණු ඇර,ඇර ටී.වී එක බලං හිටපු බව. ඒ ටිකත් අරං චූටිවත් එල්ලාගෙන දෝණිලයෙ අම්මා කුස්සිය පැත්තට ගියා.
මං රිමෝට් එක අරං ඔහේ චැනල් මාරු කර,කර පුටුවේ ඉඳගෙන හිටියා. චැනල් එකක කරුණාරත්න දිවුල්ගනේ සිංදුවක් කියනවා.

“අම්මා කෙනෙක් බිරිඳක් වෙලා…ලොව කාට හෝ ඔබ උරුමැතී… සතුටෙන්ද ඔබ පෙරටත් වඩා.. මගේ ඉපැරැණි පෙම්වතී….”

මං රවී සිරිවර්ධනගෙ ඒ වචන දිගේ ඈතට ඇවිදගෙන ගියා. ටී.වී එක ඕෆ් වුණා. දෝණිලයෙ අම්මා මං ළඟ හිටගෙන හිටියා. තුවායකුත් මට දික් කරගෙන.

” එයා සතුටින් ඇති.. ඔයා ගිහිං නාගෙන එන්නකෝ..”

ඒක හරි සුන්දර රිදවීමක්. එකටෙක කරනවා කියන එක දෝණිලයෙ අම්මට හරි සීරුවට කරන්න පුළුවන්. හිමීට ඔලුව අතගගා ඉඳලා හයියෙන් ටොක්කක් ඇන්නාම දැනෙන ඔලුව දෙදරන ගතිය එක්කමං වතුර මල යට හිටගත්තා.හිත දුවගෙන ගියා අවුරුදු ගානක් ආපස්සට. අපි ඔෆීස් ට්‍රිප් එකක් ගියපු දවසට. පානදුර බීච් එකේ එදා කොල්ලො ටික බොන්න ගත්තා මතකයි.එතකොට දෝණිලයෙ අම්මයි,මායී මුණගැහුණු අලුත. ඔෆීස් එකේ කවුරුත් අපේ සම්බන්ධය නොදන්නා කාලේ.

“මටත් බොන්නෝනේ..”

මගෙ අතේ තිබුණු බියර් බෝතලේට අත දික් කරගෙන එයා කීවා. මගේ ළඟ හිටපු එකා වැලමිටෙන් ඇනලා “දීපං… දීපං..” කියනවා. ඒ අසරණ කිරීම එයාට තරම් හොඳට කාටවත් කරන්න බෑ.මං බොන එක නතර කරේ නෑ. ඒත් මගෙ ඇස් එදා තිබ්බෙම එයා ගාව. මොකෙක් හරි එකෙක් මේකිට බොන්න දෙයිදෝ කියන වෙව්ලුම එක්ක තමා එදා හවසම මං ගෙව්වේ.ඒක කොච්චර ලොකු බයක්ද කියනවනම් දෝණිලයෙ අම්මගෙ,අම්මා ඔරවද්දි එයාව එයාගේ ගෙදර සාලෙටම ඇරලවනකම් මං පියවි සිහියෙන් ඈත් නොවී ඉන්න වග බලාගත්තා. බාත් රූම් එකේ දොරට තඩිබාන සද්දෙන් මං උඩ ගිහිං බිම වැටුණා. දොර බාගෙට ඇරලා බෙල්ල එළියට දාද්දි චුට්ටී එක්ක දෝණිලයෙ අම්මා දොර ළඟ.

” මතක අතුල්ලලා,පව් හෝදගත්තනම් එළියට බහිනවද මහත්තයා.. මට කෙල්ලගෙ ඇඟ හෝදලා නිදිකරවන්න තියනවා..”

කටට පතරංග කුණුහරුපයක් ආවත් කෙල්ලගෙ නිදිමත ඇස් දැකලා මං ඒක බලෙන් ගිලගත්තා. හිත කොච්චර පැටලුනාද කිව්වොත් තව පොඩ්ඩෙන් උපන් ඇඳුම පිටින් බාත් රූම් එකෙන් එළි බහිනවා. නෑවට පස්සෙ තද බඩගින්නක් ආවා. මං කෑම මේසේ දිහාට ගියේ ඒකයි. කෑම බෙදලා වහලා තිබ්බත් මොකක්දෝ අඩුවක් හිත යට කැරකුණා. ලොක්කී,ආපු ගමන් ඒ ළමයට කෑගැහුව නේද කියලාමගේ කටට දොස් කිය,කියා මං එයැයිගෙ කාමරේට එබිලා බැලුව හොරෙක් වගේ. ඔලුවෙ ඉඳන් පොරවන් නිදි. ආපහු හැරිලා කෑම මේසේ පැත්තට එද්දි දෝණිලයෙ අම්මා කපපු එළවළු වගයක් ෆ්‍රිජ් එකට දානවා.

“ලොක්කී කෑවද….”

මං නිකං එයාගෙන් නෙවේ වගේ ඇහුවේ.

“ආපු ගමන් ඒ ළමයා මරං කන්න හැදුවනේ….ළමයි බඩගින්නේ නිදාගත්තට කමක් නෑ. ඔයා බඩයි,හිතයි පුරෝගෙන නිදාගන්නකෝ….”

දෝණිලයෙ අම්මගෙ වචනවලින් මං හිටි තැන ගල්වෙලා මිදුණා. බඩගින්න එහෙමම නැතිවෙලා ගියා. එයා වලං පිඟන් හෝදන සද්දෙ මැද්දෙ මං මිදුලට බැහැලා සිමෙන්ති බංකුව උඩ ඉඳගෙන අහස දිහා බැලුවා.කට්ට කරුවල අහසේ තැනින් තැන හුදෙකලා තරු තිබුණා. ඉඳහිට ඒවා අහසින් ගැලවිලා පොලොවට ළඟින් අතුරුදන් වුණා. මං දරුවන්ට කොච්චර ළඟද කියලා මං දන්නෑ දෝණිලයෙ අම්මේ.ඒත් ඔයා මට වඩා එයාලට ළඟයි කියලා මං දන්නවා. හැම තාත්තෙක් ඇතුලෙම තියෙන්නේ හිරවෙච්චි හැඟීම්. සමහර හැඟීම් වාත්තු කරලා එළියට දාන්න තරම් තාත්තලා ස්මාර්ට් නෑ. තාත්තලා අඹපු පිළිම වගේ.නෙලපු කැටයම් වගේ. දරුවන්ට ඒ තාත්තව කියලා දෙන්න දන්නේ අම්මලා විතරයි. ඔයා දෙදරීමක් නැතුව දරාගන්න අම්මා කෙනෙක් තමා. ඒත් සමහර වෙලාවට මට ඔයාව දරාගන්න තේරෙන්නෑ.
මං පත්තු වෙන වේගෙන්ම නිවෙන මිනිහෙක්. ඇතුලෙන් බුර,බුරා ඇවිලෙන ගින්නට මං බයයි දෝණිලයෙ අම්මේ. ඉස්සර වගේ ආදරෙන් ඇරියස් අල්ලලා මාව පාරන්න. මං දරාගන්නවා ඒ හැමදේම.ඒත් දරුවෝ උපමාවට අරං තාත්තව බාල්දු කරාම මට රිදෙනවා වැඩී. ඔයා මේ පවුල ඇතුලේ ආදරණීයම අම්මා වෙන්න. ඒ පවුලේ එක චූටී මුල්ලක හරි මගේ දරුවන්ට මේ තාත්තව ආදරණීයව පෙන්නන්න. ඒක විතරයි පවුලක් ඇතුලේ තාත්තෙකුට හීනයක් කියලා තියෙන්නේ.

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ - Ananya Panday අනන්‍යා පාණ්ඩේ යනු සමකාලීන බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය නිළියන්ගෙන් කෙනෙකි. ඉන්දීය...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you