NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 10

Pini Muthu Palasa පිනි මුතු පලස – 10

-

spot_img

Pini Muthu Palasa පිනි මුතු පලස – 10 වන කොටස

මම තරුෂි දෙස බලා සිටියේ විදහා ගත් දෑසිනි. මට එය අදහාගන්නට නොහැකි සෙයකි.

“ගුඩ් මෝර්නින්…දෙන්නාම මොකද මෙතන…?”

මා පසු පසින් ඇසුණු හඬින් මම හැරී බැලීමි. ඒ සමන්මලීය. එසේනම් තරුෂි “සමන්මලී” යැයි කීවේ ඈ එන බව පවසන්නට වන්නට ඇත.

“නිකන් ආවා…බෙල් එකට තව ගොඩාක් වෙලා තියනවානේ…” තරුෂි කීවාය.

“හ්ම්ම්…මං යනවා පන්තියට…බෑග් එක තියලා එන්නම්…”

අපි දෙදෙනම එවිට කතා කරගත්තාක් මෙන් එයට එකඟ විමු. සමන්මලී යන විට මම වහා තරුෂි දෙස බැලීමි.

“එතකොට රජිව් අයියා කැමති සමන්මලීටද…?”

මම වහා ඇසුවේ සිතේ ඇති වූ නොසන්සුන්තාවය නිසාය.

“පිස්සුද අනේ…නැහැ…”

තරුෂි නොමනාපයෙන් පවසන විට මා සිතට දැනුනේ යම් සහනයකි.

“එහෙනම් ඒ කවුද…?”

“අපේ ඉස්කෝලේම කෙනෙක් තමා අනේ…”

තරුෂි එසේ කීවේ මට එය කියන්නට අකමැතිවාක් මෙනි. හාර හාරා එය අසන්නට නොකැමැත්තෙන් මමද එය මඟහැරියේ එයින් යම් සිත් රිදවීමක් වූවොත් එයත් මටම නිසාය.

“හා හා…ඒකෙන් කමක් නැහැ කියමුකෝ…එතකොට රජිව් අයියද කමල් ගැන ඔයාට කිව්වේ…?”

“ඔව්…මං හිතුවෙවත් නැති දෙයක් ඒක…”

“ඒත් තරූ…ඔයා කොහොමද එයාට කැමති වෙන්න හිත හදා ගත්තේ…? මට නම් ඒක ගැන හිතද්දිත් පුදුමයි…”

“ඔයාට වගේම මටත් පුදුමයි තමා මංදි… එයා කැමති වෙන කෙනෙක් ඉන්නවා කියලා දැන ගත්දී මාත් ෂොක් වුණා…”

එය මට සිතා ගත හැක.

“අනික…මං කොහොමද එහෙම තියෙනකොට තවත් රජිව් අයියා ගැන හිතන්නේ…? මට බලෙන් මැද්දට පනින්නවත් එයාගේ හිත වෙනස් කරන්නවත් පුළුවන් කමක් නැහැනේ…අනික එයා දන්නේ නැහැනේ…මං එයාට කැමැත්තෙන් හිටියා කියලා…එයා කමල් ගැන කියත්දී මට මං ගැනම හරිම ලැජ්ජාවක් ඇති වුණා…”

“පිස්සු…උඹ පණ්ඩිත ආච්චී….ඔයා මොකටද ලැජ්ජා වෙන්නේ…? ඔයා වරදක් කළා නෙවේනේ…ඒ කෙල්ලට බම්බු ගහගන්න කියලා…මං කතා කරන්නම් රජිව් අයියාට…මං කියන්නම් ඔයා එයාට කොච්චර කැමතිද කියලා…”

මම එක දිගටම කියවන විට තරුෂි සිනහසුණාය.

“කැමැත්තයි…ආදරයයි කියන්නේ එකක් නෙවේ මංදි…දෙකක්…”

ඈ එසේ කීවේ බොහෝ හැඟීම්බර විලාසයකිනි.

“කෙහෙල්මල…කැමැත්ත පළමුව…ආදරය දෙවනුව…මුළින්ම ඇති වෙන්නේ කැමැත්ත තමා…”

“මෙයා දන්න ඒවා…”

මා කියූ දෙයට සිනහසෙමින් තරුෂි කීවාය.

“විහිළු නෙවේ…ඔයා කවදාවත් කමල් අයියා ගැන හිතුවේ නැහැනේ…”

“මුළින් නම් හිතුවේ නැහැ…ඒත්…පස්සේ කල්පනා කරත්දී හිතුණා…කමල් අයියාත් හොඳ කෙනෙක් කියලා…රජිව් අයියා කැමති වෙන කෙනෙක්ට නම්…මං මොකටද එයා ගැන හිතන්නේ…? ඒක කිසිම තේරුමක් නැති දෙයක්නේ…”

තරුෂි යළිත් කියන විට ඒ කවුදැයි දැන ගැනීමට මට වුවමනා වුවද එය ඇසීමට ශක්තියක් තිබුණාද කියාත් මා සිතේ වූයේ සැකයකි.

“ඉතින් කවුද තරූ ඒ…?”

සිත තුළ වූ දෙගිඩියාවෙන් මම ඇසීමි.

“වෙන කවුද අනේ…ඔයා තමා…”

ඈ එසේ කීවේ විහිළුවට වන්නට ඇති මුත් මා දෑස් පුදුමයෙන් විසල් වන්නට ඇත. මම තරුෂි දෙස බලා සිටියේ අදහාගත නොහැකි යමක් සවන් වැකුණාක් මෙනි.

“වි…විකාර නොකියා ඉන්නවා…පිස්සුද…?”

“විකාර නෙවේ මෝඩියේ…ඇත්ත…රජිව් අයියාමයි මට කිව්වේ…”

ඈ කියන්නේ බොරුවක්ද..? මා සිත ගැහෙන්නට වූයේ වෙනදා රිද්මයට නොවේ. තටු ලැබුණු කිරිල්ලියක් පළමුවරට ඉඟිළෙන්නට තැත් දරන්නාක් මෙන් මා සිතද පියාපත් මැවුණාක් මෙන් මගෙන් මිදී ඉඟිළෙන්නට තැත් දරයි. මෙය විහිළුවක් නම් කියා සැකයකුත් ඒ සමඟම මා සිතේ ඇති වූයේ සියුම් බියකුත් සමඟිනි.

“විහිළු කරන්න එපා තරූ…” මම පහත් හඬින් කීවෙමි.

“විහිළු නෙවේ…ඇත්තටම…ඔයාත් එයා ගැන හිතුවා නේද..? ඒ හැමදේම මගෙන් හැංගුවා…”

ඈ කියන විට ලැජ්ජා මුසු හැඟීමක් මා සිතට දැනුණේ සොරකමක් කළ අසුවූවාක් මෙනි.

“ඒත් තරූ…ඔයා එයාට කොච්චර කැමැත්තෙන්ද හිටියේ…මට හිතා ගන්න බැහැ…එයත් ඔයාට කැමැත්තෙන් ඉන්නවා වගේ කියලමයි මට හිතුණේ…”

“මටත් හිතුණේ එහෙම තමා…ඒත් ඒ දෙන්නා කැරකි කැරකි ඉඳලා තියෙන්නේ කමල් අයියා මං ගැන කැමැත්තෙන් හිටිය නිසා…රජිව් අයියා…හිතන් ඉඳලා තියෙන්නේ…ඔයායි ගිම්හානයි යාළුයි කියලා…”

“මොනවා…?” මම පුදුමයෙන් ඇසීමි.

“ඔව්…ඒත් මං කිව්වා…ඔයායි ගිම්හානයි… හොඳ යාළුවෝ කියලා…”

“ඒත්…තරූ…මං හිතන් හිටියේ…”

මට වෙන යමක් කීමට අවකාශයක් නොවිණි. කමල් සහ රජිව් අප අසළට පැමිණියේ කළින් කතා කරගෙන සිටියාක් මෙනි.

“මොනවද හිතන් හිටියේ…?”

මා සමීපයටම විත් රජිව් අසන විට මම සීතලව ගියෙමි. ඔහු නෙත ගැටෙන විට දෙපතුළින් පටන් ගත් සියුම් හිරිවැටීමක් මුළු සිරුර පුරාම දිව යන බවක් මට දැනිණි. සිත පුරා කිව නොහැකි හැඟුම් සමුදායක් විකසිත වූවාක් මෙනි. අනපේක්ෂිතව තරුෂිගෙන් දැනගත් සියල්ලත් එසැණින් එහි කඩා වැදුණු රජිව්ත් නිසා මම සිටියේ කැළඹීමට පත්වය. පලා දුවන්නට සිත් වුවද මම හුන් තැනම ගල්ගැසුණු සෙයකි. මේ උදෑසන පරිසරය පුරා වූයේ මඳ සීතලයක් වුවද මා මුව මඬළේත් නළලත පුරාත් සියුම් දා බිඳු නැගෙන්නට විය. හද අමුතු රිද්මයකින් ගැහෙන විට මා ඇඟිලි තුඩු පවා වෙවුළන සෙයකි. ඔහු ඇසූ දෙයට පිළිතුරක් දීමටවත් නොහැකි සේ මා මුව අඟුළු වැටී ඇත

“දැන් කොහොමද මංදාකිණි…ඔයාගේ අසනීප හොඳද…?” එසේ මා විමසුවේ කමල්ය.

“ඕ..ඔව්…අයියේ..දැන් හොඳයි…” අපහසුවෙන් වුවද මම කියා ගතිමි.

“ඔයාව නොදැක මෙහෙත් එක්කෙනෙක් ලෙඩ වෙලා හිටියේ…”

කමල් පවසන විට මම රජිව් දෙස යටැසින් බැල්මක් හෙළුවේ සිත ඉහිරී ගිය ලැජ්ජා මුසු හැඟීමෙනි. ඔහු මා දෙසම බලා සිටි අතර මම හිස ඔසවා ඔහු දෙස එක එල්ලේ බැලුවේ ඒ මොහොතේදීය. ඔහු දෑස් වලින් පවා සිනහසෙමින් සිටි අතර පළමු වරට අප දෙදෙනාගේ දෑස් එකිනෙකා වෙත එක එල්ලේ ගැටෙන විට මා සිත පුරා හිරිවැටීමක් ඇදී ගිය බවක් මට දැනිණි. මා ඔහු දෙස එක එල්ලේ බැලුවේ මෙදින යැයි කියා මම සිතමි. මෙතෙක් දිනක් මම ඔහු දෙස බැලුවේ ඔහුට හොර රහසිනි. එසේ ඔහු දෙස එක එල්ලේ නොබැලීමට හේතුව වූයේ ඔහුගේ ආඩම්බර මුහුණය. අද මට එහි පෙනුණේ ඒ ආඩම්බර කමට වඩා කඩවසම් බවකුත් පියකරු බවකුත්ය. ඔහුගේ උස් සිරුරත් පුළුල් උර මඬළත් ඉදිරියේ මට දැනුණේ මා කුහුඹුවකු සේය. තරුෂිත් කමලුත් මා රජිව් සමඟ තනිකරළමින් ඉවතට යන විට මම දියෙන් ගොඩ දැමූ මත්ස්‍යයකු සේ ගැහෙමින් සිටියෙමි.

“මංදාකිණි…”

ඔහු සිය ගැඹුරු වූත් සෙනෙහෙබර වූත් හඬින් මුල්වරට මා අමතන විට මම හිස ඔසවා ඔහු දෙස බැලුවෙමි. මුහුණට අලුතින් දා බිඳු නැගෙන විට මම ඉන පටියේ රඳවාගෙන සිටි මල් මල් ලේන්සුව අතට ගත්තේ මුහුණ පිස ගැනුමටය. ඔහු මා අතින් අල්ලා මා වළකාලන විට මා ගත පුරා විදුලියක් ඇදී ගියාක් මෙන් මම හිරිවැටී ගියෙමි. එවන් ස්පර්ශයක් මා ලද්දේ පළමු වතාවටය. මා හද ගැස්ම වේගවත් වූ අතර එය පිටතට පනින්නට සැරසෙන්නාක් මෙනි.

“පිහදාන්න එපා…ඔයාගේ මූණට ඔය විදියට දාඩිය බිංදු දාලා තියනකොට හරි ලස්සනයි මංදාකිණි…හරියට නෙළුම් මලට පිනි මුතු වැටිලා වගේ…”

ඔහු මා සුරත සෙමෙන් මුදා හරිමින් කීවේය. ලේන්සුව මා අතට ගුළිව ගිය අතර මම හිස බිමට නැඹුරු කොට ගත්තේ ලැජ්ජා මුසු හැඟීමෙනි. මෙවන් දෙයක් මේ ආඩමබරකාරයාගේ මුවින් අසන්නට ලැබේවි යැයි කියා සිතුවේ කවුද.? මසිත සතුටින් ඉපිළෙන්නට විය.

“ඔයාට බයද මා එක්ක කතා කරන්න…?”

වහා හිස එසවූ මා ලේන්සුවේ කොණක් සපමින් ඔහු දෙස බලා හිස සැළුවේ නැතැයි හැඟවීමටය.

“එහෙනම් ඇයි මේ දාඩියත් දාලා…? ඔයා අකමැති නම් මං මෙතනින් යන්නම්…”

“එපා…”

තිගැස්සුණු මා වහා කියන විට ඒ මුවේ ඇදුණේ සිත් වශී කරවන සුලු සිනහවකි. මා හද අලුතින් ගැහෙන්නට විය. අහස තව තවත් අඳුරු කරගෙන පොද වැස්සක් යළිත් ඇද වැටිණි. මේ මොහොතේ එම අඳුරු අහසත් සිරිපොදයත් යට ඔහුගේත් මගේත් ප්‍රේම කතාව ඇරඹෙමින් තිබිණි. මේ මොහොත මේ දවස මා සිතින් කිසි දිනක මැකී නොයනු ඇත.

“මංදාකිණි…”

‍යළිත් ඔහුගේ ආදරණීය හඬින් ඔහු මා ඇමතීය.

“ම්ම්ම්…”

“තරූ මොකද කිව්වේ…?”

“මොකුත් නැහැ…”

ඇද හැළෙන සිරිපොදය දෙස බලාන මම කීවේමි.

“මොකුත් නැහැ…!”

ඔහු පුදුමය ඇඟවීය.

“හ්ම්ම්…”

“එහෙනම් ඒකත් හොඳයි…මටම කියන්න පුළුවන්නේ දැන්…”

“මොනවද…?”

කිසිත් නොදන්නාක් මෙන් මම ඇසීමි. ඔහුගේ මුවින්ම මම එය අසන්නට ආසා කළාද කියා මම නොදනිමි.

“මම ඔයාට ආදරෙයි…”

ඔහුගේ හඬ මට ඇසුණේ ඈත ලෝකෙකින් නැඟුණු මිහිරි ගීතයක් සේය. සිත අත්තටු සළා ඉඟිළිණි. අසීරුවෙන් වුවද මම හිස ඔසවා ඔහුගේ දෑස් දෙස බැලුවෙමි. එහි වූයේ මහා වූ ආදරයකැයි කියා මම සිතුවෙමි.

“මං යන්න ඕන…දැන් බෙල් එක ගහයි…”

මට වුවමනා වූයේ ඔහු කෙරෙන් පලා යන්නට නොවේ. තවත් වෙලාවක් ඔහු සමඟ රැඳෙන්නටය.

“තව ටිකක් ඉන්න…”

ඔහු පැවසුවද මම ඔහු යමක් කීමට පෙර පැන දිව ආවේ තරුෂිවත් එහි තනි කරළමිනි. සිත රිද්මයෙන් ගැහේ. පන්තියට නොයා මම ගෘහ විද්‍යාගාරය අසළ නැවතුණේ තරුෂි ඒවි යැයි සිතාය. එවිටම ඇයත් එහි දිව ආවාය.

“හරි ෂෝක්…මාවත් දාලා දුවන් ආවා…”

ඈ නොමනායෙන් ගතු කීවේ මවාගත් කෝපයකින් බව මම දැන සිටියෙමි. පොද වැස්සට අපි දෙදෙනම තෙමී සිටියෙමු. මම මඳහසක් පෑවා මිස කිසිත් නොකීවෙමි. මට වුවමනා වූයේ තනිව හිඳ කල්පනා කරන්නටය. සියල්ල සිදු වූයේ අනපේක්ෂිතවය. මෙවැන්නක් සිදුවනු ඇතැයි කියා මම සිහිනෙකින් හෝ සිතා නොතිබුණෙමි. ඔහු සමඟ ගත කළ සොඳුරු නිමේෂය යළි යළිත් මෙනෙහි කරමින් තනිවන්නට මට වුවමනා වුවද එයට අවස්ථාවක් නම් මේ මොහොතේ නොවූයේ පාසල අරඹන සීනුව නද වූ නිසාය. මාත් තරුෂිත් සෙමෙන් පන්තිය දෙසට ඇවිද ආවේ සිරිපොදය නොතකමිනි.

“දැන් සතුටුද…?”

තරුෂි මා විමසන්නට ඇත්තේ සතුට මගේ මුහුණින් පවා විහිදුණු නිසා වන්නට ඇත. එය එසේ නොවේ යැයි කියා කිව නොහැකිය. ඔව්. මම සතුටින් සිටියෙමි.
වැසි දිනයක් වූ නිසාදෝ පාසලේ ළමුන් මෙන්ම ගුරුවරුන්ද බොහෝ දෙනෙකු පාසලට පැමිණ නොසිටියෝය. අතළොස්සක් වූ අප පන්තිවලද වූ ළමුන් තැන් තැන්වල හිඳ කතා බහ කරමින් සිටියෝය. රජිව්ද ඔවුන්ගේ පන්තියට වී හිඳ අප දෙස බලා සිටිනු කීප වරක්ම මා දෑසට හසු වූයේ මමද හොරෙන් හොරෙන් ඒ දෙසට නෙත් දුවවන විටය. එය සිතා මතා නොව ඉබේම වූවකි. ඔහු බලා සිටින්නේ මා දෙස යැයි සිතන විටත් අමුතු වූ හැඟීමකින් මසිත හිරි වැටී ගියේය. දැන් ඉතින් දුලානි සමඟ ඇගේ අසුන හුවමාරු කරගැනීමට වුවමනා නැත. මෙහි හිඳගෙනම මට ඔහු දෙස වරින් වර බලන්නට හැකිය. ඔහු පෙම් කරන්නේ තරුෂිට නොව මා හටය. එය පුදුමාකාර දෙයක් නොවේද.? සියල්ල සිහිනයක් මෙනැයි මට සිතුණද මේ සැබෑවක්මය. මා සිත නුහුරු හැඟීම් සමුදායකින් කැළතී තිබිණි. මම එම අමුතු හැඟීමට ආශා කළෙමි.

“හොරෙන් හොරෙන් නේත්‍ර පූජාව කොහාටද කියලා මං බලන් හිටියේ…”

මවෙත නැඹුරු වූ තරුෂි මට රහසින් කොඳුරන විට සියුම් ලැජ්ජා මුසු හැඟීමක් මා සිත වටා එතිණි.

“හැමදේම හිතේ තියන් සද්ද නැතිව හිටියා නේද…? මටවත් කිව්වේ නැහැ…” ඈ යළිත් කීවාය.

“මෙහෙම දෙයක් මං හිතුවේ නැහැ…අනික ඔයා එයාට කොච්චර කැමැත්තෙන්ද හිටියේ…එහෙම එකේ…”

“හරි…හරි…දැන් ඒ සේරම හරිනේ…”

“ඒත් තරූ…ඔයාට දුක නැද්ද…?”

තරුෂි මා දෙස එක එල්ලේ බැලුවාය.

“මං මොකටද දුක් වෙන්නේ…කමල් අයියා මට ආදරෙයි කියලා මට දැනෙනවා…මාත් එහෙමයි…”

එසේ කී තරුෂි මා අතින් අල්ලාගෙන මා හා සිනාසුණාය.

-23 වෙනි සඳුදා නැවත හමුවෙමු-

Latest news

වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීමයි

කොළඹ LNW: ශ්‍රමය සඳහා ලැබිය යුතු නිසි ගෞරවය ලබාදීම සහ සියලු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වත්මන් රජයේ මූලික ප්‍රතිපත්තිමය...

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද?

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද? සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැව් ශ්‍රී...

අල්ලස් දඩයක්කරුවන් දඩයම් කිරීමේ ඛේදවාචකය

කොන්දේසි විරහිතව දූෂණය පිටුදකින බවට කටමැද දොඩා බලයට පැමිණි AKD ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය (NPP), දැන් අඛණ්ඩ...

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණම

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණමගුවන්තොටුපොළේ දී භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මත...
- Advertisement -spot_img

රත් දෝතළු – 80

රත් දෝතළු - 80 අහස් සමඟ මා මුහුණ පා ඇති ගැටළුව මම නොවළහා පැවසුවෙමි. ඔහු නිහඬවම අසා සිටියේ මට බාධා...

Time Loop යනු සැබෑවක්ද?

Time Loop යනු සැබෑවක්ද? - Sambhavam Adhyayam Onnu පසුගිය මාර්තු මස තිරගත වීම ඇරඹූ Sambhavam Adhyayam Onnu වෙනස්ම කතා තේමාවක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you