More
    NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 09

    Pini Muthu Palasa පිනි මුතු පලස – 09

    -

    spot_img

    Pini Muthu Palasa පිනි මුතු පලස – 09

    උදෑසන පටන් ඇද හැළෙන වර්ෂාව තවමත් එලෙසමය. එය අද නම් නවතින පාටක් පෙනෙන්නට නැත. අහසේ වූ අඳුර මුළු පරිසරයම වෙළා ගෙන ඇතිවාක් මෙනි. පිටතට යාමට හෝ අවකාශයක් නොමැතිව මම කාමරයට වී සිටියේ අළසවය. පසුගිය දිනවල අක්කාට වැළඳී තිබූ උණ රෝගය නිසා මටද පාසල් යාමට නොහැකි වූයේ නිවසේ සියළු වැඩ කටයුතු මට කිරීමට සිදු වූ නිසාය. ඉන්පසුව මටද එය බෝවූ නිසා තව දින කීපයක් මට පාසල් යාමට අතපසු විය. ගිම්හාන දින දෙකක්ම මා බැලීමට පැමිණියේ වැස්ස කියා හෝ නොබලාය. ඒ වන විට මම තරමක සුවයක් ලබා සිටියෙමි.

    “ඔයත් තෙමිලා ලෙඩ වෙනවා…”

    ඔහු පිළිබඳව උපන් අනුකම්පාවෙන් මම දෝෂාරෝපණය කරන විට ගිම්හාන කළේ අවිහිංසකව සිනාසීමය.

    “කොහොමද දැන් ඔයාට…?”

    මා කී දේ ගැන තැකීමක් නොකොට ඔහු ඇසුවේය.

    “තවම ඇඟට පණ නැහැ…ගිම්හාන…”

    “විවේකෙන් ඉන්න…තරූ ලියුමක් දුන්නා…”

    ඔහු ලිපිය මවෙත දී යන්නට ගියේය. ඔහු යන දෙස දොරකඩට වී බලා සිටි මා දොර වසා දැමුවේ සීතල සුළඟක් ගත දැවටෙන විටය. ලිපියත් රැගෙන කාමරයට වැදුණු මම එය කියවන්නට වුයෙමි. පළමුව තරුෂි සමාව අයැද තිබුණේ මා බලන්නට ඒමට නොහැකි වීම ගැනය. එය මා මුවට සිනහවක් නැංවීමට සමත් විය. එය වරදක් ලෙස ඈ සිතනවා වන්නට ඇත. වැදගත් යමක් ඇයට පැවසීමට ඇති බවත් ඉක්මනින් සුව වී පැමිණෙන ලෙසත් ඈ පවසා තිබුණාය. මා සිතේ කුතුහළයක් ඇති විය. ඇයට මා හා පැවසීමට ඇත්තේ කුමක්ද කියා මට අනුමාන කළ හැකිය. එය රජිව් පිළිබඳව පුවතක් බවට සැක නැත. තරුෂිගේ සිනහසෙන මුහුණ මට ලිපිය තුළින් පෙනෙන්නාක් මෙනි. ඈ දැන් රජිව් සමඟ සබඳකමක් අරඹා ඇතිවාට සැක නැත. තව දුරටත් මට ඔහු පිළිබඳව සිතීමට වුවමනා නොවේ. මා ඔහු පිළිබඳව සිතූ බවක් කිසිවෙකු නොදැන සිටීම මා සිතට යම් අස්වැසිල්ලක් විය.

    නිවසින් එළියට බසින විටත් අහස වැස්සක පෙර නිමිති කියා පෑවේය. අසනීපයෙන් පසුව මම නැවත පාසල් යන්නේ සතියකට පමණ පසුව මුත් මට එය දැනුණේ වසරක් තරම් දිගු කාලයක් ලෙසිනි.

    “වැස්සේ තෙමෙන්නේ එහෙම නැහැ… ආයෙමත් ලෙඩ වෙයි…”

    අක්කා කඩ කාමරයේ කවුළුව අසළ හිඳ කෑ ගැසුවේ මම මිදුල දිගේ එන විටය. ඈ එසේ කීවේ හරියට මම අසනීප වූයේ වැස්සේ තෙමුණු නිසා කියා මෙනි. මා අසනීප වූයේ ඇගෙන් රෝගය වැළඳුණු නිසා කියා ඇයට අමතක වූවාද…? නොමනාපය මුසු හැඟීමක් සිතට ආවද කිසිත් නොකී මම නිහඬවම ඇවිද ආවෙමි. පොද වැස්සක් ඇද වැටෙන්නට වූ නිසා මම කුඩය ඉහළා ගතිමි. වැස්ස නිසාදෝ මාවත පාළුය. මම පාසලට එන විටත් තරුෂි පැමිණ සිටි අතර දුර තියා මා දුටු ඈ මා පිළිගැනීමට මෙන් පෙරට දිව ආවාය. ඇගේ මුහුණ සතුටින් පිරී ඇති සැටි දුටු මම සියල්ල අනුමානයෙන් සිතා ගතිමි.

    “අනේ…සොරි කෙල්ලේ…ඔයාව බලන්න එන්න බැරි වුණාට…දැන් කොහොමද…ලෙඩ හොඳද…?”

    මගේ අතින් අල්ලාගෙනම පන්තියට එමින් තරුෂි විමසුවේ කනස්සළෙන් මෙනි. පොත් බෑගය මේසය මත තබන විටම මගේ නෙත් ඉබේම දිව ගියේ රජිව්ගේ පන්ති කාමරය දෙසටය. එය හිස්ව පාළුවට ගොසිනි. ඔවුන් තවමත් පැමිණ නැතුවා වන්නට ඇත. පැමිණියද මට ඉන් කමක් නැත. මින්පසු වැරදීමකින් හෝ එදෙස නොබලන්නට මම තිර අදිටනක සිටියෙමි. මා ඔහු පිළිබඳව සිතූ බවක් තරුෂි හෝ දැන නොගත යුතුය. දුලානි සමඟ ඇගේ අසුන මාරු කරගැනීමට මා සිතා සිටියේ ඈ සිටින තැනම ඇති උස් කණුව නිසා රජිව්ගේ පන්තිකාමරය නොපෙනෙන බැවිනි. මම තරුෂි දෙසට හැරුණේ මවා ගත් නොමනාපයක් මුවේ ඇඳ ගනිමිනි.

    “දැන් බොරුවට සොරි කියනවා…ලෙඩ බෝ වෙයි කියලද ආවේ නැත්තේ…?”

    ඇයව ඇවිස්සීමට සිතා මම කීවෙමි.

    “අනේ…ඔයා හිතුවේ එහෙමද…? මට තනියම එන්න බැරි නිසයි ආවේ නැත්තේ…සමන්මලීටත් දෙකට බස් එක…නැත්නම් ආයේ පැයක් බලන් ඉන්න වෙනවා…එයාට යන්න…දුලාගේ අම්මාට සනීප නැති නිසා එයත් ඉක්මනට ගෙදර යන්න ඕන…මාලිකාව අම්මා කොහෙවත් යවන්නේ නැහැනේ…”

    ඈ එක දිගට කියවන් යන විට මම සිනාසෙමින් අසා සිටියෙමි.

    “හරි…හරි…මගේ අම්මේ…ඇති…මං විහිළුවට කිව්වේ…ඒක නෙවේ…මොකක්ද අර කියන්න තියනවා කිව්ව සුබ ආරංචිය…?”

    තරුෂිගේ මුහුණ මා බලා සිටියදීම රත් පැහැයට හැරිණි. ඈ නොකී කතාවක් ඇගේ මුහුණින් කියවෙන්නාක් මෙනි.

    “ඔයාට කියන්න ලොකු රහසක් තියනවා…”

    “ඒක නම් මටත් පේනවා…ඒ රහසින් බාගයක් මං දන්නවානේ…මූණෙන්ම පේනවා කෙල්ල සතුටින් කියලා…මොකෝ වුණේ…?”

    “මෙහෙම කියන්න බැහැ…යමුකෝ…”

    එසේ කී ඈ මා අතින් ඇදගෙන මෙන් දෙමහල් ගොඩනැඟිල්ල දෙසට පා තැබුවාය.

    “ඉතින්…?”

    දෙමහල් ගොඩ නැඟිල්ල පඩිපෙළ පාමුළ නැවතී මම විමසුවේ තරමක් ගැහෙන සිතිනි. කෙසේ සිතුවද සිත හදාගෙන ඈ පවසන්නකට සවන් දීමට තරම් දිරියක් මා තුළ වූවාද කියා සැකයක් මටම ඇති විය.

    “ඔයා ආව නැති දවස් ටිකේ මාරම පාළුයි මංදි…”

    තරුෂි එසේ කීවේ සැබෑවටම වන්නට ඇත.

    “හ්ම්ම්…මට හිතා ගන්න පුළුවන්…”

    මම ඇනුම්පදයක් එල්ල කළේ ඇයව ඇවිස්සීමට සිතාය.

    “මොනවද…?”

    “පාළුම දැනෙන්න ඇති…ඒකෙන් වැඩක් නැහැ…කියන්නකෝ…මොනවද කියන්න ගියේ…?”

    “ඒවා ඉතින්…එහෙම කියන්න බැහැ…”

    “ආහ්…එහෙමද…මොන එහෙකටද මාවත් ඇදන් මෙතන්ට ආවේ…?”

    ඈ අගේ කරමින් කියන විට මම නොමනාපය අඟවමින් එසේ කීවෙමි.

    “අම්මෝ….මෙයාට.කේන්ති ගිහින්…මම විහිළුවක් කළේ…”

    ඈ හඬ නඟා සිනහසෙනවිට මම නොසතුටෙන් ඉවත බලා ගතිමි.

    “මේ…බලනවාකෝ මැට්ටි…”

    ඈ මගේ නික්ටින් අල්ලා තමා වෙතට හරවා ගන්නට තැත් දරමින් කියන විට මම ඇගේ අතට පහරක් ගැසීමි.

    “ඌයි…රිදුණා…මෝඩියේ…”

    තරුෂි කෑ ගැසුවේ බොරුවටය.

    “රිදෙන්න තමා ගැහුවේ…”

    සිනාසෙමින් මම කියන විට ඇයත් මා සමඟ සිනාසුණේ මනමාල බැල්මක්ද මුවේ රඳවාගෙනය. සිහින් පොදයක් ඇද වැටෙන්නට වන විට අපි කොරිඩෝවේ මැදට වීමු.

    “අද මෙයා මාව මෙතනම තියන් ඉඳියි වගේ…”

    තරුෂි කිසිත් නොකී නිසා මම කීවෙමි.

    “හ්ම්ම්…ඒක නෙවේ…ඔයාට මතකද එදා රජිව් අයියාට මොනවද කියන්න තියනවා කියලා කමල් අයියා කෑ ගැහුවා…”

    මට එය අමතක වන්නට තරම් දිනක් ගතවී නොතිබිණි.

    “ඉතින්…ඒක වෙලා දැන් ගොඩක් දවස්නේ…රජිව් අයියා ඔයාට කතා කළාද…?”

    “ඔව්…පහුවදාම එයා මා එක්ක කතා කළා…”

    “ඒක තමා මූණේ පෙම් පාට බේරෙන්නේ…දැන් සතුටුයි නේද…?”

    “ඉන්නවද පනින්නැතිව…තාම කතාව කියලා ඉවර වුණෙත් නැහැ…”

    ඈ යළිත් කෑ ගැසුවේ නොමනාපයෙනි.

    “හරි…හරි…කියනවා….මං පනින්නේ නැහැ…”

    මම සිනහමුවෙන් කීවද මා සිතේ වූයේ තිගැස්මක් වන් හැඟීමක් මෙන්ම දැඩි නොසන්සුන්තාවයකි. එය පිටතට නොපෙන්වා මම කෙසේ සන්සුන්ව සිටියාද කියා මටම පුදුමය.

    “රජිව් අයියලා පහුගිය ටිකේම අපේ පන්තිය වටේ කැරකි කැරකි හිටියා කියලා මතකයිනේ…”

    “හ්ම්ම්…ඉතින්…?”

    “එදා චෝක් කෑල්ලෙනුත් ගැහුවේ…”

    “ඔව්…ඔයාට ගහපු එක වැදුණේ මටනේ…අහක ඉන්න මටයි රිදුණේ…”

    ඈ එවිට සිනහසුණේ සරදමට මෙනි.

    “ඔව්…ඔව්…එයාගේ පොට්ට ඉලක්කේ…”

    “ඉතින්…මොකද වුණේ…?”

    “ඉතින්…එදා රජිව් අයියා මා එක්ක කතා කළා…”

    “ඒක දැන් කලිනුත් කිව්වේ…මොනවද එයා කිව්වේ කියනවාකෝ…”

    “එයා කතා කරලා ඉවර වුණාම මං හිටියේ ලොකු කැළඹීමකින් මංදි…”

    මට එය අනුමාන කළ හැක. මම නිහඬව සිටියේ ඇයට කතා කිරීමට ඉඩ හරිමිනි. සිත තුළ තිගැස්මක් වන් හැඟීමක් නොතිබුණා යැයි කියා මම නොකියමි. නමුත් එය වැඩෙන්නට ඉඩ දිය යුතු නොවේ.

    “ඔයා පරක්කු වෙලා හරි එයි කියලා මං බලන් හිටියා…මට හිතා ගන්න බැරි වුණා මංදි මං මොනවා කියන්නද කියලා…”

    “අනේ…අපරාදේ…මට එන්න පුළුවන් කමක් තිබුණේ නැහැ…අක්කා අසනීප වෙලා හිටියේ…මං එදා ගෙදර යත්දී එයාට හොඳටම උණ…”

    “ඔව්…මට හිතුණා…එදා ඔයා ආවේ නැත්තේ ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් නිසා කියලා…”

    “හ්ම්ම්…ඉතින් මොකද වුණේ ඊට පස්සේ…?”

    “රජිව් අයියයි, කමල් අයියායි ගොඩාක් වෙලා මා එක්ක කතා කර කර හිටියා…”

    “තක්ෂිලා දැක්කේ නැත්ද..?”

    මම අතර මැදින් පැනයක් නැඟීමි.

    “නැහැ…අපි අරලිය ගහ යට ඉඳන් කතා කළේ…අනික එදා තක්ෂිලා එත්දී පරක්කු වෙලා…”

    “හ්ම්ම්…හොඳ වෙලාව…ඉතින්…එයා මොකද කිව්වේ…ඔයාගෙන් ඇහුවද…?”

    තරුෂි එකවරම පිළිතුරක් නොදී කළේ මුහුණ මත දඟකාර සිනහවක් නංවා ගැනීමය.ඈ සිටින්නේ සතුටින් බව මට පෙනිණි. වැසි පොදය තරමක් වැඩි කරමින් තිබිණි. අළස බවක් මා සිතට දැනෙන්නට විය.

    “මට නිකමට හිතුණා රජිව් අයියලා අපේ පන්තිය වටේ කැරකුණේ මං ගැන උනදුවෙන් තමා කියලා…”

    තරුෂි යළිත් කීවාය.

    “ඉතින් ඒක අපිටත් හිතුණා…” මම කීවෙමි.

    “ඔව්…ඒත් ඉතින් ඒ රජිව් අයියා නෙවේ අනේ…”

    “එහෙනම්…?”

    එවර මම තරුෂි දෙස බැලුවේ මවිතයට පත්වය.

    “ඒ කමල් අයියා…”

    ඈ කියන විට මට එය අදහාගන්නට නොහැකි විය. එසේනම් ඒ රජිව් නොවේද….? මා හද ගැස්ම වේගවත් වන්නට වන විට මම තරුෂි දෙසම බලා සිටියෙමි.

    “කමල් අයියා…?”

    “ඔව් මංදි…කමල් අයියා…එයා තමා මං ගැන හිතන් ඉඳලා තියෙන්නේ…”

    “ඒ…ඒත්…තරූ…ඔයා කැමති රජිව් අයියාටනේ…”

    කිසිවක අගක් මුලක් සිතා ගන්නට නොහැකිව මම කෑ ගැසීමි.

    “ඔව්…ඉතින්…”

    “එතකොට දැන් මොකද වෙන්නේ…?”

    “මොනවා වෙන්නද මංදි…? ඔයා පහුවදා හරි එයි කියලා මං බලන් හිටියාට ඔයා ආවේ නැහැනේ…මං ඔයාගෙනුත් අහලා එයාට උත්තරයක් දෙන්න හිටියේ…දවස් තුනකට විතර පස්සෙ ආයේම රජිව් අයියා ඇවිත් මගෙන් ඇහුවා…මං ඒ ගැන හිතුවද කියලා…?”

    “ඉතින්…?”

    “ඉතින්…මං කමල් අයියට කැමතියි කිව්වා…”

    මට එය විශ්වාස කරන්නට නොහැකිය. ඈ එවන් දෙයක් කළේ කෙසේද…? ඈ කැමැත්තෙන් සිටියේ රජිව්ටය. එසේ තිබියදී ඈ එවැන්නක් කළේ කෙසේද…?

    “ඔයා කොහොමද එහෙම කළේ තරූ…? ඔයා ආදරේ වුණේ රජිව්ටනේ…”

    ඈ මා සමඟ විහිළුවක් කරනවා වන්නට ඇතැයි කියා මට අනෙක් අතට සිතිණි.

    “ඔව්…ඒත් ඉතින් රජිව් අයියා කැමති වෙන කෙනෙක්ට කියලා මං දැන ගත්තා…ඒ නිසා මම ඒ ගැන හිතලා වැඩක් නැහැනේ…බොරුවට එයා මත්තෙ නැහෙන්න ඕන නැහැනේ…”

    එවර ඇගේ හඬේ නොමනාපයක් තැවරී තිබිණි. ඇසූ දෙයින් මා සිතේ ඇති වූයේ අලුත් කනස්සළ්ලකි. ඔහු කැමති වෙනත් අයකුටද…? ගිළිහෙන්නට ගිය සුසුම මම ආයාසයෙන් මැඩ ගතිමි. මෙතුවක් කලක් මා සිතා සිටියේ ඔහු තරුෂි පිළිබඳව සිතකින් පසුවන බවකි. නමුත් දැන් ඇසූ දෙයින් වැටහෙන්නේ එය එසේ නොවන බවය. එසේ නම් ඔහු කැමති වෙනත් අයෙකු සිටී. මට දැනුණේ දුර්වල බවකි. මෙතෙක් මා තුළ වූ ප්‍රාණවත් බව මා කෙරෙන් පළා ගිය සෙයකි. මා ආයේත් අසනීප වන්නට යනවාද…?

    “ඒ කවුරු වෙන්න ඇත්ද තරූ…?”

    ඇසෙන නොඇසෙන හඬකින් මම ඇසීමි.

    “සමන්මලී…”

    ඈ එසේ කියන විට මම දෑස් විදහා තරුෂි දෙස බලා සිටියෙමි. සිත කඩා වැටුණු සෙයක් මට දැනිණි.ඒ ඇයද…? මා ඔහු පිළිබඳව සිතන්නේ නැතැයි කියා සිතා සිටි මුත් මේ මොහොතේ මා සිතට දැනුණේ ශෝකී හැඟීමකි.

    -හෙටත් හමුවෙමු-

    Latest news

    ඉන්දීය ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ගුවන් යානයක් කටුනායකට

    ඉන්දීය " ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයක් අද දින උදෑසන කටුනායක ගුවන්...

    උතුරු සුමාත්‍රා දූපත් ආසන්නයේ භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ

    උතුරු සුමාත්‍රා දූපත් ආසන්නයේ අද උදෑසන 10යි 26ට පමණ රික්ටර් මාපාංක ඒකක 6යි දශම 6ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයක්...

    බදුල්ල ප්‍රදේශයේ නාය යෑම්වලින් පුද්ගලයින් 11ක් ජීවිතක්ෂයට

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 07 ක සිදු වූ නාය යෑම්වලින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව...

    ඩේසිගේ නඩු කටයුතු සඳහා මානසික වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝගයක්.

    මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටින යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අය නඩුවකට පෙනී සිටීම...
    - Advertisement -spot_img

    ඉන්දීය ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ගුවන් යානයක් කටුනායකට

    ඉන්දීය " ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයක් අද දින උදෑසන කටුනායක ගුවන්...

    ලෝක ටෙනිස් පිටියේ විශිෂ්ඨයා

    ලෝක ටෙනිස් පිටියේ විශිෂ්ඨයා - Carlos Alcaraz  වර්තමානයේ ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා ලෙසින් හැඳින්වෙන්නේ ස්පාඤ්ඤ ක්‍රීඩක Carlos Alcaraz. 2003...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page