ඩොලර් මිලියන 13ක ඉන්ධන ටෙන්ඩරය ඩීල් එකක් ද?
රාජ්‍ය ව්‍යවසායන්හි මූල්‍ය විනය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් පිළිබඳව දැඩි අවධානයක් යොමුව ඇති වකවානුවක, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හතරකදී ගුවන් යානා ඉන්ධන සැපයීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 12.97 ක කොන්ත්‍රාත්තු පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2028 දෙසැම්බර් 31 දක්වා බලපැවැත්වෙන මෙම ගිවිසුම් හරහා ගුවන් සේවයේ මෙහෙයුම් පිරිවැය පාලනය කිරීම අපේක්ෂා කෙරුණද, මෙවැනි දැවැන්ත ජාත්‍යන්තර ගනුදෙනුවලදී දේශපාලන බලඅධිකාරියේ හැසිරීම, පාර්ලිමේන්තු සුපිරි බහුතර බලය සහ විනිවිදභාවය පිළිබඳව සමාජය තුළ දැඩි කැළඹීමක් සහ සංවාදයක් නිර්මාණය වී ඇත.

කොන්ත්‍රාත්තුවේ පසුබිම සහ ජාත්‍යන්තර ලංසු ක්‍රියාවලිය
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය සහ අර්බුදකාරී වාතාවරණය හමුවේ ගෝලීය ගුවන් යානා ඉන්ධන මිල 93%කින් පමණ ඉහළ යෑම ශ්‍රී ලංකන් ගුවන් සේවයට දැඩි මූල්‍ය පීඩනයක් එල්ල කර ඇත. 2026/27 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළ පමණක් ගුවන් සේවයේ පාඩුව රුපියල් බිලියන 35.6 දක්වා ඉහළ යෑමට මෙම ඉන්ධන වියදම ප්‍රධාන සාධකයක් විය. මෙම අභියෝගයට මුහුණ දීම සඳහා සීමිත ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ (Limited International Competitive Bidding) ක්‍රමවේදය යටතේ සමාගම් 8 කින් ලංසු ලබාගෙන ඇත. මෙම ඉන්ධන සැපයුම සිදු කළ යුත්තේ විදේශීය ගුවන්තොටුපොළවලදී බැවින් සහ එම ගුවන්තොටුපොළවල ඉන්ධන ගබඩා කිරීමේ බලපත්‍ර ඇත්තේ ලියාපදිංචි ජාත්‍යන්තර සමාගම්වලට පමණක් බැවින්, මීට කිසිදු දේශීය ටෙන්ඩර්කරුවෙකු ඉදිරිපත් වී නොමැත. ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පහත සඳහන් ජාත්‍යන්තර සමාගම් දෙකට මෙම කොන්ත්‍රාත්තු පිරිනමා තිබේ.
World Fuel Services Trading DMCC (WFS)
ඇමෙරිකානු මව් සමාගමක් වන World Kinect Corporation හි ඩුබායි ශාඛාව වන මෙම සමාගමට ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් (ඩොලර් 293,456) සහ දකුණු කොරියාවේ ඉන්චියොන් (ඩොලර් 240,021) ගුවන්තොටුපොළවල් සඳහා ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු හිමිව තිබේ.

Aviation Services Management FZE (ASM)
ඩුබායි ගුවන්තොටුපොළ නිදහස් කලාපය මූලස්ථානය කරගත් මෙම සමාගමට පාකිස්ථානයේ ලාහෝර් (ඩොලර් මිලියන 6.48) සහ ඉන්දියාවේ අහමදාබාද් (ඩොලර් මිලියන 5.95) ගුවන්තොටුපොළවල් සඳහා කොන්ත්‍රාත්තු පිරිනමා ඇත. නිල රාජ්‍ය වාර්තාවලට අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. කෙසේ වෙතත්, දේශපාලන ක්ෂේත්‍රය තුළ සහ සමාජ මාධ්‍ය අවකාශයේ මෙම ගණුදෙනුව දෙස බලන්නේ දැඩි සැකයකිනි. ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ඉදිරිපත් වූ මෙවැනි යෝජනා පිටුපස, විශේෂයෙන්ම ඇමෙරිකානු මව් සමාගමකට සම්බන්ධ ආයතනයකට කොන්ත්‍රාත්තු හිමිවීම පිටුපස රාජ්‍ය නායකයා සහ විෂය භාර අමාත්‍යවරයා අතර “අත යට ගනුදෙනු” හෝ රහසිගත එකඟතා පවතින බවට දේශපාලන කවයන්හි දැඩි කසුකුසුවක් පැතිර යමින් තිබේ. මෙම විවේචන වඩාත් තීව්‍ර වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ වත්මන් ආණ්ඩුව සතුව පවතින අතිවිශාල පාර්ලිමේන්තු බලයයි. පාර්ලිමේන්තුව තුළ ආසන 159ක තුනෙන් දෙකක (2/3) සුපිරි බහුතර බලයක් ආණ්ඩුව සතුව පවතින බැවින්, ඕනෑම තීරණයක්, කැබිනට් පත්‍රිකාවක් හෝ ගිවිසුමක් කිසිදු බාධාවකින් තොරව අනුමත කර ගැනීමේ සහ සම්මත කර ගැනීමේ දේශපාලන වාසිය ආණ්ඩුවට හිමිව තිබේ.

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය දෙස බලන විට, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් සහ විධායක බලය එකම පාර්ශ්වයක් අතට පත් වූ සෑම අවස්ථාවකම පාහේ, විපක්ෂයේ හෝ මහජනතාවගේ විරෝධතා නොතකා තමන්ට අවශ්‍ය ගනුදෙනු සිදු කිරීමට පාලකයන් පෙළඹුණු ආකාරය පිළිබඳව අත්දැකීම් රැසක් තිබේ. තාක්ෂණික ඇගයීම් කමිටුවල නිර්දේශ කෙසේ වෙතත්, අවසන් තීරණය ගන්නා දේශපාලන අධිකාරියට අසීමිත බලයක් පවතින විට, එම ක්‍රියාවලියේ විනිවිදභාවය පිළිබඳව පුරවැසියන් තුළ සැකයක් මතුවීම වැළැක්විය නොහැකිය. එබැවින්, මෙම ඉන්ධන කොන්ත්‍රාත්තුව සැබවින්ම අවම මිල ගණන් ඉදිරිපත් කළ සමාගම් වෙත ලබා දුන් විනිවිද පෙනෙන ගනුදෙනුවක්ද, නැතහොත් තුනෙන් දෙකේ බලයේ ආවරණය යටතේ සිදුවූ දේශපාලන ගණුදෙනුවක්ද යන්න පැහැදිලි කිරීම ආණ්ඩුවේ වගකීමකි.




