පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?
ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා ගතහොත් කුමකින් කුමක් වේද? අද ඒ ගැන කතා කරමු. මේ දවස්වල එල් නිනෝ සංසිද්ධියට පින් සිදු වන්න කාලගුණයේ නිරන්තර වෙනස්වීම් අත්විඳීමට හැකිය. විටෙක වැස්ස තවත් විටෙක පෑවිල්ල සේම තවත් විටෙක කඩින් කඩ වැස්සද ඇති වේ. නිරන්තරයෙන් වෙනස් වන කාලගුණික සාධක මත ඊට අපේ සිරුර ද ඔරොත්තු දීමේදී විවිධ වෙනස්කම්වලට භාජන වේ.
මෙවැනි කාල වකවානුවකදී නිරෝගීතාව පවත්වා ගැනීම අභියෝගයක් වන අතර බොහෝවිටෙක විවිධ ලෙඩ රෝගාදියට ගොදුරු වීමද දැකීමට පුළුවන. ඒ අනුව විවිධ උණ රෝගී තත්ව සේම කැස්ස, හෙම්බිරිස්සාවද මේ වකවානුවේදී සුලබය. මේ දිනවල දී ඉක්මන් සහනය පතා පැරසිටමෝල් භාවිතයටද බොහෝ දෙනකු හුරු වී ඇත. පැරසිටමෝල් භාවිතයේදී නියමිත මාත්‍රාව සේම නියමිත කාල පාරාසයද වැදගත් බව මතක තබා ගත යුතුය. එසේ නොවුණහොත් යම් හෙයකින් ඔබ පැරසිටමෝල් අධිමාත්‍රාවක් ලබා ගතහොත් එය ඔබගේ සෞඛ්‍යයට ඔබ විසින්ම කරගනු ලබන බලවත් තර්ජනයක් වනු ඇත.

පැරසිටමෝල් අඩිමාත්‍රාවක් ගත්තොත් විතරද විස වන්නේ?
සාමාන්‍යයෙන් වැඩිහිටියකුට, ශරිර බර කිලෝග්‍රෑම් 50ට වැඩි, දිනකට පැය 6ට වරක් පැරසිමෝල් 2 බැගින් ආරක්ෂිතව ලබා ගත හැකි බව වෛද්‍ය නිර්දේශයයි. (පැරසිටමෝල් 15 to 25 mg/kg for 24 hours) මෙය උපරිම ආරක්ෂිත සීමාව ලෙසින්ද හැඳින්වේ. එක පාරට පැරසිටමෝල් 2ට වඩා ගැනීම අනතුරුදායකය. පැරසිටමෝල් වේල් 2ක් අතර අවම කාල පරතරය පැය 6 ක් හෝ ඊට වඩා වැඩිවිය යුතු බව නිගමනයයි. ඉහත සදහන් අවස්ථා 3 ඉක්මවා පැරසිටමෝල් ගැනීමෙන් එය විෂවිමක් වී අක්මාව අකර්මණ්‍ය වී ඔබ ජීවිතක්ෂයට වුවද පත්විය හැකිය.
දිගටම පවතින හිසරදයට, උණට, දිගු කාලයක් පැරසිටමෝල් භාවිත කිරීමෙන් පැරසිටමෝල් විෂ වී, අක්මාව අකර්මණ්‍ය වු අවස්ථාද නිරන්තරයෙන් වාර්තා වී ඇත. මෙය එක් දවසකින් සිදුවන්නක් නොව කාලාන්තරයක් තිස්සේ සිටම පුරුද්දක් ලෙස පැවැත ආ විට ඉහත සඳහන් භයානක ප්‍රතිඵල අත්විඳීමට සිදු වේ. දිනපතා ටික ටික පැරසිටමෝල් විෂ වූ විට පහත රෝග ලක්ෂණ මතු වේ.
ඇඟට දැනෙන ලොකු දුර්වලකම ඉක්මනින් වමනය යෑම.
ඇස් ටිකක් කහ පාට වීම (ජෝන්ඩිස් – Jaundice, සෙංගමාලගතිය),
ඇඟපත රිදීම ආදී රෝග ලක්ෂණ

යම් රෝගියකු දින ගණනාවක සිට පවතින හිසරද තත්වයකට පැරසිටමෝල් ලබා ගැනීමත් සමඟ ඉහතින් සඳහන් කළ ලක්ෂණද පහළ වීමට පුළුවන. එවැනි අවස්ථාවකදී රෝගියාට පැරසිටමෝල් විෂ වීමේ රෝගය වැළදී ඇතිදැයි වෛද්‍යවරැ සැක පහළ කර, පරීක්ෂා කර, ඉක්මනින් එම තත්වයට ප්‍රතිකාර ලබා දේ.
මෙහිදී වෛද්‍යවරු විසින් පරීක්ෂා කළ යුතු දේ වන්නේ, දවසකට සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් පැරසිටමෝල් ඖෂධය ලබා ගත්තාද යන්නය.
රැධිර පරීක්ෂණ
අක්මාවේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන ලේ පරීක්ෂාව (LFT – Liver Function Test),
අනෙකුත් ලේ පරීක්ෂා සහ රුධිරයේ පැරසිටමෝල් සාන්ද්‍රණය (Blood tests),
Ultrasounds scan of the abdomen and liver (අබ්ඩොමිනල් abdominal (බඩේ ස්කෑන්)
පැරසිටමෝල් විෂ වීමකදී අක්මාව විනාශ වී acute liver failure වී රෝගියා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර (Intensive Care Unit) ප්‍රතිකාර කරන තත්වයට රෝගය උග්‍ර අතට හැරී හදිසියේ අක්මාවක් බද්ද කරන්න බැරි වුණොත් ජීවිතය අනතුරේ බව ඔබ දැනගත යුතුය. සමහර අවස්ථාවලදී රෝගියාට සේලයින් දී (IV fluids / drip), විෂ නසන බෙහෙත් (Antidote – N-acetylcysteine) දුන්නද, අක්මාවේ සහායට දෙන බෙහෙත් (Liver support medicines) පවා ලබා දුන්නද රෝගියා සිහිකල්පනාවෙන් තොරව කතා කළ බව වෛද්‍යවරු වාර්තා කොට ඇත.

ප්‍රතිකාර කළද මෙවන් තත්ව ඇති වන්නේ ඇයි? මෙයට හේතුව කුමක්ද? ප්‍රධානම හේතුව මෙය අක්මාවෙන් මොළයට බලපාන තත්වයකි. එය (Liver (hepatic encephalopathy) ලෙස හැඳින්වේ. ෆැමිලි කවුන්සිලිං සහ ලෙඩාගේ ජීවිත අවදානම පවුලේ අය සමග සාකච්ඡා කිරීමද සිදු වේ.
අමාරුම මොහොත
වෛද්‍යවරු විසින් රෝගියාගේ පවුලේ සාමාජිකයන්ට හෝ සමීපතමයකුට රෝගියාගේ තත්වය ගැන පැහැදැලි කිරීමක් සිදු කරයි. එනම් පැරසිටමෝල් ඖෂධය වැඩි ප්‍රමාණයක් අඛණ්ඩව ලබා ගැනීම නිසා අක්මාව බොහෝ දුර්වලව ඇති බවත් ඔහුගේ තත්වය දැන් ඉතාම බරපතළ බවත් තහවුරු කරයි. මෙය වේදනා නාශකයක් සේම ඉතාම සරල බෙහෙතකි. කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වාම කිසිඳු වෛද්‍ය තුණ්ඩුවක් අත්‍යවශ්‍යම නොවන ඕනෑම වෙළඳසලකින් ලබා ගත හැකි ඖෂධයකි. එහෙත් අධි මාත්‍රාව ලබා ගතහොත් භයානක ප්‍රතිඵල අත් විඳීමට සිදු වෙතැයි කිසිවකුත් විශ්වාස නොකළ කරුණකි.

අවසාන දවස
දවස් කිහිපයක් සටන් කර මෙම තත්වය රෝගියාගේ සිරුරට තවත් දාරාගත නොහැකි මට්ටමකට ළඟා වේ. පැරසිටමෝල් වැඩිවීම (overdose) අක්මාව විනාශ කිරීම දක්වා ගෙනගොස් අවසන රෝගියාට ජීවිතය පවා අහිමි කර දමයි. මුලින් රෝගියාට තිබුණේ හිසරදයක් විතරයි. ඒකට බොන බෙහෙත් මෙච්චර භයානක වෙයි කියා කිසිවකු සිතන්නේ නැත. පැරසිටමෝල් (Paracetamol) කියන්නේ සාමාන්‍යයෙන් ආරක්ෂිත (safe) බෙහෙතක්. හැබැයි වැඩියෙන් ගැනීම කෙතරම් බරපතළ තර්ජනයක් ජීවිතයට එකතු කරනවාද? ශරිර බර කිලෝග්‍රෑම් 50ට වැඩි, වැඩිහිටියකුට දවසකට උපරිම ප්‍රමාණය (Maximum dose) = 4000mg (4g)කි. එනම් මිලිග්‍රෑම් 500 පෙති 8කට වඩා ගත නොහැකිය. එකවර බොහොමයක් ගැනීමෙන් අක්මාව විනාශ වීම සිදු වන බව දැන් ඔබ දන්නවා ඇති. පැරසිටමෝල් භාවිත කරන රෝගියා මත්ද්‍රව්‍ය , මත්පැන්වලට ඇබ්බැහි වූවකු නම් ඔවුන්ගේ අක්මාව විනාශ වීමේ අවදානම පැරසිටමෝල් අධි මාත්‍රාව නිසා තවත් වැඩි වේ.
මුලදී පෙන්වන රෝග ලක්ෂණ
වමනය, බඩේ අසහනය මෙන්ම අපහසුතා මතු වීම, සිරුරේ දුර්වලකම මෙන්ම ක්‍රම ක්‍රමයෙන් අක්මාව විනාශ වීම සිදු වේ. ඒ වගේම රෝගය නිශ්චය කරගෙන බෙහෙත් නිවැරැදි ආකාරයෙන් ලබා ගැනීමෙන් ජීවිතය රැක ගත හැකි අතර බෙහෙත් නිසියාකාරව ලබා නොගන්නා අයට ජීවිතයෙන් වන්දි ගෙවීමට පවා සිදු වේ. වෛද්‍ය උපදෙස් නැතුව ඖෂධයේ ප්‍රමාණය (dose) වැඩි කර දින ගණනාවක් තනි මතයට බෙහෙත් ගන්න එපා. ඔබේ පරෙස්සම නිරෝගීකම රැක ගැනීම සේම පවුලේ සාමාජිකයන්ගේද සතුටයි. එනිසා හිස රුදාවකට හෝ වෙන යම් රෝගී තත්වයක් උදෙසා ඔබ පැරසිටමෝල් ලබා ගත යුත්තේ කවරාකාරයෙන්ද යන්න ඔබ දැනුවත් ඇති. අපේ රෝගී තත්ව ගැන අපිට කිසිඳු නිර්ණයකට එළැඹිය නොහැකි අතර රෝග තහවුරුව වෛද්‍යවරුන් සතු කාරණාවකි. එසේම හිතු මතයට රෝග සඳහා බෙහෙත් ගැනීම මෙන්ම බෙහෙත් වෙනස් කිරීමද වෛද්‍ය නිර්දේශයට නතුව සිදු විය යුත්තකි. රෝග නිවාරණය උදෙසා බෙහෙත් ලබා ගත යුතු අතර තනි මතයට ලබා ගන්නා ඖෂධවල ප්‍රතිවිපාකද බරපතළ වීමට පුළුවන. වැරැදි ආකාරයට ගන්නා කුඩා බෙහෙත් පෙත්තකට ජීවිතයට දරුණු ව්පාක ගෙන දීමට පුළුවන. එනිසාවෙන් ඉහත කරුණු ගැන ඔබේ දැනුවත්භාවය මත ඔබගේ මෙන්ම තවත් ජීවිතයක් වුවද රැක ගත හැකිවනු ඇත.
කතාබහ
ධාරා අබේනායක




