NovelsRath Dothaluරත් දෝතළු - 92

රත් දෝතළු – 92

-

spot_img

රත් දෝතළු – 92

එළඹි සතියේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය පැවැතුවුණ අතර එයට බොහෝ සෙනඟක් සහාභාගී විය. මා එවැන්නක් දුටු පළමුවතාවය. පෙරදින සන්ධ්‍යා මෙහෙයද අපූරුය. මංගල්‍යය අවසානයේ මීසමේ බැතිමතුන් පියතුමන්ලා සමඟ මෙන්ම කන්‍යාසොයුරියන් සමඟද කතා කරන්නටත් සුබ පතන්නටත් පැමිණියෝය. මා තේජාන් දුටුවේ එවිටය. ඔහු මා දැක මා අසලට පැමිණියේය.

“මිස් අරවින්දි… හැපි ෆීස්ට්…”

ඔහු සුබ පැතූ අතර මමද පෙරළා සුබ පැතීමි.

“ඉතින් කොහොමද… පහුගිය ටිකේ බිසී වෙන්නැති පේන්න නොහිටියේ…”

සුහද ලෙස ඔහු විමසුවද මා සිටියේ සිත යටින් කැළඹීමකය.

“ඔව්… මේ ටිකේම වැඩ ගොඩාක් තිබුණා… මිසටර් තේජාන්…”

“අනේ… මට තේජාන් කීවාම ඇති…”

ඔහුගේ හඬේ පවා වූයේ දඟකාර බවකි.

“නමින් කතාකරන්න තරම් අපි දැන අඳුනගෙන නැහැනේ මිස්ටර් තේජාන්…”

මම කීවේ නුහුරු ලෙසය.

“ඉතින් ඒකනේ මේ කතා බහකරන්නේ… මාත් කැමතියි අරවින්දිව අඳුනගන්න…”

එවර ඔහු මා නමින් ඇමතීය. මා සිත වඩ වඩාත් නොසන්සුන් වන්නේ මන්ද කියා මට නොවැටහේ.

“දැන අඳුනගත්තා කියලා සිද්ධවෙන හොඳක් නැහැ මිස්ටර් තේජාන්…”

“හොඳද නරකද බලන්නත් අපි කතාබහ කරන්න එපැයි… නේද…?”

“කෙනෙක් එක්ක කතාබහ කරනකල් තියෙන කුතුහළය ඊට පස්සේ නැතිවෙනවා… ඇරත් අපිට කතාකරන්න තරම් පොදු දේවල් තියෙන්න විදියක් නැහැ…”

“හැමදේටම දෙන්න ලස්සන උත්තරනම් තියනවා… ඇයි ඔච්චර අකමැති මා එක්ක කතා කරන්න…?”

“මට ඒකට හේතු ඕන තරම් තියනවා… අනික අපි දැන අඳුනගත්තා කියලා මොනවද ලැබෙන්නේ…?”

“අපි දෙයක් ලබාගන්නමද කෙනෙක් එක්ක කතා කරන්නේ…?”

“ඒක එහෙම නෙවෙයි කියලද මිස්ටර් තේජාන් කියන්නේ…?”

“නැත්තෙමත් නැහැ… ඒත් මං ආසයි ඔයාව අඳුනගන්න…”

“ඒකෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ මිසටර් තේජාන්… මං ඔයාව මෙහෙදි දැක්කොත් කතාබහ කරන්නම්… ඊට එහා දැන හැඳුනුම්කම් ඕන නැහැ…”

“මට ඕන ඊට වඩා දෙයක් අරවින්දි… මං සිස්ටර් නිලූපා එක්කත් කතාකළා…”

“මට කිව්වා… මං දුප්පත් පවුලක කෙනෙක් මිස්ටර් තේමිය…”

“ඒක ප්‍රශ්නයක් නෙවේනේ…”

“ප්‍රශ්නයක් තියනවා මිස්ටර් තේජාන්…”

“අපි හැමෝටම ප්‍රශ්න තියනවා අරවින්දි…”

“ඒත් මේ ප්‍රශ්නේ බරපතලයි…”

“ඉතින් මොකක්ද ප්‍රශ්නේ…?”

මම දිගු හුස්මක් ගතිමි. මෙය දිග දුරට ගෙනයා යුතු නැත.

“මම දරුවෙක් වදපු ගැහැණියෙක් මිස්ටර් තේජාන්…”

පුදුමයක් ඔහු මුහුණේ සටහන් වුවද මා සිතේ වූ මහා බරකින් නිදහස් වූවාක් බඳු හැඟීමක් මා සිතේ ඇතිවිය.

“නෝ… ඉම්පොසිබල්… අයි කාන්ට් බිලීව් දැටි… ඔයා විහිළුකරනවා… එහෙම නේද…?”

මා මුවට සිනහවක් නැඟුණේ නිරායාසයෙනි. ඔහු සැබෑවටම කැළඹීමට පත්ව සිටියේය.

“නැහැ මිස්ටර් තේජාන්… මම මොකටද මේ වගේ දෙයක් ගැන විහිළු කරන්නේ… මං කිව්වේ ඇත්ත… මං කියනදේ විශ්වාස නැත්නම් සිස්ටර් නිලූපාගෙන් අහන්න… ඒත් අවිශ්වාස නම් අපි මෙහෙමවත් කතා කරන එකේ තේරුමක් නැහැ…”

වෙනත් කිසිත් නොකියා මම ඔහු අසලින් මෑත්වූයේමි.
————————————————————————————————————————————————————-
මා නිවසට පැමිණියේ කලින් නොදන්වාමය. අම්මා මා දැක දිව විත් මා වැළඳ හඬන්නට වන විට ඉකි ගසමින් මටද හැඬුණේ මෙතෙක් කලක් සිතේ සිරකරගෙන සිටි දුක පිටාර ගලමිනි. නංගීත් අප අතරට මැදිවූ විට මල්ලීත් තාත්තාත් පසෙක හිඳගෙන බලා සිටියේ දෑස්වල බොඳවුණු කඳුළින් බව මා දුටුවේ බොහෝ වේලාවකට පසුවය.

“දැන් ඉතින් ඔය මදෑ… කෙල්ලට හුස්මක් කටක් ගන්නවත් ඉඩ දියල්ලා…”

තාත්තාගේ හඬේ වූයේ පාලනය කරගත් හැඬුම් මුසු බවකි. මම ඔහුට දණගසා වැන්දෙමි. නැඟී සිටින්නට වාරු නැති නිසා නොව මා මඳ වේලාවක් ඔහුගේ දෙපා අසළ දණ ඔබා සිටියේ සිත දැවුණු ශෝකය නිසාය.

“නැඟිටපන් ලොකු පුතේ…”

ඔහු මා දෙවුරෙන් ඔසවා කීවේ දෑස්වල කඳුළු පුරෝගෙනය. මල්ලී උසින් වැඩී සිටියේය. මේ දෙවසරට ඔහු උස් මහත් වී ඇති සැටි දැක මටම පුදුම සිතිණි.

“කොච්චරවත් උඹ ගැනමයි කතාව ලොකු දුවේ… ඔය අඬන්නේ සතුටට…”

තවමත් හඬමින් සිටි අම්මා මුළුතැන්ගෙය දෙසට යනු දැක තාත්තා කීවේ රහසින් මෙනි. මුවින් නොකීවද ඔහුද සිටින්නේ සතුටින් බව නොරහසකි. මා මේ දෙවසර කෙසේ ගෙවූවාද කියා දැන සිටියා නම් ඔවුන් තවත් ශෝකයෙන් හඬනු ඇතැයි කියා මට සිතිණි.

“ලොක්කාක්කා සුදු වෙලා… මහත් වෙලා…”

නංගී කීවේ මා තුරුළට ළංවෙමිනි. ඇයත් දැන් පිරිපුන් යෞවනියකව වැඩී සිටියාය. මගේ වෙනසක් ඔවුනට පෙනේවි යැයි කියා මම සිටියේ බියෙනි.

“මල්ලිත් දැන් උස ගිහින්…”

කතාව වෙනස් කිරීමට සිතා මම කීවෙමි.

“තවම හතේ පන්තියේ… ඒ වුණාට හිතන් ඉන්නේ ලොකු කොල්ලෙක් කියලා…”

නංගී ඔහුට සරදම් කළාය.

“ලොකුයි තමා.. ඇයි මොකද…?”

ඔහුද අත් හරින පාටක් නැත.

“ඇති… ඇති…. දෙන්නා එකට හිටියොත් මට කෑගහලා පණ යනවා…”

අම්මා ඔවුන්ගේ වාදය මැදට පනිමින් කියනවිට දෙදෙනාම නිහඬ වූහ. නිවැසියන්ට මා ගෙනා දේවල් දැක් ඔවුන් තුළ ඇත්වූ සතුට දැක මා සිතේ ඉපදුණේ සතුටක් නොව ශෝකී හැඟීමකි. සියල්ල සුපිරි වෙළඳසැල් වලින් මිලදී ගත්තා මිස විදෙස් රටකින් ගෙනාවා නොවේ.

“මොකටද මෙච්චර වියදම් කළේ…?”

අම්මා එසේ කීවද ඈ සිටියේ සතුටිනි. බොහෝ කලකින් අම්මා ඉවූ බත් කටක රස බලන විට මා සිත අලුත් ශෝකයකින් දැවිණි. එහි රසය එදා වගේමය. ගෙවී ඇත්තේ කාලය පමණි.

“මාත් කඩුවෙල ගාර්මන්ට් එකක වැඩට යනවා ලොකු දුවේ…”

දිවා ආහාරයෙන් අනතුරුව මාත් අම්මාත් මුළුතැන්ගෙයි මේසයට හිඳගෙන කතාබස් කරමින් සිටින විට ඈ කීවේ මා පුදුමයට පත්කරමිනි. පැරණි නිවසේ මෙන් මෙහි ලී බංකුව නැත. එය මුළුතැන්ගෙයි දොරකඩ තබා තිබිණි. පෙර මෙන් එය හිඳගන්නට භාවිතයට නොගත් අතර ඒ මත තබා තිබුණේ අඩුම කුඩුමය.

“ඒ ඇයි අම්මේ… මම වියදමට සල්ලි එව්වනේ…”

අහස්ගේ නිවසේ සිටි දිනවලත් මම අම්මාගේ හිණුමට මුදල් බැර කළෙමි. නිවසේ අඟ හිඟයක් තිබෙන්නට නම් නොහැකිය. අම්මා මෙසේ සේවයට යන්නේ මන්ද.?

“ඔව් ළමයෝ… ඔයා පිටරට ඉන්න කාලෙත් සල්ලි වැටිලා තිබුණා… මං ඒ සල්ලි ගත්තේ හදිසිම දෙයකට හරි නංගිලාගේ ඉගෙනුම් වැඩකට හරි විතරයි… මට ගෙදරට වෙලා නිකන් ඉන්න බැහැ… අත පය වාරු තියෙන කාලේ රස්සාවක් කළාම මොකද…?”

මම කෙටි සුසුමක් හෙළීමි. ඈ කියන්නේද සත්‍යයකි. ඒ නිසා මම එයට විරුද්ධව කිසිත් නොකීවෙමි.

තාත්තා එළවළු පාත්තියක් දමා තිබූ අතර සවස ඔහු පැළවලට වතුර දමන අතරේ මමද එළවළු කොටුවට ආවෙමි. මෑ කරල් වැල් සරුවට වැවී තිබූ අතර මල්ද පිපී තිබිණි. බණ්ඩක්කා ගස් වලද මල් පොට්ටු හටගෙන ඇත. වැටකොළු කරවිල සහ පතෝලද මැසි ගසා මනාව නඩත්තු කරගෙන යනු දැක මා සිතේ ඇතිවුයේ සතුටකි.

“මේ තාත්තා හිටෝපුවද…?”

මම ඇසීමි.

“ඔව්… අපි හතරදෙනාම තමා…”

“තාත්තට එහෙම මහන්සිවෙන්න හොඳයිද…?”

“මහ ලොකු මහන්සියක් නැහැ… ඉස්සරට වඩා දැන් හොඳයි… අර මහත්තයාට පින් සිද්දවෙන්න අලුත් දොස්තර මහත්තයාගෙ බෙහෙත් හොඳට අල්ලලා හිටියා…”

අහස් සිහිකරමින් තාත්තා කියනවිට මා මුවින් ගිළිහෙන්නට ගිය සුසුම මම ආයාසයෙන් මැඩගතිමි. තාත්තා වතුර දමන අතරේ මම හැරී ගෙතුළට ආමි.

“ඔයාලාගේ සර් කෙනෙකුත් ආවා දෙතුන් වතාවක්ම මේ පැත්තෙන් යන ගමන්… නේද අම්මා…?”

නංගී කීවේ මම විත් පුටුවක හිඳගන්නා විටය. මම කුහුළින් යුතුව අම්මා දෙස බැලීමි. කවුරුන් වත් අපේ නිවස දන්නේ නැත. අහස් කිසිවෙකු හෝ එවූවාවත්ද කියා සැකයක් මා සිතේ ඇතිවිය. මා ගැන තොරතුරක් දැනගැනීමට ඔහු විහඟවවත් මෙහි එවූවා වන්නට ඇතිද.?

“කවුද අම්මා ආවේ…?”

මම ඇසුවේ මැඩගත නොහැකි කුතුහළයෙනි.

-හෙටත් හමුවෙමු-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ඩෙංගු මරණ 15ක් වෙයි. අධි අවදානම් කලාප 39ක්!

ඊයේ දිනය වන විට වසරේ ගෙවුණු කාලය පුරා ඩෙංගු රෝගීන් 29589ක් වාර්තා වී තිබෙන අතර ඉන් 15ක් මිය ගොස්...

ආනයන වාහනවලට සියයට  පනහක අධිභාරයක්

ආනයන වාහනවලට සියයට  පනහක අධිභාරයක් විදේශයෙන් මෙරටට ගෙන්වන වාහනවලට නියම කෙරෙන රේගු ආනයන තීරු බදු මත සියයට පනහක අධිභාරයක් අය...

ඔත්තෙ ඉරට්ටෙ වෙනුවට QR එක

ඔත්තෙ ඉරට්ටෙ වෙනුවට QR එක ඉන්ධන සහන ලබාදීමට ඇති අවස්ථා  මෙන්ම මෙතෙක් ඉන්ධන නිකුත් කරනු ලබන ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමය...

රුපියල් දහය, ජේ.ආර්. සහ කම්කරු දිනය

රුපියල් දහය, ජේ.ආර්. සහ කම්කරු දිනය තවත් මැයි දිනයක් අහවර විය. එයත් වෙනදා මෙන්ම රතු, නිල්, කොළ පාට සන්දර්ශනයකින් අවසන්...
- Advertisement -spot_img

ඔත්තෙ ඉරට්ටෙ වෙනුවට QR එක

ඔත්තෙ ඉරට්ටෙ වෙනුවට QR එක ඉන්ධන සහන ලබාදීමට ඇති අවස්ථා  මෙන්ම මෙතෙක් ඉන්ධන නිකුත් කරනු ලබන ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමය...

ලිවීම සහ දිවීම දෙකම මට ගැළපෙනවා – ශ්‍රේෂ්ඨ ජපන් නවකතාකරු හරුකි මුරකමි

ලිවීම සහ දිවීම දෙකම මට ගැළපෙනවා - ශ්‍රේෂ්ඨ ජපන් නවකතාකරු හරුකි මුරකමි බ්‍රිතාන්‍ය ගායක හැරී ස්ටයිල්ස් (Harry Styles) ලොව පුරා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you