NovelsRath Dothaluරත් දෝතළු - 93

රත් දෝතළු – 93

-

spot_img

රත් දෝතළු – 93

අම්මා සෑදූ තේ උගුරක රස බලන්නේ බොහෝ කළකිනි. නිවසට පැමිණියේ කවුද කියා ඈ තවම පැවසුවේ නැත. තාත්තා විත් මුළුතැන්ගෙයි පඩිය මත හිඳ ගත්තේය.

“මොකද තාත්තේ බිම ඉඳගත්තේ…?”

නොසතුටෙන් මම ඇසීමි.

“මෙහෙම හොඳයි… මොකද මට බිම ඉඳගෙන පුරුදු නැතිවැයි…”

තාත්තා කීවේ මඳහසක් පාමින් මවෙත හැරීය.

“කවුද අනේ අර ලොකු දුවලාගේ වැඩපළේ ආව මහත්තයාගේ නම… ඒක හරි අමුතු නමක්…”

අම්මා විමසුවේ තාත්තාගෙනි.

“රඝුපති රාඝව… රාජා රාම්…”

මල්ලී වහා කීවේ තාත්තාට පෙරය. නංගී උස් හඬින් සිනහසෙන්නට වූවාය.

“අන්න රාඝව… ඒ නම් මතක හිටින නමක් නෙවේනේ…”

අම්මා කීවාය.

“අපි එයා ගියාට පස්සේ ඒක කිය කියා තමා නම මතක තියාගත්තේ…”

මල්ලී කීවේ උජාරුවෙනි.

“ඉතින් මොනවද කිව්වේ…?”

මසිත ගැහෙන මුත් කිසිදු වෙනසක් නොපෙන්වාම මම ඇසුවෙමි.

“විශේෂ දෙයක් කිව්වේ නැහැ… මේ පැත්තෙන් යන ගමන් ගොඩවුණා කිව්වේ… අපි හොඳින්ද බලන්න කියලා සර් කිව්වාලු…”

“ආහ්… කවද්ද ආවේ…?”

“දැන් මාස තුනහතරකට කළින්… ඊට පස්සෙත් වතාවක් ආවා…”

ඒ මා පැමිණි පසුවය. මා පිළිබඳව තොරතුරක් දැනගන්නට පැමිණියා වන්නට ඇත.

“මට සමාවෙන්න අහස්…”

මම සිතින් මිමුණුවෙමි. රාත්‍රිය තුළ වූයේ දිගු නිහැඬියාවකි. රෑ අහස පාළුවට ගිය බවක් දිස්වූ අතර තරු මලක් හෝ දිස් නොවූයේ වැස්සක් වහින්නටදෝ කියා මට සිතිණි. අපි සියලු දෙන එකට එකතුවූයේ බොහෝ කලකට නම් පසුවද?

“අම්මේ… මටත් බැරිද මේ කිට්ටුවෙන් ජොබ් එකක් හොයාගන්න…?”

බලාපොරොත්තු සහගත හඬකින් මම විමසුවෙමි. නංගී බලාපොරොත්තු දැල්වුණු දෑසින් මදෙස බලා සිටි අතර මල්ලීගේ මුහුණේ සතුටක සේයාවක් දිස්විය.

“අනේ ලොක්කාක්කේ… ඒකනම් හොඳයි…”

නංගී කෑගැසුවාය.

“ඒ මොකද හදිසියේම ලොකු දුවේ…?”

අම්මා පුදුමයෙන් ඇසුවාය.

“හදිසියේම නෙවේ… දැන් ඉතින් සෑහන කාලයක් පිට හිටියානේ… ගෙදර ඉඳන් යන්න එන්න පුළුවන් ජොබ් එකක් හොයාගත්තා නම් හොඳයි…”

“අම්මලාගේ ගාර්මන්ට් එකට දාගන්න පුළුවන් ලොක්කාක්කේ…”

මල්ලී කීවේ අම්මා කිසිත් කීමට පෙරය. මම අම්මා දෙස බැලීමි.

“ඔව්… පුළුවන් නම් තමා… ඒත් ඉතින් ඔය ඉන්න තැනින් අයින්වෙනවට ඒ මහත්තුරු කැමතිවෙයිද…?”

“ඒක නම් කමක් නැහැ… මං කියන්නම්කෝ…”

නොසැලකිළිමත් ලෙස මම කීවෙමි.

“අනේ ඔයා එන්න… ඔයා ඉන්නවා නම් හොඳයි… නේද චූටි…?”

මල්ලී කියනවිට නංගීද හිස සළමින් එය අනුමත කළාය.

“ඒත් ඉතින් ළමයෝ… එහෙම එකපාරම අයින් වෙලා එනකොට ඒ මිනිස්සු කැමතිවෙයිද… අපිට මහත්තයාත් ගොඩාක් උදව් කළානේ…”

මෙතෙක් නිහඬව සිටි තාත්තා කියනවිට මා සිතේ ඇතිවූයේ අනුකම්පාවකි. ඔහු සැබෑ තතු නොදැන සිටීම වාසනාවකි.

“දැන් එහෙට වෙලා හිටියා ඇති වගේ…”

නංගීගේ කර වටා දෑත් යවමින් මම කීවෙමි.

“හ්ම්ම්… හොඳ විදියක්…”

“යමු ඇතුළට… සීතල අල්ලයි…”

අම්මා නැඟී සිටියේ එසේ කියමිනි. තාත්තාත් නැඟිට ගෙතුළට යනවිට මල්ලීද ඔවුන් සමඟ ගියේය.

“නිරූ අක්කා රට ගියේ පදිංචියටමද අක්කේ…?”

නංගී හදිසියේ අසනවිට මම තිගැස්සී ගියේ නිර්මාණි විදෙස්ගතවූ බවක් පවා මම දැන නොසිටි බැවිනි.

“නැහැ… ආයේ එයි… මිස්ටර් සංජීව්ගේ බිස්නස් තියෙන්නේ මෙහෙනේ…”

“එයා කිව්වේ මාස කීපෙකින් එනවා කියලා තමා… මං නිකමට ඇහුවේ…”

නංගී එසේ කියන විට මම දිගු හුස්මක් ඇද්දෙමි.

“මොනවද ලොක්කාක්කේ ඔයා ඔය තරම් කල්පනා කරන්නෙ…?”

නංගී‍ යළිත් මා විමසනවිට මම කිසිදු වෙනසක් නොපෙන්වා නංගී දෙස බැලීමි.

“මොකුත් නැහැ චූටි… අපේ පරණ ගෙදර මතක්වුණා… ඇට්ටේරියා ගහේ තාම මල් පිපෙනවා ඇති…”

ඒ මොහොතේ මුවට ආවට මම කීවද එය මුසාවක්ම නොවේ.

“ඔව් අනේ… මටත් මතක්වෙනවා… ඔයා ඊළඟ පාර ආවාම අපි ගිහින් එමුද…?”

නංගී අසනවිට මම පුදුමයෙන් ඈ දෙස බැලීමි.

“දැන් මොකටද චූටි අපි එහේ යන්නේ… ඒ ඉඩම ගත්ත මිනිස්සු දැන් එහේ ගෙවලුත් හදලා ඇති…”

මම කියනවිට නංගී කළේ අතින් මුව වසාගෙන සිනහසීමය.

“මොකද හිනාවෙන්නේ…?”

නොසතුටින් මම ඇසුවෙමි.

“අනේ… අනේ…. ලොක්කාක්කේ… ඒ ඉඩම විකුණලා නැහැ… ඒ ඉඩමේ උකස බේරලා විතරයි… තවම ඉඩම තියෙන්නේ තාත්තාගේ නමට… නිරූ අක්කා ඔප්පුව ගෙනත් දීලා ගිහින් තියනවා දවසක් ගෙදරට… මං එදා හිටියේ නැහැ… පන්ති ගිහින්…”

“මොකක්…?”

මගේ සිරුර පුරා සීතලක් දිව ගියේය. අහස් කීවේ ඉඩම මිලදී ගත් බවය. එසේම මේ නිවසත් ඉඩමත් මිලදී ගත්තේ ඒ මුදලිනි. එසේ නම්, ඔහු එසේ කියන්නට ඇත්තේ බොරුවටද.? දෙවියනේ…! මට මෙය අදහගන්නට නොහැකිය.

“ඔව් අනේ… ඒ ඉඩම තාම අපේ…”

මට මේ අසන්නට සිදුවෙන්නේ කවදාවත් අසන්නට සිතා නොසිටි දේවල්ය. අහස් මේ සියල්ල ඉටුකළේ මා වෙනුවෙන්ද.? සිත වඩ වඩාත් රිදුම්දෙන්නට වූයේ වරදකාරී හැඟීමකිනි. පසුදින් මම පාලිත මාමාට ඇමතුමක් ගතිමි. ඔහු සමඟ කතාකරන්නට ලැබුණේ බොහෝ කලකිනි. ඔහු සිටින්නේ ඉතාමත් සතුටින් බව කටඬින්ම මට හඳුනගන්නට හැකිවිය.

“මාමා ඉන්නේ ලොකු සතුටකින් වගේ…”

“සතුටු නැත්ද ළමයෝ… මේ වෙන දේවල් දැක්කාම…”

“ඒ මොකක්ද මාමේ…?”

“උං කරපු දේවල් දැන් උන්ටම පටිසන් දෙනවා…”

මේ කතාකරන්නේ ජිනපාල මුදලාලි ගැනය. කුහුළක් මා සිතේ ඇතිවිය.

“මොකක්ද වෙලා තියෙන්නේ මාමේ…?”

“මනුස්සයෙක්ට ලෙඩක් දුකක් හැදුණාම හොඳයි කියන ජාතියේ මිනිහෙක් නෙවේ මං.. ඒත් මං මේකට නම් කියන්නේ හොඳම වැඩේ කියලයි…”

“ජිනපාල මුදලාලි…?”

“ඔව්… ඔව්… ඒ පාහරයා තමා… මගේ කෙල්ලව බන්දලා දෙන්න කියලා මං ඕකගේ දෙපතුළ වැන්දේ නැති ටික විතරයි… අද මොකද වෙලා තියෙන්නේ… මිනිහගේ මොළේ නහරයක් පුපුරලා අංශභාගේ… දැන් ඇඳට වැටිලා… ගෑණි එහෙන් ලෙඩ වෙලා… පුතා සදාකාලික අබ්බගාතයෙක් වෙලා… බෙහෙත් කරන්නත් දැන් උන්ට සල්ලි නැහැ… රබර් ඉඩමත් කට්ටිකර කර වික්කා… අපේ ඉඩම කිට්ටුවෙන් අපේ කෙල්ලත් ඔන්න අක්කරයක් ගත්තා…”

මේ අහන්න ලැබෙන්නේ සිතට සතුටුදායක නොවන දෙයක් මුත් කළකම් පටිසන් දෙනවා යැයි කියා මට නොසිතා බැරිවිය.

“මුං සේරම දැන් විඳෝනවා ළමයෝ.. මුංව බලන්න එකෙක් නැහැ… ගමේ මිනිස්සුවත් ගෙවල් පැත්තට යන්නේ නැහැ… උන්ට ඇන් ඉතුරු වෙලා තියෙන්නේ ඉන්න ගේයි ඉඩමයි විතරයි… මගේ කෙල්ලට කරපු අපරාදෙට මුන්ට ඔහොම වෙලා මදි…”

මා සිතේ අනුකම්පාවක් නොඉපදිණි.

“කෙල්ලත් අද හෙට එයි… ආයේ යන එකක් නැහැ…”

“අනේ ඒක හොඳයි මාමේ… අපි එන්නම් ඇවිත් යන්න…”

කේෂවද දැන් සිටියාටත් වඩා වියපත් මහල්ලෙක් මෙනැයි කියා පාලිත මාමා කීවේය.

“තමුන් වපුරන තරමටලු නෙළාගන්නේ…”

තාත්තා කීවේ මම තොරතුරු ඔවුන් සමඟ පවසන විටය.

-හෙටත් හමුවෙමු-

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you