NovelsRath Dothaluරත් දෝතළු - 88

රත් දෝතළු – 88

-

spot_img

රත් දෝතළු – 88

මට නිතර අහස් සිහි විය. ඔහුගේ මතකයෙන් මා කෙලෙස මිදෙන්නද.? මා නිවසින් පිටව ඇතිබවක් දැනගත් විට ඔහු කුමක් සිතන්නට කුමක් කරන්නට ඇතිද කියා සිතන විට මා හද ශෝකී හැඟීමකින් පිරී යයි. සමහරවිට ඔහුද මේ සියල්ල මෙසේ සිදුවීම ගැන සතුටුවනවා විය හැක. අහස් මෙන්ම සිහින පුතුවද සිහි නොකර සිටීමට යත්න දැරීම දිය යට සඟවන්නට දරන රබර් බෝලයක් මෙනි. ඒ හැම වරම මා සිත දුකින් පිරී යයි. කාර්යබහුලව දවස ගෙවී යනවිට සිතන්නට ඉඩක් නැත්තේමය. හඬන්නට වුවමනා වුවද එයට ඉඩ කඩක් මෙහි නැත. බොහෝ විට දුක සිත තුළ තෙරපාගෙන මම නිහඬව සිටින්නෙමි.

එක් දිනක් නිවාසයේ සිටින අම්මා කෙනෙකුට අසනීපව සිටි බැවින් නිලූපා සොයුරියත් සමඟ ඇයව වෛද්‍යවරයෙකු ගෙන යෑමට මමද එකතු වූයෙමි. නිලූපා සොයුරියගේ අවසරයෙන් මම නිර්මාණිට ඇමතුමක් ගත්තේ පෞද්ගලික රෝහල අසල වූ දුරකථන කුටියෙනි. මගේ හඬ හඳුනාගත් ඈ කෑගැසුවාය.

“අරවින්දි… ඔයා කොහෙද ඉන්නේ… මොකද වුණේ…?”

“මම හොඳින් නිරූ…මං හොඳින්… මං ගත්තේ ඒක කියන්න…”

එපමණක් කියා මම ඇමතුම විසන්ධි කළේ නිර්මාණි කුමක් හෝ කීමටත් පෙරය. කතාබහ දිගු වූවා නම් එය කොතනින් කෙළවර වනු ඇතිද කියා සිතාගන්නට නොහැකිය. මම නැවත රෝහල ඇතුළට යන විට නිලූපා සොයුරිය විපරම් බැල්මක් මවෙත හෙළුවාය.

“යාළුව මොකද කියන්නේ…?”

ඈ පසෙක වූ හිස් අසුනේ මම හිඳගන්නා විට ඈ විමසුවාය.

“වැඩිවෙලා කතාකළේ නැහැ… මං හොඳින් ඉන්නවා කියන්න විතරයි ඕන වුණේ…”

ඈ කිසිත් නොකීවාය. වෛද්‍යවරයා තවම පැමිණ නොසිටියෙන් අපිට තරමක් වෙලා බලා සිටින්නට සිදුවිය. රෝගීන්ද බොහෝ දෙනෙකු එහි සිටියෙන් අපි නැවත එනවිට තරමක් රෑ බෝ වී තිබිණි.
————————————————————————————————————————————————————-
සතියේ මැද දිනක් වූ එදින තරමක් කාර්යබහුල දිනයක් විය. වැඩිහිටියන් හමුවන්නටත් ප්‍රධාන මව්තුමිය මුණගැසීමට මෙන්ම දෙව්මැදුරේ වාර්ෂික මංගල්‍යයත් ආසන්නව තිබු බැවින්ඒ වැඩකටයුතු සාකච්ජා කිරීමටත් එහි පිරිස් ආවා ගියෝය. මේ හේතුවෙන් එදින සැමදෙනම කාර්යබහුල වූහ. අපට විවේකයක් ලැබුණේ සවස් වරුවේදීය. ඒ මොහොතේ මාත් නිලූපා සොයුරියත් මල් පැළවලට සාත්තු කිරීමට යොදා ගතිමු.

“අද නම් හරිම මහන්සි දවසක්…”

නිලූපා සොයුරිය කීවාය.

“අද කට්ටිය හුඟාක් ආවා නේද සිස්ටර්…?”

“ඒකනේ… පල්ලියේ මංගල්ලෙත් ළඟයිනේ…”

“මෙහෙ වැඩිහරියක් කතෝලික අය නේද…?”

“ඔව්… ඒත් බෞද්ධ අයත් ඉන්නවා… අරවින්දිට පන්සල්‍ යන්න ඕන නම් යන්න…. මේ ළඟම පන්සලකුත් තියනවා…”

ඈ සිහිකළාය. එය මමද දුටිමි.

“ඕන නැහැ සිස්ටර්…”

මම වහා කීවෙමි.

“මේ මල් පැළ සේරම කේඩෑරී වෙලා ගිහින්…”

ඈ කීවේ වියළී ගොස් තිබූ අතු කීපයක් කතුරකින් කපා දමමිනි. මට සිහිවූයේ බණ්ඩාරවෙල අහස්ගේ බංගලාවේ සාරවත්ව වැඩී තිබූ ඩේලියා සහ රෝස ගස්ය.

“හරියට වැස්ස නැති නිසා වෙන්නැති… අනික මේවට අලුත් පස් දාන්න ඕන සිස්ටර්… ගස්වල මුල් සාරය සේරම උරාගෙන තියෙන්නේ…. ඒකයි ගස් කේඩෑරි…”

“ඒක නම් ඇත්ත… ඒත් ඉතින් මේ පල්ලිය වත්තේ හොඳ පස් නැහැ… බොරළු තියෙන්නෙ…”

“ඔව් ඒකනේ…”

ඉදල ගෙන මම කුණු රොඩු සියල්ල අතුගා එකතැනකට ගොඩ ගැසීමි. පසුව ඒවා පිටුපසට ගෙන ගොස් දැමීමට සූදානම් වන මොහොතේ මෝටර් රථයක් විත් දෙව්මැදුර ඉදිරිපිටම නවතනු දුටිමි. අපට එය එතරම් දුලභ දසුනක් නොවූ බැවින් අපි එවෙත අවධානයක් යොමු නොකළෙමු. බොහෝවිට යාක්ඤා කිරීමටත් මෙසේ බැතිමතුන් යති එති. රථයෙන් බැසගත් අය පැමිණෙන්නේ අප දෙසට බව දැක නිලූපා සොයුරිය හුන්තැනින් නැඟී සිටියාය. ප්‍රධාන මව් තුමිය මේ මොහොතෙ විවේකයෙන් පසුවන බැවින් පැමිණෙන අය සමඟ කතාබස් කිරීමට සිදුවූයේ නිලූපා සොයුරියටය.

“ඒ පාර කවුද දන්නැහැ… අරවින්දි… ඔය ටික කුණු ගොඩට දාලා ඔයත් එන්න… ඔෆිස් එකේ පොඩි වැඩක් තියනවා අදට ඔය මැදෑ…”

ඈ එසේ කියා කරාමයෙන් දෑත් සෝදාගන්නා විට මම කුණු රොඩු ටික රැගෙන පිටුපසට ආවෙමි. පිටුපස ඇති බැරලයට කුණු රොඩු දමා මම දෑත් සෝදාගෙන නැවත කාර්යාලය දෙසට පැමිණියේ සුළු මොහොතකට පසුවය. එවිට පැමිණි අය ගොස් සිටි අතර නිලූපා සොයුරිය පුටුවක් උඩ නැඟගෙන පොත් රාක්කය අස්පස් කරමින් සිටියාය.

“අරවින්දි… ඔය පොත් ටික අරන් දෙන්නකෝ… ලොකු සිස්ටර් ඊයෙත් කිව්වා පොත් රාක්කේ පොඩ්ඩක් අස්කරන්න කියලා… මං මේ මතක්වුණ වෙලේ පටන් ගත්තේ… නැත්නම් ආයේ වෙලාවක් හමබෙන්නේ නැහැ…”

මේසය මත වූ පොත් ටික මම ඇයට රැගෙන දුනිමි. ඒ මොහොතේ මට සිහිවූයේ විනීෆ්‍රීඩා මහත්මියගේ කාමරයේ පොත් රාක්කයයි. ගිළිහෙන්නට ගිය සුසුම මම ආයාසයෙන් මැඩගතිමි. මෙතන නම් වූයේ කතෝලික පොත් පත්ය. ගීතිකා පොත් මෙන්ම විවිධ ශුද්ධවන්තයන් ගැන ලියවුණු කෘතිය.

“අපිට ලබන සඳුද දවල්ට උයන්න ඕන නැහැ…”

නිලූපා සොයුරිය යළිත් කීවාය.

“ඒ ඇයි සිස්ටර්…?”

“දැන් ඇවිත් ගිය ඒ දරුවගේ සීයා නැතිවෙලා අවුරුද්දක්ලු…”

“ඒ කියන්නේ දානයක් දෙනවලුද නිවාසෙට…”

“ඔව්…”

“මේ පැත්තේ අයට සල්ලි තියනවා නේද සිස්ටර්…?”

“සල්ලි වලින් පෝසත්වුණාට අරවින්දි… ඒ අය පවුල් බැඳීම් එක්ක දුප්පත්… අසරණයි. ගොඩක් අයගෙ දරුවෝ එයාලා ළඟ නැහැ… ඒ අතින් එයලා තනිවෙලා…”

නිලූපා සොයුරිය කීවේ ශෝකී හඬකිනි. මා මුවින්ද සුසුමක් ගිළිහිණි. ඒ මොහොතේ මටද සිහිවූයේ මම තවම නිවැසියන්ට ඇමතුමක් නොදුන් බවය.

“ඒක නෙවේ… ඔයා ගෙදර අයට කතා කළාද…?”

සිය කාර්යය මඳකට නැවතූ නිලූපා සොයුරිය විමසුවේ මවෙත හැරෙමිනි.

“නැහැ සිස්ටර්… ගොඩ කාලෙකින් කතාකළේ නැහැ… නිරූ තමා එයාලගේ විස්තර හොයලා බලලා මට කිව්වේ…”

“ඒත් ළමයෝ… එහෙම හොඳ නැහැනේ… මම හරි කතාකරන්නද ගෙදරට…?”

තිගැස්සුණු බැල්මෙන් මම ඈ දෙස බැලීමි.

“ඊට පස්සේ මොකද වෙන්නේ සිස්ටර්… එයාලා දිගටම සිස්ටර්ට කතාකරයි… ගෙදරට කතා කළොත් අහස් සර්ලත් දැනගනියි… මං කැමති නැහැ ඒකට… තව ටික දවසක් මෙහෙම ගියාවේ සිස්ටර්…”

“හරි… දරුවෝ…ඔයා වද වෙන්න එපා… මේ ටිකත් ඔතනින් තියන්නකෝ…”

ඈ යළිත් මා වෙත පොත් කීපයක් දිගුකරමින් කීවාය. මම ඒ ටික රැගෙන මේසය මත තැබුවෙමි.

“අරවින්දිට පුතා මතක් වෙන්නේ නැත්ද…?”

ඈ විමසන විට මා දෑස් අලුත් වූ කඳුලින් තෙත් වූයේ නිමේෂයකිනි. කඳුළු සඟවාගන්නට මම දරන තැත නිලූපා සොයුරිය දකින්නට ඇත.

“ඔන්න ඉතින්… මං එහෙම ඇහුවේ ඔයාව අඬවන්න නෙවේ දරුවෝ…”

අනුකම්පා මුසු වූ හඬකින් ඈ කීවාය.

“අනවශ්‍ය දෙයක් අහලා මං ඔයාගේ හිත පෑරුවා නේද… මට සමාවෙන්න…”

පසුතැවිළ්ලක් ඒ හඬේ විය.

“අනේ නැහැ සිස්ටර්… අමුතුවෙන් පෑරෙන්න තරම් හිතක් මට නැහැ… දරුවා විතරක් නෙවේ… මට අහස් සර්වත් මතක්වෙනවා…”

අකීකරු කඳුළු දෙපේළියක් කම්මුල් තෙමාගෙන යන විට මම වහා වහා ඒ පිසගතිමි.

“ඔයා ඒ මැඩම්ට හරි කතාකරලා බලන්න ළමයෝ… හිතින් විඳවනවට වඩා හිත හරි සැහැල්ලුවෙයිනේ…”

“බැහැ සිස්ටර්… මට ඒක කරන්න බැහැ…”

“ඒ මොකෝ දරුවෝ… ඇයි… නිකමට කෝල් කරලා බලන්න…”

“ඒකෙන් කාටවත් සිද්දවෙන හොඳක් නැහැ සිස්ටර්… මට බයයි… දැනට වුණත් මම එයාලට හිතින් බැඳිලා… කතාකරන එකෙන් වෙන්නේ ඒ බැඳීම අලුත් වෙන එක… මේ ඉන්න විදියට ඉන්න එක තමා හොඳම දේ… එයාලටත් ඒක ටික ටික අමතක වෙයි…”

දැනටමත් එය එසේ වී ඇතිද කියා දන්නේ කවුද.? ඒ මොහොතේ අපි දෙදෙනම තිගස්වමින් මේසය මත වූ ජංගම දුරකථනයක් හඬ තළන්නට විය.

“මේක සිස්ටර්ගේ නෙවේනේ…”

මවිතයෙන් මම ඇසීමි.

“නැහැ… අර ඇවිත් ගිය දරුවගෙ වෙන්නැති… ඔය ගන්නවා ඇත්තේ ෆෝන් එක ගැන අහන්න…ආන්සර් කරලා කියන්න ෆෝන් එක මෙහේ කියලා…”

ඈ එසේ කීවේ ආපසු හැරී නොබලාම සිය කාර්යයේ නිරතවය.

-හෙටත් හමුවෙමු-

Latest news

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසම මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහු ශ්‍රී ලංකා නිවාක හමුදාවට...

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට ඩෙංගු රෝගය මැඩලීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ජාතික ඩෙංගු මර්දන සතිය  ඊයේ (15)...

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...
- Advertisement -spot_img

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

ගායකයන්ගේ කතාවක්

ගායකයන්ගේ කතාවක් - As Beautiful as a Dream වෙන් වේදිකාව පිටුපස තිබුණ මේකප් කාමරයේ කැඩපත ඉදිරිපිට අසුන් ගත්තේය. එහි සවි...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you