ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ
ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික තරුණයකුට මාස තුනක සිර දඬුවම් නියම කර තිබේ. ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා සිටි සරනීස් සිවකුමාර් නමැති මෙම ශ්‍රී ලාංකික දමිළ තරුණයා රැකියාවක් සොයමින් මෙල්බර්න් සිට බ්‍රිස්බේන් වෙත සංක්‍රමණය වූ අයකු බව පැවසේ. නමුත් නවාතැන් සහ රැකියා විරහිතව සිටි ඔහු, ළමා වියේදී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති වයස අවුරුදු 22 ක තරුණයකු බව වාර්තා වේ.
පසුගිය අප්‍රේල් මස 25 වන දින සරනීස් සිවකුමාර් ඔහුගේ මිතුරකු වූ බැඩ්ලි මව්හිනි සමඟ ක්වින්ලන්ඩ් හිදී මෙම ප්‍රහාරය එල්ල කරන ආකාරය CCTV කැමරාවල සටහන් වී තිබුණි. මෙම මිතුරන් දෙදෙනා තනිවම ගමන් කරමින් සිටි දුම්රිය මඟියා වෙත ගොස්, ඔහු සමඟ කතා කිරීමට පටන්ගෙන ඇති අතර පසුව එය ගැටුමක් බවට පත්ව ඔවුන් එම පුද්ගලයාගේ හිසට සහ මුහුණට කිහිප වතාවක් පහර දී, දුම්රිය දොරවල් හරහා ඔහුව ඇදගෙන ගොස් තිබේ. පසුව, සිවකුමාර් වීදුරු බෝතලයක් එම පුද්ගලයාගේ හිසට පහර දී ඇත. සිවකුමාර් උසාවියේදී පවසා ඇත්තේ ඒ සියල්ල තමා ආත්මාරක්ෂාව සඳහා කළ බවයි. නමුත් මහේස්ත්‍රාත්වරයා “යමෙකුගේ හිසට බෝතලයකින් පහර දීම ආත්මාරක්ෂාව නොවන බවත්, එය අහිංසක මිනිසෙකුට එල්ල කළ ඉතා දරුණු ප්‍රහාරයක් බවත් පවසා දඬුවම් නියම කොට තිබේ.
-විදෙස් පුවත් ඇසුරෙනි-