More
    NovelsTharu Mal ViyanTharu Mal Viyan තරු මල් වියන් - 23

    Tharu Mal Viyan තරු මල් වියන් – 23

    -

    spot_img

    Tharu Mal Viyan තරු මල් වියන්

    මුලින් බෙල්ලන් විල යමු යැයි කළ යෝජනාව වෙනස් කර එය කැලණි විහාරයට යමු යැයි යෝජනා කළේ ගයානිය. අනෙක් අයගේද ඊට අකමැත්තක් නොවීය. තුෂරගේ රථයේ ඔහුත් රේණුකාත් සුරම්‍යාත් හිමානි සහ සෙනුරත් මියුරත් පැමිණෙන විට ශාමින්ද සමඟ අනෙක් තිදෙන රථයට නැඟුණහ. ගයානිත් රංගිකාත් අංජලීව ඉදිරිපස අසුනට යවා ඔවුන් දෙදෙන පිටුපස අසුනේ අසුන් ගත්තේ සිතා මතාමය. වෙන යමක් කළ නොහැකි නිසා ඈ පසු බාමින් වුවද ඉදිරිපස අසුනේ හිඳ ගත්තාය.

    “අයියාගේ යාළුවා ඉතින් අංජුනේ…ඒ නිසා ඔන්න එයාව එව්වා ඉස්සරහට…”

    ශාමින්ද සිත යටින් සතුටු වුවද මුවින් පැවසුවේ අනිකකි.

    “මෙයා ඉතින් ළඟ හිටියාට වැඩක් නැහැ…මහා දවාලෙත් අහසේ තරු හොයයි…”

    ඔහු එල්ල කළේ සියුම් ඇනුම්පදයකි. දෙතොල් සපා ගත් ඈ නිහඬව බිමට හිස ඔබා ගත්තාය.

    “පේනවනේ…මං කිව්වේ…බොරුද…දැන් මොනවද දැන්නැහැ ඔය බිම බලන් හොයන්නේ…?”

    මිතුරියන් දෙදෙනා උස් හඬින් සිනහසෙන විට අංජලී පිටුපසට හැරී ඔවුනට රැවුමක් මුදා හැරියාය.

    “බොරුවට අපිට රවන්න එපා…අපි මොකුත් කිව්වේ නැහැනේ..නේ ගයා…?”

    “ඔව්…ඔව්…අයියේ…මොකුත් කියන්න එපා…මෙයාගෙන් කණේ පාරක් කන්න වෙයිද දන්නැහැ…”

    පෙර සිදුවීමක් සිහි කරමින් ගයානි කියන විට ශාමින්ද වහා හැරී අංජලී දෙස බැලුවාය. ඈ දොතොල් සපාගෙන රිය කවුළුවෙන් ඉවත බලා ගත්තාය.

    “පේනවනේ…යාළුවා බේරගන්න ගිහින් කියන කතා…”

    ඔහු ඇගේ අවධානය ගැනීමට එසේ කීවේය.

    “අනේ යන්න…ඔයාලා සේරම එකයි…මාව නෝන්ඩි කරනවා…”

    මවාගත් නොමනාපයකින් ඈ කීවේ මුව ඇද කරමිනි.

    “ආදරේටනේ…”

    රංගිකා ඇසක් ඉඟි මරමින් කීවාය.

    “අපොයි…බොරු මායම් වලට මං අහුවෙයි…”

    “තව ටිකෙන් අහු වෙනවා…”

    ගයානි වහා කියන විට අංජලී නිහඬ වූවාය. ඈ කීවේ සැබෑවකි. තමා මාලකට රැවටුණාය. ඔහු දෙබිඩි ජිවිතයක් ගත කළ අයෙකි. ඔහු සංචලා සමඟ ඇති සබඳතාවය කෙදිනකවත් නවතා තිබුණේ නැති බව වැටහුණේ පසුවය.

    “ඔන්න ඉතින් ආයේ දවල් තරු ගනින්න ගත්තා…”

    ශාමින්දගේ එහි නිහඬ බව බිඳිමින් කීවේය.

    “මෙයා තරු ගණිනවා වැඩියි…”

    ගයානිද ඊට පොහොර දැමුවාය. අංජලී ඉලක්ක කරගෙන ඇනුම්පද එල්ල වුවද ඇය ඒවා අසා සිටියේ නොසතුටු සිතකින් නම් නොවේ. ශාමින්ද මෙසේ කරන සියුම් විහිළු වලට ඈ ප්‍රිය කළාය. කැලණියට ඒමට වැඩි වේලාවක් ගත නොවිණි. තව දුර යන්න තිබුණා නම් හොඳ යැයි කියා අංජලීට සිතුණේ රථ අංගනයේ රථය නවතින විටය. අද පොහෝ දිනයක් වූ නිසා බැතිමතුන්ගෙන් මුළු භූමියම පිරී තිබිණි. අංජලීටත් පෙර ගයානිත් රංගිකාත් රථයෙන් බැස ගෙන ඔවුන් එන තුරු මඟ බලා සිටි තුෂරගේ රථය අසලට දිව ගියේ ඔවුන් දෙදෙනා තනිකරමිනි. අංජලී පමා වූයේ ශාමින්ද සපත්තු යුගළ ගළවා දමන තුරු සිටි නිසාය. ඔහු දමා රථයෙන් බසින්නට සිතක් ඇයට නොවීය.

    “යාළුවෝ දෙන්නා ගියා නේද ඔයාව දාලා… ඔන්න යාළුවෝ…”

    ශාමින්ද කීවේ ඔවුන් එසෙ කිරීම ගැන සිත යටින් සතුටු වෙමිනි.

    “ඒකනේ…හරි හොඳ නැහැ…”

    ඈ නොසතුටින් කීවාය.

    “ඔයාට මං ඉන්නවනේ…”

    ඔහු කීවේ නැඹුරු වූ හිසින් බිමටය. ඈ තිගැස්සී ගිය වග ඔහු නොදුටුවේය. දෙදෙනා රථයෙන් බැස ගත්තේ එකටමය. වටෙන් පැමිණි ශාමින්ද අංජලීගේ අතින් අල්ලා ගත්තේ නොසිතාමය. ඈ සියුම් ලෙස හිරි වැටී ගියාය. ඒ අත ගසා දමන්නට නොහැකිය.

    “මොකද මේ බය වෙලා…මං අතින් අල්ලා ගත්ත නිසාද…යමු…බය වෙන්න එපා…මං අල්ල ගත්තේ ආයේ අතාරින්න බලන් නම් නෙවේ…”

    විහිළුවෙන් විහිළුව වුවද ඔහු ඇයට නොතේරෙන්නට සිය සිතේ හැඟීම් කියා දැමුවේ ඈ ඇතුළාන්තයෙන් කැළඹී ඇති බවවත් නොදැනය. ඇගේ සිත දියෙන් ගොඩ දැමූ මසෙකු සේ ගැහෙයි. මිතුරියන් ඔවුන් දෙදෙන එන තුරු බලා සිටියේ දුර තියා එන ඔවුනට විහිළු කරමිනි.

    “අලුත බැඳපු කපල් එක වගේ…ඉක්මනට එන්නකෝ අප්පා…”

    ගයානි කෑ ගැසුවාය.

    “මේක පුණ්‍ය භූමියක් අසභ්‍ය ලෙස හැසිරෙන්න එපා…ඔය ළමයාගේ අත අතාරින්න…”

    ඒ රංගිකාය.

    “අල්ලා ගත්තේ අතාරින්න නෙවේ…”

    ඇගේ අත තවත් තද කරමින් ශාමින්ද කීවේය. මේ සියල්ල තවත් ඇස් සතරකින්ද බලා සිටියේ ශෝකී සිත් වලිනි. අංජලී දැනටමත් අනුන් සතු වී ඇතැයි කියා සිතුවේ හිමානිත් තුෂරත්ය. ඔහු සිතේ ඇති වූයේ සියුම් ශෝකය මුසු වූ ඊර්ෂ්‍යාවකි. ගයානි මිතුරියන්ට සිය සොයුරා හඳුන්වා දුන්නාය.

    “දෙන්නාගේම මූණුවර එක වගේ…නේද… ?”

    රේණුකා කීවේ තුෂරත් ශාමින්දත් දෙස මාරුවෙන් මාරුවට බලමිනි.

    “ඒකනේ…”

    මියුරද ඊට එකඟව කීය. අංජලීටද තුෂර දුටු පළමු දින එම හැඟීම ඇති වූයේ ශාමින්ද නිසා බව වැටහුණේ මේ මොහොතේය.

    “හිතේ ඇඳුණු රුව…”

    ඈ සිතුවාය.

    “එක වගේ හත් දෙනෙක් ඉන්නවලුනේ…”

    එසේ කීවේ සෙනුරය.

    “හරි…එහෙනම් අපි යමු…නේද…?”

    රේණුකා අතින් අල්ලා ගනිමින් තුෂර පෙරමුණ ගන්නා විට ගයානි රංගිකාත් මියුරත් එක පෙළටද සෙනුර හිමානි පිටුපස අංජලී ශාමින්දත් ගමන් ගත්තේ අංජලීගේ අත අත්නෑරමය. ගයානිත් රංගිකාත් හැරී බලා සෙමෙන් පඩි පෙළ නඟින ඔවුන් දෙස බලා එකිනෙකාට ඉඟි මැරූහ.

    “දැන්වත් ඔය ළමයාගේ අත අතාරින්න…හැමෝම බලන් ඉන්නවා…”

    ඔවුන් එනතුරු පමා වුණු ගයානි කීවේ සොයුරාගේ කනට කර රහසිනි. ශාමින්ද එය ගණනකට නොගත් අතර ඔහුට ඇගේ අත අත් හරින්නට නොසිතිණි. ඔහුට දැනුණේ ඈ සසර පුරා තමා ළඟින් සිටියා කියා හැඟීමකි. රේණුකා තුෂර හිමානි සහ සුරම්‍යාත් සෙනුරත් සමඟ බෝමළුව අසල සුදුවැලි ඇතිරූ බිමේ හිඳ ගන්නා විට අනෙක් අයද නුදුරු තැනක හිඳ ගත්හ. මියුර සිටියේ ගයානි පිළිබඳව පැහැදුණු සිතකිනි. සොයුරා පැමිණ සිටියෙන් ඔහු සිය සිතේ අදහස ගයානිට පෙර ශාමින්ද සමඟ කතා කළ යුතුයැයි සිතුවේය. එයට සුදුසු අවස්ථාවක් එළඹෙන තුරු ඔහු පසු වූයේ නොඉවසිළිමත් සිතකිනි. අද තරම් එයට සුදුසු දිනක් නොඑළඹෙනු ඇත. මේ පුන් බිමයි. ඕනෑම අයෙකුගේ දැඩි සිතක් වුව මෙහිදී සන්සුන් වන්නේමය, මෘදු වන්නේය. ශාමින්ද දැඩි සිතැතෙක් නොවන බව මියුරට වැටහිණි. ඔහු තමාට වඩා වයසින් වැඩි මහල් වන්නේ වසර කීපයකිනි. ඔහුද නව යොවුන් තරුණයෙකි. ආදරයේ හැඟීම් ඔහුටද දැනෙනු ඇතිවාට සැක නැත. අංජලීගේ අතින් අල්ලන් ඔහු සක්මන් කරන සැටි දැක ඔහුටද සිතුණේ ඔවුන් දෙදෙනා නම් ගැළපෙන යුවළක් බවය. මාලක නිසා අංජලී සැමදා සිටියේ වේදනාවෙන් බව ඔහුද දන්නා කරුණකි.

    “ඔය කෙහෙල්මල ඉවරයක් කරලා දාන්න අංජලී…ආදරේ කකුලේ ඇනුණ කටුවක් නෙවේ…හිතේ පිපුණු මලක් වෙන්නයි ඕන…වේදනා විඳ විඳ එකට ජීවත් වෙන්න බැහැ…ඔය කටුව ගළවලා දාන්න…”

    වරෙක ඔහු අංජලීට එසේ පැවසුවේය. ඔහුද අංජලීට දැඩි සෙනෙහසක් දැක්වූයේ තමාගේම සොයුරියකට මෙනි. බොහෝ සෙනඟක් සිටියද පන්සල් භූමිය පුරා වූයේ සිත පහන් කරන නිහඬ බවකි. අංජලී ශාමින්ද සමඟ එකතුව මල් පිදුවාය. එකට එකතුව පහන් දැල්වූවාය. ඔවුන් දෙදෙනාම එකට සිටින ඡායාරූප කීපයක්ම මිතුරියන්ගේ ජංගම දුරකථන වල සටහන් වුණ බවක් දෙදෙනාම නොදත්හ. මාලකට පෙර ශාමින්ද හමු වූවා නම් කියා අංජලී සිතුවාය. ඇගේ සිතේ පසුතැවිල්ලක් ඇතිව තිබිණි. වරෙක හිස ඔසවා බලන විට ඔහුගේ දෑස් තමා වෙතම එල්ල වී ඇති සැටි දැක ඇගේ සිත ලැජ්ජා මුසු හැඟීමකින් බර විණි. පහන් එළියෙන් ඔහුගේ දෑස් දිදුළන සැටි ඈ දුටුවාය. ඒ දෑස් වලින් කියවුණු ආදරයේ කතාව කියවා ගැනීමට ඇයට අපහසු නොවුවද සිත බිය මුසු හැඟීමකින් සැළී ගියේය. මිතුරු මිතුරයන්ගෙන් මිදී අංජලී ශාමින්ද සමඟ ඉවතට පිය මැන්නාය.

    “අංජලී…”

    හඳුන් කූරු දල්වන තැනට පසෙක සෙනඟ නොමැති තැනක නැවතී ඔහු ඈ අමතන විට අංජලී හැරී ඔහු දෙස බැලුවාය. ඒ දිදුළන අළුවන් දෑස් ළඟ තම සිත දියවී යන සැටි පුදුමාකාරයැයි කියා ඈ සිතුවාය. කිව නොහැකි හැඟීමකින් ඇගේ සිත පිරී යන විට ශාමින්ද නිසා මුළු සිතම පහන් වන බවක් ඇයට දැනිණි. මාලක නිසාවෙන් රිදුණු සිත ඔහු ඉදිරියේ සුවපත් වෙමින් ඇති බව ඇයට වැටහී හමාරය. නමුත් ඈ ඒ ඔස්සේ දුරදිග සිතන්නට බිය වූවාය. කුමක් හෝ කියන්නට සැරසෙන ශාමින්දගේ අළුවන් දෑස් දෙස ඈ බලා සිටියේ දැහැනට සම වැදුණාක් මෙනි.

    -හෙටත් හමුවෙමු-

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 06

    රත් දෝතළු - 06 නිර්මාණිට ඇමතුමක් ගන්නට කීපවරක්ම කළ උත්සාහය නිරර්ථ වූයේ එය ක්‍රියා විරහිත කොට තිබූ බැවිනි. සමහරවිට ඈ...

    මනිරත්නම් වැඩ කරන්නේ එකම රිද්මයකින්

    මනිරත්නම් වැඩ කරන්නේ එකම රිද්මයකින් - Mohanlal ප්‍රවීණ රංගන ශිල්පී මෝහන්ලාල් දශක හතරකට අධික කාලයක් සිනමාව හැඩ කළ මලයාලම් සිනමාවේ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page