More
    NovelsTharu Mal ViyanTharu Mal Viyan තරු මල් වියන් - 17

    Tharu Mal Viyan තරු මල් වියන් – 17

    -

    spot_img

    Tharu Mal Viyan තරු මල් වියන්

    අංජලීගේ ඇමතුම ලැබෙන මොහොතේ ඉන්ද්‍රාණි සිටියේ කාමරයේ යහන මත වැතිරගෙනය. අසනීපයක් නොවූවද දින කිහිපයක පටන් ඇගේ සිතට සැනසීමක් සතුටක් දැනුණේ නැත. මාලකගේ වෙනත් මිතුරියක නිවසට පැමිණියා නම් එහි සිතන්නට යමක් නොතිබෙනු ඇත. සංචලා දුටු මොහොතේදීම ඇගේ සිතේ ඇති වූයේ නොරුස්සුම් මුසු කෝපී හැඟීමකි. එය තවමත් පහව නොමැත. නොසන්සු වූ සිත සනසුන් කරගන්නට තවම නොහැකි වූ සෙයකි. අංජලීගේ ඇමතුම ලැබුණේ මෙවිටය.

    “දුව…”

    ඈ කිසිදු වෙනසක් නොපෙන්වා අංජලී ඇමතුවාය. නැන්දාගේ හඬේ වෙනදා නැති ශෝකී බවක් තැවරී ඇතැයි කියා අංජලීට එක් මොහොතින් වැටහිණි.

    “නැන්දා…ඔයා අසනීපෙන්ද…? කටහඬ අමුතුයි…”

    අංජලී ඇසුවේ කළබලකාරී හඬකිනි.

    “අමුතු අමුතු දේවල් වෙනකොට කටහඬවල් අමුතු නොවී තියෙයිද ළමයෝ…”

    නැන්දා ඒ එල්ල කළේ ඇනුම්පදයකැයි කියා අංජලී සිතේ ඇති වූයේ වරදකාරී හැඟීමකි. එයට කුමක් කිව යුතුද කියා ඇයට එක්වරම සිතා ගන්නට නොහැකි විය.

    “මං සනීපෙන් ඉන්නවා දුව…හිතේ අමාරුව විතරයි තියෙන්නේ…”

    ඉන්ද්‍රාණි යළිත් කීවාය. ඒ නම් මාලක නිසා ඇතිවූවක් බව සැක නැත. මාලක නිසා සිත් වේදනාවෙන් පසුවනවා නම් තමාද එයට වගකිව යුතුයැයි කියා ඇයට අනෙක් අතට සිතිණි. නැන්දාගේ සුව දුක් විමසන්නට ගොස් සිදු වුණේ සිත රිදවා ගන්නට බව වැටහී අංජලී සිතේ ඇති වූයේ වරදකාරී හැඟීමකි.

    “ඔයා හොඳින් ඉන්නවානේ…කාලා බීලද ඉන්නේ…?”

    ඉන්ද්‍රාණි ඇසුවේ කතා බහ වෙනතකට යොමු කරමිනි.

    “ඔව්…නැන්දේ…”

    “දුව…මට ඔයාගෙන් දෙයක් දැන ගන්න ඕන…”

    නැන්දා අසන විට අංජලී තිගැස්මට පත් වූවාය.

    “ම්ම්…මොකක්ද නැන්දේ…?”

    මඳ ගොතයකින් වුවත් ඈ ඇසුවේ එම පැනය මඟහරින්නට මඟක් නොවූ බැවිනි. නැන්දා මේ අසන්නට සැරසෙන්නේ මාලකගේත් තමාගේත් සබඳකම ගැනවත්දැයි සැකයක් ඈ සිතේ හට ගැණිනි.

    “ඔය එදා ගෙදරට ආව ගෑණු ළමයාව දුව අඳුනනවද…?”

    අංජලී ඉහළට ගත් හුස්ම පහළට හෙළුවේ සහනයට පත් විළසිනි.

    “ක..වුද…සංචලාද…?”

    “මොන චලාද මං දන්නේ නැහැ…අර සක්කරවට්ටම…”

    ඉන්ද්‍රාණි කතා කළේ කෝපයෙනි. වෙන මොහොතක නම් අංජලී සිනහසීමට ඉඩ තිබුණද මේ එයට සුදුසු මොහොත නම් නොවේ.

    “වැඩිය දෙයක් නම් දන්නේ නැහැ නැන්දේ…”

    සැබෑවටම තමා සංචලා ගැන දන්නේ මොනවාද.? ඉඳහිට දකින විට ඇනුම්පදයක් ඇසුණා විනා ඇයත් සමඟ කතා බහක් සිදු නොවූ තරම්ය.

    “හ්ම්ම්…මං බලන්නම්කෝ…”

    නැන්දා සමඟ කළ කතා බහෙන් සිදු වූයේ සිතේ අමතර බරක් පටවා ගැනීමය. ඈ තමාත් මාලකත් අතර ඇති සබඳකම නොදැන සිටිනවා විය නොහැකිය. ඒ පිළිබඳව විමසුවහොත් කුමක් කියන්නද කියා ඈ සිතුවේ ගැහෙන සිතිනි.
    ——————————————————————————————————
    පරිසරයේ වූයේ තද උණුසුමකි. මෙදින පන්තියට රංගිකා සහභාගී නොවූයේ ආදිත්‍යගේ ඥාතියෙකුගේ අවමඟුල් උත්සවකයට යෑමට තිබූ නිසාවෙනි. ගයානිගේ පන්තිය මේ වන විටත් අවසන්ව ඇතැයි සිතූ අංජලී පය ඉක්මන් කළේ ඈ තමා බලාපොරොත්තුවෙන් පසුවනු ඇතැයි සිතාය. ඇයට කරදර කරන තරුණයා අදත් පන්තිය අසලට පැමිණ ඇතැයි කියා අංජලීට සිතුණේ නිකමටය. ඔහු නම් ලැජ්ජාවක් නැති අයෙකු විය යුතුය. මෙපමණ අකමැති බව පවසන විටත් පසුපස එන්නේ ඒ නිසාය. බස් නැවතුම අසල සිටගෙන සිටින ගයානිව අංජලී දුර තියා දුටුවාය. ඈ අසලම සිටගෙන සිටින උසැති තරුණයා අර වදකාරයා කියා ඇයට සිතිණි. ඔහු සිටියේ ඇයට පිටුපාය. ඔහු ගයානිගේ අතින් අල්ලා ගන්නට මෙන් සැරසෙන හැටිත් ඈ අත පහත හෙළනුත් අංජලීගේ දෑසට හසු විය. වටපිටාවේ තවත් කිහිප දෙනෙකු සිටියද ඔවුන් සිටින්නේ ඔවුන්ගේ ලෝකවලය. ඔහු අදත් මිතුරියට කරදර කරන්නට සැරසෙන සෙයකි. ඈ ඔවුන් දෙසට දිව ගියේ විදුලි වේගයෙනි. තරුණයාගේ උර මතට ගසමින් අංජලී ඔහු හැරෙන විටම අත දිගු කර දුන් කම්මල් පහරින් ඔහු වික්ෂිප්ත විය.

    “ලැජ්ජ නැත්ද කෙල්ලන්ට කරදර කරන්න…? මෙච්චර පස්සෙන් එන්න එපා කියලා තියනකොටත් කරදර කරන්න එපා…”

    ඈ ගයානිගේ අතින් අල්ලා ගනිමින් කීවේ ඇයව ආරක්ෂා කරගන්නට කෙනෙක් සිටින බව කියාපාමිනි.

    “අං…ජු…”

    ගයානි සිදුවූයේ කුමක්ද කියා වත් සිතා ගත නොහී මිතුරියට කතා කළද ඈ සිටියේ ගයානිගේ කතාවට සවන් දෙන මානසික මට්ටමක නොවේ. කෝපය නිසා ඇගේ ගත වෙව්ළයි. තරුණයා කම්මුලට අත තබාගෙන අංජලී දෙසම බලා සිටියේ අවු කන්නාඩිය අතරිනි. ඈ ගැසූ කම්මුල් පහරින් එය ගැළවී විසි නොවීම පුදුමය.

    “ලස්සනට ඇඳ පැලැඳගෙන ආවාම කෙල්ලෝ රවට්ට ගන්න පුළුවන් කියලාද හිතන් ඉන්නේ…? ආයේ මේ පැත්තේ දැක්කොත් තමුන්ව පොලීසියට අල්ලලා දෙනවා…”

    “අංජලී…ඔයා මොනවද මේ කරන්නේ…?”

    ගයානි කෑ ගැසුවාය.

    “ඔයා බය නැතුව ඉන්න…”

    අංජලී කීවේ මිතුරිය බිය වී ඇතැයි සිතාය.

    “ඒ අයියා…අනේ…”

    ගයානිගේ හඬ අංජලීට ඇසුණේ ඈත ලෝකෙකින් මෙනි.

    “මොනවා…!”

    ඈ ලැජ්ජාවෙන් රතුව වටපිට බලන්නට වූ අතර බොහෝ දෙනෙක් රැස්ව සිදුවීම දෙස මවිතයෙන් බලා සිටිනු දකින විට ඇයට ඇති වූයේ ලැජ්ජා මුසු හැඟීමකි.

    “දෙවියනේ…! ඒ ශාමින්දද? ”

    දැන් කුමක් කරන්නද..? රථයේ පැමිණෙන අතර තුරත් අංජලී කළේ හැඬීමය. මෙවන් දෙයක් ඈ කිසි විටෙක සිතුවේ නැත. ඇයට ශාමින්ද හඳුනා ගත නොහැකි වූයේ මන්ද…? පසුතැවීමකුත් වේදනාවකුත් ඇගේ සිත ඉරි තළන විට ඈ කළේ ගයානිගේ උකුළ මත හිස හොවන් හැඬීමය.

    “අනේ සොරි…මං…මං…ඒක හිතුවේ නැහැ…මං හිතුවේ…ඒ ඔයාට කරදර කරන බෝයි කියලා ගයා…අනේ මට සමාවෙන්න…”

    ඈ එසේ සමාව අයැදියේ සියවන පාරට විය හැකිය. ශාමින්ද හමුවන්නට ආසාවෙන් බලා සිටියද එය මෙවන් හමුවීමක් වේ යැයි ඈ නිකමට හෝ නොසිතුවාය.

    “ජීවිතේට කෙල්ලෙක්ගෙන් මේ වගේ කම්මුල් පාරක් කාලා නැහැ…අම්මෝ…ඒකේ සැර…තාම කම්මුල රිදෙනවා…මෙයා චණ්ඩි රැජිනක්නේ…”

    රිය පදවන අතරේම ශාමින්ද කීවේ පිටුපස බලන කන්නාඩියෙන් අංජලී දෙස බලමිනි. ඇගේ හැඬුම තවම බාල වී නැත. ඒ අතරේ ගයානි සොයුරාට කීවේ අංජලී මෙසේ ඔහුට පහර දීමට හේතු වූ කාරණයයි.

    “ඒ කොල්ලා ඔය පාර කෑවා නම් එහෙම ආයේ මලාට කෙල්ලෝ දිහා හැරිලා බලන එකක් නැහැ…”

    ඔහු පැවසිවේ විහිළුවට වුවද එයින් ඇගේ සිත තවත් පෑරිණි. ගයානි එයට උස් හඬින් සිනහාසුණාය.

    “දැන් ඉතින් ඔය මදෑ අංජු…නැඟිටින්න… ඔන්න ගෙදරට ආවා…”

    රථය නැවතූ මොහොතේම අංජලී ඉන් බැස ගෙතුළට දිව ගියාය. දෙදෙනාම සිතුවේ ඈ ලැජ්ජාව නිසා පැන දිවුවා කියා වුවද අංජලී යළි පැමිණියේ අයිස් කැට පිරවූ භාජනයකුත් තුවායකුත් රැගෙනය. ශාමින්ද අසුනක ගිළී හිඳ සිටියේ කම්මුලට අතක් තබාගෙනය. ඈ ඔහු ඉදිරියට ගියේ බිමට නැඹුරු කරගත් හිසිනි. ඇයට ඔහු දෙස බලන්නට නොහැකි සෙයකි. ඔහුගේ හමුවීම මෙසේ වේයැයි කියා ඈ කිසිදු විටෙක නොසිතුවාය. ඈ කොපමණ සිහින මවාගෙන සිටිය මුත් සිදු වූයේ අනිකකි.

    “කෝ…ඉන්න…මං අයිස් කැට ටිකක් අරන් ආවා…”

    ඈ ඔහු දෙස හිස ඔසවා බලමින් කීවාය. ඔහු මේ මොහොතේ සිටියේ අව් කන්නාඩිය ගළවා දමාය. ඔහුගේ දෑස් ඈ දුටුවේ මෙවිටය. ඇගේ සිත සියුම් හිරිවැටීමකින් හිරි වැටී ගියේය. ඇයට දැනුණේ එම දෑස් සසර පුරාවටම තමා ළඟින්ම සිටියාක් බඳු හැඟීමකි. සිත තුළ ඇති වූ සියුම් හිරිවැටීම මුළු ගත පුරාම විදුලි රේඛාවක් මෙන් දිව ගියේය. ඔහුගේ රත් පැහැයට හැරුණු කම්මුල් දකින විට ඇගේ දෑස් අලුත් වූ කඳුළකින් බොඳ විණි.

    “අනේ හොඳටම රතු වෙලා…”

    ඈ ඔහු ඉදිරියේ හිඳගෙන සීතල පොට්ටනියෙන් ඔහුගේ කම්මුල තැවුවාය.

    “ගහලා මෙහෙම තවනවා නම් ඉතින් තව කම්මුල් පාරක් කෑවත් කමක් නැහැ වගේ…”

    ඔහු කීවේ ඈ දෙසම බලානය. ලැජ්ජාවෙන් ඈ කළේ මුහුණ බිමට නැඹුරු කර ගැනීමය.

    “ඔයා වගේ බය නැති යාළුවෙක් ඉන්න එක මොන තරම් දෙයක්ද…? පිරිමි දහයක් එක්ක වුණත් හැප්පෙයි…”

    ඔහු කළේ අගය කිරීමක්ද නොඑසේනම් ඇනුම්පදයක්ද කියා ඇයට සිතා ගන්නට නොහැකි වුවත් සියුම් ලැජ්ජාමුසු හැඟීමකින් යළිත් සිත පිරී ගියේය.

    “ඒ වෙලේ මොනවා වුණාද කියලා මට හිතා ගන්න බැරි වුණා…”

    ඔහුගේ දෑස් රැඳවී තිබුණේ ඈ වෙතමය. ගෙතුළට ගිය ගයානි යළි පැමිණියේ බීම වීදුරුවක්ද සාදාගෙනය. රේණුකා බැහැරක ගොස් සිටීම වාසනාවකි. නොඑසේ නම් මෙසේ ළඟින් හිඳ ඔහුට සත්කාර කරන්නට නොහැකිය. එයට වරදකාරිය ඇයමය.

    “හ්ම්ම්…හ්ම්ම්…”

    ගයානි බොරු කැස්සක් මවාගෙන ඔවුනතරට පැමිණෙන විට අංජලී වහා ශාමින්ද අසළින් මෑත් වූවාය.

    “ඔන්න අයියේ කම්මුල ඔහොම තියාගෙන නම් අද ගෙදර යන්න එපා…අම්මා හිතයි කෙල්ලෙක්ට කරදර කරන්න ගිහින් ගුටි කෑවා කියලා…”

    ගයානි ඉඟි මරමින් කීවාය.

    “එහෙම වෙලා නම් තව දුකක් නැහැ…කමක් නැහැ ඉතින්…සාත්තුවකුත් හම්බුණානේ…”

    ඔහු අංජලී දෙස බලා කීවේය. ඇගේ මුහුණ යළිත් රත් පැහැයට හැරිණි.

    “ගුටි කෑවේ මම…මෙන්න මෙයානේ රතු වෙලා තියෙන්නේ…”

    ශාමින්ද එසේ කියන විට අංජලී වහා පිටුපසට දිව ගියාය. ඇගේ සිත ඉගිළෙන්නට හදන සෙයකි. ඔහුගේ අළු පැහැති ඈස් ළඟ සිතම හිරිවැටී ගිය හැටි පුදුමයකි. දැන් නම් ඔහු කෙරෙන් සිත මුදවා ගන්නට බැරි තරම් සිත ඔහු වෙතම බැඳී ඇතිවාක් මෙනි. එවිට මාලක.! ඔහු සිහි වී මෙතෙක් කුසුමක් සේ පිපුණු සිත් මල යළිත් පර වී යන්නට විය.

    -හෙටත් හමුවෙමු-

    Latest news

    ඉරාන යුද්ධය නිමාවන කාලය ගැන ට්‍රම්ප් කතා කරයි

    අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ගල්ෆ් කලාපයේ ඇති වූ යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබෙනවා.එම ගැටුම්...

    ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව සෙනට් සභාවේදී පරදී

    ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයාට සීමා පැනවීම සඳහා අමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවට ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත්ව...

    ඉරානයේ මිය ගිය ගණන 780 ඉක්මවයි

    ඉරානය තුළ නව ප්‍රහාර රැල්ලක් ක්‍රියාත්මක කල බව ඊශ්‍රායලය පවසනවා. ටෙහෙරාන් අගනුවර යටිතල පහසුකම් ද ඉලක්ක කර ගනිමින් එම ප්‍රහාර...

    අයතුල්ලා අලි කමේනිගේ බිරිඳව ඝාතනය කෙරේ

    ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ (Mansoureh Khojaste Bagherzadeh) නිවසේ දී ඝාතනය කර ඇතැයි ඉරාන...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 44

    රත් දෝතළු - 44 මේ හේතුව යැයි කියා ස්ථීරවම පැවසිය නොහැකි හැඟීම් ගොන්නකින් මසිත පිරී තිබිණි. විනීෆ්‍රීඩා මහත්මියගේ රාත්‍රී බෙහෙත්...

    ටෙහෙරානයේ කුඩා කම්මල්කරුවකුගේ ඉංජිනේරු පුතා

    ටෙහෙරානයේ කුඩා කම්මල්කරුවකුගේ ඉංජිනේරු පුතා - Ahmadinejad ඉරානයට එල්ල කෙරූ අමෙරිකානු - ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් ඉරානයේ හයවැනි ජනපතිවරයා වූ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page