More
    NovelsTharu Mal ViyanTharu Mal Viyan තරු මල් වියන් - 13

    Tharu Mal Viyan තරු මල් වියන් – 13

    -

    spot_img

    Tharu Mal Viyan තරු මල් වියන්

    ගයානි නැතිව නවාතැන පාළුවට ගියාක් මෙනි. සේවය නිම වී පැමිණි සැණින් තේ කෝප්පයක රස බලමින් අංජලීත් රංගිකාත් රේණුකා සමඟ කෙටි කතා බහක් අවසන කාමරයට පැමිණියේ ඇඟ පත සෝදාගෙන විඩා නිවා ගන්නටය. ගයානි රංගිකා ඇමතුවේ අංජලී නාන කාමරයේ සිටින විටය. අයියාට ඔවුන් සමඟ කතා බහ කරන්නට වුවමනා යැයි කී නිසාවෙන් ඈ ඇමතුම ගෙන ඇත. රංගිකා සුළු මොහොතක් ශාමින්ද සමඟ කතා බහ කළාය. පසුව ඔහු ගයානිට දුරකථනය ලබා දී ඉවත ගියේය.

    “අපරාදේ අනේ අංජු…මෙයාට ඉතින් බාත් රූම් එකට ගියාම වරුවක් ගත වෙනවානේ…”

    රංගිකා නෝක්කාඩු කීවාය.

    “අයියා මාව ඩ්‍රොප් කරන්න එයි සඳුදට…එතකොට ඉතින් බැරියැ කතා කරන්න…”

    ගයානි කීවේ මිතුරිය අස්වසන අදහසිනි. අංජලී පිටතට පැමිණියේ ඊටත් සුළු මොහොතකට පසුවය. ශාමින්ද කතා කළ බව කියන විට ඈ සිතේ ඇති වූයේ සියුම් කනගාටුවකි.

    “මං කෝල් එකක් ගන්නද ගයාට…?”

    “අරන් බලන්න…හැබැයි ඉතින් ශාමින්දයියා එක්ක නම් කතා කරන්න බැරි වෙයි…එයාගේ යාළුවෝ ටිකක් ඇවිත්…ගෙදර පොඩි පාර්ටි එකක්ලු…”

    රංගිකා කියන විට ඈ සිතේ ඇති වූයේ ශෝකයකි. එසේනම් ඉතින් ගයානි සමඟ කතා කර පළක් නැතැයි කියා ඇයට සිතිණි. ඒ සමඟම මාලකගෙන් ඇමතුමක් ලැබෙන විට අංජලී එයට ඇමතුවේ යම් කිසි තිගැස්මකින් යුතුවය. ඔහු සමඟ කරන කතා බහෙන් සිදු වන්නේ සිත මත අමතර බරක් පටවා ගැනීමකැයි කියා ඇයටම සිතුණ මුත් එයට නොඅමතා බැරිය. මේ සම්බන්ධය දුර දිග ගෙන යෑමෙන් කිසිවෙකුට කිසි සතුටක් සෙතක් නොවන බව ඔහු තේරුම් නොගන්නේ මන්දැයි කියා ඇයට සිතා ගත නොහැකිය. ඔහුට මෙය නවතමු යැයි කියන සැම විටම ඔහු අසන්නේ එය කළ හැකිද කියාය. ඉන් තම සිත අතරමං වන සැටි දන්නා නිසා ඈ එය අසන්නටද අකමැති වූවාය. සඳු දින එළඹුණේ අලුත් බලාපොරොත්තු දහසක් මල් සිත තුළ පුබුදුවාළමිනි. අංජලී ඇඳුමක් තෝරා ගැනීමට වරුවක්ම ගත කළාය. ගයානි සමඟ ශාමින්දද පැමිණේ. වෙනදා නැති උනන්දුවක් ඈ තුළ ඉපිද ඇත්තේ ඇයටද සිතා ගන්නට නොහැකි තරම්ය.

    “මොකද අනේ…දැන් ඔය ඇඳුම් කීයක් නම් ඇඳලා ඇඳලා බැලුවද…ඉක්මන් කරන්නකෝ…දැන් තුෂරලා එයි එක්ක යන්න…”

    රංගිකා කෑ ගැසුවේ ඈ තවම සූදානම් නොවූ නිසාය. අංජලී අවසන තෝරා ගත්තේ රතු පැහැති සායකුත් සුදු පැහැති හැට්ටයකුත්ය. එය හැඳ කැඩපතින් බලා සහනයට පත්ව තම පිළිඹිබුවටම මඳහසක් පෑවාය. තුෂර ඔවුන් කැඳවාගෙන යෑමට පැමිණියේ ඈ හිස පීරමින් සිටින විටය.

    “අන්න…තුෂර ආවා යමු මෝඩියේ…”

    රංගිකා කෑ ගසන විට අංජලී අත් බෑගයත් ගෙන පිටතට දිව ආවාය. තුෂර පැමිණෙන අතර තුර කීප වරක්ම පිටුපස බලන කණ්නාඩියෙන් අංජලී දෙස බලනු දුටුවේ රංගිකාය. අංජලීට එහි වගක් නැත. ඈ සිටියේ වෙනත් ලොවකය. ඇගේ මුහුණේ පවා වෙනදා නැති අමුතු සුන්දරත්වයක් ඇතැයි කියා තුෂරට සිතිණි. ඒ මුවේ වූයේ සැඟව නොගිය මන්දහාසයකි. ඈ සිටින්නේ අමුතු සතුටකින් යැයි කියා ඔහුට සිතිණි. ඔහුගේ සිතේ ඇති වූයේ ලෝභ කමකි. ඈ තමාගේ වූවා නම් කියා තුෂර සිතුවේය. මහා හිස් හැඟීමක් ඔහුට දැනිණි. නොදැනුවත්වම වුවත් ඔහු මුවින් සුසුමක් ගිළිහෙන විට සෙනුර වුවමනාවෙන් මිතුරා දෙස බැලීය.

    “මොකද මචං…?”

    පිටුපසට නොඇසෙන සේ ඔහු ඇසුවේ පහත් හඬිනි. තුෂර තිගැස්මෙන් හිස හරවා හිස සෙළවූයේ කිසිත් නැතැයි කීමටය. සෙනුර නිහඬ වූයේ මිතුරාගේ හැඟීම් වටහා ගත්තාක් මෙනි.

    ගයානි උදෑසනින්ම පිටත් වනු ඇතැයි කියා සිතුවද ඈ එන විට මඳක් පමා වන බව දන්වා ඇමතුමක් දෙන විට අංජලීගේ සිත නොසන්සුන් විය.

    “අයියා හදිසියේ මේ ළඟට ගියා…උදේ පාන්දර ගියේ…දැන් එයි…ආව ගමන් එනවා…”

    ගයානි කියන විට ඇගේ මුහුණ ඇදව ගියේ බලා සිටියදීමය. තුෂරද පැමිණි සැටියේ පිටතට ගියේ රාජකාරී කටයුතු කීපයකටය. කාර්යාලයේ වූයේ අංජලීත් රංගිකාත් පමණය. මයුර එහි පැමිණියේ උදෑසන දහයට ආසන්න මොහොතේය.

    “ගුඩ් මෝර්නින්…”

    ඔහු දෙදෙනාටම එකටම සුබ පතන විට ඔවුන්ද ඔහුට පෙරළා සුබ පැතූහ.

    “කෝ ගයා තාම නැහැනේ…”

    මියුර කීවේ ඇගේ ප්‍රමාදය ගැන නොදත් නිසා වන්නට ඇත.

    “ඇයි…ඔයාට කිව්වෙ නැත්ද…එයා අද එන්නේ නැහැ කිව්වානේ…”

    රංගිකා වහා කීවේ මියුරගේ මුහුණ දෙස වඩා වුවමනාවෙන් බලා අංජලීටද ඉඟි මරමිනි. ඈ සිනහව සඟවාගෙන මියුර දෙස බලා සිටි අතර ඔහුගේ මුවේ හැඟීම් ක්ෂණිකයෙන් වෙනස් වූ සැටි දෙදෙනාම දුටුහ.

    “ආහ්…ඒ ඇයි…එයා කිව්වානේ අද එනවා කියලා…මොකද වුණේ හදිසියේ…?”

    ඔහු දෙදෙනා දෙසම මාරුවෙන් මාරුවට බලමින් ඇසුවේ ජංගම දුරකථනය අතට ගෙන ගයානිට ඇමතුමක් ගන්නට සූදානමිනි.

    “අම්මෝ…විහිළුවක් කළේ…එයා එනකොට පරක්කු වෙනවා කිව්වා…මෙයාගේ මූණ බලන්න එපැයි අංජු…වෙසක් තොරණේ බල්බ් ගියා වගේ වුණා…”

    “බල්බ් ගියා වගේ නෙවේ…තව ටිකෙන් හාර්ට් එකේ ෆියුස් යනවා…”

    අංජලී කියන විට රංගිකා උස් හඬින් සිනහසුණ අතර මියුරගේ මුවේද ඇඳුණේ පියකරු සිනහවකි.

    “අන් සතු හඳකට පෙම් කළ වරදටනේ ඔයාලා මාව ජෝක් එකට ගත්තේ…”

    මවා ගත් නොමනාපයකින් ඔහු කීවද එහි තරමක ශෝකයක්ද ගැබ්ව ඇතැයි කියා දෙදෙනාටම සිතිණි.

    “පමා වී පිපුණු මල් සුවඳයිලු මියුර…”

    “ඒක ඇත්ත අංජලී…ඒ වුණත් අනුන් සතු උයනක පිපුණු මල් නෙළන්නේ කොහොමද…?”

    “තාම කවුරුවත් සතු වෙලා නැහැනේ… ඒ නිසා බලාපොරොත්තු අත්හරින්න එපා…”

    අංජලී යළිත් කියන විට ඔහුගේ දෑස් වල අලුත් බලාපොරොත්තුවක එළියක් දිස් විණි.

    “ඔය ඇත්තටමද කියන්නේ…?”

    ඔහු මවිතයෙන් ඇසීය.

    “මේකයි මියුර…ගයාගේ අයියා තාම දන්නේ නැහැ ගයාගේ අෆෙයාර් එක…එයා ඒකට කැමති වෙයි කියලා මං නම් හිතන්නේ නැහැ…අයියා අකමැත්තෙන් ගයා කවදාවත් ඒක කරන්නේත් නැහැ කියන්න අපි දන්නවා…”

    “එතකොට මෙච්චරකල් ආදරේ කළේ…?”

    “උන් දෙන්නා ලව් කළාට වැඩියෙන් හිටියේ තරහා වෙලා….හැමදාම සංඬු…”

    රංගිකා කීවේ කෝපයෙනි.

    “සමහර වෙලාවට මාත් දකිනවා ගයා මූඩ් ගහලා ඉන්නවා…ඉතින් ඉරේෂ් කිව්වොත් මැරි කරන්නම ඕන කියලා…”

    “අයියා අකමැති නම් සක්කරයා කිව්වත් ගයා ඕක කරන්නෙ නැහැ…ඒක පටන් ගන්නකොටම ඉරේෂ්ට කියලා තියෙන්නේ…”

    “අයියා කැමති වුණොත්…!”

    “ඒක නම් ෂුවර් නැහැ…”

    “ඉරේෂ් තර්ජනය කළොත්…!?

    “අයියා ඉරේෂ්ව පුම්බලා උඩ යවයි…ශාමින්දයියා ගයාට හරි ආදරෙයි…අයියාට හොරෙන් අෆෙයාර් එකක් පටන් ගත්ත එක ගැන ගයා ඉන්නේත් හරි අවුළෙන්… එයා ඒක අයියාට කීප සැරයක්ම කියන්න ට්‍රයි කළා…ඒත් බයට නිකන් හිටියා…”

    “හ්ම්ම්…අයියා මාවත් පුම්බලා උඩ යවයිද…?”

    ඔහු අසන විට දෙදෙනා නැවතත් උස් හඬින් සිනහසුණෝය.

    “ඔයාට එහෙම කරන එකක් නැහැ… බය වෙන්න එපා…අපි ඉන්නවා ඔයාගේ සපෝර්ට් එකට…”

    “තෑක්න්ස් අංජලී…මං ඔයාට හරි ආදරේ ඒකනේ…”

    “ආහ්…එයාට විතරද…?”

    “නැහැ…නැහැ…ඔයාටත් එක්ක තමා…”

    මියුර ඔවුන්ගෙන් සමුගෙන යමින් කීවේය.

    “පව් මියුර…ගයාට එයාව කළින් මුණ ගැහුණා නම්…”

    අංජලී කීවේ කල්පනාකාරී හඬකිනි.

    “අපිට ඕන විදියට හැමදේම වෙන්නේ නැහැනේ…”

    “හ්ම්ම්…”

    රංගිකා කියන විට අංජලී සුසුමක් හෙළමින් කීවාය.

    “මෙයා කීයට එයිද මංදා…දැන් දහයත් පහු වෙලා…”

    ඈ කීවේ නොඉවසිළිමත් හඬකිනි. ඒ සමඟම තුෂරගෙන් ඇමතුමක් පැමිණියෙන් අංජලී එයට ඇමතුවාය.

    “අංජලී…ඔයාට දැන් පිළියන්දල ෆැක්ට්‍රියට පොඩ්ඩක් එන්න පුළුවන්ද…? සුමුදු ටික දවසකට නිවාඩු ගිහින්…මෙහෙ අක්වුන්ට්ස් ටික පොඩ්ඩක් බලා ගන්න ඕන…ඔයා එනකොට සාම්පල් එකේ ශකිලාවත් එක්ක එන්න…රෑ වුණොත් පිළියන්දල ගෙදර නවතින්න පුළුවන්… ඒ නිසා කෝකටත් රෙඩි වෙලාම එන්න… ශකිලාටත් කියන්න….”

    අංජලී කතා බහ නිම කළේ මැළවුණු මුහුණින් යුතුවය. ඇගේ මුහුණ් අඳුරුව ඇති සැටි රංගිකාද දුටුවාය.

    “අංජු මොකෝ…?”

    “පිළියන්දල යන්න වෙනවා…”

    “අනේ…අදත්…!”

    “හ්ම්ම්…”

    අංජලී එසේ කියා කාර්යාල සහායක ප්‍රමිත් කැඳවා ශකිලාට පැමිණෙන ලෙස දන්වා යැවූවාය.

    “අනේ අංජු…දැන් ගයාලත් එනවා ඇති…ඔයාට එයාලා එනකල්වත් ඉන්න බැරි වෙයිද…?”

    රංගිකා ඇසුවේ අංජලී ශාමින්ද දකින්නට පෙරුම් පුරමින් සිටින බව දැනය.

    “බැරි වෙයි රංගි…බෝඩිමටත් යන්න වෙනවා…එයාව වෙන දවසක මුණ ගැහෙන්න පුළුවන් නේ…”

    ඈ කීවේ ශෝකය මුසුවය. මෙතෙක් දිනක් ඇඟිලි ගනිමින් සිටි මොහොත උදා වන්නත් පෙරම බොඳව ගිය සැටි නම් අරුමයක්මය.

    -හෙටත් හමුවෙමු-

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    Mushroom Soup එකක් හදාගමු

    Mushroom, සුදුළූණු, ගම්මිරිස් වගේ දේවල් එකතු කරලා රසට හදන Mushroom Soup එකක් කියන්නෙ හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් සුප් එකක්....

    රත් දෝතළු – 06

    රත් දෝතළු - 06 නිර්මාණිට ඇමතුමක් ගන්නට කීපවරක්ම කළ උත්සාහය නිරර්ථ වූයේ එය ක්‍රියා විරහිත කොට තිබූ බැවිනි. සමහරවිට ඈ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page