NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 80

Pini Muthu Palasa පිනි මුතු පලස – 80

-

spot_img

Pini Muthu Palasa පිනි මුතු පලස

රජිව් නිවසට කැඳවාගෙන පැමිණියේ දින තුනකට පසුවය. ඒ වන විට මා සිටියේ ඉතා විඩාබරවය. රාත්‍රී තුනක් මම ඔහු අසල රැඳී සිටියෙමි.

“අනේ නෝනේ…නෝනා ටිකක් විවේක ගන්න…මේ ටිකේම නිදි වැරුවානේ…දවල්ටවත් හරි හමන් නින්දක් නිදා ගන්න බැරි වුණානේ…”

ප්‍රේමා නැන්දා කීවේ මා පිළිබඳව ඇති වූ අනුකම්පාවෙන් මෙනි. නිවසට පැමිණි සැටියේ මම කළේ දිය නා ගෙන නින්දට වැටීමය. ගතේ වූ තෙහෙට්ටුව නිසා මට හොඳින් නින්ද ගිය අතර මම අවදි වන විට සැඳෑ අඳුර හාත්පස ගලා යමින් තිබිණි. ප්‍රේමා නැන්දා දුම් දමන කෝපී කෝප්පයක් මා වෙත පිළිගැන්වූයේ ඒ මොහොතේ සිහින් පොද වැස්සකුත් ඇද වැටෙමින් තිබූ නිසා වන්නට ඇත. කමල්ද පැමිණ ඇති බව දැන මම ආලින්දයට පැමිණියෙමි. ඔහු චිත්‍රා මිස් සමඟ කතාබහක නිරතව සිටියේය. රජිව්ගේ කාමරයට එබුණු මම ඔහු නිදා සිටිනු දැක ගොස් කමල් පසෙක අසුනේ හිඳ ගතිමි.

“උඹ නම් මේ පවුලට ණයක් ගෙවනවද කොහෙද…!”

කමල් එසේ කීවේ සිය බරැති අතක් මා හිස මත තබා අනුකම්පා මුසු වූ හඬකින් මෙනි. චිත්‍රා මිස් කඳුළක් පිස ගනු මම දුටිමි.

“මේ ළමයා නිසා හොඳයි…”

චිත්‍රා මිස් කීවේ එපමණකි.මම නිහඬව සිටියා මිස කිසිත් නොකීවෙමි. සමහරවිට මේ ණය මෙයින් අවසන් වනු ඇත.

රජිව් කෙමෙන් කෙමෙන් සුවය ලැබුවේය. තනිව වැඩක් පළක් කර ගැනීමට තරම් දැන් ඔහුට සුවය. වෛද්‍යවරු පැවසුවේ ටික කලක් ගත වන තුරු ඔහුට ශීත ආහාර නොගන්නා ලෙසය. අපි ඔහුට උණුවතුර බෝතලයක් නිතර මේසය මත තබා තිබුණෙමු. උදේ හවස ඇඟ පත සෝදා ගැනීමට මාත් ප්‍රේමා නැන්දාත් වතුර උණු කළෙමු.

“පුංචි මහත්තයා එහෙම හරි ගොඩ ආව එක ලොකු දෙයක් නේද නෝනේ…?”

වතුර මුට්ටිය ළිප මත තබා ප්‍රේමා නැන්දා මා විමසුවාය.

“ඔයින් ගියා මදෑ…”

“මම නම් එදා හොඳටම බය වුණා නෝනේ…ඒ ඇඟ සීතල වෙලා තිබ්බ තරම…!”

ඒ ගැන සිහි කරමින් මේ මොහොතේත් වෙව්ලා යමින් ප්‍රේමා නැන්දා කීවාය.

“මාත් එහෙම තමා ප්‍රේමා නැන්දේ…”

“පහුගිය කාලේම සීතලෙන් වෙවුල, වෙව්ලනේ ගෙදරට ආවේ…සෙම තමා නරකට හිටියේ…මහා රෑටත් නානවා…සෙම නරක් වෙන එක අහන්න දෙයක්ද…”

ඔහු එසේ කරන්නට ඇත්තේ මා නිසා බව සිතන විට මා සිත ශෝකයෙන් පිරී ගියේය.

“ඇයි රජිව් අයියේ මෙහෙම කරන්නේ…? ඇයි මෙහෙම තමුන්ගෙන්ම පළි ගන්න හදන්නේ…?”

ඔහුට බත් කටක් අනා කවමින් මම ඇසුවේ හැඬුම් බර හඬකිනි.

“මං ගැන කිසිම ගානක් නැති නිසානේ මෙයා දැන් රට යන්න හදන්නේ…”

මා කැවූ බත් කට ගිල දමා ඔහු පැවසුවේ සන්සුන් ස්වරයකිනි.

“ඔයා කරන දේවලින් දුක් විඳින්නේ මිස්…ඔයාට තේරෙන්නේ නැත්ද…?”

ඔහු කී දේ නොතකමින් මම කීවෙමි.

“මගේ දුක අනික් අයට නොතේරෙන එකයි මට දුක…”

මම කිසිත් කීමට නොගියේ ඔහු තවමත් පසුවන්නේ අසනීපයෙන් නිසාය. පිටතින් ඇසුණු කටහඬවල් කීපයක් නිසා අපි දෙදෙන මුහුණින් මුහුණ බලා ගතිමු.

“පුතා අසනීප වුණා කියලා අපිට කිව්වෙවත් නැහැනේ…”

කාමරයට ඒ හඬ ගලා ආවේය. මම ඒ හඬ නොහඳුනමි. රජිව් වතුර වීදුරුව අතට ගෙන සෙමෙන් එය පානය කළේ පිටතට සවන් යොමා බව මට පෙනිණි.

“ඒ අසනීපේ කාටවත් කියන්න පුළුවන් දෙයක් නෙවේ..ඒකයි නොකීවේ..බෝ වුණොත් කියලා…”

චිත්‍රා මිස් එසේ පවසන හඬ ඇසෙන විටම රුවින්දි කාමරයට කඩා වැදුණාය.

“අනේ…රජි…”

ඈ කියන්නට ගිය දේ නොකියා නිහඬ වූයේ මා දුටු නිසා වන්නට ඇත.

“ආහ්…මෙයාත් මෙහෙද…?”

ඈ මා හිස සිට දෙපතුළ තෙක් බැල්මක් හෙළමින් ඇසුවේ නොසතුටු මුහුණක් මවාගෙනය.

“දැන් කොහොමද ඔයාට…? අපි දන්නෙවත් නැහැනේ…”

යහන අසලට එමින් ඈ කියන විට මම රජිව් දිගු කළ හිස් වතුර වීදුරුවත් අතින් ගෙන නැඟී සිටියෙමි. රුවින්දි සූදානම් වූයේ මා හිඳ සිටි තැන හිඳ ගැනුමටය. චිත්‍රා මිස් කාමරයට එබුණේ එවිටය.

“හා..හා..ළමයෝ…පුතාට ළං වෙන්න එපා… එයාට තියෙන්නේ බෝවෙන ලෙඩක්… ඔයාටත් බෝවෙයි…”

මම විසල් කරගත් දෑසින් චිත්‍රා මිස් දෙස බලන විටත් රුවින්දි බියෙන් තැතිගෙන අහකට පැන අවසන්ය.

“මො…මොන…වා…ඔය ඇත්තමද…?”

ඈ බියපත් හඬකින් ඇසුවාය.

“ඔව්…ළමයෝ…යන්න…යන්න…එළියට…”

රුවින්දි වහා පිටතට දිව ගියේ වසංගතයකින් පලා දුවන්නාක් මෙනි. ඔවුන් ආ සැනින් පිටව ගියේ රෝගය බෝවනු ඇතැයි බියකිනි. යහන මත හිඳගෙන රජිව් සිනහසෙනු දුටු මා මුවටද නැඟුණේ සිනහවකි.

“කොහොමද කට්ටිය බය වුණ තරම..අනේ අම්මාපා ඔන්න…මිනිස්සු…”

චිත්‍රා මිස් කීවේ සිතේ උපන් කළකිරීමකිනි.

“ආයේ නම් පැත්ත පළාතකටවත් එන එකක් නැහැ…”

“බලමුකෝ…”

“අම්මා තාම කැමතිද රුවින්දිට…?”

රජිව් අසන විට මම කාමරයෙන් පිටතට පැමිණියෙමි.

“කැමති නම් මං මෙහෙම එළව ගන්න හදයිද…?”

ඈ කියනු මට ඇසිණි.

තරුෂි පුතෙකු බිහි කළ බව කමල් විත් අපට දැනුම් දුන්නේය. ඔහු සිටියේ සතුටිනි. ඇයව නිවසට ගෙනා විගස පැමිණෙන බව මම කමල්ට කීවෙමි.

“මෙයා දැන් කාලා බීලා ඉන්නවද මංදාකිණි…?”

“කවන නිසා කනවා…නැත්නම් ඒත් නැහැ…”

“පව් මේකා…පොඩි බබා…මේ කෙල්ලට වද නොදී කාලා බීලා නැඟිටහන්…බලපන් උඹේ ඇඟේ හැටි…හරියට කුඩු ගහන එකෙක් වගේ…”

කමල්ගේ දෝෂරෝපණය තුළ වූයේ සැබෑම මිත්‍රත්වයයි. රජිව් පෙරට වඩා දැන් සුවය ලබා තිබූ මුත් ඔහුගේ කෙසඟ බව නම් තවමත් එලෙසමය. ගිලී ගිය දෑස් යටද තවමත් අඳුරුය. කමිසයක් නොමැතිව සිටින විට ඒ පුළුල් ළය මඬලේ ඇටකටු පවා ගිනිය හැකි තරම් පැහැදිලිය. මේ මොහොතේ කමල් කළ දෝෂාරෝපණය ඔහු අසා සිටියේ මුව මත නඟා ගත් මඳ සිනහවකින්ද යුතුවය. වැඩි වේලා නොසිටි කමල් පිටව ගියේ නැවත රෝහලට ගෙන යෑමට අවශ්‍ය දේ සූදානම් කර ගැනුමට තිබෙන බව පවසමිනි.

“පුතා මා එක්ක දැන් වචන දහයක් වත් කතා කරන්නේ නැහැ ළමයෝ…”

චිත්‍රා මිස් මා සමඟ කීවේ ශෝකයෙනි.

“අසනීම නිසා වෙන්නැති මිස්…”

ඈ සනසන අදහසින් මම කීවෙමි.

“මේ ළමයා මෙහෙම හරි ඔළුව උස්සලා ඉන්නේ ඔයා නිසා දරුවෝ…දැන් ඉතින් ඔයා ගියාම…”

සුසුමක් හෙළමින් ඈ කීවාය. මටද ඔහු ළඟ සැමදා ඉන්නට බැරි බව රජිව්ද වටහා ගත යුතුය.

“ඉතින් එහෙනම් මංදාකිණි නෝනව හැමදාටම මෙහෙ තියාගන්නනේ තියෙන්නේ ලොකු නෝනා…”

ප්‍රේමා නැන්දා වහා කියන විට මම තිගැස්සී ගියෙමි.

“හරි ෂෝක්…”

චිත්‍රා මිස් එසේ කියා නොමනාපයෙන්දෝ ඉවත ගියාය.

“නැන්දාටත් කට පියන් නම් ඉන්න බැහැ නේද…?”

නොසතුටෙන් මම කීවෙමි.

“ඇයි…මම වරදක් කිව්වද…ලෙඩ වෙනකොට විතරද නෝනාව මතක් වෙන්නේ අම්මාලාට පුතාලට…?”

ඈ කීවේ නොසතුටෙනි. මම නිහඬ වීමි. ඇගේ කතාව මා සිත තුළ ශෝකී හැඟීමක් ඇති කළද මම එසැණින් එය අමතක කර දැමුවෙමි. කෙසේ නමුත් අද හෙටම මෙහින් යා යුතුයැයි කියා මම සිතුවෙමි.

තරුෂි නිවසට කැඳවාගෙන ආ පසු මාත් චිත්‍රා මිසුත් ඈ බලන්න නිවසට ගියෙමු. සුදෝ සුදු බෝලයක් මෙන් සිඟිත්තා දකින විට මා සිතේ උපන්නේ අසීමිත වූ සෙනෙහසකි.

“අනේ…ෂෝ…යි…තරූ…ඔයා වගේමයි…”

සිඟිති කකුලක් සෙමෙන් ස්පර්ෂ කරමින් මම කීවෙමි.

“අම්මෝ…මංදි…අරයට ඇහෙන්න නම් කියන්නවත් එපා…හරි ජෙල එයාට…මං වගේ කියත්දී…”

අප අතර සිනහවක් නංවමින් තරුෂි කීවාය.

“තාම චූටි වැඩියි…කවුරු වගේද කියන්න…”

තරුෂිගේ අම්මා කීවාය.

“හ්ම්ම්…ඒක හරි…මාස පහ හයක් පහු වෙන්න ඕන…ලොකු වෙන්න වෙන්න වෙනස් වෙනවා…”

චිත්‍රා මිස්ද එයට එකතු කළාය. කුඩා ළමුන් සමඟ මට එතරම් අත්දැකීමක් නොවිණි. අක්කාගේ පුතාව වුවද මා දැක තිබුණේ ඔහු වැඩුණු පසුවය. සිඟිත්තා ඔසවා ගැනීමට උපන් ආශාව මා යටපත් කරගෙන සිටියේ බිය මුසු චකිතයක් සිතට එබුණු නිසාය. ඔහු හඬන්නට වන විට තරුෂි පුතු ඔසවා ඇකයට ගෙන කිරි දුන්නාය. මා ඒ දෙස බලා සිටියේ හැඟීම්බර දෑසිනි. අම්මා කෙනෙකු දරුවෙකුට දක්වන සෙනෙහස කොතරම්ද කියා දන්නේ අම්මා කෙනෙකුම පමණි. මගේ අම්මාගේ සෙනෙහස මට ඒ අයුරින්ම ලැබුණාද කියා මතකයක් මා තුළ නොවූ මුත් මා කුඩා කල ඇයත් ඇකයට ගෙන මට කිරි පොවන්නට ඇත්තේ මෙලෙස වන්නට ඇතැයි කියා මට සිතිණි. දරුවන් උස් මහත්ව වැඩෙන විට ඒ සෙනෙහස ඇගේ සිතින් ගිලිහී ගියාද , ඈ විදෙස් ගත වූයේ අසරණ කම නිසාමද…?දෙනෙතට උණන කඳුළු ගුළි මම ඇසිපිය සළමින් වළකා ගතිමි..

“මංදි..”

චිත්‍රා මිස් තරුෂිගේ අම්මා සමඟ පිටතට ගිය පසුව ඈ මා ඇමතුවේ කුමක් හෝ දෙයක් විමසන්නට මෙන් බව මට වැටහිණි. දරුවාද නින්දට වැටී සිටියෙන් තරුෂි ඔහු සෙමෙන් යහන මත තැබුවාය.

“රජිව් අයියාට දැන් කොහොමද මංදි…? පහුගිය ටිකේම මාත් ගෙදරට වෙලාම හිටියා මිසක් එයාව බලන්න එන්නවත් බැරි වුණා…”

“ඔයා කොහේ එන්නද ඉතින්…කමල් අයියා ආවානේ…දැන් නම් ඉතින් ටික ටික හොඳ අතට හැරෙනවා…”

“එදා අර ස්ටාෆ් රූම් එකට කතා කරලා…ඔයාට දොස් කියන කොට…මිස්ට නිකමටවත් හිතෙන්න නැතුව ඇති…කවදා හරිම ඔයාගෙන් මෙහෙම ප්‍රයෝජනයක් ලැබෙයි කියලා…”

තරුෂි අතීතය සිහිපත් කරමින් කියන විට මම දිගු සුසුමක් හෙළීමි.

“මිනිස්සු හැමෝම එහෙම තමා තරූ…තවත් කෙනෙකුගේ උදව්වක් උපකාරයක් වුවමනා වෙයි කියලා හිතන්නේ නැහැ තමා…කොටින්ම සමහර මිනිස්සු ජීවත් වෙන්නෙත් මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන…”

“මිස් වගේම රජිව් අයියත් ඔළුව ඉස්සුවේ ඔයා නිසා…”

“මං ඒවා හිතන්නේ නැහැ තරූ…”

අපි අතර මොහොතක නිහැඬියාවක් පැතිරිණි. ඈ තවත් කුමක් හෝ යමක් කීමට සැරසෙන බවක් පෙනිණි.

– අවසන් කොටස 12 වෙනි සඳුදා –

Latest news

රුපියල් දහය, ජේ.ආර්. සහ කම්කරු දිනය

රුපියල් දහය, ජේ.ආර්. සහ කම්කරු දිනය තවත් මැයි දිනයක් අහවර විය. එයත් වෙනදා මෙන්ම රතු, නිල්, කොළ පාට සන්දර්ශනයකින් අවසන්...

පළාත් සභා ඡන්දය තියනවා බයවෙන්න එපා!

පළාත් සභා ඡන්දය තියනවා බයවෙන්න එපා - විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය පළාත් සභා මැතිවරණය කල් යෑම පිළිබඳව කතිකාවතක් ඇතිව තිබෙන...

PayPal පහසුකම ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් දියත් කෙරේ

  ලොව ප්‍රමුඛතම මාර්ගගත ගෙවීම් පද්ධතියක් වන PayPal හරහා සෘජුවම ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම අද (15) සිට ක්‍රියාත්මක...

වළ දැමූ නිධන් පිළිබඳ මිථ්‍යාව වැඩි වෙලා – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

මේ වසරේ මේ දක්වා නීති විරෝධී පුරාවිද්‍යා කැණීම් සිදුවීම් 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව පවසමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ...
- Advertisement -spot_img

වළ දැමූ නිධන් පිළිබඳ මිථ්‍යාව වැඩි වෙලා – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

මේ වසරේ මේ දක්වා නීති විරෝධී පුරාවිද්‍යා කැණීම් සිදුවීම් 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව පවසමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ...

රත් දෝතළු – 89

රත් දෝතළු - 89 හඬ නඟන දුරකථනය අතට ගෙන මම එයට ඇමතුවේ දෙගිඩියාවෙන් මෙන්ම තරමක චකිතයකිනි. අනෙක් පසින් ඇසුණේ ගැඹුරු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you