More
    NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 53

    Pini Muthu Palasa පිනි මුතු පලස – 53

    -

    spot_img

    Pini Muthu Palasa පිනි මුතු පලස

    හුන් තැනම හිඳ මම ඔහේ බලා සිටියෙමි. සිතන්නට බොහෝ දේ වුවද කිසිත් මට සිහි නොවීය. ඉවතක ගිය තරුෂි යළි මා වෙත පැමිණියේ අම්මා පිටව ගොස් මොහොතකට පසුවය. ඈ සිටින බව පවා මට අමතකව ගොස් තිබිණි. සිතේ තෙරෙපෙන වේදනාව කෙතරම් වුවද පුදුමයකට මෙන් මා දෑසට එකදු කඳුළු බිඳුවක් හෝ නොනැඟිණි.

    “මංදි…”

    තරුෂිගේ හඬින් තිගැස්සුණු මම ඈ දෙස බැලීමි.

    “ත්…තරූ…”

    “කෝ…අම්මා ගියාද…?”

    ඈ මා පසෙක හිඳ ගනිමින් ඇසුවාය.

    “ඔව්…මට බයයි තරූ…එයාලා පූජිතට මං ගැන කියලා ඒ මිනිහා මෙහෙට ඇවිත් මිස්ලටත් කරදරයක් කරයිද කියලා…මට බය රජිව් අයියා ගැන…එයාට කරදරයක් වුණොත් මං මොනවද තරූ කරන්නේ…?”

    සැබෑවටම මා සිටියේ ඒ බියෙනි. ඔහුට හිරිහැරයක් කරදරයක් සිදුවුවහොත් මිස්ගේ හුස්ම පොදත් සිර වනු ඇත. ඉන්පසු මාද ජීවත් වී පලක් නැත.

    “බය නැතුව ඉන්නකෝ…අම්මලා දන්නේ ඔයා මෙතන රස්සාවක් කරනවා කියලානේ…එයා පූජිතට ඔයා මෙහෙ ඉන්නෙ කියලා කිව්වත්…බය වෙන්න දෙයක් නැහැනේ…ඔයා කරන්නේ ජොබ් එක…එච්චරයි…”

    තරුෂි මා අස්වසන්නට මෙන් කීවද සිතේ වූ බිය නම් පහව නොගියේය.

    “ඒත් මට හරි බයයි…ඔයා ඒ මිනිහව දන්නේ නැහැ…”

    “මට තේරෙනවා මංදි…අපි හිතමු නරක දෙයක් සිද්ධ වෙන්නෙ නැති වෙයි කියලා…”

    මම දිගු හුස්මක් ඇද්දෙමි.

    “මිස් දන්නවද…ආවේ කවුද කියලා…?”

    “හ්ම්ම්…මං කිව්වා…ප්‍රේමා නැන්දා තේ හදනවද කොහෙද…”

    ඈ හදිසියේ සිහි වූවාක් මෙන් කීවාය. චිත්‍රා මිස් සමඟ ප්‍රේමා නැන්දා මිදුල දිගේ පැමිණියේ එවිටය.

    “කෝ…මංදාකිණි අම්මා…? මං මේ කතා කරන්න ආවේ…”

    ඈ පිටව ගිය බව මම කියන විට චිත්‍රා මිස් පුදුමය හැඟවූවාය.

    “අනේ…මං තේත් හැදුවා…මං මේ ලොකු නෝනාව එක්ක ඇවිත් තේ ටික ගේන්න හිටියේ…අපිවත් බොමුකෝ එහෙනම්…”

    ප්‍රේමා නැන්දා එසේ කියා පිටුපසට ඇදුණාය. අම්මා සමඟ ඇදති වූ කතා බහ මම චිත්‍රා මිස් සමඟ පැවසුවෙමි.

    “මහ පුදුම මිනිස්සුනේ මේ මිනිස්සු…අම්මලා කියන්නත් ලැජ්ජයි ළමයෝ…තියා ගන්නනේ තිබුණේ මම දෙකක් කතා කරනවා එහෙනම්…”

    චිත්‍රා මිස්ද කතා කළේ කෝපයෙනි.
    ——————————————————————————————————
    දින කිහිපයක පටන් මා සිටියේ තදබල ලෙස හිසරදයකින් පෙළෙමිනි. රජිව් මා කැඳවාගෙන විත් පෞදගලික සායනයකින් බෙහෙත් රැගෙන දුන්නද හිසරදය තවමත් අඩුවක් නැත.

    “වයිෆ්ගේ ඔළුව කොහෙ හරි වැදුණද…?”

    වෛද්‍යවරයා විමසුවේ රජිව්ගෙන් වුවද තිගැස්සුණේ මා සිතය. ඔහු මා රජිව්ගේ බිරිඳ ලෙස වරදවා වටහාගෙන ඇත. ඊටත් වඩා මා අපහසුතාවයට පත් වූයේ ඔහු රජිව් දෙස හෙළූ සැකමුසු බැල්මය. පූජිත මට පහර දුන් සැටි සිහි වී මා ගත කිලිපොළා ගියේය. ළිඳ ළඟ ඇද වැටුණු සැටි, ඇද විට්ටමේ කීප වරක් හිස වදින සේ පහර දුන් සැටි මට අමතක කළ හැකි වේවිද….?

    “ඔව්…ඩොක්ටර්…ළිඳ ළඟ වැටිලා ඔළුව වැදුණා…දැන් ටික කාලෙකට කළින්…”

    “බඳින්න කළින්ද…?”

    වෛද්‍යවරයාගේ හඬේ පවා වූයේ සැකමුසු බවකි.

    “ඔව්…”

    “එදා ඩොක්ටර් කෙනෙක්‍ට පෙන්නුවෙ නැත්ද…?”

    “න්…නැහැ…ඩොක්ටර්…අක්කාට එක්ක යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ…”

    මම මුසාවක් පැවසීමි.

    වෛද්‍යවරයා බෙහෙත් තුණ්ඩුවේ යමක් ලියා එය රජිව් අතට දී එම බෙහෙත් වට්ටෝරුව පිටින් ගන්නා ලෙස දැනුම් දුන්නේය. මා පිටතට යවා ඔහු රජිව් නවතාගෙන කුමක් කීවාද කියා රජිව් පසුව හෝ මා සමඟ නොපැවසුවේය.

    “ඒ මිනිහා ඔයාට වද දීලා මංදාකිණි…මට ඕකව හොයන් ගිහින් මරන්න හිතෙනවා…”

    අපි යළි එන අතරේ රජිව් කීවේ කෝපයෙන් දත් මිටි සපමිනි.

    “ඔයා කේන්ති ගන්න එපා…ඒ වගේ මනුස්සයෙක් මරලා ඔයාගේ අත්වල ලේ ගා ගන්නේ මොකටද…?”

    ඒ මොහොතේ මම කීවෙමි. මා අමතමින් රජිව් කාමරයට එබෙන විට මම සිටියේ යහන මත වැතිරගෙනය. ඔහු මා සමීපයට පැමිණෙන විට මම දෙවැළමිටට බර දී නැඟී සිටීම දැරූ උත්සාහය ඔහු විසින් වළකාළීය.

    “ඔහොම ඉන්න…මම ආවේ ඔයාට කොහොමද බලන්න…”

    ඔහුට කීකරුව මම එලෙසම වැතිර සිටියෙමි. ඔහු මෘදු ලෙස මා හිස පිරිමදින විට මා හිසටත් සිතටත් සනීපයක් දැනිණි.

    “බේත් බීවට පස්සෙ අඩුවක් දැනෙනවද…?”

    “ඔව්…දැන් නම් ටිකක් අඩුයි වගේ…”

    “බේත් බීපු නිසාද නැත්නම්…මං ඔළුව අත ගාපු නිසාද…?”

    මඳහසක් මුවේ රඳවාගෙන ඔහු අසන විට මසිත හිරි වැටිණි. පිළිතුරක් දීමට මා මුවට වචන නොආවේය.

    “අමාරු ප්‍රශ්න නේද මාත් අහන්නේ…?”

    ඔහු එසේ කියා මඳහසක් පාන විට මා මුවටද සිනහවක් නැඟිණි.

    “අම්මා ඇවිත් ගියා කියලවත් මට කිව්වේ නැහැ…මට අම්මා කිව්වේ…?”

    ඒ හඬේ වූයේ දෝෂාරෝපණයක ස්වරූපයකි.

    “එයා ආවේ ඔයා අර එදා වෙඩින් එකට සිං කරන්න ගිය දවසේ…හැමදේම කියලා ඔයාගේ ඔළුවට බරක් දාන්න හොඳ නැති නිසා මං නොකියා හිටියේ…”

    “කියන්න නම් දාහක් ඒවා තියනවා…පණ්ඩිත ආච්චි…හරි හරි…ඔයා නිදා ගන්න…මං යනවා…ඉක්මනට සනීප වෙන්න…පාළුයි…”

    මා වෙත නැඹුරු වූ රජිව් මෘදුව මා නළලත සිප ගන්නා විට මා ගත හිරිවැටී ගියේය. දෑස් කඳුළු වලින් බොඳ වුණේ ක්ෂණිකයෙනි. කඳුළු ඔහුට පෙනේවි යැයි බියෙන් මම වේගයෙන් ඇසි පිය සැළුවෙමි. ඔහු පිටතට ගිය පසු මම දිගු හුස්මක් ඇද ළය පුරවා ගතිමි.

    පසු දින චිත්‍රා මිස්ගේ වෛද්‍ය සායනය දින වූ බැවින් රජිව් ඇයව කැඳවාගෙන යෑමට පෙර තරුෂි කැඳවාගෙන පැමිණියේ මගේ තනියට කියාය. මා අසනීපයෙන් පසුවන නිසා ඔහු මා තනිව දමා යෑමට අකමැති විය.

    “කෙල්ලගේ අසනීප වැඩි කරන්නේ එහෙම නැහැ තරුෂි…”

    චිත්‍රා මිස් කීවේ තරුෂි අවුස්සන්නට මෙනි.

    “මෙයා එක්ක ඉඳලා මාත් ලෙඩ වෙයිද දන්නැහැ මිස්…”

    තරුෂිද සිනහසෙමින් කීවාය. ඔවුන්ගේ රථය පිටව ගිය පසු තරුෂි දොරඟුළු දමා විත් මා සමීපයේ අසුන් ගත්තාය.

    “මිස් මෙහෙම විහිළුවක් කරලා හිනා වෙලා ඉන්න එකත් මොනතරම් සතුටක්ද නේද මංදි…?”

    “අනේ…ඔව්…”

    සුසුමක් හෙළමින් මම කීවෙමි.

    “මොකද ඔයා එක පාරම අසනීප වුණේ…?”

    “එක පාර නෙවේ අනේ…මේ ඔළුව අමාරුව ටික ටික තිබුණා…ඒ මිනිහා මාව නොමරා මැරුවා…”

    “ඔය කියන විදියට ඉතින්…පූජිත පොඩි කාලේ ඉඳන් අහන්න දකින්න ඇත්තේ අම්මා තාත්තගේ සංඩු සරුවල්නේ…ඊට පස්සේ රාජකරුණා ළඟට ගියාම ආයේ ඉතින් අහන්න දෙයක් නැහැනේ…ඒ මිනිහා පූජිතව අත කොළුවක් කරගෙන ඇති…”

    ඒ ගැන නම් සැකයක් නැත.

    “මට බය එයා මෙහෙ එයිද කියලා…”

    “බය නැතුව ඉන්නකෝ…මෙහෙට ආවත් එහෙම බයි පෝස් දාන්න බැහැනේ…ඔයා ඕවා කල්පනා නොකර ඉන්නකෝ…”

    “මං පුදුම කරුමයක් ගෙවන්නේ තරූ…”

    “ඒවා අපේ කරුම නෙවේ මංදි…අපිට ගෙවන්න වෙලා තියෙන්නේ අනුන්ගේ කරුම…ඔයා ගෙවන්නේ ඔයාගේ අම්මලා කරපු වැරදි වලට කරුම ගෙවන එක…”

    “එයාලා මොකුත් නොකළා වගේ…දැන් මටයි දොස් පවරන්නේ…මාව බන්දලා දීපු එක නෙවේ වැරැද්ද…මං ඒ මිනිහව දාලා ආව එකයි වැරැද්ද…මං එහෙම ආව එක වැරදිද තරූ…?”

    “ඔයා වැරදි නැහැ මංදි…මං ඔයා වුණා නම් ඔය තීරණේ ගන්නේ මීට හුඟ කාලෙකට කලින්…”

    “මට යන්න කියලා තැනක් තිබුණා නම් මං මේ තරම් පරක්කු වෙන්නේ නැහැ… එහෙනම් මෙහෙ එන්නෙත් නැහැ…”

    “ඔයාලගේ අම්මගෙ මොළේ තාම පෑදිලා නැහැ…”

    “අක්කා එයාගේ ඔළුව සෝදලා තියෙන්නේ…අම්මා පිළිගන්නේ එයා කියන දේ විතරයි…ඇත්ත නැත්ත හොයලා බලන්න එයාට වුවමනා නැහැ…”

    “දැන් ඒවා හොයලා බැලුවත් මොකද…වුණ දේවල් හරිගස්සන්නද…”

    සුසුමක් මුදා හරිමින් ඈ කීවාය. බෙහෙත් සැරටදෝ මා හට දැනුණේ තද නිදිබර බවකි. මා යළි අවදි වන විට දහවල් වී තිබූ අතර ඒ වන විට රජිව්ලා නිවසට පැමිණි සිටි අතර තරුෂි පිටව ගොස් සිටියාය.
    ——————————————————————————————————
    අත් වාරුවෙන් තනිවම එහා මෙහා ඇවිදීමට උත්සහ දරන චිත්‍රා මිස් දෙස මාත් ප්‍රේමා නැන්දාත් බලා සිටියේ සිතේ උපන් සතුටිනි. ඉස්තෝප්පුවේ එහා මෙහා ඇවිදිමින් ඈ තනිවම ශාරීරික අභ්‍යාස වල නිරත වන විට හදිසියේ හෝ වාරු නොමැතිව ඇද වැටෙතැයි සිතා මාත් ප්‍රේමා නැන්දාත් ඈ පසෙකින්ම සිටියෙමු.

    “අදට ඇති…මට මහන්සියි…”

    සුළු මොහොතකට පසුව ඈ කියන විට මාත් ප්‍රේමා නැන්දාත් එකතුව ඇයව රෝද පුටුවේ හිඳ වූයෙමු.

    “තව ටික දවසක් මෙහෙම එක්සර්සයිස් කළාම මිස්ට තනියම ඇවිදින්න පුළුවන් වෙයි…”

    “හම්මේ…ඔයාට පින් දරුවෝ…”

    “අනේ…මිස්…ඒක මං කරපු දෙයක් නෙවේනේ…මිසුත් හිතට අරන් එක්සර්සයිස් ටික නොකළා නම්…මෙහෙමවත් නැහැනේ…”

    “ඔයාලා හැමෝම මං වෙනුවෙන් මහන්සි වුණා…මං ගාව ඉඳියි කියලා හිතපු මිනිස්සු මාව දාලා ගියා…නොහිතපු කෙනෙක් මට පිහිට වුණා…ළමයින්ට මම ගුරු හරුකම් දුන්නට මට මගේ ජීවිතේ ගැනම ඉගෙන ගන්න ලැබුණේ මං ඇඳට වැටිලා හිටපු කාලේදි…”

    සුසුමක් හෙළූ චිත්‍රා මිස් කීවේ රුවින්දිගේ පවුලේ අයවද සිහිපත් වී වන්නට ඇත.

    “මට සමාවෙන්න දරුවෝ…එදා මම මගේ පුතා ගැන හිතලා…ඔයාට දොස් කිව්වා… මං කොච්චර වැරදිද කියන එක තේරුම් ගන්න මට හුඟාක් කල් ගියා…රුවින්දි ගැන මම ඇත්තටම හුඟාක් බලාපොරොත්තු තියන් හිටියේ…ඒකි පොඩි කෙල්ල කාලේ ඉඳන් මං ඒකිට ආසා වුණා…මොකද මට දුවෙක් හිටියේ නැති නිසා…එයාගේ දඟකාරකම් පහු වෙනකොට නැති වෙයි කියලායි මං හිතුවේ…ඒත් එයා අපි හැමෝම එක්ක බොහෝම ලස්සන සෙල්ලමක් කළා කියලා අපි දැන ගත්තේ හුඟාක් පරක්කු වෙලා…මේ දේවල් අපි දැන නොගත්තා නම්…කවදා හරි දවසක මම පුතාව එයාට බන්දලා දෙන්නත් ඉඩ තිබුණා…කොල්ලා අකමැති වුණත් මගේ කීමට එයාව බඳියි…එහෙම වුණා නම් මට කවදාවත් මටම සමාව දෙන්න බැරි වෙයි…මං මැරි මැරි ඉපදෙයි…”

    චිත්‍රා මිස් සැබෑවටම සිතේ වූ ශෝකයකින් එසේ පවසන බව මට වැටහිණි.

    “මිස් දැන් ඕවා ගැන කල්පනා නොකර ඉන්නකෝ…හිත කලබල කරන් මිස් ආයේම ලෙඩ වෙයි…රජිව් අයියට හොඳ කෙනෙක් හම්බෙයි මිස්…”

    මම එසේ කීවේ අවංක වූ හඬිනි. මගේ එකම පැතුමත් එයම විය. චිත්‍රා මිස් මගේ අතක් දැඩිව අල්ලාගත්තේ හිස ඔසවා මදෙස බලා මඳහසක් පාමිනි.
    මිතුරෙකුගේ මංගල උත්සවයකට ගීත ගායනා කිරීමට ගිය රජිව් නැවත නිවසට ගොඩ වූයේ එවිටය. යතුරු පැදිය පෝටිකෝව යට නවතා හෙල්මටය පැති කන්නාඩියේ රඳවමින් ඔහු ගෙතුළට ගියේ අප දෙස හෝ නොබලමිනි. එය මා සිතට අමුත්තක් විය. ඔහු වෙනදාට නිවසට ගොඩ වන්නේ මඳහසක් මුව මත තවරාගෙනය.අද එවැන්නක් නැත.

    “ප්‍රේමා නැන්දේ තේකක් බොමුද…?”

    ඔහු විමසන විට ප්‍රේමා නැන්දා වහා බැලුවේ මා දෙසය.

    “මං හදන්නම් පුංචි මහත්තයා…”

    ප්‍රේමා නැන්දා වහා ගෙතුළට දිව ගියාය.

    “පුතාට ඉතින් ප්‍රේමාගේ තේකට වඩා රස මංදාකිණිගේ තේ කෝප්පෙනේ…මටත් තේකක් ඕන දරුවෝ…”

    චිත්‍රා මිස් පෙර කී කතාව කීවේ කුමන අදහසකින් දැයි කීමට මම නොදනිමි. මේ මොහොතේ ඒ ගැන වැඩිදුර සිතීමටද මට වුවමනා නොවිණි. මා සිතේ වඩා බලවත්ව පැවතියේ රජිව් කුමන හෝ ගැටළුවකට මුහුණ පා ඇතැයි කියාය. නොඑසේ නම් ඔහු මෙසේ හැසිරෙන්නේ නැත. ඔහු චිත්‍රා මිස් සමඟ වුවද වචනයක් හෝ කතා බහ නොකර ගෙතුළට වැදීම පුදුමයක් නොවේද….?

    -හෙටත් හමුවෙමු-

    Latest news

    78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 49කට ජනපති සමාව

    78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 49 දෙනෙකු විශේෂ ජනාධිපති සමාව ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයාට...

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 25

    රත් දෝතළු - 25 මා සමඟ ආලින්දය වෙත පැමිණි අහස් පෙර අසුනේම හිඳ ගත්තේ යළිත් රැවුමක් මා වෙත පා කරමිනි. "මැඩම්...

    ආදරයේ අපූරු පාඩම

    ආදරයේ අපූරු පාඩම - The Little Broken Cake මගේ ළමා කාලය රසවත් මතක, ඉගෙනගත් පාඩම් සහ අලුත් පරම්පරාවට ඉගැන්වීමට අපූරු...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page