NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 43

Pini Muthu Palasa පිනි මුතු පලස – 43

-

spot_img

Pini Muthu Palasa පිනි මුතු පලස

මහ වැස්ස නොබලාම මම දිය නාගෙන කාමරයට එන විට පූජිත කොහේ හෝ යාමට සූදානම්ව හිස පීරමින් සිටියේය. ඔහු ගැල්වූ ඕඩිකොලෝන් සුවඳින් කාමරය පිරී තිබිණි.

“බීපු ඒවායේ ගඳ වැහෙන්න වෙන්නැති ඕඩිකොලොන් නෑවේ…”

මම මටම කියා ගතිමි. වැස්ස තවම තුරල්ව නැත. මේ මහ වැස්සේ ඔහු කොහි යනවාද කියා මම සිතුවේ මවිතයෙනි. එළියට බැසීමත් මොන මෝඩකමක්ද කියා සිතුණු මුත් මට ඔහුට ඒ බව පැවසීමට වුවමනා නොවීය.

“ආයෙ කොහෙ හරි යන්නද…?”

තුවාය ඇඳුම් වැටේ දමා මම ඇසුවේ යහන සකසමිනි.

“ඔව්…ඇයි…”

පනාව කන්නාඩි මේසය මතට විසි කරමින් ඔහු ඇසුවේ රළු හඬකිනි.

“කොහේ ගියත් මට කමක් නැහැ…කාලා යන එකයි…පණ දාගෙන උයනවා…කන්න මොකෙක්වත් නැහැ…”

ඔහු පැවසූ ලෙසම මමද කීවේ ඔහු පසු පස ආලින්දයට යමිනි.

“ආයෙමත් කොහෙ යන්නද ලැහැස්ති වෙලා ඉන්නේ…මේ මහ වැස්සේ…?”

අම්මාද අසන විට පූජිත අසුනක් ඇද හිඳ ගත්තේ එය හරියට මම අසන්නට කියූවාක් මෙන් මවෙත හෙළූ රළු බැල්මකින්ද යුතුවය.

“මෙච්චර කල් මම යන එන තැන් අම්මට කියලාද ගියේ…?”

කිරිබත් කෑල්ලක් පිඟානට බෙදා ගනිමින් ඔහු ඇසුවේය.

“උඹ යන එන තැන් ගැන මං හොයලා නොබලපු එක තමා වැරැද්ද…”

“අම්මේ…මේ…උදේ පාන්දර මගේ ඔළුව කන්නේ නැතුව ඉන්නවද…?”

“කන්නත් ඉතින් උඹට ඔළුවක් තිබුණේ කවද්ද?…ගුබ්බෑයම් ගානේ රිංගුවට මට කමක් නැහැ…කකුල් දෙකෙන් ගෙදර වරෙන්…”

අම්මා පූජිතට දොස් පවරන විට මා මුවට සිනහවක් නැගුණේ නිතැනිනි. ඈ පැවසූ දේවල් බිහිරි අලින්ට වීණා වයන්නාක් බඳුය. ඒ කිසිත් ගණනකට ගත් බවක් හෝ ඔහු කෙරෙන් පළ නොවීය. අම්මා දැන් ඔහුට බැන, තරවටු කර හැදීමට උත්සහ කිරීමෙන් ඇති ඵලය කුමක්ද…? අශ්වයා ඉස්තාලයෙන් පැන ගොස් තිබුණේ මීට බොහෝ කලකට පෙරය. ඈ දොර වසා දැමීමට සූදානම් වන්නේ දැන්ය. එය විහිළුවක් නොවන්නේද…? කිරිබත් කෑලි කීපයක් එක හුස්මට ගිළ දැමූ පූජිත නිවසින් එළියට බැස පිටව ගියේ කුඩයක් හෝ නොගෙනමය.

“අනේමන්දා…මෙහෙම එකෙක් හැදුවට වඩා හොඳයි මං…හරකෙක් හදා ගත්තා නම්…”

ඈ කීවේ මට ඇසෙන්නටය.

“දැන් වෙන්නැති ඒ ටික තේරිලා තියෙන්නේ…”

මමද ඇයට ඇසෙන්නටම පැවසුවෙමි.
——————————————————————————————————
මේ දින කීපයේම අසනීපයෙන් සිටි නිසා පාසල් නොගිය නිරෝෂා මෙදින පාසල් ගිය බවක් මල්ලිකා නැන්දා මා හා කීවේ මම ඇයට කිරිබත් පිඟානකුත් රැගෙන නිවසට ගිය විටය. තවමත් පොද වැස්සක් සෙමෙන් සෙමෙන් ඇද වැටේ.

“අදත් නොයා ඉන්න කියලා කියත්දි ගියේ… තෙමිලා ආයේ ලෙඩක් හදා ගනියිද මංදා…”

මල්ලිකා නැන්දා කීවේ නිරෝෂා කෙරෙහි උපන් කණගාටුවෙන් මෙනි. සිටින එකම දරුවා නිසාදෝ ඈ නිරෝෂා කෙරෙහි දැක්වූයේ ඉමහත් සෙනහසකි. මට අම්මා සිහි වී ගිළිහෙන්නට ගිය සුසුම මම ආයාසයෙන් මැඩ ගතිමි.

“ඊළඟ අවුරුද්දේ විභාගෙනේ නැන්දේ…අනික ඉතින් තව කී දවසද ඉස්කෝලෙ යන්නේ…”

මට මගේ පාසල් කාලය සිහි විය. විභාගේ ලීවා නම් මම මේ වසරේ උසස් පෙළට පෙනී සිටිය යුතුය.

“ඒකනම් හැබෑව තමා ළමයෝ…කෙල්ලගේ ඉගෙනීම් ඉවර වුණා නම් මගේ ඔළුවේ බර ටිකක් හරි සැහැල්ලු වෙනවා…”

සුසුමක් හෙළමින් ඈ කීවාය. සුළු මොහොතක් ඈ හා කතා බහ කර හිඳ මම යළි නිවසට පැමිණියේ දහවල් ආහාර පිසීමට ඇති බැවිනි. අම්මා මුළුතැන්ගෙයට පැමිණ වේවැල් පුටුවේ හිඳ ගත්තේ මදෙස වුවමනාවෙන් බලමිනි. මා උයන විට කවදාවත් නොපැමිණි ඈ මෙසේ පැමිණීමෙන් මා සිතේ ඇති වූයේ තරමක මවිතයක් වුවද, ඈ ගැන සැළකිල්ලක් දැක්වීමට මා තුළ උනන්දුවක් නොවූ බැවින් මම ඇය නොතකා මගේ කාර්යයේ නිරත වූයෙමි. අම්මාද නිහඬව එහි සිටියේ කුමක් ගැන හෝ සිතමින් යැයි මට සිතුණේ දොරෙන් එපිට බලාගෙන නිහඬව සිටි නිසාය.

“තේ ටිකක් බොනවද…?”

මම අසන විට ඈ සිය කල්පනාවෙන් මිදී මා දෙස බලා හිස සැළුවාය. මම තේ සාදා ඇයට තේ කෝප්පයක් පිළිගැන්වූයෙමි. මහා වරුසාව මේ මොහොතේ නැවතී සිරි පොදයක් බවට පරිවර්ථනය වී තිබුණද යළිත් වැස්සක් ඇද හැලෙන්නට මෙන් අහස වූයේ ඝන අඳුරකය.

“තාත්තා මරපු වෙලේ ඕකට දඬුවම් නොදීපු එකේ පව තමා මං දැන් ගෙවන්නේ…”

හදිසියේම කල්පනාකාරී හඬකින් අම්මා කියන විට මම තිගැස්මෙන් ඈ දෙස හැරී බැලීමි. ඈ මා සමඟ මේවා කියන්නේ මන්ද කියා පුදුමයක් මා සිතේ ඇති විය.

“ඔයාගේ වරදට දැන් ඉතින් ඕනවට වඩා දඬුවම් විඳින්නේ පූජිතනේ…”

ඈ පිළිබඳව අමුතුවෙන් මා සිතේ අනුකම්පාවක් නොඉපදිණි. මම එසේ කීවේ ඇනුම්පදයක් ලෙසිනි.

“ඌට වඩා දඬුවමක් මං විඳිනවා…”

“දැන් ඕවා ගැන හිතුවා කියලා ඇති වැඩක් නැහැ…වෙච්ච දේවල් වෙලා ඉවරයි…මාත් දැන් මේ ගෙවන්නේ ඒ වගේම දඬුවමක් තමා…ඒත් ඉතින් මං මොකක්ද කරපු වරද…?”

හැඬුම් මුසුව මම කීවෙමි. අම්මා සුසුමක් හෙළුවා මිස කිසිත් නොකීවාය. උයා පිහා අවසන මම මුළුතැන්ගෙය අස් පස් කරන විට අම්මා කොස්ස ගෙන එය අතුගා දැමුවාය.

“මංදා…කිණි…”

ආලින්දය දෙසින් ඇසුණු පූජිතගේ රළු හඬින් මාත් අම්මාත් තිගැස්සී ගියෙමු. ඔහු යළිත් බීමත්ව පැමිණ ඇත. ඔහුගේ ස්වරයේ වූයේ කෝපයට පත් බවක් නිසා මා තුළ තැතිගැන්මක් ඇති වූයේ කෝප ගන්නට තරම් මා අතින් සිදු වූ කාරණය කුමක්ද කියාය.

-හෙටත් හමුවෙමු-

Latest news

රුපියල් දහය, ජේ.ආර්. සහ කම්කරු දිනය

රුපියල් දහය, ජේ.ආර්. සහ කම්කරු දිනය තවත් මැයි දිනයක් අහවර විය. එයත් වෙනදා මෙන්ම රතු, නිල්, කොළ පාට සන්දර්ශනයකින් අවසන්...

පළාත් සභා ඡන්දය තියනවා බයවෙන්න එපා!

පළාත් සභා ඡන්දය තියනවා බයවෙන්න එපා - විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය පළාත් සභා මැතිවරණය කල් යෑම පිළිබඳව කතිකාවතක් ඇතිව තිබෙන...

PayPal පහසුකම ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් දියත් කෙරේ

  ලොව ප්‍රමුඛතම මාර්ගගත ගෙවීම් පද්ධතියක් වන PayPal හරහා සෘජුවම ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම අද (15) සිට ක්‍රියාත්මක...

වළ දැමූ නිධන් පිළිබඳ මිථ්‍යාව වැඩි වෙලා – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

මේ වසරේ මේ දක්වා නීති විරෝධී පුරාවිද්‍යා කැණීම් සිදුවීම් 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව පවසමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ...
- Advertisement -spot_img

වළ දැමූ නිධන් පිළිබඳ මිථ්‍යාව වැඩි වෙලා – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

මේ වසරේ මේ දක්වා නීති විරෝධී පුරාවිද්‍යා කැණීම් සිදුවීම් 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව පවසමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ...

රත් දෝතළු – 89

රත් දෝතළු - 89 හඬ නඟන දුරකථනය අතට ගෙන මම එයට ඇමතුවේ දෙගිඩියාවෙන් මෙන්ම තරමක චකිතයකිනි. අනෙක් පසින් ඇසුණේ ගැඹුරු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you