NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 39

Pini Muthu Palasa පිනි මුතු පලස – 39

-

spot_img

Pini Muthu Palasa පිනි මුතු පලස

උදෑසන පටන් අහස අඳුරු ස්වභාවයක් ගෙන තිබුණේ වැස්සක පෙර නිමිති කියා පාමිනි. එදින ඉරු දින නිසාත් පොළට යෑමට අවැසිව තිබූ නිසාත් මා සිටියේ තරමක නොසන්සුන්තාවයකිනි. වැස්සක් අද හැලුණහොත් රජිව් නොපැමිණේවිද..? එපමණකුත් නොව පොළේ වෙළෙඳුන්ද අඩු වනු ඇත. වෙළඳුන් නැතැයි කියා පූජිතද මට පොළට යායුතු නැතැයි කියාවිද කියාත් සැකයක් මා සිතේ ඇති විය. මල්ලිකා නැන්දාත් නිරෝෂාත් හදිසියේ කුරුණෑගල පිටත් වූයේ ඔවුන්ගේ නෑයෙකුගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීමටය. එම නිසා මෙදින මට තනිව යෑමට සිදුවෙයි. එය නම් කමක් නැත. ගැටළුව වන්නේ වැස්සක් අද හැළුණහොත් පූජිත මට යාමට ඉඩ දේවීද කියායි. දහවල් වන විට අහසේ අඳුර පහව හොඳින් හිරු එළිය වැටුණේ මසිත සහනයට පත් කරමිනි. මම ළහි ළහියේ සූදානම් වන විට පූජිත කාමරයට වැදුණේ මා තිගැස්මට පත් කරමිනි.

“මොකද බය වුණාද…මම දැකලා නැති දෙයක්ද…?”

ඔහු මනමාල බැල්මක් හෙළමින් කීවේය. මසිතෙහි ඇති වූයේ නොසන්සුන් බවක් මෙන්ම නොරිස්සුමකි. ඔහුට පිටුපා ඉවත හැරුණු මම වහ වහා හැට්ටයේ බොත්තම් පියවා ගතිමි. පූජිත කෑදර දෑසින් මදෙස බලා සිටින බව මා දුටුවේ කොණ්ඩය පීරන්නට කැඩපත ඉදිරියේ සිට ගන්නා විටය. ඔහු සිය සිතැඟි සපුරා ගත්තේ බලහත්කාරයෙන් මිස මගේ කැමැත්තෙන් හෝ අනුබලයෙන් නොවේ. යහනේ වැතිර වැළමිටට බරදී ඔහු මා දෙසම බලා සිටිනු දකින විට බියක් මා සිතේ ඇති විය. යහනින් බැස ගත් ඔහු මා ඉදිරියට විත් සිට ගත්තේ මම මේසය මත වූ කුඩය අතට ගන්නා විටය.

“ස…ල්…ලි…”

මම සන්සුන් වීමට තැත් දරමින් කීවෙමි. ඔහු සිය බරැති දෑත් මා දෙවුර මත තබා සැරසුණේ මා සිප ගන්නට දැයි කියා බියකින් මම ගැහෙන්නට වූයෙමි.

“මාත් එනව අද ඔයා එක්ක පොළේ යන්න…”

මා අලුතින් තිගස්සවමින් ඔහු කීවේය. කවදාවත් නැතුව ඔහු අද පැමිණෙන්නට සැරසෙන්නේ මන්ද කියා මවිතයක් මා සිතේ ඇති විය. ඔහු සිතේ සැකයක් වත් ඉපිද ඇතුවා වත්ද…? මසිත අනියත බියකින් සැළෙන්නට විය. බලාපොරොත්තු දහසක් පොදි බැඳන් මම සූදානම් වූයේ රජිව් මුණ ගැසීමට මුත් දැන් එය බිඳ වැටෙන්නට ආසන්නය. මා කුමක් කළ යුතුද..? මසිත කඩා වැටිණි. බිම හිඳ ගෙන හඬන්නට ඇත්නම් කියා මට සිතිණි.

“ඕ…හොම..ද යන්නේ…ලැ…හැස්‍ති වෙලා එන්න එහෙනම්…”

තතනමින් මම කියන විට ඔහු මා කම්මුලක් සිපගෙන මා මුදා හැරියෙන් ඔහුට නොදැනෙන්නට සුසුමක් මුදා හළ මා පිටතට විත් අසුනක ගිළී දෙගිඩියාවෙන් මොහොතක් එහි හිඳ බලා සිටියෙමි. සිතට දැනෙන දුක මට පාලනය කරගන්නට නොහැකි තරම්ය. හැඬුම් ඒ යැයි මම බිය වූයෙමි. සුළු මොහොතකට පසු පූජිත සූදානම්ව පිටතට පැමිණියෙන් මම අසුනින් නැඟී සිටියෙමි. අපි පිටතට යෑමට සූදානම් වන මොහොතේම අම්මා කොහේදෝ සිට ගෙතුළට ආවේ අප දෙස විපරම් දෑසින් බලමිනි.

“ආහ්…මේ කොහෙ යන්නද දෙන්නා එක්ක…ජෝඩු දාලා…?”

ඇගේ හඬේ වූ උපහාසාත්මක බව වැටහී කෝපයක් මා සිතේ ඇති විය.

“අපි පොළට ගිහින් එන්නම්…” පූජිත පිළිතුරු දුන්නේය.

“ඒ මොකෝ දෙන්නා එක්කම පොළේ යන්න හදන්නේ…මෙයාට තනිකම් දෝසේ ගහලද…වෙනදාටත් පුතා ගියාද පොළේ…?”

අම්මාගේ සිතේ ඇති ඊර්ෂ්‍යා මුසු බව දැක මසිත තුළ වූ කෝපය පුපුරු ගසන්නට විය.

“මට ඇති දෝසයක් නැහැ…” පූජිතට රවමින් මම කීවෙමි.

“අම්මාටත් ඕන නැති දෙයක් නැහැනේ…හැම මඟුලටම හොට නොදා පාඩුවේ පැත්තකට වෙලා ඉන්න…පව් නොදී…”

“උඹට දැන් මාව වදයක් වෙලා…ජෝඩු දාලා පොළේ යන්න ඕනද කියලානෙ මං ඇහුවේ…”

“ජෝඩු දාලා යනවට අකමැති නම් ඉතින් ඔයා යන්න…” මම කීවෙමි.

“බැහැ…බැහැ…මට යන්න බැහැ…මගේ කකුල් කෙඩෙත්තුව…”

ඈ වහා කීවේ ඇයට පොළට යෑමට සිදුවේ යැයි බියෙන් මෙනි. අද පොළේ යෑම පසෙක තබා මට නැවතී සිටීමට තරම් සිතුවිල්ලක් ඇති විය. රජිව් සමඟ කතා බහ කිරීමට අවස්ථාවක් උදා නොවූවද දුරින් හිඳ හෝ ඔහු දැක ගැනීමට ලැබේ නම් නිවසට වී සිටිනවාට වඩා එය වටින්නේය.

“යන්නත් බැරි නම්…පාඩුවේ පැත්තකට වෙන්න…”

පූජිත පෙර ගමන් ගැනීමට සූදානම් වුවද මට ඔහු සමඟ යෑමට නම් සිතක් කොහෙත් නොවීය.

“මම මේ කියන්න හැදුවේ ළමයෝ…අර තිලක් එනවා කිව්වානේ අර ගමන ගැන කතා කරගන්න…උඹත් ගියොත් ඒ කොල්ලා ඇවිත් හැරිලා යයිනේ…මෙයා පොළට ගිහින් එන්නැතෑ…”

අම්මා හොස්ස ඇද කරමින් කීවේ මා පෙන්වමිනි. ඈ මේ කියන්නේ කුමන ගමනක් ගැනද කියාත් ඒ අතරේ මම සිතන්නට වූයෙමි. ඒ පිළිබඳව වැඩි දුර සිතන්නට මට වුවමනා නොවුණේ රජිව් පිළිබඳ සිතුවිලි මා වට කොට ගෙන සිටි බැවිනි.

“අප්පටසිරි…ඔව්නේ…මට අමතක වුණා…ඔයා එහෙනම් ගිහින් එන්න…”

පූජිත සිය සිත වෙනස් කරගෙන පසුම්බිය ඇද මුදල් නෝට්ටු කීපයක් මා අතට දුන්නේ මා සිත සහනයට පත් කරමින් වුවද මම එය අතට ගත්තේ ඔහු වෙත නොමනාපය මුසු බැල්මක් හෙළමිනි. අසීමිත වූ සතුටකින් මා සිත ඉපිළෙන්නට වූ මුත් මම හැඟීම් මැඩගෙන පිටව ආවේ පූජිත සිය අදහස නැවත වෙනස් කරගෙන මා සමඟ පැමිණේවි යැයි බියෙනි. මඳ දුරක් ඉක්මන් ගමනින් ඇවිද විත් මම ආපසු හැරී බැලුවේ ඔහු මා පසුපස පැමිණෙනවාද කියාය. පාරේ කිසිවෙකු පෙනෙන්නට නොවූ බැවින් සැනසුම් සුසුමක් මුදා හළ මම පය ඉක්මන් කළෙමි.

පූජිත තිලක් හා කතා බහ කරගෙන යෑමට සැරසෙන්නේ කොහේද කියාත් එන අතරේ මම සිතුවෙමි. නමුත් ඔහු කොහේ ගියත් ඉන් මට ඇති කාරිය කුමක්ද…? ඔහු යනෙන තැන් සියල්ල මට පවසා යනවා නොවේ. ඔහු කුමක් කළද, කොහේ ගියද ඉන් මට ඇති පලය කිමද…? ඒ ගැන සිතීමට මට වුවමනා නැත. මේ මොහොතේ මට සිතීමට වුවමනා වූයේ රජිව් පිළිබඳව පමණි. හොර රහසේ ඔහු හමු වී මා කරන්නේ වරදක්ද කියා මම නොදනිමි. පූජිත නිසා මෙන්ම නොගැළපෙන මෙම විවාහය නිසාද මා සිටියේ හෙම්බත්වය. ඔහු හා විවාහ වී මා ලැබුවේ මානසික පීඩාවකුත් ශාරීරික වේදනාවකුත් පමණි. පූජිත මා හට හොඳ සැමියෙකු වූවා නම් මා අද මෙසේ සිතින් හෝ වෙනත් කෙනෙකුට පෙම් නොකරන්නට ඉඩ තිබුණා නොවේද…? එසේ වූවා නම් මම කිසි විටෙක රජිව් මුණ ගැසීමට වුවද සිතන්නේ නැත. ඇරත් ඔහුත් මාත් අතර සබඳ කම බිඳ වැටී තිබුණේ මා විවාහ වීමටත් පෙරමය. මරු කතරට ඇද වැටුණු පොද වැස්සක් සේ රජිව් යළිත් මගේ ජීවිතයට අහම්බෙන් වුවද පැමිණියේ වසන්තයක් රැගෙන යැයි කියා මට සිතේ.

එළවළු තෝරමින් කාලය මිඩංගු කිරීමට සිතක් මා තුළ නොවීය. කීපයක් ඉක්මනින්ම මිලදී ගෙන මම වළං කඩය අසලට එන විට ඔහු එහි අයිතිකරු සමඟ සුහද කතා බහක යෙදී සිටියේය. මම සෙමෙන් ළං වූයේ ගැහෙන සිතිනුත් වඩාත් ප්‍රවේශමෙනුත්ය. පෙරදා මෙන්ම ඔහු හැඳ සිටියේ දුර්වර්ණ වූ ඇඳුමකි. බැලූ බැල්මට කෙනෙකු සිතන්නේ ඔහුද වළං වෙළඳාමේ ආ අයෙකු ලෙසය.

“මිස් මොනවද බැලුවේ…? හොඳ වළං තියනවා…”

අසල සිටි කිහිප දෙනෙකුට ඇසෙන්නටදෝ ඔහු එසේ කියන විට මම සිනහව සඟවාගෙන ඇතිළියක් ගෙන පිරික්සීමි.

“කීයද මේ ඇතිළි…?”

ගැණුම් කරුවෙකු මෙන් මම ඇසීමි.

“මිස් ගන්නකෝ…අඩු කරලා දෙන්නම්…”

මම ඔහු දෙස බැලුවේ සිනහව සඟවාගෙනය. අසල ගැවසෙමින් සිටි කිහිප දෙනා ඉවත යන තුරුම මම වළං තෝරමින් කල් මැරීමි.

“ගොඩක් වෙලාද ඇවිත්…?”

එළවලු කූඩය පසෙක තබමින් මම ඇසුවෙමි. හිරු රශ්මිය වැඩි නිසා මා සිටියේ ඉහින් කණින් දහඩිය පෙරාගෙනය.

“ටිකක් වෙලා…”

ඔහු කීවේය. අතේ ගුළිව තිබූ ලේන්සුව දිගහැරගෙන මම මුහුණ පිස ගැනීමට සැරසුණෙමි.

“පිහින්න එපා මංදාකිණි…එහෙම තියෙද්දි ඔයාගේ මූණ ලස්සනයි…නෙළුම් මලට පිනි වැටිලා වගේ…”

මට දෑත පහත හෙළුනේ ඉබේමය. හද ගැස්ම වේගවත් වන විට සිත හිරි වැටී ගියේය. ඔහු හා කතා බහ කළ පළමු දින පාසල් දෙමහල් ගොඩනැඟිල්ලේ පඩිපෙළ පාමුලදී ඔහු මෙසේම පැවසූ සැටි යළිත් සිහි වී මා මුහුණට ලේ පිරී රත් වී යනු මට දැනුණේ එදත් මේ ලෙසමය. ඒ අතීතයත් මේ වර්ථමානයත් අතර ඇත්තේ කෙතරම් වෙනසක්ද.! මා මුවින් ශෝකී සුසුමක් ගිළිහී ගියේ මාද නොදැනුවත්වමය. ලේන්සුව යළිත් සුරතේ ගුළි විය.

“ඔය විදියට හූල්ලන්න එපා මංදකිණි…”

ඒ හඬේ වූ ලෙංගතු බව මා හදට වඩාත් තදින් දැනිණි.

“මං වෙන මොනවා කරන්නද රජිව් අයියේ…?”

“හදිසි තීරණ අරන්….දැන් ඔයා පසුතැවෙනවා…”

“ඒ මං ගත්ත තීරණයක් නෙවේ දෙවියනේ…මං මොනතරම් උත්සහ කළාද ඕක නවත්වන්න…ඒත්…මොනවා කරන්නද…? අන්තිමේදි මං හිත හදා ගත්තා…”

“හිත හදා ගත්තා වුණාට ඔයා දැන් සතුටින් නෙවේනේ ඉන්නේ…”

“ඒකේ වෙනසක් තියනවද…? දැන් ඉතින් කොයිකත් එකයි…බඳින්න කලින් කියලා මං කොහොමත් සතුටින් හිටියේ නැහැනේ…”

“වෙනසක් තියනවා…සතුටින් නොහිටියත් ඔයා මේ තරම් වද හිංසා වින්දේ නැහැනේ…ඒ මනුස්සයා ඔයාට වද දෙනවා කියලා හොඳටම පේනවනේ…ඔයා මැරි කරලා සතුටින් ඉන්නවා ඇති කියලා හිතලා මං හිත හදා ගත්තා…ඒත් දැන් ඔයා එහෙම නැහැ කියලා දැන දැනත් මං කොහොමද හිත හදාගෙන ජීවත් වෙන්නේ…?”

ඔහුගේ හඬේ වූයේ කෝපය මුසු බවකි.

“දැන් ඒ හැමදේම වෙලා ඉවරනේ රජිව් අයියේ…ඉදිරියේදී එන දේකට මූණ දෙනවා…”

“ගෙවල් වල මිනිස්සු ඔයා ගැන හොයලා බලන්නේ නැත්ද…?”

ඔහු අසන විට මා මුවට නැගුණේ සාවඥ සිනහවකි.

“මට ගෙදර අය කියලා කවුරුත් නැහැ… මාව බැන්දුවේ මාව එපා නිසානේ…අනික මං එයාලට මෙහෙ එන්න එපා කියලා තියෙන්නේ…ආවෙත් එක දවසයි…නොඑන තරමට හොඳයි…”

“පුදුම මිනිස්සු නේ…”

“ඔව් මටත් පුදුමයි තමා…ඕවා ගැන කතා කරලා තේරුමක් නැහැ රජිව් අයියේ…මං එයාලව අතෑරලා ඉවරයි…”

සුසුමක් හෙළමින් මම කීවෙමි. ඔහුගෙන් අසා දැන ගන්නට මට බොහෝ දෑ විය.

“මං තාමත් ඔයාට ආදරෙයි මංදාකිණි…”

ඔහු පවසන විට මම අලුතින් තිගැස්සී ගියෙමි. කිසිත් කීමට මා මුවට වචන නොආවේය. මට රුවින්දී සිහි විය. ඔහු කොණ්ඩය වවන්නට සිතුවේ ඇයි..? සමහර විට රුවින්දි කීවා වන්නට ඇත. සියුම් ඊර්ෂ්‍යා මුසු හැඟීමක් මා සිතේ ඇති විය. ඔහුගෙන් අසන්නට බොහෝ දෑ විය. මා ගැන කතා කළා මිස මම ඔහු ගැන නෑසුවෙමි. උසස් පෙළ අවසන් වී දැන් ඔහු කුමක් කරනවාද…? සිහින් සුළං පොදක් හමන්නට වූයේ පරිසරයේ වූ අව් රශ්මිය මකා දමමිනි. කිසිවෙකු වළං මිලට ගැනීමට පැමිණි බැවින් මම මඳක් පසෙකට වී ඉඩ දී සිටියේ හඳුනන කිසිවෙකු මෙහි නොපැමිණේවා කියා සිත යටින් පතමිනි. මෙතෙක් වෙලා මෙහි හිඳ කුමක් කරනවාදැයි කිසිවෙකු හෝ විමසීමට ඉඩ ඇත. පැමිණි අය වළං මිලදී ගෙන පිටව යන තුරු මම සිටියේ නොඉවසිළිමත් සිතිනි.

-හෙටත් හමුවෙමු-

Latest news

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය...
- Advertisement -spot_img

වත්කම් හැංගීමේ කලාවේ පිකාසෝලා

වත්කම් හැංගීමේ කලාවේ පිකාසෝලා මේ ආණ්ඩුව පත්වීමේ පුරෝගාමියා වත්මන් ජනපති අනුර කුමාර දිසානායකය. ජනතාව පූර්ණ විශ්වාසය තැබුවේ ඔහු කෙරෙහිය. අදටත්...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you