NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 29

Pini Muthu Palasa පිනි මුතු පලස – 29

-

spot_img

Pini Muthu Palasa පිනි මුතු පලස

රාත්‍රිය නිහඬ වුවද ඉඳහිට නැගෙන බල්ලෙකුගේ උඩු බිරළි හඬකින් හෝ අසළ ගසක සිටි බස්සෙකුගේ ‘හූම්’ නදින් එය බිඳී ගිය අතර පූජිතගේ ගෙරවිල්ලද එම නිහඬ බව බිඳ දැමුවේය. එම ගෙරවිල්ල මෘගයෙකු ගොරවන්නාක් මෙනි. මා තුළ නින්දක් නොවීය. ඔහු රාත්‍රියේ කීප වතාවක්ම අවදිව මා විනාශ කළේය. කඳුළු ගලන්නට තැත් දරන දෑස් මම තරයේ පියාගෙන සිත් පිත් නැති එකියක සේ වැතිර සිටින විට ඔහු මට පහර දුන්නේය. තිරිසන් සතෙකු වුවද මෙසේ හැසිරෙනු නැතැයි කියා මම සිතමි. රාත්‍රිය ඉක්මනින් ගෙවේවායි පතමින් මම යහන මත වැතිර සිටියෙමි. ජීවිතය නැති කරගන්නට සිතුණද එයට දිරියක් මා තුළ නොවීය. මා කෙසේ ඉදිරියට මෙවැන්නෙකු හා ජීවත් වන්නදැයි සිතන විටත් මා ගත බියෙන් සළිත විය. දෙවියනේ! ඉදිරි අනාගතය කෙසේ වේවිද…? මා එයට කෙසේ මුහුණ දෙන්නද…?

මා කෙටි නින්දකට වැටෙන්නට ඇත. පූජිත මට පා පහරක් ගසමින් අවදි කරන විට මම තිගැස්මෙන් නැඟී සිටියේ මා දකින්නේ සිහිනයකැයි සිතාය. නැත මේ සැබෑවකි. මේ මගේ අවාසනාවන්ත දිවියේ අලුත් පරිජ්ජේදයක ඇරඹුම විය. පුජිතගේ අම්මා මා පිළිගත්තේ මවා ගත් සිනහවක් ආරූඪ කොට ගෙන බව වටහා ගන්නට තරම් මනසක් මා තුළ විය. ඇයත් සමඟ ගෙවන්නට වන ජීවිතය ලේසු පහසු එකක් නොවනු ඇත. ඒ බව ඈ දුටු මොහොතේම මා හට වැටහිණි.
එදින රාත්‍රී සාදයක් සූදානම් කර තිබුණේ දෙවෙනි ගමන ලෙසින් නම් නොවේ. අවට හිත මිතුරන් සතුටු කරනු පිණිසය. පූජිතගේ ප්‍රධානියා වන රාජකරුණා මන්ත්‍රීවරයාද සාදයට සහභාගී වන බවක් මා සමඟ පැවසුවේ පූජිතය. ඒ ඇසූ මා සිත තුළ ඇති වූයේ තරමක තැති ගැන්මකි.

ඔහු පැමිණියේ රැකවළුන් පිරිසක් සමඟය. මා මීට පෙර පාසලේ එක් උත්සව අවස්ථාවක ඔහු දැක තිබුණා හැරුණු කොට ඔහුව මෙතරම් සමීපයෙන් දැක නොතිබුණෙමි. තළෙළු, මිටි, මුහුණ පුරා රැව්ළ වවාගෙන සිටි ඔහු කෙරෙන් පළ වූයේ පූජිත කෙරෙන් මා පෙර දින දුටුවාක් මෙන්ම කෑදර බැල්මකි. ඔහු පූජිත වැළඳගෙන ඔහුට සුබ පැතූ අතර එසේම මාද සිප වැළඳ ගන්නට සැරසෙන විට මම දෑත් එක්කර ඔහුට ආචාර කළෙමි. මෙයින් ඔහු තුළ මා කෙරෙහි යම් වෛරී හැඟීමක් ඇති වූවාට සැක නැත. ඔහුගේ දෑස් ඒ මොහොතේ ගිනි දළු ඇවිළෙන බවක් දිස් විය. මම වහා ඔහු අසළින් මෑත් වූයේ ඔහු පිළිබඳව බොහෝ දේවල් අසා තිබූ නිසා බියෙන් මෙන්ම මේ මිනිසා පිළිකුල් කළ නිසාය. ඔහු තරුණියන්ට රැකියා ලබා දෙන බව පවසමින් බොහෝමයක් දෙනෙකු එළෙස රවටා අනාථ කළ බවත් ඉන් එක් අයෙකු ඔහුගේ අනියම් බිරිඳ ලෙසින් තබාගෙන සිටින බවත් ප්‍රසිද්ධ රහසකි. ඔහු මා වෙත හෙළූ ගිජු කෑදර දෑසට මා බිය වූයේ ඒ නිසාය.
පූජිතගේ නැන්දණියකගේ දියණිය වන නිරෝෂා මා හා මිතුරු වූයේ මා මෙහි පැමිණි මොහොතේ පටන්මය. ඈ සිටියේ අල්ලපු නිවසේය. නිරෝෂා සියළු වැඩ කටයුතු වලට දුව පැන උදව් කළ බවක් මා හා කීවේ පූජිතගේ අම්මාය. දුටු මොහොතේ පටන් මම නිරෝෂා ප්‍රිය කළේ ඈ මා වයසේම අයෙකු වූ නිසාය. ඈ මෙවර සා/පෙ විභාගයට පෙනී සිටින බවක් මා හා කීවාය. තනියට හෝ අහළ පහළ කිසිවෙකු සිටීම ගැන මම සතුටු වූයෙමි.

“අක්කේ…”

මා අසළට පැමිණ නිරෝෂා මා අමතන හඬින් මම හැරී බැලීමි. මා සිටියේ හෙම්බත්වය. පෙර දිනත් මා හට සුව නින්දක් නොලැබුණු නිසා යහනට වැටී නිදන්නට ඇත්නම් කියා මට සිතුණේ දෑස් පවා නිදිබරව පියවෙන විටය. නිරෝෂා මා අසළට පැමිණියේ එවන් මොහොතකය.

“ඔයාට මහන්සි පාටයි අනේ…ඔය…ඇස් දෙකත් පිය වෙනවා…”

නිරෝෂාගේ හඬින් මම තිගැස්මෙන් දෙනෙත් හැරියෙමි.

“මට මහන්සියි නංගී…”

“එන්න…එන්න…අපි යමු කාමරේට…කෑම කාලා ඔයා නිදා ගන්න…”

දෙවරක් නොසිතා මම ඇයට කීකරුව ඇයත් සමඟ ගෙතුළට ආවෙමි. මා ගතට දැනුනේ අධික වෙහෙසකි. හැඳ සිටි සාරිය ගළවා දමා සැහැල්ලු ගවුමක් හැඳ ගැනීමේ නොඉවසිළිමත් ආශාවකින් මම පෙළුණෙමි.

“පූජිත මාව හොයයිද නිරෝෂා…?”

තරමක බියපත් බවක් මගේ හඬ තුළ වූ බවක් මටම හැඟිණි.

“අනේ…එයා ඔය කන බොන වෙලාවට ඔයාව මතක් වුණොත් තමා පුදුමෙ…”

මම තිගැස්මට පත් වුයේ ඇගේ කතාවටය. ඔවුන් මට වඩා හොඳින් පූජිත ගැන දැන සිටින නිසා එවැන්නක් කීවා විය යුතුයි. ඔහුට සදහටම මා අමතක වූවත් මට කමක් නැතැයි කීමට අවැසි වුවද මම මුනිවත පිරීමි. තනිවම සාරි කටුව ගළවන්නට සැරසෙන මොහොතේ නිරෝෂා වහා මවෙත පැමිණියේ මගේ සහායටය.

“ඉන්න අක්කේ…මං ගළවන්නම්…”

මම ඇයට ඉඩ දී බලා සිටියෙමි.

“අනේ! …අක්කේ…මේ මොකද ඔයාගේ පිට සීරිලා…”

ඈ කෑ ගසන විට මම බියෙන් ආපසු හැරුණෙමි.

“දෙවියනේ…!ඔය බෙල්ලයි පපුවයිත් තුවාල වෙලානේ…”

නිරෝෂා බියෙන් යළිත් කෑ ගැසුවාය.ඈ මගේ පපු පෙදෙසේ වූ සීරිම් සපා කෑම් තුවාළ දැක අතින් මුව වසා ගත්තේ දෑස් විසල් කොටගෙනය. මම නිහඬවම ඇයට පිටුපා සාරිය ගළවා දැමීමි. පෙරදින රාත්‍රියේ පූජිතගේ හපන්කම් යැයි කියන්නට මුව පොපියෑවද මම නිහඬව සිටියෙමි. නිරෝෂාද නිහඬ වූයේ සියල්ල ඇයට අවබෝධ වූ නිසා වන්නට ඇත. අසරණ හැඟීමක් මා සිත වටා එතී ගියේය. ඈ මා තනිකර දමා කාමරයෙන් පිට වූයේ මම ඇඳුම් මාරු කරගන්නා තුරු මටත් සමඟම කෑම රැගෙන එන බව පවසමිනි. සැහැල්ලු ගවුමකින් සැරසුණු මම යහන මත හිඳගෙන පිටතින් ඇසෙන නොයෙකුත් ශබ්දයන්ට සවන් යොමා සිටියෙමි. සංගීත නද පරදා පූජිතගේ මිතුරන්ගේ බීමත් වූ කටහඬවල් වලින් වාතළය පිරී ඇත. නිරෝෂා පැමිණියේ මා දෑස් යළිත් නිදිබරව පියවෙන විටය.

“එන්න අක්කේ…කාලා ඉමු…”

“ඒත්…පූජිත…”

මම අදිමදි කළෙමි.

“අයියෝ…එයාලා දැන්ම කන්නේ නැහැ…තවම හරියට බොන්න පටන් ගත්තෙත් නැහැනේ…මොන කනවද…?”

ඈ කීවේ උපහාසයෙනි.

“ඇමති තුමාත් තාම ඉන්නවද…?”

“නැහැ…එයා ආව ගමන් වගේ ගියා…දැන් ඉන්නේ ඔය වටේ ඉන්න හෙංචයියෝ ටික…ඔයා අත් සෝදන් එන්නකෝ ඉතින්… කාලා ඉමු…”

මම එසේ කළෙමි. අපි දෙදෙන එහිම හිඳ කෑම ගතිමු. දැඩි කුසගින්නකින් සිටි නිසාදෝ මම එම ආහාර වේල ගිළ දැමුවේ ගිජු ලෙසිනි.

“පූජිතයියා මහා හොඳ නැහැ…”

හදිසියේම නිරෝෂා කියන විට මම තිගැස්සුණෙමි. ඈ එයින් කුමක් අදහස් කළාදැයි කියා සැකයක් මා සිතේ ඇති විය.

“ඇයි…?”

“ඔයාව මෙතන තනියම දාලා එයා යාළුවෝ එක්ක බොනවා…”

මා සිතට සහනයක් දැනුණේ ඈ එසේ කියන විටය. පූජිත මෙවන් සුරා සොඬෙකු බව මම දැන සිටියේ නැත. කෙසේ දැන ගන්නද…? මම ඔහු මුණ ගැසී තිබුණේත් දින දෙකක් පමණි. ගිළිහෙන්නට ගිය සුසුම මම ආයාසයෙන් මැඩ ගතිමි. නිරෝෂා මා කාමරයේ තනිකර දමා පිටව යෑමට පෙර අනුකම්පා මුසු වූ බැල්මක් මවෙත හෙළුවාය.

“අනේ අක්කා, ඔයා හරි පව්…”

ඈ කියන විට මම විදහා ගත් දෑසින් ඈ දෙස බලා සිටියේ එසේ කීවේ මන්දැයි සිතමිනි.

“ඇයි ඒ…?”

“එයා ඔයාට හුඟාක් රිද්දලා…”

මම කිසිත් කීමට පෙර ඈ දොරත් අඩමානයට වසා දමා කාමරයෙන් පිටව ගියේ මා හද අවුළුවා තබාය. යහනට වැටුණු සැණින් මට නින්ද යන්නට ඇත්තේ එතරම්ම විඩාවක් මා ගතේ වූ නිසා වන්නට ඇත. රාත්‍රියේ මා තිගැස්සී නින්දෙන් අවදි වුයේ කිසිවෙකු මා සිරුර මත තෙරපෙන විටය.සැර මත්පැන් ගන්ධයක් මා නාසයට දැනිණි. පූජිත මෙදිනත් උමතුව ඇති සැටියකි. දැඩි පිළිකුලක් මෙන්ම කෝපයක්ද එක වරම මා සිතේ නැගුණද මට ඔහුට විරුද්ධව කළ හැකි කිසිත්ම නැත. පෙර දිනයේත් ඔහු නිසා මා ලද අමිහිරි අත්දැකීම් නිසා මා සිටියේ බියපත්වය. අද නම් මට නොහඬා සිටීමට තරම් දිරියක් නොමැත. නොනවත්වා ගලා යන කඳුළු ගැන වගක් වත් ඔහුට නොවීය.මා හැඳ සිටි ගවුම වියරුවෙන් මෙන් ඉරා දැමූ පූජිත අදත් මට වධ හිංසා කළේය. මේ සියල්ලේ අවසානය කවදාද…?
—————————————————————————————————–
“මෙහෙම නිදා ගත්තොත්…හරි ෂෝක් එකට තියෙයි…මේ ගෙදර වැඩ කරන්න ඕන මමද එතකොට…?”

දොරට ගසමින් පූජිතගේ අම්මා කළ කෑ ගැසීම නිසා මම අවදි වූයේ තිගැස්මෙනි. මේසය මත වූ කුඩා ටයිම් පීස් ඔරලෝසුවේ වෙලාව සටහන්ව තිබුණේ උදෑසන අටයි පනහ ලෙසය. කළබල වූ මා යහන මතින් නැඟී සිටියේ ඉසිර විසිර ගිය ගවුමද සොයමිනි. එය ඉරී ඇති බව මට පසක් වූයේ පසුවය. ලෙහුණු කොණ්ඩය බැඳගෙන මම යහනින් බිමට බැස්සේ පොරෝනයෙන් ගත දවටා ගනිමිනි. ලෝකයම අනෙක් පස පෙරළුණද පූජිත එහි වගක් වත් නැති සේ ගොර අදිමින් තවමත් නිදයි. ගවුමක් ගත දවටාගෙන මම ගොස් දොර විවර කරන විටත් අම්මා සිටියේ දොර අසළමය.මා දුටු ඈ මුහුණ පුළුටු කර ගෙන මාගේ හිස සිට පාදාන්තය තෙක් හෙළුවේ අවඥා සහගත බැල්මකි.

“හනේ හනේ, මෙහෙමත් නිදා ගන්නවද…? උදේට කන්න බොන්න කල්පනාවක් නැහැ වගේ…”

ඈ උදෑසනම ඇනුම්පදයක් එල්ල කළාය. නිවසට පැමිණි පළමුදාම මෙසේ වී නම් ඇගෙන් බේරිල්ලක් නොවනු ඇත.

“මහන්සියට නින්ද ගියා..මං හදන්නම්…”

නොමනාපය මුසුව මමද කීවෙමි. ඈ මට හිස ගස්සමින් පිටුපසට ඇදෙන විට මමද ඈ පසුපසම ගියෙමි. මුළුතැන්ගෙයි අඩුම කුඩුම ඇති තැන් පෙන්වා දෙමින් ඈ විමසුවේ මට උයන්න පිහන්න හැකිද කියාය. ඒද මුව ඇද කරගෙන අවඥා සහගත ලෙසිනි. මම නිහඬව සිටියේ ඒ නෑසුණ ලෙසිනි. ඈ හිස ගස්සමින් ඉවතට ගියාය. පළමුව මම අප තිදෙනාට තේ සෑදුවෙමි. පූජිතගේ තේ කෝප්පයත් රැගෙන එන විට ඔහු අවදිව සිටි අතර ඇඟ මැළි කඩමින් යහනින් බැස මා දෙස බැලුවේ මනමාල බැල්මකිනි. මම නිහඬවම වතුර වීදුරුව ඔහුට පෑවෙමි. පළමුවරට සිනහවක් පාමින් ඔහු වතුර වීදුරුව අතට ගත්තේ මගේ දෑතද මිරිකමිනි. ඉන් අමුතු හැඟීමක් මා සිතට දැනුණා නොවේ.

“හරිම තිබහෙන් හිටියේ…”

එක හුස්මට වතුර වීදුරුව හිස් කළ පූජිත මා අතේ වූ තේ කෝප්පය අතට ගෙන හිස් වීදුරුව අතට දෙමින් කීවේය.

“තිබහා නැතුවයැයි…ඒ බොන බීමට…”

කුමක් හෝ කිව යුතු නිසා මම ඇනුම්පදයක් ලෙස කීවෙමි.

“හැමදාම නැහැනේ…”

එය එසේ වුවා නම් හොඳය කියා මම නිහඬව සිතුවද එය සියයට සියයක් විශ්වාස කළා නොවේ. මා යළි පිටුපසට එන විට අම්මා එහි නොවූවාය. ඈ වැට අයිනේ හිඳ නිරෝෂාගේ අම්මා වන මල්ලිකා නැන්දා සමඟ කතා බහක යෙදී සිටියාය. අම්මා පැවසූ නිසා මම කිරිබතක් සාදා ලුණු මිරිසකුත් සෑදුවෙමි. පෙරදින සාදයට සෑදූ මාළු ඇතිළියක් එලෙසම ඇති නිසා එයද රත් කොට කෑම මේසයට ඇරියෙමි.

“උයන්න දන්නවා නේ…?”

කෑම මේසයට ඉව අල්ලමින් පූජිත විමසුවේ විහිළුවට යැයි කියා මම සිතුවෙමි.

“උයන්න නම් දන්නවා…කන්න පුළුවං වෙයිද දන්නැහැ…”

මමද පෙරළා කීවේ විහිළුවට නොව ඇනුම්පදයක් ලෙසිනි. ඔහු එය විහිළුවට ගෙන උස් හඬින් සිනහසුණේය. අපි ළිඳ අසළට යෑමට සූදානම් සූදානම් වන විට නිරෝෂාද එහි දිව ආවාය.

“ගුඩ් මෝර්නින් අක්කේ…”

ඈ සුබ පතන විට මමද පෙරළා සුබ පැතීමි.

“ඔයා අද ඉස්කෝලේ ගියේ නැත්ද…?”

“නැහැ අයියෝ…දැනුයි ඇහැරිලා මූණ සෝද ගත්තේ…ඊයේ කීයද ගෙදර යනකොට…පාන්දර දෙකත් පහු වෙලා…”

ඒ ඇසූ මම පුදුම වීමි. යහනට වැටුණු සැටියේ මට නින්ද ගොස් තිබිණි. අපි ළිඳ අසලට යන විට නිරෝෂාද අප සමඟ එකතු වූවාය. අඹ ගසක් යට සෙවණේ වූ ළිඳේ වතුර ඉතා සිසිල් විය. ළිඳෙන් වතුර ඇද බේසමට පුරවා දුන්නේ පූජිතය.

“අම්මේ…අක්කට තියෙන ආදරේ…”

නිරෝෂා විහිළුවට කීවා වුවද මම තිගැස්සී ගියේ ඔහු සිතේ එවන් ආදරයක් ඇතිද කියා සැකයෙනි. වතුර බාල්දියෙන් දිය දෝතක් ගත් ඔහු එය නිරෝෂා දෙසට විසි කළාය. තෙමී ගිය ඈ කෑ ගැසුවේ ඔහුට බැන වදිමිනි.

“මෝඩයා…ඌරා…ඉන්නවකෝ…මං අල්ලගන්නම්…”

ආයාසයෙන් වුවද මම සිනහ සඟවාගෙන සිටියද පූජිත උස් හඬින් සිනහසුණේය. ඔහු විහිළු තහළු දන්නා අයෙකු යැයි කියා මම දැන නොසිටියෙමි. අපි යළි නිවසට එන විට අම්මා පිටුපස දොරකඩ සිටගෙන බලා සිටියේ පුළුටු කර ගත් මුහුණිනි. නිරෝෂා නිවසට යෑමට සූදානම් වන විට මට ඇයව නවතා ගැනීමට සිත් වුවද මම නිහඬව සිටියේ නැන්දම්මා කුමක් කියාවිදැයි සැකයෙන් මුත් ඇයම නිරෝෂාට කෑමට ආරාධනා කළාය. ඒ ඇයට ආදරයට නොව මා අවඥාවට ලක් කිරීමේ වුවමනාවෙන් බව මට වැටහී ගියේ පසුවය.

“කෙල්ලේ…හිටපන්…කිරිබත් කෑල්ලක් කාල යන්න…අද අපේ ලේලි පොඩ්ඩනෙ ඉව්වේ…බලමුකෝ එයගේ ඉවිල්ල…”

නිරෝෂා වහා මාදෙස බැලුවේ අනුකම්පා මුසු බැල්මකිනි.

“අක්කා ඉව්වා නම් ඉතින් රසට ඇති…”

නිරෝෂා කීවේ නැන්දම්මා රිදවීමට මෙනි. පූජිතට මා කෑම බෙදන විට පවා අම්මා ගේ මුහුණ ඇද වී තිබුණේ කොරොස් කටක් මෙනි. මම සිනහව සඟවා හෙන සිටියේ ආයාසයෙනි.

“ෂා…! අක්කේ හරිම රසයි…අපේ අම්මටවත් බැහැ මේ වගේ රසට කිරිබත් උයන්න…”

නිරෝෂා කීවේ අතිෂයෝක්තියකින් නම් නොවේ. පූජිතද කටක් අනා රස බලමින් ඇගේ කතාව සනාථ කළද, නැන්දම්මා කිසි ලෙසකින්වත් තෘප්තිමත් නොවන ගැහැණියක බව මට වටහා ගනිමින් සිටියෙමි.

“කිරිබත් එකට ලුණු මදි…ලුණු මිරිසට තව ඇඹුල් ටිකක් ආවා නම් හොඳයි…”

මුව ඇදකරගෙන ඈ කීවේ තවත් කිරිබත් කෑලි කීපයක් පිඟානට දමාගනිමිනි.

“සේරම ගානට තියනවා…අම්මට ඕන නම් ලුණු බෝතලේ ගෙනත් දෙන්නද දාගන්න…”

පූජිත කියන විට ඈ ඔහු දෙස බැලුවේ නෙරවා ගත් දෑසිනි.

-හෙටත් හමුවෙමු-

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

සිරගෙය තිඹිරිගෙය කරගත් පුංචි කොල්ලෙක්ගේ කතාව

සිරගෙය තිඹිරිගෙය කරගත් පුංචි කොල්ලෙක්ගේ කතාව - Balan: The Boy සිරගෙදරක කල්ගෙවන හැම සිරකරුවක් ළඟම අපරාධයක් ගැන කතාවක් තියෙනවා. බොහෝවිට...

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් - Sausage Bun බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you