NovelsRath Dothaluරත් දෝතළු - 08

රත් දෝතළු – 08

-

spot_img

රත් දෝතළු – 08

පන්සල් භූමිය පුරාම වූයේ සිත නිවී යන නිස්කලංක බවකි. පසුගිය දිනවල එක දිගට යෙදුණු නොයෙකුත් කටයුතු නිසා පන්සලට පැමිණීමට හෝ කාලයක් නොවීය. සුදෝ සුදු වැලි ඇතිරූ බිමේ ඇවිද යන විට දෙපයට දැනුණේ අමුතුම හැඟීමකි. මාත් මල්ලීත් නංගීත් එකතුව පහන් පත්තු කොට බුදුන් වැන්දෙමු. සතියේ මැද දිනක් වූ නිසාවෙන්දෝ එහි එතරම් සෙනඟක් නොවීය. බුදුන් වැඳ මා පැතුවේ කිරීමට හැකි රැකියාවක් ලැබීමය. මේ මොහොතේ එය හැර මට පතන්නට අන් යමක් නොවීය. නොදන්නා පළාතකට යැමට සිදුවන නිසා මා සිතේ අමුතු බියක් නොවූවා නොවේ. සහනයකට ඇත්තේ නිර්මාණි ළඟ හිඳීමය.
සුසුමක් මුදා හරිමින් මම දෑස් විවර කර බලන විට මා පසෙක සිටගෙන මා දෙසම බලා හිඳින කේෂව දැක මා සිත අලුතින් තිගැස්සී ගියේ ක්ෂණිකයෙනි.

“අරවින්දි…”

පිළිකුල් හැඟීමක් මා සිතේ ඇති වූයේ මෙතෙක් පැවති පහන් හැඟුම සිතෙන් පළවා හරිමිනි. පෙර හැඟුමත් දැන් දැනුණු හැඟුමත් එකක් පරයා එකක් ජයගන්නට මා හදේ එකට පොරකන්නාක් මෙනි. අවසන ජය ගත්තේ පිළිකුල් හැඟීම මිස පහන් හැඟීම නොවේ. එය යළි හිස ඔසවනු නොහැකි ලෙසම පරාජයට පත්වී සිත පතුළේම මියගියාක් මෙනි. මේ මොහොතේත් මොහු මෙහි කුමකට දකින්නට සිදු වූයේ කුමන පාපයකටද කියා මට සිතා ගන්නට නොහැකි විය. කේෂවගේ මුවේ වූයේ සිනාවක් වුවද මා මුවට නම් සිනහවක් නොනැඟිණි.

“ආහ්… කේෂව… පන්සල් ඇවිත් වගේ…”

උපහාසය මුසුව මම කීවේ නංගීත් මල්ලීත් කොහිදැයි කියා දෑස් දුවවමිනි. ඔවුන් පෙනෙන මානයක නොවන විට මා සිත නොසන්සුන් වූ නොසතුටක් ඉපදුණේ මා තනිව දමා ඔවුන් ඉවතක ගොස් සිටි බැවිනි. කේෂව වෙතින් ඉවත යෑමේ බලවත් නොඉවසිල්ලකින් මම පසුවන විටම ඔහු කතා කළේය.

“මාත් ආවා පන්සල්… ඔයා මොනවද බුදුන් වැඳලා ප්‍රාර්ථනා කළේ…?”

ඔහු අසන විට මා මුවට නැඟි උපහාසය මුසු සිනහව මම සඟවා ගත්තේ ආයාසයෙනි.

“හැමදේම අතහැරලා බුදු බව සොයාගෙන ගිය බුදුරදුන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ නිවන විතරයි කේෂව…”

මා හඬේ වූ උපහාසය නම් මට සඟවාගන්නට නොහැකි විය.

“ඒකට ඉක්මන් වැඩි නැත්ද…?”

ඔහු ඇසුවේද උපහාසයෙන් මෙනි

“අපේ මරණය සිද්ද වෙන්නේ කොයි මොහොතේද කියන්න අපි දන්නේ නැහැනේ… ඒ නිසා පිනක් දහමක් කරගෙන යන තැනකට පින් රැස්කරගන්න… ඒකට වෙලාවක් කලාවක් නෑ..”

සිතේ නොසතුට මම ඔහු මුහුණටම දමා ගැසුවෙමි. යළිත් නොපහන් හැඟීමක් මා සිතේ ඉපදුණේ ඔහු එයට තරමක හඬින් සිනහසෙන විටය.

“ඔයත් දැන් සෑහෙන්න දියුණු වෙලා…”

මුවේ රැඳි උපහාසය මුසු සිනහවෙන්ම ඔහු කියන විට මා සිතේ නොසතුට වැඩි විය.

“ඒකට කියන්නේ දියුණුව නෙවේ කේෂව… ජීවිතාවබෝධය… ඒ දෙකවත් තේරුම් ගන්න බැරි තරමට ඔයා තාමත් බුද්ධි මට්ටමින් බාලාංශ පන්තියේ ළමයෙක් තරමටවත් වැඩිලා නැහැ…”

මා සිතේ සැමදා ඔහු කෙරෙහි වූයේ නොපහන් හැඟීමකි. සංදීපාට සිදු වූ අසාධාරණයෙන් පසුව මම වඩ වඩාත් ඔහුව පිළිකුල් කරන්නට වූයෙමි. මා ඔහුට මෙසේ වචන වලින් පහර දෙන විට ඔහුගේ මුහුණ මා බලා සිටියදීම අඳුරු වන සැටි දැක මා සිතේ සතුටක් ඇති විය. මම ඔහු අසලින් මෑත් වීමට ආපසු හැරෙන විටම ඔහු යළිත් මා ඇමතීය.

“අරවින්දි… ඔයා ඔය යන්නද හදන්නේ…?”

ඔහුට වුවමනා මා රඳවාගෙන කතා බහට නතු කරගන්නටය. ඒ බව මට වැටහුණු මුත් ඔහු සමඟ සංවාදයේ යෙදෙන්නට මට කිසිදු වුවමනාවක් නැත.

“මං ආවේ බුදුන් වඳින්න… නැතුව මෙතන නිවන් දකින්න නෙවේ…”

“අම්මෝ… පිහියෙන් ඇන්නා වගේ… ඔයා හරි සැර වෙලා අරවින්දි… ඉස්සර ඔයා ඔහොම නැහැ…”

“ඉස්සර මම කොහොමද…?”

ඔහුට අභියෝගයකට මෙන් මම ඇසීමි. ඔහු තත්පර කීපයක් එසේ මා දෙස බලා හිඳින්නට ඇත. ඒ තත්පර කීපයට ඔහු කුමක් සිතනවා ඇතිද කියා සිතන විටත් මා ගත වෙවුළා ගියේය.

“ඉස්සර ඔයා අහිංසකයි…”

ඔහු කීය.

“ඇත්තට… ඔයා මං ගැන හුඟක් හොඳට දැනන් හිටියා වගේනේ කතා කරන්නේ…”

“ඇයි ඒක එහෙම නෙවේද…?”

“කෝකද… මං අහිංසකයි කීව එකද…? නැහැ… මිනිස්සු වෙනස් වෙනවා… හැමදාම මිනිස්සු එක වගේ ඉන්නේ නැහැ…”

“ඒත් ඔයා නම් එදා වගේමයි…”

“ඔයා මං ගැන දන්නේ ටිකයි… හැබැයි කේෂව හොඳට මතක තියාගන්න… මං ඔයා ගැන හොඳට දන්නවා…”

“ඒක කොච්චර දෙයක්ද අරවින්දි…”

“ඒක එච්චර සතුටු වෙන්න දෙයක් නම් නෙවේ…”

ඔහු යළිත් සිනහවක් පෑවේ උපහාසයට මෙනි. අප්‍රාසදය මා සිත පුරා ඔඩු දුවන්නට විය. මා මේ තරම් ඔහු හෙළා දකිමින් කතා කරන විටත් ඔහු මනා සංයමයකින් ඉවසීමකින් එයට ප්‍රතිචාර දක්වන්නේ හොඳ සිතකින් නම් නොවන බව ඉඳුරාම පැවසිය හැකිය. කේන්තිය පිට කරන පුද්ගලයාට වඩා එය සිතේ දරාගෙන සිටින අය භයානකය. මට පාලිත මාමා සිහි විය. අයුක්තිය අසාධාරණය ඉදිරියේ ඔහු වහා කිපෙන අයෙකු වුව එසැනින් නිවෙන ඔහු හිත හොඳ මිනිසෙකි. කේෂව උපන් ගෙයි කපටියෙකි. ඔහුගේ තාත්තාද ඔහු මෙන් කපටියෙකි. ඒ කපටි කමෙන් ඔහු ගමේ මිනිසුන්ගේ ඉඩම් කොල්ල කෑවේය. නිර්මාණිගේ ඉඩමට සිදුවූයේද එයමය. කේෂව කපටිකමින් සංදීපාගේ ජීවිතය විනාශ කළේය. කේෂව ඉදිරියට පැන ඔහුගේ ගෙල මිරිකා දමන්නට තරම් කෝපයක් මා සිතේ විය.

“මං ගැන හිතලා සතුටු වෙන්න ඔයාට බැරිද…?”

ඔහු යළි අසන විට මා සිත වඩ වඩාත් නොසන්සුන් විය.

“ඔයා අද පන්සල් ආවේ ඕපදූප හොයන්නද…?”

“ඕපදූප හොයන්න මොකටද පන්සල් එන්නේ ළමයෝ… රත්නේගේ කඩේට පොඩ්ඩක් ගොඩ වුණා නම් ඇති… වටේම ඕපදූප හොයාගන්න පුළුවන්… ඒකෙන් වැඩක් නැහැ… අපේ අම්මලා කියනවා මට මාරක අපලයක් තියනවලු… ඒකට බෝධි පූජා තියන්න ඕනලු…”

ඔහු තරමක උස් හඬින් සිනහසෙමින් කීය.

“ඒක හිනාවෙන්න දෙයක් නෙවේ…”

“ඔයාත් ඕවා විශ්වාස කරනවද…?”

“ඔව්… ඔයා බලන්න ඕන ඔයාට මාරක අපලෙ තියෙන්නේ කාගෙන්ද කියලා… පරිස්සමින්!”

එසේ කියා මම ඔහු අසලින් මෑත් වූයේ අම්මා සොයමිනි. අම්මා සමඟ ශාලාව අසල කතා බහ කරමින් සිටි පාලිත මාමා දුටු මා සිතේ ඇති වූයේ මවිතයකි. ඔහු පැමිණියේ කොයි මොහොතේද.? මම ඉක්මනින් ඔවුන් වෙත ගියෙමි. ඔහු කේෂව පැමිණ ඇති බව දන්නවාද.? මේ මොහොතේ කේෂවත් පන්සලේ සිටින බව දන්නවා නම් කුමක් සිදුවෙයිද.?

“මාමේ… මාමා කොයි වෙලේද ආවේ… නැන්දත් ආවද…?”

“නැහැ ළමයෝ… මම තනියම ආවේ… ලොකු හාමුදුරුවෝ මුණගැහෙන්න ආවා…”

“මාත් හෙට ඒ පැත්තේ එන්න ඕන… මාමා හෙට ගෙදර ඉන්නවද…?”

පාලිත මාමා මා කියූ දෙයට සවන් දුන් බවක් පෙනෙන්නට නොවීය. ඔහු දෑස් රැඳවී තිබුණේ මා පසුපසින් වූ වෙන දෙයක් කෙරෙහිය. මමද ගෙළ හරවා පිටුපස බැලීමි. කේෂව වතුර කලයකට පැන් පුරවමින් සිටියේය. මාමාගේ දෑස් වූයේ ඔහු කෙරෙහිය. මම වහා යළිත් පාලිත මාමා දෙස බැලීමි. මඳ අඳුරේ වුවද ඔහුගේ දෑස් වල විහිදෙන වෛරයේ ගිණි දළු හඳුනාගන්නට මට අපහසු නොවීය.

“මාමේ…”

මම යළිත් ඔහු අමතන විට ඔහු මදෙස බැලුවේ දත් මිටි සපමින් බව පෙනිණි. ඔහුගේ නලළතේ නහර ඉලිප්පී තිබුණේ පුපුරා යන්නට ආසන්නව මෙනි. බියක් මා සිතේ ඇති විය.

“මොනවද දුව ඇහුවේ…?”

“මම ඇහුවේ මාමා හෙට ගෙදර ඉන්නවද කියලා…?”

“හෙට මම නැහැ… මම වැඩකට රත්නපුරේ යනවා… එත්දී රෑ වෙයි…”

“මොකක් හරි හදිසියක්ද…?”

“ඔව් මාමේ…”

මම මගේ අවශ්‍යතාවය ඔහු හා පැවසීමි.

“දැන් නම් මං සල්ලි අරන් ආවේ නැහැ ළමයෝ… හෙට එන්න… මං නැන්දාට දීලා තියන්නම්… ඉල්ලගන්න…”

ඔහු වහා කීවේ අදිමදි නොකරමය.

“කෙල්ල රස්සාවකට යන්න කියලා මල්ලී…”

අම්මා කියනවිට පාලිත මාමා මදෙස බැලුවේ පුදුමයෙන් මෙනි.

“කොහෙද ජොබ් එක…?”

“තාම හම්බුණේ නැහැ මාමේ… යාළුවෙක් ඉන්නවා… එයා හොයලා දෙන්නම් කිව්වා…”

“කවදද යන්නේ…?”

“හෙට අනිද්දාම යන්න කියලා…”

“හ්ම්ම්…”

සුළු මොහොතක් අපි එහිම හිඳ කතා බස් කරමින් සිටියෙමු. මල්ලීත් නංගීත් එහෙ මෙහේ ඇවිද ඇවිද හිඳ අප අතරට පැමිණියෝය.

“මට අරූ දකිනකොටත් කේන්තියි…”

පාලිත මාමා කීවේ අපි පිටතට එන අතරේය.

“කේන්තිගන්න එපා මාමේ… කේෂවට වෙන කවුරුහරි මොනවාහරි කළත් අන්තිමේදි මාමාගේ පිටින් යයි…”

මම එසේ කීවේ ඔහු අස්වසන අදහසින් වුවද කේෂව දකින විට මා සිතේද ඇතිවන්නේ එවන්ම වූ වෛරයකි. එය එසේනම් පාලිත මාමාට එය කෙසේදැයි කියා සිතා ගැනීම පහසු නැත.

“කේන්ති නෙවේ…මට ඕකව…”

කියන්නට හිය දේ නොකියා ඔහු වහා නිහඬ වූයේ මල්ලීත් නංගීත් සිටි නිසා වන්නට ඇත.

“ගිය දේවල් ගියා මල්ලියේ… මිනීමරා ගත්තා කියලා සිද්දවුණු වැරැද්ද හදන්න බැහැනේ…”

“අපේ එකී නැති කරලා මූ වගේ වගක් නැතිව ඉන්නහැටි බලන්නකෝ…”

“ඒක ඇත්ත… අපෙත් කෙල්ලෝ දෙන්නෙක් නිසා… ඔය වේදනාව මටත් දැනෙනවා…”

අපි නිහඬවම ඇවිද ආවෙමු.

“මගේ එකීව ලස්සනට බන්දලා දෙන්න මාත් හීන දැක්කා නන්දිකක්කේ…”

පාලිත මාමා යළිත් කීවේ හද පිරීගිය ශෝකයකින් බව දැන මසිතත් අලුතින් ඇවිළී ගියේය.

“ඒක අපි නොදන්නවා නෙවේ… මහ උන් දැන් අන්න කේෂවට මඟුල් තුලා හොයනවා…”

අම්මා කී ඒ පුවතින් මම තිගැස්සී ගියෙමි.

“මඟුල්… මම කවන්නම්කෝ ඌට මඟුල්…”

ඔහු යළි කීවේ වඩාත් කෝපයකිනි.

“ඉවසන්න මාමේ… නැන්දා වුණත් මොන ගින්දරකින්ද ඉන්නවා ඇත්තේ… පව් ඒ මනුස්සයා…”

ඔහු නිහඬ විය. අපි සිව්දෙන ඔහුගෙන් සමුගෙන ගුරු පාර දිගේ සෙමෙන් ඇවිද ආවෙමු.

-හෙටත් හමුවෙමු-

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you