NovelsRath Dothaluරත් දෝතළු - 09

රත් දෝතළු – 09

-

spot_img

රත් දෝතළු – 09

උදෑසන ඇද වැටුණු සිරි පොදය නිසාදෝ පරිසරයේ වූයේ තුනී සීතලකි. දහවල තරමක අව්වක් වැටුණද එය සුළු මොහොතකට පමණි. යළිත් අහස අඳුරු වූයේ යළිත් වැස්සක පෙර නිමිති කියා පාමිනි. පාසල නිම වී පැමිණි විගස මල්ලී තාත්තාගේ ඇඳ මතට වී ගුළි වී නිදා සිටියේ සීතල නිසා වන්නට ඇත. නංගී පන්ති නිම වී තවම පැමිණියේ නැත. තනිවම පාලිත මාමාගේ නිවසට යෑමට මම සිතුවේ නිදා සිටින මල්ලී අවදි කරන්නට ලොබ සිතුණු නිසාය.

“මල්ලිව එක්ක ගියා නම් මොකද ලොකු දුව…?”

තාත්තා ඇසුවේ මම ඔහුට පවසා මඟට බසින්නට සූදානම් වන විටය.

“ඕන නැහැ තාත්තේ… මල්ලි නිදාගත්තාවේ…. මං ඉක්මනට එනවනේ…”

පාලිත මාමාට එනවා යැයි කියූ වේලාවට වඩා තරමක් කලින් මම පැමිණියේ කොයි මොහොතේ හෝ වැස්ස ඇද වැටෙන්නට ඉඩ තිබූ නිසාය. රැකියාව ලැබුණු සැටියේ පාලිත මාමාගේ ණය ගෙවා දැමිය යුතුය. තනිවම පැමිණියාට රබර් වතු යාය මැදින් ඇති අඩි පාරට පිවිසෙන විට නම් මා සිතේ බියක් හට ගැණිනි. වැසි අඳුරත් රබර් වතු යායේ වූ අඳුරත් එකට කැළතී එහි වූයේ බියජනක මූසළ පෙනුමකි. උළමෙකු නැඟූ අමිහිරි නාදය නිසා මා සිතේ හටගැනුණේ අනියත බියකි. කිසියම් නපුරක් අත ළඟ යැයි කියා සිතී මා ගත හී ගඬු නැංවිණි. අඩි පාර දිගේ මා ආවා නොව දිව ආවෙමි. පාලිත මාමාගේ නිවස දුර තියා පෙනෙන විට මා සිතට දැනුණේ යම් සහනයකි. නැන්දා සිටියේ මිදුලේ වැලේ වනා තිබූ රෙදි ටික කඩිමුඩියේ එකතු කරමිනි.

“නැන්දේ…”

සිතේ වූ තිගැස්ම නිසා දිව ආ මා සිටියේ තරමක හති දමමිනි.

“අරවින්දි… ඇයි ළමයෝ මේ හතිදාන්නේ… මොකක් හරි කරදරයක්ද…?”

ඈ හැරී බලා විමසුවේ තැතිගත් හඬකිනි.

“න්… නැහැ… නැන්දේ…දුවන් ආවෙ… ඒකයි…”

“හම්මේ… ඒක මිසක්… මාත් බය වුණා… එන්න… එන්න… මං මේ වහින්න කලින් රෙදි ටික ගෙට දාගන්න කියලා… දුව මොකද තනියම ආවේ…? මල්ලි හරි එක්ක එන්න එපැයි…”

ඈ කඩිමුඩියේ රෙදි ටික අතින් ගෙන මාද කැඳවාගෙන ගෙතුළට ආවේ එසේ කියමිනි.

“මල්ලී නිදි නැන්දේ… නංගීට අද පන්ති… එයා එනකොට තව හවස් වෙනවා…”

දිගු සැටියේ හිඳ ගනිමින් මම කීවේ කුඩයද පසෙක තබමිනි.

“තනි පංගලමේ ගමන් බිමන් යන එක නම් හොඳ නැහැ ළමයෝ… ඔය රබර් කැලේ මැද්දෙන් යන්න මටත් බයයි…”

දිව ආවේ බිය නිසා බවක් මම ඈ හා නොකීවද ඈ ඒ බව අනුමාන කරන්නට ඇත.

“පොඩ්ඩි නිදිද නැන්දේ…?”

“අනේ… ඔව්… දැන් නිදා ගත්තේ… වහින්නත් වගේනේ… මාමා කිව්වා දුව එයි කියලා… දුවට දෙන්න කියලා සල්ලි වගයක් දුන්නා…”

ඈ ගෙතුළට ගොස් යළි පැමිණියේ යම් මුදලක්ද අතැතිවය.

මා ඉල්ලූ මුදලට වඩා ප්‍රමාණයක් එහි වූ බව දැක මම මවිත වූයෙමි.

“නැන්දේ… මම මෙච්චර ගාණක් ඉල්ලුවේ නැහැ…”

“හරි… හරි ළමයෝ… ඕක තියාගන්න කිව්වා…”

“ගන්න පළවෙනි පඩියෙන්ම මම මේක දෙන්නම් නැන්දේ…”

“අනේ… අනේ ළමයෝ… ඒවා කමක් නැහැ… මාමා ඔය සල්ලි ආයේ ගන්න බලාගෙන ඉන්නවැයි… දන්නවානේ මාමාගේ හැටි…”

ඈ මඳහසක් පාමින් කීවාය.

“ඈ දුවේ… අර පෝරිසාදයා ඇවිත්ලු නේද…? මට නම් බයේ බැහැ… අපේ මනුස්සයා එළියට බහිනකොට මගේ පණ ගැහෙනවා… ගෙට ගොඩ වෙන්නේ කොයි වෙලේද කියලා මං ඉන්නේ ගිණි පත්තු වෙවී…”

සිතේ වූ බිය නොසඟවාම ඈ කීවේ ශෝකී සුසුමක්ද හෙළමිනි.

“මාත් කොච්චරවත් කියනවා නැන්දේ… මටත් හරි බයයි මාමා ආරවුලක් ඇතිකරගනියි කියලා…”

“කවුරුවත් කියන දෙයක් අහන මනුස්සයෙක්ද…”

“මාමා නපුරු මිනිහෙක් නෙවේනේ නැන්දේ… කොයි දේටත් හිත උණුවෙන මනුස්සයෙක්…”

“ඒ ගැන මොකට කියනවද ළමයෝ… මේ සේරම අර තිරිසනා නිසා… ඕකා මගේ කෙල්ලව නැති කරලා මදිවට ඒකිට කියපු කතා… සහ ගහනවා… ඔය පවුලටම… මහා ගෑණි පුතා සුද්ද කළා…”

අලුත් වූ ශෝකයෙන් ඈ හඬන්නට වූ විට මම ඈ සනසන්නට තැත් දැරුවෙමි.

“අඬන්න එපා නැන්දේ… දැන් මොනවා කරන්නද…?”

ඇගේ හිස පිරිමදිමින් මම කීවද ඇගේ හැඬුම බාල වූයේ ඊටත් සුළු වේලාවකට පසුවය.

“පව් පොඩි එකී… අම්මා කෙනෙක් ළඟ ඉන්න ඕන කාලෙම නැහැ…”

ඈ යළිත් කීවාය. මොහොතක නිහැඬියාවක් අප අතර පැතිර ගියේය. තව සුළු මොහොතකින් ඇඳිරි වැටෙනු ඇත. රබර් වතු යාය මැදින් මා යා යුත්තේ තනිවමය.

“මාමා එනකොට රෑ වෙයි නේද නැන්දේ…? කළුවර වැටීගෙන එනවා… මං ගිහින් එන්නද…?”

“අනේ… ඔව් ළමයෝ… රෑ වෙන්න කලින් යන්න… කවදාටද යන්නේ දැන්…?”

“අද හෙටම යන්න ඕන නැන්දේ…”

“හොඳයි හොඳයි… පරිස්සමට යන්න… යන්න කලින් එන්න මේ පැත්තේ…”

මම එයට හිස සැළීමි. ඇගෙන් සමුගත් මා දිව ආවේ ඉක්මනින් නිවසට යෑමටත් වඩා රබර් වතු යායේ අඳුර මා සිතේ බිය ජනක හැඟීමක් ඇතිකර තිබූ නිසාය.
ගවුම් හොර සාක්කුවේ මුදල් දමාගෙන මම වතු යාය මැදින් දිව්වෙමි. කුඩය සිහියට නැඟුණේ මා මද දුරක් පැමිණියාටත් පසුවය. ආපසු ගොස් එය රැගෙන ඒමට දැන් පමා වූවා වැඩිය. එය පසුව ගොස් රැගෙන ආ හැකිය. කුඩය පිළිබඳව සිතුවිල්ලේ ආවා මිස මට අවට කිසිවක් ගැන නිනව්වක් නොවීය. දිරාපත් අතු කැබැල්ලක් බිඳී යන හඬකින් මම තිගැස්මටත් බියටත් පත්වූයේ කිසිවෙකු මා පිටුපස පැමිණෙනවා යැයි හැඟී ගිය නිසාය. මම වහා ආපසු හැරී බැලුවද පෙනෙන මානයේ කිසිවෙකු නැත. යළිත් වරක් ඈතින් ඇසුණු උළමෙකුගේ අමිහිරි නදින් මා ගත හිරි වැටී ගියේය. නුදුරින් වූ ගල්තළාව මත කිසිවෙකු හිඳ සිටිනවා යැයි කියා පෙනුනද එය හුදෙක් මා මනසේ ඇඳුණක් කියා අනෙක් අතට මම සිතුවෙමි. මේ මොහොතේ මෙහි කිසිවෙකු සිටින්නට ඉඩක් නැත. දර කැඩීමට හෝ කිසිවෙකු පැමිනුණා යැයි සිතිය නොහැක. මන්දයත් මේ දින කීපයේම වරින් වර ඇද වැටුණු වර්ෂාව නිසා දර තෙතය. කිරි කැපුමට වුවද එන්නේ සවස පහට පමණය. තව ඊට කල් වැඩිය. ඇරත් අද අඳුරු ගතියත් නිසා බොහෝ විට නොඑන්නට තිබෙන ඉඩකඩ වැඩිය.

ගල්තලාවේ කිසිවෙකු සිටිනවා යැයි මා සිතූ සිතුවිල්ල හුදෙක් මායාවක් හෝ හිතළුවක් නොවේ. එහි සැබෑවටම කිසිවෙකු හිඳ සිටියි. මා දෑස් මා රවටා නැත. මා සිත අලුත් බියකින් ගැහෙන්නට විය. එහි සිටින්නේ කවුරුන් වුවද මේ මොහොතේ එහි හිඳ කුමක් කරනවාද? ගල්තළාව මතින් බැස ගත් ඔහු දැන් අඩි පාර දෙසට ඇවිද එයි. ඔහු පැමිණෙන්නේ මා ගමන් කරන දෙසටය. මා දැන් ඔහු පසුකර යා යුතුය. අඩිපාරට වැටෙන්නට පෙර මට ඔහු මඟ හැර යා හැකිවේවියි කියා විශ්වාසයක් නැත. මා කුමක් කළ යුතුද. සමහරවිට ඔහු නිකමට මෙහි පැමිණි ගමේ අයෙකු විය හැකිය. හිස වැසෙන සේ දමාගෙන සිටි ටී ෂර්ටය නිසා මට ඔහු හඳුනාගත නොහැක. බියක් මා සිතේ ඇතිවන්නේ මන්ද? ආපසු හැරී දුවන්නට දැන් පමා වැඩිය. සිතට දිරි ගත් මම ඔහු ඉදිරියට ගමන් කළෙමි. දැන් ඔහු හරියටම අඩි පාර ආසන්නයේමය. සිතට දිරිගත් මම ඉදිරියට ගමන් කළෙමි. ඔහු මා ඉදිරියේ සිට ගත්තේ මා මඟ අවුරමිනි.

-හෙටත් හමුවෙමු-

Latest news

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...
- Advertisement -spot_img

රූකඩ සෙවනැලි

රූකඩ සෙවනැලි - Shadow Puppets මගේ කුඩා දියණිය අසනීපෙනි. එය වෛද්‍ය විද්‍යාවට සුව කළ නොහැකි ආකාරයේ රෝගයකි. ඇයට සිය මව...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you