NovelsRath Dothaluරත් දෝතළු - 07

රත් දෝතළු – 07

-

spot_img

රත් දෝතළු – 07

අම්මා උදෑසනම කිරි කැපීමට ගිය පසු මට නිවසේ කිරීමට බොහෝ වැඩ රාජකාරි විය. නංගිටත් මල්ලිටත් පාසල් ගෙන යෑමට කුමක් හෝ සූදානම් කොට ඔවුන් පිටත්ව ගිය පසු නිවසේ වැඩකටයුතු සමඟ කාලය ගතවන බව පවා නොදැනේ. අම්මා කිරි කපා එන විට මම දහවලට ආහාරත් සූදානම් කොටවසන්ය. පැමිණි විගස ඈ යළි මුදලාලිගේ නිවසට දිව ගොස් නැවත පැමිණෙන්නේ සවස් යාමයෙහි ය.

“මහතැන හරි හිතේ ගින්දරේ ඉන්නේ…”

නිවසට පැමිණි අම්මා බංකුව මතින් හිඳගනිමින් මා සමඟ කීවාය.

“අර කෙල්ලට දීපු ගින්දර තමයි ඔය ඇවිලෙන්නේ…”

සිතේ ඇතිවුණු කෝපය නිසා මම කීවෙමි.

“ඒකනම් ඇත්තම කතාව… ඔය සිද්දිය වුණ වෙලේ ඔය මහා උන් පුතණ්ඩියව සුද්ද කළා කළා… අර කෙල්ලට අපහාස කරලා… නින්දා කරලා… දැන් බෝධි පූජා තියන්න ලෑස්ති වෙනවා… කේෂවට මාරක අපලයක් තියෙනවලු…”

අම්මා කීවේ උපහාසයෙන් වුවද මා සිතේ තිගැස්මක් ඇති වූයේ පාලිත මාමා සිහි වීමෙනි.

“කවුද කියලා තියෙන්නේ…?”

සිතේ උපන් තැතිගැන්ම සඟවාගෙන මම ඇසීමි.

“පන්සලේ ලොකු හාමුදුරුවෝ…”

“දෙයියෝ බුදුන් මතක් වෙලා තියෙන්නේ දැන් වෙන්නැති…”

“මහ උන්දැ බය වෙලා ඉන්නේ හොඳටම…”

“කියපු කරපු දේවලට විඳවන්නත් එපැයි…”

අම්මා නිහඬව හිස සැළුවාය.

“අම්මේ… රෑ වෙලා ගිහින් නිරූට කෝල් එකක් අරන් එමුද…?”

කතාබහ වෙනතකට යොමු කරමින් මම අසනවිට ඈ හිස සැළුවාය. රාත්‍රී අට පසුවන විටම වාගේ මාත් අම්මාත් මල්ලීත් හංදියට ආවෙමු. අදවත් නිර්මාණි හා කතා කරන්නට හැකි වූවා නම් කියා මම සිතින් යැදීමි. දැනට මා තුළ ඇති එකම බලාපොරොත්තුව ඇයට කියා රැකියාවක් සොයා ගැනීමය. ඇමතුම ගන්නා විටම ඈ එයට අමතනු ඇසුණෙන් මා සිතේ ඇති වූයේ නිම් නොවූ සතුටකි.

“නිරූ… මම… අරවින්දි…”

“ආනේ… මං බලන් හිටියේ ඔයා කොයි වෙලේ හරි කෝල් කරයි කියලා… ඉතින්…?”

මගේ ඇමතුමෙන් ඈ සතුටට පත්ව ඇති බවක් ඇගේ හඬින්ම මට වැටහිණි.

“මං කලින් දවසකත් ගත්තා නිරූ…ෆෝන් එක ඕෆ්…”

“අනේ ඔව් කෙල්ලේ… වැඩ වෙලාවට ෆෝන් එක ඕෆ්… මට ඔයාට කියන්න බැරි වුණා… ගෙදර අය සනීපෙන්ද…?”

නිවසේ තොරතුරු මම ඈ හා පැවසීමි.

“ඉතින්… ඔයා ගෙදර අයත් එක්ක කතා කළාද… ජොබ් එකක් හොයාගන්න ඕන නේද…?”

මා අසන්නට කළින්ම නිර්මාණිම මා විමසුවාය.

“මං කතා කරෙත් ඒ ගැන අහන්න තමා නිරූ… ඔයාට පුළුවන්ද මට ජොබ් එකක් හොයලා දෙන්න…?”

“හොයලා දෙන්න නම් පුළුවන්… ඒත් අරවින්දි…”

ඈ එසේ කියා නිහඬවන විට මා සිත සැළී ගියේය.

“ඇ… ඇයි… නිරූ… මොකක් හරි ප්‍රශ්නයක්ද….?”

“ඔව්…ප්‍ රශ්නයක් නම් තමා…”

ඈ එසේ පවසන විට මා සිතේ බලාපොරොත්තු බිඳී ගියාසේ මට දැනිණි.

“අනේ… එහෙනම්…”

මට කියවිණි.

“පිස්සු කෙල්ල… උඹ ඔහේ ඉඳන් මට ජොබ් භොයන්න කියන්නේ… හදිසියේ සෙට් වුණොත් එහෙම මම යන්නද…? උඹ මෙහෙ වරෙන්…”

ඈ තරමක උස් හඬින් සිනහසෙමින් කියනවිට මා සිත සතුටින් ඉපිළිණි.

“ඇවිත්…?”

“ඇවිත් ඉතින්… උඩ බලන් ඉඳින්… පිස්සි… මෙහෙ ඉඳින් මා එක්ක… අපි ජොබ් එකක් හොයමු… මොනවා කරන්නත් කෙල්ලේ… උඹ මෙහෙට එන්න ඕන… එන දවස මට කලින් කියන්න… පාන්දර එනවා නම් ඔහෙන් හතරට බස් එකක් තියනවා… ඒක අට වෙනකොට කොළඹ… මං එන්නම් ඔයාව ගන්න…”

ඈ එකදිගටම කියවගෙන ගියාය. පැමිණෙන දවස බලා ඇයට දැනුම් දෙන්නට පොරොන්දු වී මම ඇයට සමුදුනිමි. අම්මා මගෙන් විස්තර ඇසුවේ යළි පැමිණෙන අතරය.

“අනේ මන්දා, ඔය නොදන්න රටකට ගියා වගේ නෙවේ… මට නම් බයයි…”

අම්මා පැවසුවේ ශෝකයෙන් මෙනි. මුවින් නොකීවද අම්මාගේ සිතේ වූ බිය මෙන් දෙගුණයක බියක් මා සිතේද විය. එය එසේ යැයි කියා ගමට වී හිඳ කුමක් කරන්නදැයි කියා මම යළිත් සිතුවෙමි.

“කොළඹ කියන්නේ වෙන රටක් නෙවේනේ අම්මේ… සංදීපා එහෙනම් ඔය පිටරටකට ගිහින් රස්සාව කරන්නේ… නිරූ තනියම කොළඹ ඉන්නේ… අම්මා බය නැතුව ඉන්නකෝ.. මං යන්නේ නිරූ ළඟටනේ…”

“අනේ මන්දා ලොකු දුවේ… මං අකුල් හෙළනවා නෙවේ… ඒත්… උඹ කෙල්ලෙක් වෙච්ච එකයි මට බය…”

“ගැහැණු වෙලා ඉපදිච්ච පළියට මුළුගැන්විලා බයෙන් ජීවත් වෙන්න බැහැ අම්මා… අපිත් සමාජයත් එක්ක ගැටෙන්න ඕන…”

අම්මාගේ සිත හදන අදහසින් මා කීවද වැඩිමහල් සොහොයුරෙකු හෝ සිටියා නම් කියා මට සිතුණු වාර අනන්තය. අපි කතාබහක් නොමැතිවම ගමන්කළෙමු.
තාත්තා අප එනතුරු පෙරමඟ බලා සිටිනු මා දුටුවේ කඩුල්ල අසලදීය. අනුකම්පා මුසු හැඟීමකින් මා සිත ඇවිළී ගියේය. ඉස්සර ඔහු කුළී රැකියාවට ගොස් එනතුරු මම නංගීත් මල්ලීත් ළඟින් තියාගෙන බලා සිටියේද මෙලෙසය. සුසුමක් සුළඟට පාව ගියේ හද ශෝකයෙන් දවාළමිනි.

“මට පුළුවන් කමක් තිබුණා නම් මං උඹව ඔය නොදන්න පළාතකට යවන්නේ නැහැ ලොකු දුවේ…”

විස්තර අසා තාත්තා කීවේ එවන් කතාවකි. ඒ බව මට අමුතුවෙන් කීමට වුවමනා නැත. තාත්තා මෙසේ අසනීප වූයේ අව් වැසි නොබලා අප වෙනුවෙන්, අපව ජීවත් කරවන්නට දැරූ මහන්සිය නිසාය. එය ඔහුගේ වරද නොව අප ලබා උපන් හැටිය. තාත්තාගේ සිත හදන්නටද මම කීවේ නිර්මාණි සිටින නිසා බියක් නොවන ලෙසය. පසුව ඔහු නිහඬ වූයේ යම් තරමකට හෝ සහනයක් ලත්දාක් මෙනි. රෑ රැහැයි නදින් පරිසරයේ නිහඬ බව බිඳී ගියේය. විටෙක එය කන්දොස් කිරියාවකි.

“දැන් ඉතින් ඇඳුමක් දෙකක්වත් ලැහැස්ති කරගන්න වෙයි නේද ලොකු දුව…?”

අම්මා හදිසියේ සිහි වූවාක් මෙන් අසන තුරු මට එය සිහි නොවීය. මා සතුව වූයේ මල් ඉහිරුණ චීත්ත ගවුම් කිහිපයක් පමණි. කොළඹට ඒවා නොගැලපුණ මුත් ගමට නම් ඒවා ඉස්තරම්ය.

“සාය හැට්ට දෙක තුනක් තිබ්බා නම්… නේද හොඳ…?”

තාත්තා ඇසුවේ අම්මා ගෙනි.

“ඒක හරි… ඔය චීත්ත ගවුම් අඳින්න බැහැනේ වැඩට…”

අම්මා එසේ කීවද මම ඇඟළුම් කම්හලේ සේවයට යන දිනවල ඇන්දේම ඒවාය. ඇඳුම් වලට කියා වියදමක් දැරිය නොහැකිය.

“කෝකටත් කලින් කියලා පන්සලට ගිහින් මල් ටිකක් පූජා කරලා පහනක් පත්තු කරලා වරෙන් ලොකු දුවේ… දෙයියනේ කියලා…”

තාත්තා සිහිකරන විට මාද ඒ ගැන සිතුවෙමි.

“ඔව් තාත්තේ… හෙට හවස යන්න ඕන…”

“හතර දෙනා එක්කම හිහින් ආවා නම් හරි…”

“ඉතින් ඔයාත් යමු පාලිත…”

අම්මා කියනවිට තාත්තා හිස සැළුවේය.

-හෙටත් හමුවෙමු-

Latest news

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක්

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් විද්‍යාත්මක ප්‍රවේශයක් තුළින් මානසික සෞඛ්‍යය...

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...
- Advertisement -spot_img

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

රූකඩ සෙවනැලි

රූකඩ සෙවනැලි - Shadow Puppets මගේ කුඩා දියණිය අසනීපෙනි. එය වෛද්‍ය විද්‍යාවට සුව කළ නොහැකි ආකාරයේ රෝගයකි. ඇයට සිය මව...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you