NovelsRath Dothaluරත් දෝතළු - 06

රත් දෝතළු – 06

-

spot_img

රත් දෝතළු – 06

නිර්මාණිට ඇමතුමක් ගන්නට කීපවරක්ම කළ උත්සාහය නිරර්ථ වූයේ එය ක්‍රියා විරහිත කොට තිබූ බැවිනි. සමහරවිට ඈ කාර්යබහුලව සිටින නිසා මෙසේ එය විසන්ධි කර ඇතිවා වන්නට ඇත. මා පැමිණියා කල් වැඩි විය යුතුය. පසුව නැවත පැමිණිය යුතු යැයි සිතා මම පිටතට ඒමට සූදානම් වන මොහොතේ තදින් ඇද හැළෙන්නට වූ වර්ෂාව නිසා මඳක් පමා වූයෙමි. තව බොහෝ වේලාවකට එය නවතින පාටක් නම් පෙනෙන්නට නැත. පායනු ඇතැයි කියා සිතමින් මෙහි පමා වන්නටද නොහැකිය.

වැසි අඳුර නිසා ඉතා ඉක්මනින්ම අඳුරද ගලා එනු ඇත. දැනටමත් පරිසරය කළුවරය. තවත් අඳුරුවීමට පෙර නිවසට යා යුතුයැයි සිතූ මම පිටතට පැමිණියෙමි.
සුළඟට විසිරෙන සීතල දිය බිඳු ගත සිපගත්තේ හිරියක් සිරුර පුරා දුවවමිනි. මඳ දුරක් එනවිට හිටි අඩියේම වැස්ස මඳක් තුරල් වුවද මා ඒ වන විටත් අඩක්ම දියබත් වී සිටියෙමි. දිගු ගවුමට දෙපා පැටළුණු නිසා මම එයත් ඔසවාගෙන කුඩයත් අල්ලාගෙන ගමන් කළේ තරමක අපහසුවෙනි. ඒ සමඟම මා සමීපයේම නැවතුණු මෝටර් රථයක් නිසා මම ගමන නවතා පසෙකට වූයේ තරමක බිය මුසු තිගැස්මකිනි. රථය හඳුනා ගත් නිසා මා සිතේ ඇති වූයේ පුදුමයකි. ඒ ජිනපාල මුදලාලිගේ මෝටර් රථයයි. සමහරවිට පියසේන මාමා මා දැක රථය නැවතුවා වන්නට ඇතැයි කියා මට වහා සිතුණ මුත් රිය කවුළුව පහත් කරමින් පිටතට එබුණේ කේෂව බව දැක මා සිත තැතිගත්තේය.

“හාහ්!… මේ අරවින්දිනේ… කොහෙද මේ සිරිපොද වැස්සේ තෙමී තෙමී යන්නේ…? මං ඒත් බැලුවා… මං නැති කාලේ කොහෙ හඳක්ද ගමට පෑයුවේ කියලා…”

කේෂව මඳක් හෝ වෙනස් වී නැත. ඔහුගේ චාටුකාර කතාබහ තවමත් පෙර වාගේමය. මෙවන් මොහොතක හදිසියේවත් ඔහු දකින්නට බලාපොරොත්තුව නොසිටි මා සිතේ ඇති වූ මවිතයත් තිගැස්මත් තවම එසේමය.

“කේෂව…කවද්ද ආවේ…?”

මා කුමක් හෝ පැවසිය යුතු නිසා මම කීවේ නොකැමැත්තෙනි.

“මං දැන් මේ එනගමන්… නඟින්න මං ඔයාව ඩ්‍රොප් කරන්නම්…”

ඔහු පවසන විට අලුත් තිගැස්මක් මා සිතේ ඇතිවිය. පියසේන මාමා ඉක්මන් බැල්මක් මවෙත හෙළා මුවින් නොකියූ කතාව මට වහා වැටහිණි. මම කෙසේවත් රථයට ගොඩ වන්නේ නැත. මගේම මිතුරිය රවටා අනාථකොට, නින්දා අපහාස කර බියේ පළා ගිය මේ තිරිසන් මිනිසා මම පිළිකුල් කරන්නා සේම මම ඔහුට වෛර කරමි.

“ඔයා යන්න කේෂව… මං සංගීතලාගේ ගෙදරට පොඩ්ඩක් යන්න ඕන… තව ටිකක් වෙලා යයි…”

මා කීවේ මුසාවකි. සංගීතාගේ නිවස තිබුණේ මේ අසලමය. එහි යෑමේ කිසිදු වුවමනාවක් මා හට නැත.

“ඕ කේ… එහෙනම් අපි ගියා… සී.යූ…”

ඇසක් ඉඟිමැරූ කේෂව පාවෙන හාදුවක් මා වෙත එවමින් රිය කවුළුව වසා දැමීය. පියසේන මාමා වහා රථය ඉදිරියට ධාවනය කළේ පමා නොවීමය. එය මාවතේ නොපෙනී යන තුරු හිඳ මම යළි ගමන් ඇරඹීමි. එසේනම් කේෂව පැමිණ ඇත. පාලිත මාමාද එය දැනගනු ඇත. මා සිතේ බියක් ඇති වූයේ පාලිත මාමා කේෂව මරා දමන තරමට වෛරයකින් පසුවන නිසාය. ඔහුගේ දෑත් වල ලේ තවරා ගත යුතු නැත. සුසුමක් මා මුවින් ගිළිහී ගියේ ඉබේමය. අම්මාත් තාත්තාත් මා එනතුරුදෝ නංගීත් මල්ලීත් සමඟ පෙරමඟ බලාසිටිනු මම දුරතියා දුටිමි.

“තෙමුණා නේද හොඳටම…? ඇඟපත සෝදන්ම ගෙට එන්න…”

අම්මා එසේ කීවේ නොමනාපය මුසුව මෙනි. මා තෙමී ලෙඩ වේයැයි කියා ඈ සිතන්නට ඇත. සවස කියා නොබලා මා නා ගත්තේ හොඳටම තෙත බරියම්ව සිටි නිසාය. නංගී තුවායත් හැඳගැනීමට ගවුමකුත් ඇතිව කුස්සියේ දොරකඩට වී බලා සිටියේ මා නා අවසන්ව පැමිණෙන තුරුය. වැස්සේ සීතල නිසාදෝ මම තරමක් වෙව්ළමින් සිටියෙමි.

“හවස නාලා අම්මාගෙන් බැනුම් අහගන්නකෝ… දැනුත් හොඳටම කේන්තියෙන්… බැන බැන හිටියේ මෙච්චර වෙලා…”

නංගී රහසින් මෙන් කීවේ අම්මා එනු ඇතැයි සිතා පිටුපසත් හැරී බලමිනි.

“ආහ්…ඒ මොකෝ…?”

“වැස්සේ තෙමුණු නිසා වෙන්නැති…”

“හරි වැඩේ… වුවමනාවෙන් තෙමුණැයි…”

“හරි… හරි… ඔය ඔළුව පිහදාගන්න…”

ඈ එසේ කියා ගවුම මගේ කරේ දමා මුළුතන්ගෙයට වැදුණාය. ඈ කේතලයට වතුර පුරවා තේ සෑදීමට සූදානම් වන බව මම දැල් කවුළුවෙන් දුටිමි. ගවුම හැඳගෙන මම දිය රෙද්ද වැලට දමා ගෙතුළට ආමි. තෙත කොණ්ඩයෙන් තවමත් දිය බිඳු වැගිරෙයි. තව සුළු මොහොතක් පමා වී මම ඉස්තෝප්පුවට එන විට කෝපි සුවඳක් හමා ආයේය. නංගී කෝපී සාදනවා ඇත.

“හරි ෂෝක්… මෙයා මේ වැස්සේ නෑවද…? හැන්දෑවේ හයත් පහුවෙලා…”

අම්මා මා දිටු සැණින් කෑ ගැසුවාය.

“මාව හොඳටම තෙමිලානේ… ඉතින් නාගත්තා…”

“හදාගනිකෝ ලෙඩක්… හැන්දෑවේ හයට නාලා…”

ඇගේ දෝෂාරෝපණයේ වූයේ මව් සෙනෙහස බව මම දනිමි.

“මං වෙලාව බැලුවේ නැහැ…”

මම කියන විට මල්ලී උස් හඬින් සිනහසුණේය. අම්මා මේ හේතු දෙක නිසාම තවත් පරළ වූවාය.

“උඹ මොකද හිනාවෙන්නේ…? අක්කාට උල් පන්දම් දෙන්න වෙන්නැති…”

ඈ මල්ලීට පහරක් ගසමින් කීවාය.

“ඌයි…අප්පා…”

ඔහු කෑ ගැසුවේ එය රිදුණු නිසා නොවේ. නංගී කෝපි සාදාගෙන අප වෙත පැමිණියෙන් එය මඟ හැරී ගියේය.

“අර ළමයාට කෝල් කළාද ලොකු දුව…?”

තාත්තා විමසන විට අම්මාද වුවමනාවෙන් මා දෙස බැලුවාය. ඈත අහසේ සිහින් විදුලි රේඛාවක් ඇදී ගියේය. වැස්ස නම් හොඳටම නැවතී ඇති මුත් පරිසරය මුළුමනින්ම අඳුරේ ගිලී ඇත.

“නිරූගේ ෆෝන් එක ඕෆ් තාත්තේ… එයා වැඩ ඇති…”

කෙටි සුසුමක් හෙළමින් මම කීවෙමි.

“අනේ මන්දා… ඔන්න ඔහේ හිටියා වගේ… තව ටිකක් බැලුවා නම් තමා හොඳ… ළඟ පාතින් මොකක් හරි හොයාගන්න පුළුවන් වෙයි…”

අම්මා පළ කළේම සිය නොසතුටමය.

“මෙච්චරකල් බලන් හිටියානේ… කෝ මොකුත් හම්බුණාද… නැහැනේ… කී දෙනෙකුට කිව්වද… තවත් බලන් ඉන්න මට බැහැ… මේ ගෙවිල යන කාලෙ අපරාදෙ…”

අම්මා නිසා තාත්තාගේද සිත වෙනස් වනු ඇතැයි බියෙන් මම වහා කීවෙමි.

“අනේ මන්දා…”

අම්මා යළිත් කීවාය.

“හෙට ටිකක් රෑ වෙලා ගිහින් කෝල් එකක් දීලා බලනවා…”

මම යළිත් කියන විට අම්මා කළේ හූ මිටි තැබීමය. නංගී නැඟිට ගත්තේ ගෙතුළට යෑමටය.

“පුතා ගිහින් අක්කා එක්ක ඉස්කෝලේ වැඩ කරන්න…”

තාත්තා කියන විට මල්ලීද ගෙතුළට ගියේ අදි මදි කරමිනි.

“කේෂව ඇවිත්… මං එනකොට කාර් එක නැවැත්තුවා… මං හිතුවේ පියසේන මාමා ඉන්නේ තනියම කියලා… කේෂව එක්ක එන ගමන්…”

“මිනිහා ඇවිත්ද…?”

තාත්තා ඇසුවේ අම්මා දෙසත් බලමින් ඈ ඒ බව නොදන්නවාදැයි අසන බැල්මකිනි.

“ආහ්… ඒක තමා එහෙනම් මහ ගෑණි කිව්වේ අද හවස එන්න එපා කියලා… නිකමටවත් කිව්වේ නැහැ පුතණ්ඩියා එනවා කියලා…”

“කියාවියැ… උන් මර බයේ ඇත්තේ…”

“කේෂව කතා කළාද…?”

“මාව ගෙනත් ඇරළවන්න හැදුවේ… මං සංගීතලා දිහා යන්න ඕන කියලා මඟෑරියා…”

“ඕකව නම් පුළුවන් තරම් මඟෑරලා හිටපන් ලොකු දුවේ… නොසණ්ඩාල පාහරයා…”

තාත්තා කතා කළේ කෝපයෙනි.

“තනියම මීටපස්සේ ගමන් යන්න එපා… යනවා නම් මල්ලී හරි නංගී හරි එක්ක යන්න…”

අම්මාද කීවේ අවවාදයක ස්වරයෙනි. ඒ ගැන මමද සිතුවෙමි. මම කේෂව කෙසේවත් ප්‍රිය නොකරමි. ඔහු දකින විටත් මා සිතේ ඇත්වන්නේ අපුළකි.

-හෙටත් හමුවෙමු-

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ - Ananya Panday අනන්‍යා පාණ්ඩේ යනු සමකාලීන බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය නිළියන්ගෙන් කෙනෙකි. ඉන්දීය...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you