NovelsTharu Mal ViyanTharu Mal Viyan තරු මල් වියන් - 30

Tharu Mal Viyan තරු මල් වියන් – 30

-

spot_img

Tharu Mal Viyan තරු මල් වියන්

ශාමින්ද ඇමතුමක් ගන්නා විට අංජලීගේ සිත අලුතින් ගැහෙන්නට විය. පසුගිය දිනවල ඈ ඔහුගේ ඇමතුම් සිතා මතා මඟ හැරියේ ඔහු තමන් ගැන බලාපොරොත්තු තබා ගනීවි යැයි සිතාය. මිරිඟුවක් පසුපස හඹා ගොස් තමාට යළිත් දිනයක වේදනාත්මක අත්දැකීමකට මුහුණ පෑමට සිදු වේයැයි ඈ බිය වූවාය. ඇරත් ඔහුගේ නිවැසියන් තමාට තිබෙන ලෙංගතු බව බිඳී යාමටද ඉඩ ඇතැයි සිතා ඈ වඩාත් බිය වූවාය. හඬ නඟන ජංගම දුරකථනයට ඈ පිළිතුරු දුන්නේ මිදුලේ රෙදි වනමින් සිටින ගයානිත් රංගිකාත් දෙස බලමිනි.

“අංජලී…”

ඒ හඬේ වූ ලෙංගතු බව සිතට දැනෙන විට ඇගේ සිත හිරිවැටී ගියේය. තමාට අහිමි දෙයක් පිළිබඳව මේ තරම් සිත ලොල් වන්නේ මන්ද කියා ඇයට සිතා ගැනීමට අපහසුය.

“ශාමින්ද…”

ඈ පහත් හඬින් මිමුණුවාය.

“මං හිතුවා මගේ නමත් දැන් ඔයාට අමතක වෙලා ඇති කියලා…”

ඔහු එල්ල කළේ සොඳුරු නෝක්කාඩුවකි.

“අනේ…එහෙම අමතක වෙන්නේ ඇයි…?”

“කෝල් එකක් වත් නොදුන්නේ ඇයි…මං කතා කරන එක ඔයාට කරදරයක්ද…?”

“එහෙම දෙයක් නෙවේ…පහුගිය ටිකේ ටිකක් වැඩ…දන්නවානේ…මාලකගේ වෙඩින් එක තිබුණා…ඒ නිසා වැඩ ගොඩයි…”

ඈ කීවේ බොරුවක්ද නොවේ. සිතා මතා ඔහුගේ ඇමතුම් මඟ හැරියා යැයි ඔහුට කියන්නේ කෙසේද.? ඇරත් ඔහු අද හෙටම යළි විදෙස් ගත වන්නට සිටින විට ඔහුගේ සිත වේදනාවට පත් නොකළ යුතුය.

“මං ඔයාට ළං වෙන්න අඩියක් ඉස්සරහට තියන කොට ඔයා මගෙන් අඩි දහයක් ඈත් වෙන්න හදනවා අංජලී…”

ඇගේ දෑසට කඳුළු පිරිණි. ඇගේ සිත මත බැරැති යමක් තැබුවාක් මෙන් වේදනාවක් සිතට දැනිණි.

“මං යන්න කළින් ඔයාව මීට් වෙන්න එනවා…ඒ එන්නේ ඔයා එක්ක හුඟාක් දේවල් කතා කරන්න හිතාගෙන…වගේම හුඟාක් බලාපොරොත්තු තියන් අංජලී…”

“ම්ම්…ම…”

“මේ වෙලේ ඔයා මොකුත් කියන්න එපා…අපි ළඟින් ඉඳන් කතා කරමු…”

ඈ කීමට ගිය දෙයට බාධා කරමින් ඔහු කීය. ඔහු තමා පිළිබඳව බලාපොරොත්තු තබාගෙන සිටින බවත් තමාට බෙහෙවින් ආදරය කරන් බවත් ඇයට නොරහසක් නොවූ මුත් ඔහුට ළං නොවන්නට බැරි තරමට දුර බවක් දැනෙන්නේ මන්ද කියා ඇයට සිතා ගන්නට අපහසුය. ඈ කල්පනා කරමින් යහන මතම වැතිර සිටියාය. ගයානිත් රංගිකාත් එක්වරම කාමරයට කඩා වදින විට ඇගේ සිතුවිලි සියල්ල සී සී කඩව විසිර ගියේය.

“ආහ්…බය වුණාද…?”

රංගිකා ඇසුවේ ඈ තිගැස්සුණු බව දැකය.

“ළඟකදි ඉඳන් මෙයා මනෝ පාරෙමයි..මට නම් ඇල්ලුවේ නැහැ…”

ඔවුන් දෙදෙන එසේ පවසමින් ඈ පසෙක හිඳ ගත්හ.

“වැඩේමයි…”

මවා ගත් නොමනාපයක් පළ කරමින් අංජලී කීවාය.

“වැඩේම තමා අපිත් කිව්වේ…කොයි වෙලේත් කල්පනා කරන එකමයි වැඩේ…”

අංජලී කිසිත් නොකියා නිහඬව සිටියාය. සිතන්නට ඕනෑ තරම් දේවල් ඇත. ඈ ඒ බවක් ඔවුන් හා කීමට නොසිතුවාය.

“මේ ඒක නෙවේ…අපි මේ වීකෙන්ඩ් එකේ පොඩ්ඩක් ඇවිදින්න යනවා…”

ගයානි කීවේ අලුතින් මතක් වූවාක් මෙනි.

“අපි කිව්වේ…ඔයායි මියුරයිද…?”

අංජලී ඒ අදහස් කළේ කවුද කියා දැන දැනත් ඇසුවේ ගයානි අවුස්සන්නට සිතාය.

“අපි කිව්වේ මායි මියුරයි ආදි අයියායි රංගියි…”

“හ්ම්ම්…ගිහින් එන්න ඉතින්…දැන් මාව හළලානේ යන්නේ…”

ඈ එසේ කීවේ මවාගත් නොමනාපයකිනි.

“මෝඩයා…ඔයාත් එනවා…හිතුවද දාලා යනවා කියලා…?”

“මං එන්නේ නැහැ…ඔයාලා යන්න…ඔයාලාට ඩිස්ටර්බ් කරන්න මං එන්න ඕනද…?”

ගයානිත් රංගිකාත් මුහුණින් මුහුණ බලා ගත්තේ ඈ එසේ කීවේ සැබෑවටම කියා සිතමිනි.

“මොනවද මේ කියන්නේ…මොකක්ද ඩිස්ටර්බ් කතාව…?”

“මොකුත් නැහැ…ඔයාලා ගිහින් එන්න…”

“ඔයා තනියමනේ…”

“අමුතු තනිකමක් නැහැ…මට පුරුදුයි…”

දෙදෙනාම රිදුණු සිතින් ඈ දෙස බැලූහ.

“ඇයි අනේ ඔයා ඔහොම අපේ හිත් රිද්දන්නේ…අපි ඔයාව දාලා කොහෙවත් යනවද…එහෙම ගිහින් තියනවද…?”

රංගිකා ඇසුවේ ශෝකී හඬකිනි.

“මං එහෙම හිතලා නෙවේ කිව්වේ…දැන් ඉස්සර වගේ නෙවේනේ…ඉරේෂ් එක්ක යාලු වෙලා ඉන්න දවස් වල එයාව මීට් වෙන්න යනකොටත් අපි ආවද… නැහැනේ…ආදි අයියාව මීට් වෙනකොටත් මං ආවේ නැහැනේ…ඉතින් ඇයි දැන් මං එන්නේ…මං ආසා නැහැ එහෙම එක එක්කෙනාගේ ලව් ස්ටෝරි අහන් ඉන්න…ඊට වඩා හොඳයි කාමරේට වෙලා නිදා ගන්න එක…”

අංජලී කීවේ සිනහසෙමිනි.

“උඹ නම් ඊරියක්…”

ගයානි කෑ ගැසුවේ කොට්ටයක් ගෙන ඇයට දමා ගසමිනි. අංජලී උස් හඬින් සිනහසුණාය.
——————————————————————————————————
නවාතැනේ වූයේ පාළුවකි. රංගිකාත් ගයානිත් පිටව ගොස් දැන් පැයකට අධිකය. අංජලී සිටියේ තනිවමය. රේණුකාද හිතවතියකගේ නිවසට ගොසිනි. ඇගේ සිතට දැනුණේ හුදකලා බවකි. ගයානිත් රංගිකාත් මඟින් මඟට ඇයවද කැඳවාගෙන යෑමට උත්සාහ කළද අංජලී එය ප්‍රතික්ෂේප කළාය.

“එහෙනම් ඉතින් තනියම ඉන්න එකයි…”

ගයානි පිටව යෑමට සූදානම්ව කීවාය.

“තනිකම හොඳයි…”

අංජලී ඇයව අවුස්සන්නට කීවාය.

“ආවාම බලාගන්නම්…”

ඈ පිටව ගියේ එසේ කියමිනි. උදෑසන ආහාර ගෙන ඈ සුව නින්දක් ලබා යළි අවදි වූයේ එකොළහට පමණය. කරන්නට කියා කිසිවකුත් නැති තැන ඈ දිය නා මිදුලට බැස්සාය. කාමරය අසලම වූ සේපාලිකා ගසේ මල් මිදුල පුරා ඉහිර ගොසිණි. තවමත් ඉතිරි වූ මල් වල සුවඳ යාන්තමට දැනේ. ඇයට නැන්දාත් මාමාත් සිහි විය. මාලකගේ විවාහයෙන් පසුව ඈ තවමත් ඔවුන්ගේ නිවසට ගියේ නැත. දැන් මසකටද ආසන්නය. ගිමිහානි මවක වීමට යන පුවත පවසා සතියකුත් ගත වී ඇත. ඇයව බලන්නට යෑමට උපන් ආශාව ඈ සිත තුළ මිහිදන් කර දැමුදේ සංචලා නිවසේ සිටි නිසාය. ඇයට මුහුණ දීමට තබා ඇයව දැකීමටවත් ඈ සතුටු නොවූවාය. ඇගේ ඇනුම්පද වලට සිත් රිදවාගෙන ප්‍රශ්නයක් ඇති කරගන්නට වුවමනාවක් ඇයට නොවීය. අද හෙට දිනක ගිම්හානි බලන්නට යා යුතුය. නොඑසේ නම් එය හොඳැ නැත. නැන්දාත් මාමාත් අහිතක් හිතන්නට පුළුවන. තමා නොපැමිණෙන කාරණය දන්නේ මේනක සහ ගිම්හානි පමණි.
නිවස ඉදිරිපස නවතන ලද මෝටර් රථයක හඬින් ඇගේ සිතුවිලි බිඳී ගියේය. පැමිණියේ තුෂර වන්නට ඇතැයි ඈ අනුමාන කළද ගේට්ටුව විවර කරගෙන ඇතුළට පැමිණි රුව දැක ඈ සිතේ තිගැස්මක් ඇති විය. ශාමින්ද ගේට්ටුව අසල රථය නවතා මිදුල දිගේ අංජලී දෙසට ඇවිද ආවේය. ඇගේ සිත නතර වූ සෙයකි. සිරුර සළිත කරමින් විදුලි රේඛාවක් ඇදී යන්නාක් මෙන් ඇයට දැනිණි. හිඳ සිටි අසුනින් ඇයට නැඟිටුණේ ඉබේමය.

“අංජලී…ඇයි මේ මාව දැකලා බය වෙලා…?”

ඔහු සැහැල්ලු හඬකින් අසන විට ඈ අසීරුවෙන් මුවට සිනහවක් නංවා ගත්තාය.

“නැහැ…එකපාරම නොකියාම ආව නිසා පුදුම වුණා…”

ඔහු එයට සිනහසුණේය.

“වාඩි වෙන්න…මාව දැක්ක ගමන් නැඟිට්ටේ මං ඔයාගේ ප්‍රින්සිපල් වගේද…?”

ඔහු යළිත් අසන විට ඇගේ මුවේ ඇඳී ගියේ ලැජ්ජා මුසු සිනහවකි.

“අද ගයා නැහැ…”

ඈ කීවාය.

“ඇයි…ඔයා හිතුවද මං මේ තකහනියේ ආවේ එයාව බලන්න කියලා…?”

ඈ තිගැස්මෙන් ඔහු දෙස බැලුවාය. එසේනම් ඔහු පැමිණියේ තමා මුණ ගැසෙන්නටමද..?

“නංගි මට කෝල් කළා…ඔයා තනියම ඉන්නේ කියලා…ඇවිත් පොඩ්ඩක් බලන්න කිව්වා…”

ඒ නම් බොරුවකි. ගයානි එසේ කියන්නට නොයන බව නම් සහතිකය.

“බො…රු…”

“බොරු නෙවේ…ඇත්ත…ඒ හතරදෙනාම ඔන්න ඇවිදින්න ගිහින්…අපිත් යමු ලැහැස්ති වෙලා එන්න…”

ඔහු කියන විට ඈ පුදුමයෙන් ඔහු දෙස බැලුවාය. එය විහිළුවට වගේ කියන්නක් සේ ඈ සිතුවාය.

“යන්නකෝ ඉතින්…ගිහින් ලැහැස්ති වෙලා එන්න…අපි අද එළියෙන් ලන්ච් ගමු…”

ඔහුත් සමඟ යන්නට ආසාවක් සිතේ ඇති වූ මුත් පුංචි පසුබෑමකුත් විය. අදි මදි කර ඔහුව හෑල්ලුවට ලක් කරන්නට නොහැකිය. ඈ වහා ගෙතුළට ගියේ සූදානම් වීමටය. සිත තුළ අමුතු හැඟීමක් ඇති වි ඇත. ඔහු ළඟින් ඉන්නට මෙන්ම ඔහුගෙන් පැන දුවන්නටද එකසේම සිත උත්සාහ දරන්නාක් මෙනි. සිතුවිලි එහේ මෙහේ විසිර යන විට ඈ සැහැල්ලු ගවුමකින් සැරසුණාය. කොණ්ඩය නම් තවම තෙතය. එය ගොතන්නට නොහැකි නිසා ඈ එය පීරා එසේම තිබෙන්නට ඉඩ හැරියාය. ශාමින්ද ඈ එන තුරු බංකුව මත හිඳ බලා සිටියේය. ඇයත් සමඟ බොහෝ දේවල් කතා බහ කරන්නට තිබේ. ඒ සියල්ල පැවසිය යුතුය. දොර වසා දමා අංජලී ඔහු වෙත පැමිණෙන විට ඔහු ආසා දෑසින් ඈ දෙස බලා සිටියේය.

-අගෝස්තු 4 වෙනි සඳුදා නැවත මුණගැසෙමු-

Latest news

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...
- Advertisement -spot_img

රූකඩ සෙවනැලි

රූකඩ සෙවනැලි - Shadow Puppets මගේ කුඩා දියණිය අසනීපෙනි. එය වෛද්‍ය විද්‍යාවට සුව කළ නොහැකි ආකාරයේ රෝගයකි. ඇයට සිය මව...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you