NovelsTharu Mal ViyanTharu Mal Viyan තරු මල් වියන් - 18

Tharu Mal Viyan තරු මල් වියන් – 18

-

spot_img

Tharu Mal Viyan තරු මල් වියන්

ශාමින්ද රිය පැදවූයේ මුව මත ඇඳුණු සිනහවකින්ද යුතුවය. වැදුණු කම්මුල් පහර නම් සැර වැඩි යැයි කියා ඔහුට ඒ අතරේත් සිතිණි. අංජලී මේ තරමට නපුරු වුණේ කොහොමද කියා ඔහු සිතුවේ මවිතයෙනි. එකත් එකටම ඒ නැඟණිය පසුපසින් එන තරුණයා කෙරෙහි ඇති වූ කෝපය නිසාය. එය වරදවා වටහා ගැනීමකි. කෙසේ වුවත් සිදුවූයේ නරකක් නොවේ. සුළු මොහොතකට හෝ ඈ ළඟින් ඉන්නට අවස්ථාවක් ඔහුට උදා විය. ඇයව මුල් වරට දුටුවේ බොහෝ කලකට පෙරය. එකල සිතේ කිසිදු හැඟීමක් සිතේ නොවුවද නැඟණිය මිතුරියන් සමඟ හිඳ එවන ඡායාරූප වලින් ඇගේ රුව දැක තිබූ නිසා ඔහු සිතේ ඈ කෙරෙහි යම් හැඟීමක් ඇතිව තිබුණේ විදෙස් ගතව සිටින කාලයේදීමය. නැඟණිය සමඟ වුවද නිතර කතා බහ කරන්නට අවස්ථාවක් උදා නොවුවද ඔහු කතා බහ කළ විටක මිතුරියන් පිළිබඳවද තොරතුරු විමසීමට අමතක කළේ නැත. ඈ පැවසූ පරිදි නම් එකළ අංජලීට පෙම්වතෙකු නොසිටියේය. දැන් සිටිනවාද…? එම සිතුවිල්ල ඔහු සිතේ ඇති කළේ සියුම් ශෝකී හැඟීමකි.එසේ වූවා නම් තමා ප්‍රමාදය. ඒ පිළිබඳව නැඟණියගෙන් විමසිය යුත්තේ ප්‍රවේශමටය. ඔහු සිත හදා ගත්තේ එසේ සිතාය.

යහන මත හිඳගෙන අංජලී සිතමින් සිටියේ දහවල සිදුවීම ගැනය. ඒ සිහිවන මොහොතක් මොහොතක් පාසාම ඈ සිතේ ඇති වන්නේ ලැජ්ජා මුසු හැඟීමකි. ඔහු ළඟින් සිටින විට දැනුණ හැඟීම් පුදුමාකාරය. මාලක ඉදිරියේ නොමැති මහත් සෙනෙහසක් ඇයට ඔහු අසලදී දැනීම නම් අරුමයකි. මාලකට පෙර ශාමින්ද මුණ ගැසුණා නම් කියා ඇයට යළි යළිත් සිතිණි.

“නොවෙන දෙයක් කියලා දැන දැනත් මං එයාට හිතින් වුණත් ළං වෙන එක නම් වැරදියි…”

ඈ මුවින් පිට වූයේ ඇයත් නොදැනුවත්වමය. ගයානි මිතුරිය දෙස බැලුවේ තිගැස්මට පත්වය.

“මොකක්ද කිව්වේ…?”

ගයානි අසන විට අංජලී තැතිගත් සිතින් මිතුරිය දෙස බැලුවාය.

“ආහ්…මොකුත් නැහැ…”

කළබලයෙන් ඈ කීවාය. මාලකගෙන් ඇමතුමක් ලැබුණු නිසා අංජලී එයට ඇමතුවේ එතරම් කැමැත්තකින් නොවේ.

“ඇයි…?”

ඈ ඇසුවේ නොසතුටෙනි. මෙතෙක් දිනක් ඔහුට ඇයව අමතන්නට අවස්ථාවක් නොතිබුණේද…?

“කෝල් එක ගත්තා විතරයි ඇයි අහන්නේ…?”

ඔහු සැරෙන් ඇසීය.

“නැතුව වෙන කොහොමද අහන්නේ…? මෙච්චර දවස් ගියා කෝල් එකක් දෙන්න…”

“ඉතින් තමුන්ටත් ෆෝන් එකක් තියෙන්නේ…කෝ ගත්තද කෝල්…?”

ඇගේ සිතේ ඇති වූයේ කෝපයකි. ඔහු කරන්නේ බොරු චෝදනාවකි. ඔහුට ඇමතුම් ගත්තද පිළිතුරු නොදුන්නේ ඔහුමය. දැන් එය තමා පිට පටවන්නට හදයි.කෙටි පණිවුඩ වලට පවා පිළිතුරු නොඑවූයේ ඔහුය. හැමදාම ඔහු කළේ තමාට චෝදනා කිරීමය.

“කෝල් ගත්තද නැත්ද කියලා ඔයා දන්නවා ඇතිනේ…බොරුවට චෝදනා කරන්න එපා…දැනුත් කෝල් කළේ මං එක්ක සංඩු කරන්නද මාලක…?”

එවර ඔහු නිහඬ විය.

“මං අවුල් වෙලා ඉන්නේ අංජු…”

ඇගේ සිතේ අනුකම්පාවක් ඇති කරමින් ඔහු කීය.

“අවුල් නොවී තියෙයිද…ඕවා ඔයා විහින් කරගන්න ඒවානේ…”

“මට ඔයා එක්ක කතා කරන්න ඕන අංජු…මං එන්නද…?”

හදිසියේ ඔහු කියන විට ඈ පුදුමයෙන් වේලාව බැලුවාය. සවස හයටද ආසන්නය.

“දැන්…?”

“ඔව්…එපාද…?”

“කමක් නැහැ එන්න…”

කිසිත් නොසිතා ඈ කීවාය. මාලක සමඟ කතා කිරීමට ඇයද බලා සිටියේ ටික දිනක පටන්මය. සංචලා එදා හදිසියේ නිවසට පැමිණියේ මන්ද කියා ඇයට තවමත් ගැටළුවකි. මාලක එන විට සවස හත පසු වී තිබිණි. අංජලී ඉස්තෝප්පුවේ අසුනක හිඳගෙන ඔහු හා කතා බහට සූදානම් වූවාය.

“ගෙදර සේරම මා එක්ක ඉන්නේ තරහින් වගේ…කවුරුත් කතා කරන්නේ නැහැ…”

කතා බහ කොතනින් ඇරඹිය යුතිදැයි අංජලී සිතමින් සිටින විට මාලකම එය ඇරඹුවේය.

“හරියට නිකන්…කෙල්ලකටයි කොල්ලෙකටයි යාළුවෝ වෙන්න බැහැ වගේනේ…”

එහි ඇත්තේ යාළුකමක් පමණක්ද කියා අසන්නට සිතුණද අංජලී නිහඬව සිටියාය.

“ඇත්තටම මොකටද සංචලා එදා ආවේ…?”

එවිට මාලක ඈ දෙස බැලුවේ නෙරවා ගත් දෑසිනි.

“මං කොහොමද දන්නේ…?”

කෝපයට පත් වූ හඬකින් ඔහු ඇසීය.

“ඔයාගේ තියෙන ප්‍රශ්නෙ තමා ඔයා එක්ක මොකුත් කතා කරන්න බැරි එක…කේන්ති යනවා…ඒක පාලනය කරගන්න…අනික ඔයා ඒකට හේතුව එයාගෙන් ඇහුවෙත් නැත්ද…? එදා ගෙදර හැමෝම සතුටින් හිටියේ…සංචලා ඇවිත් ඒ හැමදේම නැති කළා…සිරිවර්ධන අංකල්ලාත් ඉක්මනින් ගියේ ඒ නිසා…”

මෙතෙක් දවසක් කියා ගන්නට නොහැකි වූ දේ අංජලී ඔහු ඉදිරියේ කියා පෑවාය.

“අංකල්ලා ගිය එක ගැන මටත් දුකයි…සංචලා ඇඳන් ආව ඇඳුම ගැන නම් මගෙත් පැහැදීමක් නැහැ…ෂිට්…! මට මාරම ලැජ්ජාවක් වුණේ…”

“දැන් ඒ ගැන හිතලා වැඩක් නැහැ…වෙච්ච දේ වුණා…හැබැයි නැන්දා නම් ඉන්නේ තාම තරහින්…”

මාලක දුක්මුසු බැල්මක් අංජලී වෙත හෙළුවාය.

“මං දන්නවා…”

“මේ හැමදේම ඔයාගේ වැරදි…”

ඇයට එසේ කීමට සිත් නොවිණි. ඔහු පැමිණියේ සහනයක් පතාගෙනය.

“මීට පස්සෙවත් ඔයවගේ දේවල් නොවෙන්න වග බලාගන්න…”

ඔහු එවිට ඈ දෙස බැලුවේ කල්පනාකාරී බවක් පෙන්වමිනි.

“අපි මැරි කරමු…එතකොට මේ හැමදේම විසඳෙයි…”

තිගැස්මට පත් අංජලී මාලක දෙස බැලුවේ මවිතයෙන් විසල් කොට ගත් දෑසිනි. දෙසවන් අසළ අකුණක් පුපුරා ගිය බවක් ඇයට දැනිණි.

“මොකක්…?”

ඇයට ඇසුණේ වැරදියටද…? ඔහු සැබෑවටම එවැන්නක් අදහස් කළාද…?

“ඇයි…මං ඇත්තටම කිව්වේ…?”

“න්…නැහැ…ඒක වෙන්න බැහැ…නැන්දා කවදාවත් කැමති වෙන්නේ නැහැ…”

බියපත් හඬකින් ඈ කීවාය.

“අම්මා පස්සේ කැමති වෙයි අංජලී…”

“නැහැ…ඔයා ඒ ගැන ආයේ කතා කරන්න එපා…නැන්දලා කැමැත්ත දුන්නොත් මං ඔයා කියන දෙයක් කරනවා…”

මාලක නැඟී සිටියේ කෝපයෙනි.

“ඔයා මං ගැන හිතන්නේ නැහැ…ආදරේ කරනවා කියලත් කරන්නේ බොරුව…”

චෝදනාත්මක හඬකින් පැවසූ මාලක රථයට නැඟී පිටව ගියේ කෝපයෙනි. ඈ හුන් තැනම හිඳගෙන බලා සිටියේ කිසිත් සිතා ගත නොහැකිවය. නැන්දාටත් මාමාටත් ද්‍රෝහී වී මාලක කියන්නකට කෙසේ එකඟ වන්නද..? ඇරත් බොරුවක් කරන්නේ තමාද නැතිනම් ඔහුද…? ඔහු පිටව ගොස් මොහොතක් ගත වන තුරු අංජලී නිහඬවම අඳුරට යොමා ගත් දෑසින් බලා සිටියාය. රේණුකා පිටතට පැමිණියේ මාලකටත් රාත්‍රී ආහාරයට ආරාධනා කරන්නට සිතාගෙනය. රේණුකා පසුපස ගයානිද ඉස්තෝප්පුවට පැමිණ ඈ පසුපස සිට ගත්තාය.

“කෝ දුව…අයියා ගියාද…?”

අංජලී හැරී බැලුවේ තිගැස්මෙනි.

“අහ්හ්…ඔ…ව්…ආන්ටි…ගියානේ…”

ඈ ගොත ගසන විට කුමක් හෝ වරදක් සිදුව ඇතැයි කියා ගයානිට නිකමට සිතිණි.

“අනේ…මං මේ කෑම කන්න එන්න කියන්න ආවේ…”

රේණුකා කීවේ මාලකට සංග්‍රහයක් කරගැනීමට නොහැකි වීම ගැන කණගාටුවෙනි.

“අපි කමු ආන්ටි…එයා ආය දවසක එන්නේ නැතෑ…දැනුත් මේ ළඟකට ආව ගමන් ඇවිත් තියෙන්නේ…”

මුවට ආවට අංජලී මුසාවක් කීවේ කැමැත්තකින් නොවේ.

“ඔව් ආන්ටි…අපි යමු…මටත් බඩගිනියි දැන්…”

තවත් කතාව දිගු වනවා දැකීමට ඇති අකමැත්තෙන් මිස ගයානිද කීවේ කුසගින්නක් දැනුණ නිසා නොවේ. අංජලීද ගෙතුළට පැමිණි පසු රේණුකා ඉදිරිපස දොර වසා දමා අඟුළු දැමුවාය.

රාත්‍රියේ නිහඬ බව අතරින් අඹ ගසේ සිට නද කරන බකමූණෙකුගේ රාවයක් ඉඳ හිට ඇසේ. ගයානිට අංජලී සමඟ කතා බහකට අවස්ථාවක් උදා වූයේ නිදාගන්නට යහනට වැටුණු මොහොතේය. ඈ කී කතාව ගයානි අසා සිටියේ මවිතයෙනි. සිතට දැනුණු හැඟීම් අංජලී සමඟ කියන්නට ගයානිට නොසිතුණේ ඉන් ඈ තුළ තිගැස්මක් කළබලයක් ඇතිවනු ඇතැයි සිතාය. මාලක මේ සැරසෙන්නේ කුමකටද කියා ඇයට සිතා ගන්නට නොහැකි වුවද එය හොඳ දෙයක් නම් නොවන බව ස්ථිරය.

“අපි මේක සුදු අයියා එක්ක කතා කරන්න ඕන…ඔයා මාලක කියන කිසිම දේකට කැමති වෙන්න නම් එපා…”

ඇයට මිතුරිය ගැන ඇති වූයේ බියකි. මාලක අංජලී කැඳවාගෙන ගොස් බලෙන් විවාහ කරගන්නට උත්සාහ කළහොත්.!

“අනේ…”

අංජලීට කියවිණි.

“අනේ…පණේ නෙවේ…මට නම් මාලකව එදා ඉඳන් ෂුවර් නැහැ…මොකාටද දන්නැහැ මේ එන්න හදන්නේ…අංජලී මේ.. එක දෙයක් හොඳට මතක තියා ගන්න…ඔයා හොරෙන්වත් මාලක එක්ක ගිහින් මැරි කළොත්…ඔයාට නැති වෙන්නේ නැන්දා මාමා විතරක් නෙවේ…අපිවත් කියලා දැනගන්න…”

එය තර්ජනයකි. අංජලීගේ මුවට නැගුණේ සිනහවකි.

“මං එච්චර මෝඩයි වගේද ඔයාට පේන්නේ…?”

“ඔයා මෝඩ නැති වුණාට මාලක කියන්නේ කපටි නරියෙක්…මේ අෆෙයාර් එක වුණත් දුරගියා වැඩියි…දැන්වත් ඕක නවත්තන්න…මාලක සංචලා එක්ක තාම යාළුයි…ඒක නම් ෂුවර්…”

අංජලී තිගැස්මෙන් මිතුරිය දෙස බැලුවාය.

“ඉරේෂ් කිව්වද ඒක…?”

“ඉරේෂ්…! මතක් කරන්න එපා…ඒ අනික් කපටියා…එයා කවද්ද මාලකගේ වරදක් කිව්වේ…දෙන්නම එක ජාතියෙනේ…”

අංජලී නිහඬ වූවාය.

“අයියා ඉරේෂ්ට කැමති නැහැ…ඒක නිසා ඒක වෙන්නේ නැහැ…මං ඒක එයාට කිව්වා…”

“තාම නැවැත්තුවේ නැහැනේ…?”

“නැවතිලා වගේ තමා…මං දැන් එයාට කතා කරන්නේ නැහැ…”

අංජලී කෙටි සුසුමක් හෙළුවාය. මිතුරියට තිබෙන දිරිය තමාට නැත්තේ මන්ද….? තමා මඩේ සිටවූ ඉන්නක් මෙනි.කෙළින් තීරණයක් ගත නොහැකිව ළතැවෙන්නීය.

-හෙටත් හමුවෙමු-

Latest news

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක්

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් විද්‍යාත්මක ප්‍රවේශයක් තුළින් මානසික සෞඛ්‍යය...

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...
- Advertisement -spot_img

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

රූකඩ සෙවනැලි

රූකඩ සෙවනැලි - Shadow Puppets මගේ කුඩා දියණිය අසනීපෙනි. එය වෛද්‍ය විද්‍යාවට සුව කළ නොහැකි ආකාරයේ රෝගයකි. ඇයට සිය මව...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you