More
    NovelsTharu Mal ViyanTharu Mal Viyan තරු මල් වියන් - 12

    Tharu Mal Viyan තරු මල් වියන් – 12

    -

    spot_img

    Tharu Mal Viyan තරු මල් වියන්

    ගිම්හානි පවසන්නට යන්නේ නම් සුබ ආරංචියක් නම් නොවන බව අංජලීට වැටහිණි. ඈ සිත සන්සුන් කරගැනීමට අසීරු උත්සාහයක යෙදුණාය. අංජලීගේ මුහුණ අඳුරුව ගිය සැටි දුටු ගයානිත් රංගිකාත් ඈ දෙස බලා සිටියේ කුහුල් සිත් වලිනි.

    “මොකක්ද වෙලා තියෙන්නේ අක්කේ… හැමෝම හොඳින් නේද…?”

    ගොත ගසමින් ඈ ඇසුවාය.

    “හැමෝම හොඳින් නම් තමා…ඒත්…නංගී…මං ඔයාට මේ මොකුත් නොකියා ඉන්න හිතුවත්…ඔයා මගේම නංගී වගේ නිසයි මං මේ කියන්නේ…ඔයයි මල්ලියි අතරේ අෆෙයාර් එක තාම තියනවා නේද…?”

    අංජලීට පිළිතුරක් දීමට නොහැකි විය. ඈ යමක් කීමට තැත් කළද එය කෙඳිරිල්ලක් පමණක් විය.

    “අම්මා සැකෙන් ඉඳලා තියෙන්නේ…එයා මල්ලිගෙන් ඇහුවා ඔයාලා ගියාට පස්සේ…”

    “අනේ…අක්…කේ…”

    ඇයට කෙඳිරි ගෑවිණි.

    “ඕකනේ ඉතින්…ඔයා කළබල වෙනවනේ…අම්මා ඔයාට දොස් කිව්වේ නැහැ….එයා මල්ලිට තමා බනින්නේ…”

    අංජලීගේ කම්මුල් මතින් කඳුළු ගලා යන්නට විය. මිතුරියන් දෙදෙන බලා සිටියේ බියට පත්වය. අංජලී හඬන්නට වන විට රංගිකා ඇගේ අතින් ජංගම දුරකථනය රැගෙන එයට ඇමතුවාය. ගයානි ඒ අතර තුර අංජලී සනසන්නට උත්සහ කළාය. රංගිකා කතා බහ නිම කර ගයානි හා සිදුව ඇති දෙය පවසන විටත් ගයානි එය අනුමාන කර තිබුණාය. ඈ අනුකම්පා මුසුව අංජලීගේ හිස පිරිමැද්දේ කිසිත් නොකියාමය.

    “මං දැන් මොකද කරන්නේ ගයා…?”

    බොහෝ වෙලාවකට පසු හිස එස වූ අංජලී ඇසුවේ බිඳුණු හඬිනි.

    “හැමදේම වෙන්නේ හොඳටයි කියනවානේ අංජු…කවදා හරිම එයාලා මේ ගැන දැනගන්න එපැයි…”

    ගයානි පැවසුවාය.

    “මං එයාලට ද්‍රෝහි වුණා වගේ…”

    යළිත් හැඬුම් මුසුව අංජලී කීවාය.

    “ඒ ගැන දැන් හිතන්න එපා…ඉස්සරහට වෙන්නේ මොනවද කියලා බලමු…”

    “මට දුක මාමාලට වැරැද්දක් කළා කියලා හිතන කොටයි ගයා…”

    “ආදරේ කළා කියලා ඒක වැරැද්දක් වෙන්නේ නැහැනේ අංජු…එන විදියක් අපි බලමු…”

    ගයානි කියන විට අංජලී කළේ දිගු සුසුමක් හෙළීමය. සිතට දැනෙන වරදකාරී හැඟීමෙන් මිදෙන්නට ඇයට නොහැකි විය.

    නැන්දාගෙන් ඇමතුමක් ලැබෙන විටක පවා අංජලී ඇතුළාන්තයෙන් තිගැස්මට පත් වූ වාර බොහෝ මුත් ඉන්ද්‍රාණි ඇයත් සමඟ සුහදව කතා බහ කළා මිස මාලක පිළිබඳව හෝ එකදු වචනයක් වත් ඇයත් සමඟ කතා නොකළාය. එය අංජලීගේ සිතට සැනසුමක් වුවද සිතේ එක් කොණක ඇතිව තිබූ වරදකාරී හැඟීමෙන් මිදෙන්නට නම් ඇයට නොහැකි විය. මාලක නිතරම ඇයත් සමඟ කතා බහ කළද ඈ ඔහු සමඟ කතා බහ කළේ පවා සිතේ වූ වරදකාරී හැඟීමෙනි.

    “නැන්දා මොනවා හිතනවද කියලායි මට දුක මාලක…”

    ඈ වරෙක ඔහු සමඟ කීවාය.

    “අම්මා මොනවා හිතන්නද…ඒවා මං බලාගන්නම්…”

    එවර මාලක පැවසුවේ කෝපයට පත්ව තර්ජනාත්මක හඬකිනි. අංජලී තැති ගැන්මෙන් නිහඬ වූයේ ඔහුට යමක් තේරුම් කර දීම අසීරු බව අත්දැකීමෙන්ම දන්නා නිසාය. ඔහු සිහිවන විට මුවින් ගිළිහෙන සුසුම වළකා ගන්නට ඈ අපොහොසත් වූවාය. රංගිකා එවන් විටක අනුකම්පා මුසු වූ හදින් මිතුරිය දෙස බැලුවද තුෂර සිටින නිසා කිසිත් නොකියා නිහඬ වූවාය. කොයි යම් මොහොතක හෝ තුෂරද සිය සිතේ හැඟුමන් ඇයත් සමඟ පවසනු ඇත. එවිට කුමක් සිදුවෙනු ඇතිද..? රංගිකා සිතුවේ මිතුරිය කෙරෙහි උපන් අනුකම්පාවෙන්ද යුතුවය.

    “බලනවකෝ…මගේ පස්සෙන් කොල්ලෙක් එනවනේ…”

    දිනක් සවස පන්ති ඇරී ආ ගයානි කීවේ යහන මත හිඳ ගනිමිනි. අංජලීත් රංගිකාත් සිනහසෙමින් ඈ දෙස බැලූහ.

    “ලස්සන කොල්ලෙක්ද…?”

    අංජලී ඇසුවාය.

    “මඟුලක් කියනවා…පිස්සුද…මං බලන්න ගිය එකක් නැහැ…උසයි…එච්චරයි…”

    අංජලීට රවමින් ගයානි කීවේ නොමනාපයෙනි.

    “හරි ඉතින් මට රවන්නේ…මං පස්සෙන් එව්වා වගේනේ…කතාව කියනවකෝ…”

    “පන්තියට එන කොල්ලෙක්ද…?”

    රංගිකා ඇසුවාය.

    “නැහැ…අනේ…ඔය නිකන් ක්ලාස් එක ගාවට එන එකෙක්…මං දැන් දවස් දෙකක් බැන්නා…ඒත් ලැජ්ජා නැහැ…අදත් ආවා… කතා කරන්න ඕන කිව්වා…මං බැනලා ආවා…”

    “සිරා ලව් එකක් වගේ…බැනුම් අහලත් පස්සෙන් එන්නේ ඒකනේ…”

    රංගිකා සිනහසෙමින් කීවාය.

    “ඉරේෂ්ට වඩා හොඳ නම් ඉතින් සළකලා බලන්න තියෙන්නේ…”

    අංජලී කීවේ ගයානිව අවුස්සන්නටය.

    “ඔව්…වෙන වැඩ නැහැනේ…ඊළඟ දවසේ ආවොත් මං සෙරෙප්පුවෙන් ගහන්නේ…”

    ගයානි එවර කීවේ නම් විහිළුවට නොවන බව දෙදෙනාටම වැටහුණු අතර ඔහු සැබෑවටම වදයක් වී ඇතැයි කියා දෙදෙනාටම වැටහිණි.

    “ඊළඟ දවසේ අපිත් එනවා පන්ති ඇරෙන වෙලාවට ඔය කොල්ලව බලන්න…”

    “ඔව්…අනිවා…අල්ලන් ගහමු…”

    රංගිකාද අංජලීගේ කතාව අනුමත කරමින් කීවාය.
    ——————————————————————————————————
    කාලය ඉගිළ ගියේ කුරුළු වෙස් ගෙනය. අංජලී බොහෝ දිනකින් නිවසට නොගියේ නැන්දාටත් මාමාටත් මුහුණ දෙන්නට නොහැකියාවෙනි. නැන්දා වෙනදා මෙන් ඇමතුම් ගෙන, නාවේ මන්ද කියා හෝ නෑසුවාය. ගිම්හානිද නිවසේ නොවූයේ තවම ඇයට මාරුවීම ලැබී නොතිබූ නිසාය. මේනක සති අග එහි හියා හෝ ඈ නිවසට පැමිණියාය. මේ නිසා අංජලීට නිවසට යාමට වුවමනාවක්ද නොවීය. ගිම්හානි හෝ සිටියා නම් එහි යාමට ඉඩ තිබිණි. දිනක් සවස ගයානි ඉහළ මහලේ සිට පහළ කාර්යාලයට දිව ආවේ කළබලයෙනි. එක්වරම ඈ කාමරයට කඩා වදින විට තිදෙනම තිගැස්මට පත් වූයේ ඇයට යම් කරදරයක්ද කියා සිතා මුත් ගයානි සිටියේ යම් කිසි ප්‍රීතියකින් බව ඇගේ මුහුණින්ම දැක සහනයට පත් වූහ.

    “සොරි..සොරි…මං කඩාගෙන පාත් වුණාට…”

    ඈ අසුනක් ඇද අංජලී ඉදිරියේ හිඳ ගත්තාය.

    “මොකද බොල මේ…අපි බය වුණා…”

    අංජලී නොමනාපයෙන් කීවාය.

    “සුබ ආරංචියක් කියන්න ආවේ…”

    “ඒ මොකක්ද…?”

    දෙදෙනම ඇසුවේ මවිතයෙනුත් කුතුහළයෙනුත් යුතුවය.

    “අපේ අයියා එනවලු අද රෑට…”

    ගයානිගේ දෑස් සතුට නිසා දිලිසෙන සැටි දෙදෙනාම දුටු අතර අංජලීගේ සිතේ ඇති වූයේ තිගැස්මකි.

    “නැහැනේ…නියමයිනේ ඉතින්…”

    රංගිකා කෑ ගැසුවාය.

    අංජලීගේ සිත වේගයෙන් ගැහෙන්නට වූයේ ඈ ද නොදැනුවත්වමය. ගයානිගේ සොහොයුරාව ඈ දැක තිබුණේ එක් වරක් පමණි. ඒද බොහෝ කලකට පෙරය. ඔහුගේ ඡායාරූපයක් හෝ ඔවුන් දැක නොතිබුණේ ඔහු සමාජ ජාලා ප්‍රිය නොකරන්නෙකු නිසාය.

    “අයියාව දකින්න වෙන්නේ ඉතින් අයියා ආව කාලෙකම තමා…”

    ඔහුගේ ඡායාරූපයක් වත් නැත්දැයි අසන විට ගයානි දුන් පිළිතුර එය විය. දැන් ඔහු නැවත ලංකාවට පැමිණේ. ඔහු දකින්නට ආසාවෙන් සිටියේ ගයානි පමණක් නොවේ. අංජලී සහ රංගිකාද ඔහු දකින්නට කැමැත්තකින් මෙන්ම ආසාවකින්ද සිටියෝය. ගයානිට දින කීපයක් නිවාඩු වුවමනා බව කියන විට තුෂර එක් පයින්ම එයට අනුමැතිය පළ කළේය.

    “අයියාව අපිත් ආ…දරෙන් මතක් කළා කියන්න…”

    අංජලී එය කීවේ තරමක් ඇද පැදය.

    “මං වැඩියෙනුත් දාලා කියන්නම්…”

    ගයානි කීවේ අංජලීගේ උරහිසටද තට්ටුවක් දමා සිනහ මුවිනි.

    “අයියාව එක්ක එන්න අපිව බලන්න…”

    රංගිකා කීවාය.

    “ෂුවර්…”

    ඈ පිටව ගිය පසුව එහි වූයේ මහා නිහඬ බවකි. අංජලීගේ සිත ඈ කෙරෙන් මිදී ඈතක ඉගිළ යන්නට තැත් කරන්නාක් මෙනි. සිත පුරා අමුතු හැඟීමක් පැතිර යන්නට වූයේ පෙර නොවූ ලෙසකිනි. ඈ සිත සන්සුන්ව තබා ගන්නට උත්සාහ කළද එය කුණාටුවකට හසු වූ සයුරක් මෙන් කැළඹී තිබිණි.

    “මට නම් දැන් සඳුදා වෙනකල් ඉවසිල්ලක් නැහැ වගේ…”

    නවාතැනට පැමිණ තේ පානය කරමින් සිටින අතරේ රංගිකා අංජලීට කීවාය. ජනේලය අසල සිටගෙන සේපාලිකා මල් ගස දෙස බලා සිටි අංජලී මිතුරිය වෙත හැරුණාය.

    “ඇයි…?”

    “ගයා එන්නේ ඉතින් ආයේ සඳුදාටනේ…මට ශාමින්දයියාව බලන්න ආසයි…එයාව දැකලා කොච්චර කල්ද…දැන් එයා වෙනස් වෙලා ඇති…”

    “වෙනස් වෙලා කිව්වේ…?”

    “හැඩරුව…අපි එයාව දකිනකොට එයා කෙට්ටුයිනේ…ගයා කිව්වේ දැන් නම් එච්චරටම කෙට්ටු නැහැ කියලා… ඔයාට එයාව මතක නැත්ද…?”

    අංජලී එය සිහි කළාය. ඔහුගේ රුව තරම් මතකයේ නැති මුත් ඒ දෑස් නම් ඇයට හොඳටම මතකය.

    “ම්හ්හ්ම්…මට ලොකු මතකයක් නැහැ… එයා රට ගියේ මං හිතන්නේ මං එහෙට ආව මුල් කාලෙම වගේ…”

    සුසුමක් හෙළමින් අංජලී කීවාය.ඔහු ගැන වැඩි යමක් දැන ගන්නට ඇත්නම් කියා ඇයට සිතුණ මුත් හාර හාරා ප්‍රශ්න අසන්නට නොහැකි නිසා ඈ මුණිවත පිරුවාය.

    “ඉස්සර ඉස්කෝලේ කෙල්ලන්ගේ එයා තමා ඩ්‍රීම් බෝයි…”

    අංජලී එවිට තිගැස්මෙන් රංගිකා දෙස බැලුවාය.

    “ඇත්තට…?”

    “ඔව්…අපි ඉතින් ඒ කාලේ පොඩියිනේ…ශමින්දයියා ඒලෙවල් කරනකොට අපි අටේ පන්තියේ…ඒ කාලේ ඔයා නැහැ…අපිට වඩා ලොකු පන්ති වල හිටපු අක්කලා ඉතින් එයා ගැන කතා කරනවා අපිට ඇහිලා තියනවා…”

    “හ්ම්ම්…දැන් නම් ඉතින් එයාට කවුරු හරි ඇතිනේ…ඒ රටේ කෙනෙක්…”

    ශෝකී බවක් ඇයට දැනුණේ මන්ද කියා ඈ පුදුම වූවාය. තමා ශාමින්ද ගැන සිතන්නේ මන්ද..? මාලකට ආදරය කරමින් වෙනත් කෙනෙකු ගැන සිතන්නේ කෙසේද.? එය විහිළුවක් මෙනි. මාලකටද ආදරය කළා වුවද ඔහුද කිසි දිනක තමාට හිමි නොවන අයෙකි. ශාමින්ද ඇසුරු නොකළද ඔහු පිළිබඳව සිතේ ඇති මතකය, ඒ සිතේ බැඳීම පුදුමාකාරය. ඔහු හරියට තම සිතේ ඇඳුණු රුවම නොවන්නේද…? ඈ දෑස් වසාගෙන ඔහුගේ රුව සිතේ මවා ගන්නට උත්සාහ කළාය. එවිටම සිය සිතේ මැවුණේ තුෂරගේ රුවය. තිගැස්සී ගිය ඈ වහා සිය දෙනෙත් විවර කළාය.

    -හෙටත් හමුවෙමු-

    Latest news

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට මිසයිල ප්‍රහාර

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ලකළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල්...

    පුද්ගලයින් 15 දෙනෙකුට මරු කැදවූ ගුවන් අනතුර

    බොලීවියානු ගුවන් හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එහිදි තවත් පිරිසක් තුවාල...

    අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු සැඟව සිටි නිවසේ අයිතිකරු අත්අඩංගුවට

    අකුරේගොඩදී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, මොනරාගල ප්‍රදේශයේ සැඟවී සිටි බව කියන වෙඩික්කරුට නවාතැන්...

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...
    - Advertisement -spot_img

    ප්ලාන්ට් වීදියේ යාචකයා

    ප්ලාන්ට් වීදියේ යාචකයා - Dead Man Walking ප්ලාන්ට් වීදිය දිගේ ඇවිද යන විට, වීදිය අයිනේ මෙවැනි පුවරු දෙකක් දිස්වේ. "Anything Helps...

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page