More
    NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 38

    Pini Muthu Palasa පිනි මුතු පලස – 38

    -

    spot_img

    Pini Muthu Palasa පිනි මුතු පලස

    එළඹි දින කිහිපයම මම ගත කළේ සිතේ වූ චකිතයකින් යුතුවය. පොළේදී අප කතා බහ කරමින් සිටිනු දුටු කිසිවෙකු එය පූජිත සමඟ පවසා ඇතිදැයි බියක් මා සිතේ වුවද එවන් දෙයක් සිදුව තිබුණේ නැත. පූජිත කොළඹ යන බව පවසා පිටව ගියේ බදාදා උදෑසනය. ඔහු නොමැති විට මසිතට දැනෙන සැනසුම වචන වලින් පැවසිය නොහැකිය. සිකුරාදා වන තුරු ඔහු නොපැමිණෙන විට මසිතට සතුටක් දැනිණි. මේ දින කීපයේ නිරෝෂා මගේ තනියට පැමිණියාය.

    “අක්කා…දැන් ඇඟිලි ගැන ගැන ඉන්නේ…නේද…?”

    නිරෝෂා මා විමසුවේ අම්මා නින්දට ගිය මොහොතේය.

    “නැතුව…නැතුව…”

    මමද සිනහ මුවෙන් කීවෙමි.

    “එයා හරි හොඳයි නේද අක්කේ…?”

    මම එයට පිළිතුරක් දීමට පෙර පිටතින් කිසිවෙකු අමතනු ඇසී දොර අසලට ගියෙමි. තරුණ වියේ ගැහැනු අයෙකු දරුවෙකුද ඔසවාගෙන ඉහින්, කණින් දාඩිය පෙරාගෙන මිදුල මැද සිටගෙන සිටියි. ඈ දුටු මොහොතේම මා සිතේ ඇති වූයේ අනුකම්පා මුසුවූ හැඟීමකි. සිඟමන් යදින අයෙකුගේ පෙනුමක්ද ඈ තුළ නොවීය.

    “කාව හම්බවෙන්නද…?”

    මම අසන විට ඈ තරමක් තිගැස්සී ගියාක් මෙන් එකවරම පිළිතුරක් නොදී මොහොතක් බලා සිටියාය.

    “කාවද හොයන්නේ…?”

    මම යළිත් වරක් ඇසුවේ ඈ මට පිළිතුරක් නොදුන් නිසාය.

    “මේ…පූ…ජිත…ලා…ගෙදරද…?”

    ඈ තරමක ගොතයකින් මෙන් ඇසුවේ පසුබාමිනි.

    “ඔව්…”

    “එයා ඉන්නවද…? මං…ආවේ පූජිත මුණ ගැහෙන්න…”

    දරුවෙකුත් ඔසවාගෙන මැය මෙහි පූජිත සොයා පැමිණියේ මන්ද කියා සැකයක් මා සිතේ ඇති වුවද එක්වරම මට සිහි වූයේ මේ පූජිතගේ අනියම් බිරිඳද කියාය. ඈ අත රැඳි ලේන්සුවෙන් මුහුණ පිසදා ගත්තේ වෙහෙසකර බවක් පළකරමිනි. බොහෝ දුරක් ඈ දරුවාත් ඔසවාගෙන පැමිණියා වන්නට ඇත. නිරෝෂාද මා අසළට ආවේ මා කතා කරන්නේ කා සමඟද කියා කුහුළින් වන්නට ඇත.

    “එන්නකෝ ඇතුළට…එළියේ අව්වනේ…”

    මම ඇයට ගෙතුළට ඒමට ඉඩ හැර පසෙකට වන විට නිරෝෂා මවෙත හෙළූ බැල්ම මට සැණකින් වැටහිණි. දෙගිඩියාවෙන් මෙන් ඇතුළට පැමිණි යුවතිය අසුනක හිඳ ගත්තේ තෙහෙට්ටුවෙන් බව මට පෙනී ගියේය. ඈ දරුවා ඇකයේ හොවාගෙන ලේන්සුවෙන් පවන් සළන්නට වූවාය.

    “පයින්ද ආවේ…? හුඟක් මහන්සි පාටයි…”

    මම අසන විට ඈ පෑ බයාදු සිනහව මා සිතේ ඇති කළේ අනුකම්පාවකි.

    “ඔව්…බස් එකෙන් බැහැලා පයින් ආවේ… හුඟක් දුරයි නේද…? මං හිතුවේ නැහැ මෙච්චර දුර ඇති කියලා…කීප දෙනෙක්ගෙන්ම අහ අහ ආවේ…”

    “හ්ම්ම්…අද නම් පූජිත ගෙදර නැහැ…එයාව හොයාගෙන ආවේ මොකක් හරි වැඩක් කරගන්නද…ආණ්ඩුව පෙරළුණු නිසා දැන් ජොබ් එකක් හොයා ගන්නවා කියන එකත් අමාරුයි…”

    මම එසේ කියන විට ඈ තිගැස්සුණු බැල්මෙන් මදෙස බැලුවාය.

    “න්…නැහැ…”

    දරුවා කුසගින්න නිසාදෝ හඬන්නට වූ බැවින් ඈ ඔහුට කිරි දෙන්නට වූයේ මගේ පැනය මඟ හරිමිනි.

    “වතුර ටිකක් බොන්න පුළුවන්ද…?”

    මදෙස බැලූ ඈ විමසුවාය.

    “හා…මං ගේන්නම්…තේ ටිකක් බොමුද… නැත්නම් දෙහි ටිකක් බොමු…”

    “අනේ…කරදර වෙන්න එපා…වතුර ටිකක් තිබ්බා නම් ඇති…”

    මම පිටුපසට පැමිණෙන විට නිරෝෂාද මා සමඟ පැමිණියාය.

    “අක්කේ…මේ…අර…”

    මා සිතූ දෙයම ඇයත් සිතා ඇති බව මට වැටහිණි.

    “ඔව්…මටත් හිතුණා…ඇයි දන්නැහැ එයා පූජිත හොයන් ආවේ…පව්…හොඳටම මහන්සි පාටයි…ළමයත් වඩාගෙන පයින්ම එන්න ඇත්තේ…දවල්ට කාලද දන්නෙත් නැහැ…”

    අනුකම්පා මුසු හඬින් මම කියන විට නිරෝෂා පුදුමයෙන් මදෙස බැලුවාය. වීදුරුවක් සෝදා මම කළයෙන් වතුර වීදුරුවක් පුරවා ගතිමි.

    “අනේ මන්දා…ඔයා හොඳ වැඩියි අක්කේ…වෙන කෙනෙක් වුණා නම් ඒ ගෑණිව ගෙටවත් ගන්නේ නැහැ…නැන්දා ඇහැරිලා හිටියා නම් පන්නගෙන…”

    නිරෝෂා එක දිගට කියවගෙන ගියේ නොමනාපයෙන් මෙනි.

    “පව් නංගී…එයත් මං වගේම අසරණ වුණ කෙනෙක්නේ…”

    “අනේ මන්දා…දරුවා නම් පූජිතයියා වගේ නෙවේ…මූණයි පාටයි දෙකම නම් රාජකරුණා වගේමයි…”

    ඒ බව මමද දරුවා දුටු මොහොතේම සිතුවෙමි. එසේ නම් ඈ පූජිත සොයා පැමිණියේ මන්ද..? මම එසේ සිතමින් ආලින්දයට පැමිණියේ නිරෝෂා තේ සාදාගෙන එන්නම් යැයි පැවසූ බැවිනි. දරුවාට ඇකයේම නින්ද ගොස් තිබිණි. මා දිගු කළ වතුර වීදුරුව දෝතින්ම ගත් ඈ එය එක හුස්මට පානය කළාය.

    “ගොඩාක් පින්…හරිම තිබහෙන් හිටියේ…”

    හිස් වීදුරුව ගෙන මම එය ස්ටූලය මත තැබුවෙමි.

    “ඔයා පූජිත හොයන් ආවේ…?”

    පිළිතුරක් නොදුන් ඈ මොහොතක් මා දෙසම බලා සිටියාය.

    “ඔයා පූජිතගේ නෝනද…?” ඈ මා විමසුවාය.

    “ඔව්…”

    “හ්ම්ම්…මං අද ආවේ…මට වෙන කරන්න දෙයක් නැතිම නිසා…”

    ඈ හඬන්නට වූවාය.

    “ඇයි…මොකක්ද ප්‍රශ්නේ…? මට පුළුවන් දෙයක් කරන්නම්…අඬන්නැතුව කියන්නකෝ…”

    ඈ ඉදිරියේ අසුන් ගනිමින් මම කීවෙමි.

    “පූජිත මාස ගානකින් ගෙදර ආවේ නැහැ…පුතාගේ පිටිත් ඉවරයි…ගෙයි හරියේ කිසි දෙයක් නැහැ…අම්මා ළඟට ගියාම එයත් මාව එළව ගත්තා…”

    ඈ යළිත් හඬන්නට වූවාය. මා සිතූ දෙය නිවැරදි විය. ඈ පූජිතගේ අනියම් බිරිඳය. ඈ පිළිබඳව මා සිතේ ඇති වූයේ අනුකම්පාවක් මිස කෝපයක් හෝ වෛරයක් නොවේ. මට දැන ගැනීමට වුවමනා වී තිබූ යමක් දැනගැනීමට මේ සුදුසුම මොහොතය.

    “ඔයා කියන්නේ…පූජිත ඔයාව අනාථ කළා කියලාද…මේ දරුවා පූජිතගේ කියලාද…?”

    මම එක එල්ලේ අසන විට ඈ දෑස් හයා මා දෙස බැලුවාය.

    “ඕ…ව්…දරුවා…පූජිතගේ…”

    ගොත ගසමින් ඈ කීවේ සත්‍ය නොවන බව මම ඉඳුරාම දැන සිටියෙමි. දරුවා පූජිතගේම වුවද ඉන් මට කාරියක් නැත. මම ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකරමි. නමුත් සත්‍යය නම් දරුවා රාජකරුණාගේ වීමය. නිරෝෂා තේ කෝප්පයක් සාදාගෙන විත් ඇයට පිළිගන්වා මා පසෙක හිඳ ගත්තාය.

    “මේ අහන්නකෝ…පූජිත ඔයාට ජිවත් වෙන්න උදව් කළත්…ඒක මට ප්‍රශ්නයක් නෙවේ…ඒත් ඇත්තටම කිව්වොත්…දරුවගේ තාත්තා පූජිත නෙවේනේ… රාජකරුණා නේද…?”

    ඈ බියපත්ව මා දෙස බලා සිටියාය.

    “හරි…හරි…බයවෙන්න එපා…ඔය තේක බොන්න…මං පූජිතට ඕවා කියන්න යන්නෙ නැහැ…පූජිතගේ අම්මා මට දොස් කියනවා…මං වඳ ගෑනියක් කියලා…ඒත් ඇත්ත ඒක නෙවේ…නේද…?”

    ඈ පිළිතුරක් දෙනු ඇතැයි කියා මම නොසිතුවෙමි. සැවොම සිතන්නේ තම ගැළවීම ගැන පමණය. නිහඬවම තේ කෝප්පය පානය කළ ඈ එය හිස් කොට නිරෝෂා වෙත පෑවාය. නිරෝෂා එය ගෙන පසෙක තැබුවාය.

    “ඔයා මෙහෙම හරි මට අනුකම්පා කළානේ…මගෙ ගෙදර අයවත් මට මෙහෙම සැළකුවේ නැහැ…ඇමති තුමා ළඟට අප්පච්චි මාව එක්ක ගියේ එයා ජන්දෙ ඉල්ලන්න ආව වෙලේ රස්සාවක් හොයලා දෙනවා කියලා පොරොන්දු වුණ නිසයි. එයා මට රස්සාවක් නම් දුන්නා…ඒත් ඒ වෙනුවට මගේ ආත්මයම නැති කළා…”

    ඈ හැඬුවාය. වහා වහා කඳුළු පිසගෙන ඈ යළිත් කතා කරන්නට වූවාය.

    “මට ගෙදර අයට මේ ගැන කියන්න පුළුවන් කමක් තිබුණේ නැහැ…අප්පච්චිලා එයාට සැළකුවේ දෙවියෙක්ට වගේ…වැඳ පුදාගෙන හිටියේ…එයා පූජිතට මාව බාර දෙනකොටත් මට දරුවෙක් ලැබෙන්න…පූජිත මේ ගැන දන්නේ නැහැ…”

    වෙන කිසිත් දැන ගැනීමට මට වුවමනා නොවීය. දරුවා පූජිතගේ නොවන බව ඇය පවසා ඇත. කාමරයට පැමිණි මම පූජිත විසින් නිවසේ වියදමට ලබා දී තිබූ මුදලින් කොටසක් ඇයට දී ඇයව පිටත් කළේ අම්මා අවදි වීමට පෙරය. පූජිත පැමිණි විගස ඇය හමුවට එවන බවට මම ඇයට පොරොන්දු වූයෙමි.

    “වෙන ගෑනියෙක් වුණා නම්…මාව මෙහෙම ගෙටවත් වැද්ද ගන්නේ නැහැ නංගී… ඕන දෙයක් වුණාදෙන් කියලා තමා මම අද එළියට බැහැලා ආවේ…ඔයාට පින් සිද්ධ වෙනවා…”

    සමුගන්නට සැරසෙන මොහොතේ ඈ කීවේ දෑස්වල අලුත් වූ කඳුළු පුරෝගෙනය.

    “පව් නේද අක්කේ…?”

    ඈ මිදුල දිගේ ඇවිද යන දෙස බලා නිරෝෂා කීවාය.

    “හ්ම්ම්…ගැහැනු වෙලා ඉපදුණේ මොන කරුමෙකටද මන්දා කියලා හිතෙනවා…”

    “දරුවා පූජිතයියාගේ නෙවේ කියලා එයා පිළිගත්ත එක නම් ලොකු දෙයක්…”

    “ඒක පිළිගන්න ඕන නැහැ…ඕන කෙනෙක්ට පේනවා…මහ තැන ඇහැරලා ඉන්න තිබුණේ…”

    “ඒක ඇත්ත..හැබැයි එයා ඇහැරලා හිටියා නම් ඔය මනුස්සයාව ගෙට ගන්නෙත් නැහැ…”

    “හ්ම්ම්…”

    “ඒ වුණත් ඔය මනුස්සයා එන්න ඕන මෙහෙ නෙවේ…රාජකරුණා හොයන්…නැත්ද…?”

    ඒ කතාව සැබෑවක් ලෙස මමද පිළිගතිමි. ඔහු ඇගෙන් ප්‍රයෝජන ගෙන, දරුවෙකු පිළිසිඳ ගත් පසුව එය පූජිතගේ කරේ ගසා අත සෝදා ගත්තේය. තවත් ඔවැනි අය කොපමණ ඇතිද…? ඈ වුණත් පූජිත හා මේ කිසිත් නොපවසන්නේ පිළිසරණක් අහිමිව යනු ඇතැයි බියෙනි. ඔවුන් අතර අඹුසැඹි සබඳ කමක් නොවූවා නම් පූජිතට වුවද ඒ තමන්ගේ දරුවා යැයි කියා පිළිගැනීමට වුවමනා නොවේ. එම සිතුවිල්ල මා සිතේ ඇති කළේ පිළිකුල් සහගත හැඟීමකි. රාජකරුණාත් මැයත් දෙදෙනාම එකතුව ඔහුව රවටා ඇති බව ඔහු තවම නොදැන සිටීම ලැජ්ජාවට කරුණකි. පූජිත නම් උපන් ගෙයි මෝඩයෙකි. එසේ නොමැති නම් රාජකරුණාගේ බැතිමත් වහලෙකි. ඔහු අම්මාත් රාජකරුණාත් අතර වූ සබඳකමද නොදැන සිටීම ඊටත් වඩා පුදුමයකි. කණින්, කොණින් හෝ ඔහුට මෙවැන්නක් අසන්නට නොළබුණේද…? එය දැන සිටියා නම් හෝ ඔහුගේ තාත්තා අම්මාට පහර දුන්නේ මේ සම්බන්ධය දැන බව ඔහු දැන සිටියා නම් මොවුන් දෙදෙනාම මරා දමනු ඇතිවාට සැක නැත. මේ මොහොතේ නම් පළමුවරට මා සිතේ පූජිත කෙරෙහි අනුකම්පාවක් ඉපදිණි.
    ——————————————————————————————————
    පූජිත නැවත පැමිණියේ සෙනසුරාදා පාන්දර ජාමයේය. ඔහු දහවල් වන තුරු නිදා ගත් අතර මම ඔහු අවදි වන තුරු බලා සිටියේ ශ්‍යාමලී පැමිණ ගිය බව ඔහුට දැනුම් දෙන්නටය. එය අම්මාද අසල සිටින විට කළ යුතුය. දහවල් කෑම පිසින අතරේ අවදි වූ පූජිත මුළුතැන්ගෙයට පැමිණියේ

    “තේකක් බිව්වා නම් හොඳයි” කියමිනි.

    මුව සෝදා ඔහු වතුර පිටතට විදිමින් වේවැල් පුටුවේ හිඳ ගත්තේය. මම කේතලයට වතුර පුරවා ළිප මත තැබුවේ ඔහු අම්මා සමඟ කරන කතා බහට සවන් යොමාගෙනමය. විදෙස් ගතව සිටි රාජකරුණා නැවත පැමිණි ඇති බව ඔහු පැවසුවේය.

    “ඔයාව හොයන් ශ්‍යාමලී කියලා කෙනෙක් ආවා ඊයේ හවස…”

    තේ සාදනට සූදානමින් මම කීවේ ඔහු දෙස එක එල්ලේ බලමිනි. මා සිතූ සේම පූජිත තිගැස්මට පත් වූ අතර මා දෙස බලා සිටියේ මා වැඩි යමක් පවසන තුරු මෙනි.

    “කවුද ළමයෝ…ශ්‍යාමලී කියන්නේ…?”

    ඒ අතරේ අම්මා ඇසුවේ පුදුමයෙනි.

    “මොනවද කිව්වේ…ඇයි මෙහෙ ආවේ…?”

    අම්මා ඇසූ දේ නෑසුණා සේ පූජිත මා විමසුවේය.

    “ඔයා මාස ගානකින් ආවේ නැහැ කිව්වා…ළමයාට බොන්න කිරි පිටි පැකට් එකක් ගන්නවත් සල්ලි නැහැලු…බැරිම තැන ආවේ කිව්වා…”

    “උඹ තාම ඔය පඩංගු වල රිංගනවද…මං හිතුවා දැන්වත් ඕවා නතර වෙලා කියලා…ගමේ උන් කියන කතා ඇත්ත එහෙනම්…”

    අම්මා එක දිගට විළාප කියන්නට වූවාය.

    “අම්මේ…කට වහන් ඉන්නවද…උදේ පාන්දර මළ වදේ…ඉතින් මොකද කිව්වෙ ඔයා…?”

    ඔහු යළිත් මා විමසුවේය.

    “ඔයා දීලා තිබුණ සල්ලි වලින් ටිකක් මං ඒ ළමයාට දුන්නා…පව්…ගෙදර ගියාම ගෙදරිනුත් එළවගෙන…කන්න බොන්නවත් කිසි දෙයක් නැතිලු ගෙයි හරියේ…”

    පූජිත මා දෙස බැලුවේ කෘතඥ පූර්වක බැල්මකිනි.

    “හරි යසයි…කරලා තියන දේ…කාගෙන් අහලාද ඕවා කරන්නේ…?”

    අම්මා මට කෑ ගසුවාය. පූජිත නැඟිට ගියේ ඇගේ කන්දොස්කිරියාව අසා සිටීමට නොහැකිවය.

    “කාගෙන්වත් අහන්න ඕන නැහැ…පුතණ්ඩියා හොරෙන් ගෑනු තියන් හිටියේ වටේම උන්ට කියලා නෙවේනේ…මං කළේ මනුස්සයෙක් විදියට කරන්න ඕනදේ… තේරුණාද…?”

    ඇගේ මුව වැසී ගියේ ඉන්පසුවය. පූජිත ඉක්මනින් සූදානම්ව පිටව ගියේ ශ්‍යාමලී සොයා බව මම දැන සිටියෙමි.

    -හෙටත් හමුවෙමු-

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page