ගුවන් විදුලියේ ආදායම ලක්ෂ 12 යි ඒකෙන් 7ක් සභාපතිට
“සිස්ටම් චේන්ජ්” සහ “පුනරුදය” යනු හුදෙක් මැතිවරණ වේදිකාවල තිබූ සුරංගනා කතා පමණක් නොව, දැන් එය රාජ්‍ය ආයතනවල ගිණුම් පොත්වලින්ම පවා ඇස් ඉදිරිපිට ඔප්පු වන “මැජික්” එකක් බවට පත්ව තිබේ. මෑතකදී සමාජ මාධ්‍ය සහ දේශපාලන කරළිය තුළ වාර්තා වූ, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ (SLBC) මාසික ආදායම සහ එහි සභාපතිවරයාගේ වැටුප පිළිබඳ තොරතුරු දෙස බලන විට, අප සිටින්නේ ආර්ථික විද්‍යාවේ නව යුගයක බව පැහැදිලිය.
නොබෙල් ත්‍යාගයටත් සුදුසු “පුනරුද” ආදායම බෙදීම
සාමාන්‍ය ලෝකයේ පිළිගත් යල්පැනගිය න්‍යායන්ට අනුව, රාජ්‍ය ආයතනයක් ආදායමක් උපයන විට එම මුදල් යොදවන්නේ ආයතනය දියුණු කිරීමට, සේවක සුබසාධනයට හෝ මහා භාණ්ඩාගාරයට යැවීමටය. නමුත් පැරණි ක්‍රමය උඩු යටිකුරු කරමින් ගොඩනැගෙන “පුනරුද” යුගයේදී එවැනි ගොඩේ ක්‍රමවලට ඉඩක් නැත. එම වාර්තා පෙන්වා දෙන පරිදි, සංස්ථාවේ නවතම “ජයග්‍රාහී” සංඛ්‍යාලේඛන මෙසේය.

ආයතනයේ මාසික ආදායම රුපියල් ලක්ෂ 12 කි.
සභාපතිවරයාගේ මාසික වැටුප රුපියල් ලක්ෂ 7 කට ආසන්නය.
මෙය කිසිසේත්ම සිනහවට කරුණක් නොවේ. මන්ද, පාඩු ලබමින් තිබූ ආයතනයක් මාසිකව ලක්ෂ දොළහක අදායමක් ලබන තැනට ගෙන ඒම යනු සුළුපටු දස්කමක් නොවන බැවිනි. ඉතින්, ඒ මහා කැපවීම වෙනුවෙන් ලැබෙන ආදායමෙන් භාගයකටත් වඩා වැඩි ප්‍රමාණයක් (සියයට 55කටත් වඩා!) සභාපතිවරයාගේ වැටුප ලෙස ලබා ගැනීම, “පුනරුදයේ” පරම යුතුකමක් නොවේද?
“අපි හම්බ කළොත් අපි කනවා” – පුනරුද සංස්කරණය
පසුගිය කාලය පුරාම “රාජ්‍ය ආයතනවල ලාභය ජනතාවට බෙදී යා යුතුයි, අපි එන්නේ සැප විඳින්න නෙවෙයි, අපි ගන්නේ අවම වැටුපක්” යැයි මයික්‍රෆෝන පැලෙන්නට කෑගැසූ පිරිස්, අද ලක්ෂ 12ක ආදායමක් ලැබෙද්දී සභාපති පුටුවට ලක්ෂ 7කට කිට්ටු පඩියක් අනුමත කරන්නේ ඉතාමත් ගැඹුරු දර්ශනයක් ඇතිව විය යුතුය. සමහරවිට මේක අලුත්ම “පුනරුද” ආර්ථික මොඩලයක් වන්නට පුළුවන.




