බදු වංචාවකට කෝටි 30 ක දඩයක්
2026 වර්ෂය සඳහා ශ්රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 2207 ක ඉලක්කය පසුගිය 13 වැනිදා වන විට සම්පූර්ණ කිරීමට හැකියාව ලැබි ඇති බව ජ්යෙෂ්ඨ රේගු අධ්යක්ෂ සහ මාධ්ය ප්රකාශක චන්දන පුංචි හේවා පවසයි. මාධ්ය හමුව අමතමින් ඔහු මේ පිළිබඳව දැක්වූ සවිස්තරාත්මක පැහැදිළි කිරීම පහත දක්වා තිබේ.
“ඔක්තෝබර් 13 වන විට අපි ලැබූ සමස්ථ බදු ආදායම රුපියල් බිලියන 2208 ක්. අපි හිතුවා මෝටර් රථ වාහන ආනයනයෙන් ලැබෙන ආදායම සැලකිය යුතු මට්ටමකින් පහල යයි කියලා. ඒත්, 2026 පළවෙනි මාස 06 ඇතුළත වාහන අනයනයේ පහළ යෑමක් සිදුවුණේ නෑ. 2026 ජූලි ඉඳලා වාහන ආනයන ආදායම පහල ගියා. ඒක ප්රධාන හේතුවක් වුණා ආදායම් ඉලක්කය වේලාසනින්ම ළඟා කරගන්න. හේතුව ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරය රුපියල් 310 සිට 330 පමණ වනතෙක් ඉහළ ගිහින් තියෙනවා. මේ ධන බලපෑම් හේතුවෙන් අපිට මේ ආදායම් ඉලක්කය කලින්ම ගන්න පුළුවන් වුණා.”




