බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක්
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ්
විද්‍යාත්මක ප්‍රවේශයක් තුළින් මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමේදී උපදේශන සේවාව හරහා අපගේ කාර්යභාරය කෙසේ පෙළගැස්විය යුතුද යන්න පිළිබඳව අප අවධානය යොමු කළ යුතුයි. විශේෂයෙන්ම, ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් අප අමාත්‍යාංශය සහ ඒ යටතේ සේවය කරන උපදේශන නිලධාරීන් ඉටු කළ යුතු වගකීම් පිළිබඳව ගැඹුරින් සිතා බැලිය යුතුයි.
සෞඛ්‍යය යනු කායික සෞඛ්‍යයට පමණක් සීමා වූ දෙයක් නොවෙයි. එයට මානසික සහ අධ්‍යාත්මික සුවතාවද ඇතුළත් වෙනවා. එබැවින් සෞඛ්‍ය ප්‍රවර්ධන ක්‍රියාවලිය තුළ වෛද්‍ය විද්‍යාත්මක මැදිහත්වීම් මෙන්ම සමාජ විද්‍යාත්මක ප්රවේශයන් ද වැදගත් වෙනවා. ඒ සඳහා උපදේශන සේවාව යොදා ගනිමින් සෑම පවුලකටම, සෑම පුද්ගලයෙකුටම සහ සමාජයේ සෑම කෙනෙකුටම තමන්ගේ හඬ අවදි කිරීමට අවස්ථාව ලබා දිය යුතුයි.

අද දවසේ අපගේ ප්‍රධාන තේමාව වන්නේ ජීවිත අත්දැකීම්වලට සවන් දීමයි. සමාජයේ සෑම හඬකටම වටිනාකමක් ලබා දී, එම අත්දැකීම් අර්ථවත් වෙනසක් බවට පත් කිරීම අපගේ අරමුණ විය යුතුයි. එම දත්ත ප්‍රතිපත්ති සම්පාදනය සඳහා යොදා ගැනීමත් අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම, පවුල් බිඳවැටීම්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, දරුවන්ගේ අනාරක්ෂිතභාවය සහ පවුල් සබඳතා දුර්වල වීම වැනි ගැටලු හඳුනාගෙන ඒවාට විසඳුම් සෙවීම සඳහා ඔබගේ දායකත්වය ඉතා වැදගත් වෙනවා.
අපි 1970, 1980 සහ 1990 දශකවල සිට වර්තමානය දක්වා පැමිණෙන විට පවුල් ජීවිතයේ විශාල වෙනස්කම් රැසක් දැකගත හැකියි. විශේෂයෙන්ම ආර්ථික අර්බුද සහ සමාජීය වෙනස්කම් හේතුවෙන් බිඳුණු පවුල් මෙන්ම විසිරුණු පවුල් ද වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. විවාහ සබඳතා බිඳවැටීම, මවුපියන්ගෙන් කෙනෙකු මියයෑම, මත්ද්‍රව්‍ය භාවිතය, පවුල් තුළ ඇතිවන ගැටුම් සහ විවිධ ආකාරයේ හිංසනයන් හේතුවෙන් දරුවන් අනාරක්ෂිත තත්ත්වයට පත්විය හැකියි. පවුලේ ආර්ථික අවශ්‍යතා සපුරාලීම සඳහා මුදල් උපයා දීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. දරුවන්ට මවුපියන් සමඟ කාලය ගත කිරීමටත්, එකට ආහාර වේලක් ගැනීමටත්, පවුලක් ලෙස විනෝද වීමටත්, ආදරය සහ සෙනෙහස අත්විඳීමටත් අවස්ථාව තිබිය යුතුයි.

මවුපියන් කාර්යබහුල වීම, රැකියා සඳහා දුර බැහැර ප්‍රදේශවලට යෑම සහ විදේශගත වීම වැනි හේතු නිසා පවුලේ සාමාජිකයන් අතර දුරස්ථභාවයක් ඇතිවිය හැකියි. සමහර අවස්ථාවල මවුපියන් මාස ගණනාවක් හෝ වසර ගණනාවක් දරුවන්ගෙන් වෙන්ව ජීවත් වෙනවා. මෙවැනි අවස්ථාවල පවුලේ ආර්ථික අවශ්‍යතා සපුරාලීමට හැකි වුවත්, දරුවන්ගේ මානසික සහ චිත්තවේගීය අවශ්‍යතා සපුරාලීම අභියෝගයක් බවට පත්විය හැකියි. එබැවින් පවුලක සාර්ථකත්වය මැනිය යුත්තේ ආර්ථික තත්ත්වය මත පමණක් නොවෙයි. පවුලේ සාමාජිකයන් අතර පවතින ආදරය, ආරක්ෂාව, සෙනෙහස සහ අන්‍යෝන්‍ය අවබෝධය ද ඒ සඳහා වැදගත් වෙනවා.
පවුල් ගැටලු, දරුවන්ගේ අනාරක්ෂිතභාවය, මත්ද්‍රව්‍ය භාවිතය සහ හිංසනය සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු නිසි ක්‍රමවේදයකට අනුව එකතු කර විශ්ලේෂණය කළ යුතුයි. එමගින් ගැටලුවලට බලපාන හේතු හඳුනාගෙන ප්‍රායෝගික විසඳුම් සකස් කිරීමට හැකියාව ලැබෙනවා. උදාහරණයක් ලෙස, මවුපියන් රැකියා සඳහා විදේශගත වීම හෝ දරුවන්ගෙන් දිගු කාලයක් වෙන්ව ජීවත් වීම හේතුවෙන් පවුල්වල ඇතිවන ගැටලු පිළිබඳව නිසි දත්ත පද්ධතියක් සකස් කළ හැකියි. එමෙන්ම දරුවන් හිංසනයට හෝ වෙනත් අවදානම් තත්ත්වයන්ට ලක්වන අවස්ථාවල ඒවාට බලපාන සමාජීය හා පවුල්මය හේතු ද හඳුනාගත යුතුයි.

මෙවැනි දත්ත වාර්ෂිකව විශ්ලේෂණය කිරීමෙන්, විශේෂයෙන්ම 2027 වසර අවසානය වන විට, පවුල් ගැටලු සම්බන්ධයෙන් වඩාත් පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට අපට හැකි වේවි. එම තොරතුරු අනාගත ප්‍රතිපත්ති සම්පාදනයට සහ අදාළ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට යොදාගත හැකියි. මෙය නිලධාරීන්ට අමතර රාජකාරියක් පැවරීමක් ලෙස පමණක් නොසැලකිය යුතුයි. සමාජයේ අවදානමට ලක්වන පුද්ගලයන්ට වඩාත් යහපත් ජීවිතයක් ලබා දීම සඳහා කරන වටිනා මැදිහත්වීමක් ලෙස සැලකිය යුතුයි.
පවුල යනු දරුවෙකුගේ පෞරුෂය, හැසිරීම සහ සමාජීය අවබෝධය ගොඩනැගෙන ප්‍රධානතම පරිසරයයි. මවගේ සහ පියාගේ භූමිකා මෙන්ම පවුලේ අනෙකුත් සාමාජිකයන්ගේ ආදර්ශ දරුවෙකුගේ වර්ධනයට බලපානවා. එබැවින් පවුල තුළ ගැටුම් ඇතිවන විට හෝ පවුල් සබඳතා දුර්වල වන විට දරුවන් අවදානමට ලක්වීමේ හැකියාව වැඩි වෙනවා. මේ නිසා පවුල් උපදේශනයට විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. අවදානම් සහිත පවුල් හඳුනාගෙන, අවශ්‍යතාව අනුව පවුල් උපදේශනය, කණ්ඩායම් උපදේශනය සහ ප්‍රජා මට්ටමේ මැදිහත්වීම් සිදු කළ හැකියි. ඒ සඳහා ලබාගන්නා තොරතුරු නිසි ලෙස විශ්ලේෂණය කර, අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීම ද වැදගත් වෙනවා.
වර්තමානයේ තාක්ෂණය සහ අන්තර්ජාලය මිනිසුන්ගේ ජීවිතයට විශාල බලපෑමක් සිදු කරනවා. එකම නිවසක ජීවත් වන පවුලේ සාමාජිකයන් පවා තම තමන්ගේ ලෝකවල හුදකලා වී සිටින අවස්ථා දැකගත හැකියි. එවැනි තත්ත්වයන් තුළ පවුලේ සාමාජිකයන් අතර සන්නිවේදනය, අන්‍යෝන්‍ය අවබෝධය සහ චිත්තවේගීය සබඳතා දුර්වල විය හැකියි. එබැවින් පවුලක් තුළ එකිනෙකා වෙනුවෙන් කාලය වෙන් කිරීමත්, ගැටලු පිළිබඳව විවෘතව සාකච්ඡා කිරීමත් ඉතා වැදගත් වෙනවා. මානව සබඳතා ආරක්ෂා කිරීම සමාජීය වගකීමක් පමණක් නොව, ආර්ථික හා ප්‍රතිපත්තිමය වැදගත්කමක් ද ඇති කාරණයක්. මිනිසුන්ට තම පවුල සමඟ ජීවත් වීමට, දරුවන් රැකබලා ගැනීමට සහ ආදරය හා සෙනෙහස බෙදාගැනීමට අවශ්‍ය පසුබිමක් නිර්මාණය කිරීම සඳහා ආර්ථික හා සමාජීය ප්‍රතිපත්ති සකස් කළ යුතුයි.

අප අවධාරණය කළ යුතු කරුණ වන්නේ රාජ්‍ය සේවය තුළ මානුෂීය ප්‍රවේශයක් ඇති කිරීමේ වැදගත්කමයි. අප සේවය සපයන ජනතාවගේ ගැටලු මෙන්ම රාජ්‍ය සේවකයන්ගේ අවශ්‍යතා සහ ඔවුන් මුහුණ දෙන අභියෝග ද හඳුනාගත යුතුයි. නිලධාරීන්ට තම වගකීම් කාර්යක්ෂමව ඉටු කිරීමට අවශ්‍ය පහසුකම්, සහාය සහ ආත්ම විශ්වාසය ලබා දීම ආයතනික වගකීමක් වෙනවා. ඒ වගේම ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙන පවුල්වල දරුවන්ට අධ්‍යාපනික අවස්ථා ලබා දීම, අවශ්‍ය උපකරණ සහ පහසුකම් සැපයීම සහ ඔවුන්ගේ අනාගතය ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිපත්තිමය මැදිහත්වීම් අවශ්‍ය වෙනවා. එබැවින් අප සියලු දෙනා එක්ව මානව සබඳතාවලට වටිනාකමක් ලබා දෙන, පවුල් සුරක්ෂිත කරන සහ සෑම පුද්ගලයෙකුගේම හඬට සවන් දෙන සමාජයක් ගොඩනැගීමට කටයුතු කළ යුතුයි.
මෙය එක් ආයතනයකට පමණක් කළ හැකි කාර්යයක් නොවෙයි. රාජ්‍ය ආයතන, උපදේශන නිලධාරීන්, සමාජ සේවා නිලධාරීන්, අධ්‍යාපන ක්ෂේත්රය සහ ප්‍රජාව ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය ඒ සඳහා අවශ්‍ය වෙනවා. අපගේ අරමුණ විය යුත්තේ ගැටලු ඇති වූ පසු ඒවාට විසඳුම් සෙවීම පමණක් නොවෙයි. ගැටලු ඇතිවීමට හේතු හඳුනාගෙන, පවුල් සබඳතා ශක්තිමත් කරමින්, මානසික සෞඛ්‍යය සුරක්ෂිත කරන සහ මානුෂීය වටිනාකම් අගය කරන සමාජයක් ගොඩනැගීමයි.
(2026 ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ ලෝක මානසික සෞඛ්‍ය දින ජාතික සැමරුම උත්සවයේදී කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් පළ කළ අදහස් ඇසුරින් සැකසිණි.)




