ටිල්වින්ගේ චීන ක්‍රමයේ අනුරට ජේ.ආර් වැහීම
වත්මන් ආණ්ඩුව ජනතාවට දැනෙන සහනයක් කර නැතත් ජනතාව තවමත් මේ ආණ්ඩුව කෙරෙහි අයහපත් ලෙස බලනවා යැයි කිව නොහැකිය. ජනතා කැමැත්ත මේ ආණ්ඩුවට තවමත් යහමින් ඇත. බොහෝ තැන්වලදී විරුද්ධ කතා ගොඩ නැඟුණද ඒ යටින් දිවෙන ජනතා කැමැත්තද ඇති පදම් දැක ගත හැකිය. ගෝඨාභය රාජපක්ෂ ගිය පන්නයටම අනුර යතැයිද? අරගලයක් විත් මේ ආණ්ඩුව පෙරළා ඉතිරි කොටය රනිල් වික්‍රමසිංහ අදිනු ඇතැයි සිතන මනෝරාජිකයෝද නැතිවාම නොවේ. එය කිසිසේත්ම විය නොහැකි බව කී කල විය හැකි විධි පෙන්වන මැජික්කාරයෝද සිටිති. ඒ අස්සේ රනිල් නැවත පාර්ලිමේන්තු එන පුවතක් ඇසේ. රනිල් පාර්ලිමේන්තුවට ගැනීමට ෆයිසර් මුස්තාෆා හෝ රවී කරුණානායක සිය මන්ත්‍රි ධුරය පූජා කරනු ඇතැයි පන්නයේ කතා පැතිරේ. කොහොම වුණත් රනිල්ද මේ දේශපාලනයෙන් බැස යන අයකු නොවන බව පැහැදිලිය. කවුරු කොහොම කීවත් දැන් ඇත්තේ බල පොරයක් පමණි. වත්මන් ආණ්ඩුව බලයට ආවේ හිටපු පාලකයෝ ජනතාවට එපා වූ නිසාය. ඒ රොත්ත බුරුත්තම ජනතාව පරාජය කොට පැත්තකට කළේ ඒ තරමට ඒ නම් අප්පිරියා සහගත වූ නිසාය. එහෙත් ඒ ගොඩ නැඟීම ටික කලෙකින් අහකට වී නැවතත් පරණ චරිත මතුවෙනු පෙනේ. එසේ නම් කෙටි කලෙකින් දිගු කාලීනව ගොඩ නඟන කැත පින්තූර නැවත ඉතා ඉක්මනින් ලස්සන වන්නට පටන් ගෙනය. ඒ අනුව බලන කල නැවත මේ ආණ්ඩුව පෙරළන්නට එන්නට වන්නේ පැරැණි නම් වලටමය. රනිල් මේ තනතුරු අත නොහැර සිටිනුයේද තමා තරම් දේශපාලන සුදුස්සෙක් නැති බව පෙන්වමිනි. මහින්ද රාජපක්ෂගේ බල පරාක්‍රමය එහෙම් පිටින්ම නාමල් සියතට ගනිමින් සිටී. සජිත් ප්‍රේමදාසට අනුර වෙනුවට රනිල්, නාමල් අභිභවා යන්නට සිදුව ඇත. ඒ අතර දිලිත්, චම්පික වැනි අයද ලකුණු එක දෙක එකතු කරමින් සිටිති.
ඒ සියල්ලට වඩා බරපතළ කාරණය මේ ආණ්ඩුවේ අය සදාකාලික ඉන්නට සිහින මැවීමය. අනුර කුමාරට ජේ. ආර්. වැහීමය. මේ චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේදී විධායක ජනාධිපතිකම ඉවත් කරනවා යැයි කී කට්ටියය. ඒ කාලේ අනුර බාලයෙකි. දැන් ඔහු පරිණත දේශපාලකයෙකි. ඒ නිසා එදා කී මෝඩ කතා දැන් කියන්නේ නැත. අනුර ලවා විධායක ජනාධිපතිකම ඉවත් කරන්නට හීන දැක්ක අය නින්දෙන් අවදි නොවෙති. අනුර ප්‍රමුඛ ජවිපේ එදා ජේ. ආර්. විධායක ක්‍රමයට විරුද්ධ වූයේ කිසිදා බලය තමන්ට භුක්ති විඳින්න නොලැබේ යන සිතුවිල්ලේ සිටය. එහෙත් එය දැන් නොසිතූ ලෙස දෝතටම පැමිණ ඇත. අනුර යහමින් එහි රස බලමින් සිටී. තලුමරමින් රස බලමින් සිටී. ටිල්වින් ප්‍රමුඛ ජවිපේ අයට වුවමනා තනි පක්ෂ ක්‍රමයක් මෙරට තුළ ගොඩ නඟන්නටය. ටිල්වින් චීන ක්‍රමයට ආස කරන්නෙකි. චීන ක්‍රමය ඒකාධිපති ක්‍රමයකි. එය චීන සංවර්ධනයට හොඳ වී ඇත. චීන ජනතාවගේ යහපතට හේතු වී ඇත. චීනයට ගිය ටිල්වින් සිල්වා හීන මවනුයේ එවැනි ක්‍රමයක් මෙරට හදන්නටය. එයට ඕනෑ කරන ප්‍රධානතම අවිය ජේ. ආර්.ගේ ඒකාධිපති ව්‍යවස්ථාවය. ජේ. ආර්.ට දොස් කියන අය, ජේ. ආර්.ව ප්‍රතික්ෂේප කළ අය අද ජේ. ආර්. වෙනුවෙන් නැහෙති. අද ජවිපේ අදහන චරිතය විජේවීර නොව ජේ. ආර්. ය. ඇත්ත එයය. ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, රනිල්ට වඩා අනුර දේශපාලනිකව කපටිය. එදා ජේ. ආර්. කපටියෙක් කී අය තවම අනුරගේ කපටිකම් දැක නැත. අනුරගේ සැබෑ මුහුණ දැක නැත. තවමත් දකිනුයේ පැලඳි වෙස් මුහුණය.

මේ සිද්ධ වන විශ්‍රාම වයස් හුටපටයෙන් අනුරගේ වෙස් මුහුණේ යටින් ඇති සැබෑ මුහුණ දැක ගත හැකිය. ඉදිරි ගමනක් යෑමට නම් ඉදිරියට ඇති බාධා ඉවත් කර ගත යුතු බව අනුර ප්‍රමුඛ කල්ලිය හොඳින්ම දනී. එයට ටිල්වින් හීනියට පිඹුරු සකසමින් සිටී. මාලිමා ආණ්ඩුවේ බොහෝ අය කියනුයේ තමන් මේ රටේ බලය අත් නොහරින බවය. සදාකල් බලයේ සිටින බවය. නැවත ආණ්ඩු නැති බවය. කොටින්ම මේ කියනුයේ නැවත ඡන්ද නැති බවය. පළාත් සභා නොපවත්වන බව සැබෑය. එහෙත් වසර පහ ගෙවෙන තැන නැවත බලය උරගා බැලෙන බව දන්නා මේ අය උත්සාහ කරනුයේ කුමන හෝ ජිල්මාට් එකක් දමා එය ඉදිරි පහටත් ඇද ගන්නටය. ඒ සඳහා විපක්ෂය කුඩු පට්ටම් කරන්නට මේ අය හැකි සෑම පියවරක්ම ගනු ඇත. දැනටමත් ගනිමින් සිටින බවද පෙනෙන්නට ඇත. එයට කදිම විසඳුම ලෙස මේ ආණ්ඩුව සිතනුයේ හොරු ඇල්ලීමය. හොරු ඇල්ලීම පරණ මාතෘකාවක් යැයි කල්පනා කළද එය පරණ නොවන තරමට ජනතා හදවත් තුළ තැන්පත් කොට එය නිතර නිතර වර්ධනය කිරීමට මේ ආණ්ඩුව සමත් වී ඇත. ඔවුන් ජනතා කැමැත්තට වඩා විශ්වාස කරනුයේ මේ තියෙන තත්ත්වයෙන්ම ඉදිරිය ස්ථාවර කරගත හැකි ක්‍රමයකට යෑමටය. ඊට අධිකරණ බලය අත්‍යවශ්‍යය. ජනතාව ඕනෑම වෙලාවක වෙනස් විය හැකි බව සියයට තුනේ සිටි ජවිපේ තරම් කවුරු දනිත්ද? ඔවුන් නැවත සියයට තුනටත් පහළ නොවැටෙතැයි ඇති විශ්වාසය කුමක්ද? ඒ නිසා ඔවුන් බලනුයේ ඉතා අමාරුවෙන් පිනට මෙන් ලද බලය උපරිමයෙන් භුක්ති විඳ භුක්තියට සවි කරගන්නටය. ඒ සඳහා අවශ්‍ය එකම මෙවලම ජේ. ආර්. න්‍යායය. එය ඉතාම හොඳින් අනුර දන්නා බව පෙනේ. ජේ. ආර්.ටත්, මහින්දටත් නොහැකි වූ දේ අනුර කර නොගත්තොත් පුදුම විය යුතු නැත. දැන් ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් වෙමින් පවතී. විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ වනුයේ ඒ අරුතෙනි.

තමන්ට අවශ්‍ය දේවල් ටික කර ගැනීම මේ දිගු වන වසර දෙක ඕනෑවටත් වැඩිය. මේ කාලය තුළ ඕනෑම සෙල්ලමක් දැමිය හැකි බව ආණ්ඩුව හොඳාකාරවම දනිති. විපක්ෂයේ එකිනෙකා හිරේ විලංගුවේ දමමින් සිය වසර පහ ගෙවෙන විට නාමල්, සජිත් පවා හිර ගෙදර සිටිය හැකිය. කොටින්ම ඊළඟ තරගය තනි අශ්වයකුගේ රේස් එකක් වනු ඇත. සමහර විට තරගයක් නොතිබෙන්නට ඉඩ ඇත. මේ අර අඳිනුයේ ඒ ගැටය ගසන්නටය. අනුර ලවා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නට නොහැකිය. මෙය නියම මැජික් යෂ්ටියක් බව ඔහු දනී. විපක්ෂයෙන් පමණක් නොව තම පක්ෂ බලය පවා මෙල්ල කළ හැකි අරුම පුදුම බලය එය බව ඔහු දනී. දැන් අනුර ජේ. ආර්. විධායක බලයෙන් උමතු වී ඇත. ඒ උමතුව ඇති වීම හරිම සාමාන්‍යය. බලය උපරිම එක මිටකට ලැබී ඇති විධායක ජනපති ක්‍රමය අනුරට මහමෙරකි. බමුණු කුලය, ප්‍රභූ පන්තිය වැනි කතා බහුභූතය. දැන් අනුර, ප්‍රමුඛ පිරිසද ප්‍රභූන්ය. බමුණෝය. එහෙත් පෙන්වනුයේ එසේ නොව ජනතා නියෝජිතයන් බවය.

අනුර ජනපති වූයේ යාන්තමිනි. ඒ බේරා ගත් ඔටුන්න දැන් ඔහු ගලවන්නට සූදානම් නැත. ඔයිට වඩා කෙරුමෝ සිටි බවත් ඒ අයත් බැහැලා ගියා යැයි කියන අය මේ ආණ්ඩුව ආ දවසේ සිට මාස හයයි, අවුරුද්දයි, දෙකයි පවතින්නෙ කී අය දැන් තව එකයි. උපරිම අවුරුදු තුනයි කියති. එහෙත් අමතක නොකළ යුතු කරුණ නම් ඔය පහම හරි වේගයෙන් ගෙවෙන බවය. ඉන්පසු එන්නේ යක්ෂයාගේ හෝරාව විය හැකිය. අනුර ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට එරෙහිව හරි විපක්ෂයක් නැතැයි කියන අයද සිටිති. සජිත් ඊට නුසුදුසුම බව තවත් තර්කයකි. සජිත් නොව කවුරු වුව දැන් අනුරට අභියෝග කරන්නට තරම් මේ මොහොතේ ශක්තිමත් නැත. ඒ තරමට විපක්ෂය පිරිහී ඇත. මේ කට්ටිය එකතු වන තරමට ආණ්ඩුව තවත් ශක්තිමත් වේ. ජී. එල්. පීරිස්, නිමල් සිරිපාල අනෙක් මුහුණු ගත්තද පිළුණු දේශපාලන චරිතය. ඒ නිසා තවමත් මේ ආණ්ඩුව හොඳ යැයි විශ්වාසය ජනතාවට ඇත. එය මුලින්ම විපක්ෂය වටහා ගත යුතුය. බොහෝ විට ඉදිරි වසර පහද මේ ආණ්ඩුවම බලය ගනු ඇත. එය වීමේ ප්‍රවණතාව ඉතා ඉහළය. එය එසේ වුවායැයි වරදක්ද නැත. රටක වසර පහකින් කළ හැකි දෙයක් නැත. එහෙත් ප්‍රශ්නය මේ ආණ්ඩුවට ඒ සඳහා සදාකාලිකව බලයේ ඉන්නට වුවමනා වීමය. විනිසුරු වයස දීර්ඝ කර ගැනීමට ජනමත විචාරණයක් නොවුමනා විය හැකි වුවත් ඉන්පසු ඉතිරි ඡන්ද නොතියා ජනතා කැමැත්ත විමසීමේ ජනමත විචාරණයක් ඒමට ඉඩ ඇත.

අනුර මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද වෙනස් කිරීමට ඉඩ ඇත. එසේ කළහොත් ඉන් ඉදිරියට එනුයේ ජේ. ආර්. පන්නට හපන් ව්‍යවස්ථාවක් විය හැකිය. රටේ හැම අහුමුල්ලකම ජවිපේ කාඩරය බලය අල්ලමින් ඇත. යටිකූට්ටු දේශපාලනය ඉතා අපූරුවට සිදු වෙමින් පවතී. මේ නිසා සිදුවිය හැකි නරකම ප්‍රතිඵල 71දී, 88, 89දී ලද අත්දැකීම් නැවත කරළියට ඒමය. එදා ආණ්ඩුවට විරුද්ධව කැරලි ගැසු අය අද රාජ්‍ය පාලනය භාර ගෙනය. හමුදාව සියතට ගෙනය. එබැවින් යම් හෙයකින් ඉදිරියේදී කැරැල්ලක් ඇති වුවහොත් තත්ත්වය නරකම විය හැකිය. දැනට මේ ආණ්ඩුව යන රටාව අනුව එය සිදු නොවෙතැයි සිතිය නොහැකිය. ඊට උචිත පරිසරය හැදෙන්නට මේ ආණ්ඩුව කිසිසේත්ම ඉඩ නොදෙන බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ නිසා කලකිරෙන බොහෝ අය සිය දිවි නසා ගැනීමට ඉඩ ඇත. මේ ආණ්ඩුව එපා වෙන ඊට විරුද්ධ වෙන අය කර කියා ගත දෙයක් නොමැතිව සිය දිවි නසා ගැනීමට ඉඩ ඇත. එම ප්‍රවණතාවය රැල්ලක් වන්නට ඉඩ ඇත.
මේ ආණ්ඩුව හදන අලුත් සිස්ටම් එකක් නැත. සිස්ටම් චේන්ජ් කරන්න ආ අය ඉතාම අපූරුවට මේ සිස්ටම් එකට අනුගත වී ඇත. එහෙත් එහි හොරා කෑම්, වංචා කිරීම් එළියට නොයන ලෙස රැක ගන්නට සමත් චේන්ජ් එක නම් අපූරුවට කරගෙන යනු පෙනෙන්නට ඇත. පෙර අයට එහා ගේම් මේ ආණ්ඩුවේ ඇතත් ඒවා විපක්ෂයේ විරෝධතාවලට එහා ගෙන නොයන්නට පරිස්සම්ය. සාමාන්‍ය ජනතාවට මේ අය හොරු ලෙස නොපෙනේ. හොරු යනු පරණ අයය. අලුත් හොරු නැති තැනට වැඩේ සකස් කරගෙන ඇත. මේ අය කරනුයේ අතපසුවීම්ය. ඒ හේතුවෙන් ලොකු කුට්ටි අතුරුදන් වුවද? සොරා කා නැත. හොරු නැත. ඇල්වතුරත් නිවා බොන පිරිසක් හමුවී ඇත. ඒ නිසා වැඩේ හිතන තරම් ලේසි නැත. බමුණු කුල, ප්‍රභූන් ඇලජික් අයට අපූරු සහෝදරයෝ මුණ ගැසී ඇත. රනිල් පාර්ලිමේන්තු ආවා කියා අමුතු දෙයක් නැත. පාර්ලිමේන්තුව නැතිව රනිල්ට ඉන්නට බැරි ලෙඩේ පමණක් ඉන් සුව වනු ඇත. සජිත්ට නම් එය ලෙඩක් විය හැකිය. මෙරට දේශපාලනයම විකාරයක් වී ඇත. ඒ විකාරය තුළ මෙවැනි නාටක හැර වෙන දෙයක් සිදුවිය නොහැකිය. අනුර, ජේ. ආර්. තියරිය හොඳටම ඉදිරියට ගෙන ගියද එය වරදින තැනක් තිබිය හැකිය. එවිට වෙන නාටකයකට මාරුවිය හැකිය.




