Featuresවීරවංශය විරේක වීම

වීරවංශය විරේක වීම

-

spot_img

වීරවංශය විරේක වීම

බොහෝවිට ඉතිහාසය ලියවෙන්නේ වීරයන් නමිනි. විටෙක කල්පිත වීරයන්ද තවත් විටෙක් නිර්මිත වීරයන්ද ඉතිහාස කතා අතර සැරිසරයි. වීරයන් විශාල හා විශ්මිත වන තරමට වීර වංශය පාරට්ටු කළ හැකිය. සැබවින්ම වීරයන්ගේ වංශය මනෝරාජිකය. පරම, පිවිතුරු ය, පාරිශුද්ධ ය. මනසේ ඇඳුණු ඇතැම් වීරයන් හා වීරත්වයන් සැබෑ ලෝකයේදී අපට සම්මුඛ වන්නේ නැත. එසේ සම්මුඛ වූවද, මානසික උත්කර්ෂයේ තරමටම ඒ වීරයා හෝ වීරත්වය වින්දනය කළ නොහැකිය. ඇතැම් වීරයන් පොළොවේ පය තැබූ සැණෙන්, අපේ මනසේ ඇඳුණු වීරත්වයේ ප්‍රතිරූප කුඩුපට්ටම් වී ගිය අතීත කතා මෙන්ම වර්තමාන කතාද තිබේ. හදවතේ රැඳුණු වීරයා නමින් සැදුණු වංශ කතා විරේක වී විජලනය වන්නට ගතවන්නේ ඒ වීර වංශ ගොඩනඟන්නට ගිය කාලයෙන් තප්පරයෙන් දශම ගණනකි.

පසුගිය සතිය ගෙවුණේ නියම වීරයන් කවුදැයි යන්න සහ මෙරට වීර වංශය ගොඩනැඟුවේ කවුදැයි යන්න ගැන තර්ක, විතර්ක ගොඩනැඟෙමිනි. හේතු පාඨය වූයේ ශ්‍රී ලංකා රජය එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කොට වසර 17ක් ගත වීමයි. ගොඩනැඟුණු සංවාද සංක්ෂිප්ත කොට බැලීමේදී ප්‍රධාන කාරණා දෙකක් මතුව ආයේය. ඉන් මානුෂීය කාරණය වූයේ “දමිළ ජනයාගේ හිත් පෑරෙන නිසාවෙන් යුධ ජයග්‍රහණ සැමරිය යුතු නැත” යන්නයි. ආවේගීය කාරණය වූයේ “ත්‍රස්තවාදීන් සැමරීම නුසුදුසු බවත්, රණවිරුවන් සැමරීම යුතුකමක්” බවත් ය. වීරයා තෝරාගැනීම සාපේක්ෂ කාරණයකි. ඔබේ ත්‍රස්තවාදියා ඇතැම් විට මට රණවිරුවකු විය හැකිවාක් මෙන්ම මගේ රණවිරුවා ඇතැම් විට ඔබට ත්‍රස්තවාදියකු විය හැකිය. එබැවින් මගේ තෝරාගැනීමට හිස නවා ඔබත් එයම සැමරිය යුතුයැයි සිතීම අණුවණ ය. රටක පවත්නා සම්මත නීතී රාමුව අභිබවා යෑම සැමරුමක් නොවන්නා සේම වෛරය වැපිරීම තුළින් වීරයකු හෝ වංශයක් ගොඩනැඟෙන්නේද නැත. වීරයා වංශවත් කිරීමටනම් අප කළයුතු වන්නේ අවස්ථාවාදය හා පටු දේශපාලන න්‍යය පත්‍ර විරේක කර දැමීමය.

රණවිරු ස්මාරකයක් මලින් පුදන්නට පොලීසියත් පෙරලාගෙන පැමිණි විමල් වීරවංශ පිට්ටනියක් මැද හතරගාතේ දා වැටීම හාස්‍යයට ලක් කරනු දක්නට ලැබිණි. ඇත්තෙන්ම එහි හාස්‍යය දනවන කොටස වන්නේ විමල් වැටීම නොව විමල්ලා නිසා ආණ්ඩුව වැටුණු තැනය. අවධානය පතා ඉබාගාතේ යන එකා පසුපස එළවන්නටත් පොලීසීය යොදන සෙල්ලම් ආණ්ඩුවේ “සිඟිති ආතල්” මැද තමන්ගෙ අඩකුඹු වී තිබු අවධානය ලෙළවා ගන්නට විමල් වීරවංශ සූක්ෂම වුයේ ය. තමන් හා එක පතේ කෑ අතීත මිත්‍රයා මට්ටු කරන්නට මෙවැනි කකුල් මාට්ටු ප්‍රමාණවත් නොවන වග ආණ්ඩුවට වැටහීමක් තිබු වග නොපෙනිණි. ආණ්ඩුව ඔලුව වටේ අත යවා නහය අතගාමින් සිටියදී, වීරවංශ ආණ්ඩුවේ කණින් රිංගා ගියේ කුඩත් ඉහළාගෙන ය. නිකමුන් කෙරුමන් කරන, චෞරයන් වීරයන් කරන ආණ්ඩුවේ අලකලංචිය දන්නා විමල්, ආණ්ඩුවේ අලිවංශය විරේක කොට ආණ්ඩුවේ වියදමින්ම තමන්ගේ වීරවංශය ලියාගත්තේ ය.

අපරාධකරුවන් වීරයන් කොට උන් නමින් වංශකතා ලිවීම මෑතක සිට විලාසිතාවක්ව මතුව ආයේය. බොහෝ දුරට මෙය සිදුවුයේ ෆේස්බුක් සහ යු ටියුබ් හෑලි හලන්නන් හරහාය. තොරණක ජාතක කතා විචාරන්නා සේ අපරාධ, මිනීමැරීම්, ස්ත්‍රී දුෂණ සහ මංකොල්ලකෑම් වීරක්‍රියා කොට වර නැඟීම හරහා සමාජමාධ්‍ය පිළිල නිර්මාණය කළේය. ඉන් නොනැවතී අපරාධකරුවන් වෙනුවෙන් සිනමා නිර්මාණ සහ ප්‍රශස්ති ගී ගයන්නටද පෙළඹුණහ. අපරාධකරුවන් වීරයන් සේ රතු පලස් මැදින් රැගෙන ගියහ. “ෆාදර්” නමට මුලින් “ගෝඩ්” දැම්මා කියා කිසිවෙකු “දෙවියන්ගේ තාත්තා” වන්නේ නැත. අපරාධකරුවන්ගේ අතීත වංශ කතා නිර්ධන පන්තියට හිතැති රොබින්හුඩ් ලා ලෙස සමාජගත කළ උන්, අද පශ්චාත්භාගයට මැහුම් ලා විරේක පෙති බිව්වා සේ නොසිට, ඒ අපරාධ අතීසාරය නවතන්නට අමුඩ සොයා යා  යුතුය.

අප යුධ ජයග්‍රහණ සමරුවේ නැතුවාට ලෝකයේ නන් දෙස “දමිළ ඊළාම්” සැමරුම් දක්නට ලැබිණි. බොහෝ සමරුම්වල වල තිබුණේ යුධ සමයේ ලංකාණ්ඩුව “ජන සංහාර” කළ බව ය. සමාජ මාධ්‍යයේ සංසරණය වන එවැනි සැමරුම් මැදට පැන සිංහලෙන් කුණුහරප ලීවාට හෝ මියගිය දිනයේ ප්‍රභාකරන්ගේ හිස බැඳි ලේන්සුව ෂෙයාර් කරාට දමිළ ඩයස්පෝරාව ජාත්‍යන්තරය හමුවේ විරේක කරන අපේ වීර වංශය නැවත පණ ගසන්නේ නැත. ඊට අවශ්‍ය වන්නේ ශක්තිමත් රාජතාන්ත්‍රික මැදිහත්වීමකි. “ජේ.ආර් මරමු” යැයි තාප්පවල ලියා ජේ.ආර් ගේ විධායක ජනාධිපතිකමෙන් පණ ගැටගහගෙන සිටිනා ආණ්ඩුවකින් එවැනි මැදිහත්වීමක් බලාපොරොත්තු වීම යනු ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලා සිටීමකි. සටහන පටන් ගන්නා විටදීම ලියු ලෙස මේ ගෙවෙන්නේ ජන මනසේ ඇඳුණු වීර ප්‍රතිරුප ක්‍රමයෙන් ඔවුන්ගේම ඇස් පනාපිට කුඩුපට්ටම් වී  යන මොහොතක් ය. සන්ෆලවර් සංගීත කණ්ඩායම ගායනා කළ පහත ගීත ඛණ්ඩය ජේ.ආර් ගේ හඬින් ජනතා විමුක්ති පෙරමුණට අසන්නට ලැබුණානම් කියා සිතිණි.

“හිටියත් යස ඉලන්දාරි ගමක් පුරවලා – කීවත් බොරු සටන් පාඨ ගිරිය පුප්පලා
බැලුවොත් එක සැරයක් මං අඩිය හප්පලා – තාමත් මට සරෙන්ඩර්නෙ අප්පුහාමිලා….”

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you