NovelsRath Dothaluරත් දෝතළු - 31

රත් දෝතළු – 31

-

spot_img

රත් දෝතළු – 31

මා සිටියේ කුතුහළයෙනුත් පුදුම‍යෙනුත් යුතුවය. තව කුමක් සිදුවන්නට යනවාද කියා සිතාගන්නට නොහැකිය.

“ඔව්… ඒ දැන් ආවේ කවුද දන්නවද…? මේ දවස්වල අර ෆේමස් ඇක්ටර් කෙනෙක් ඉන්නේ විහඟ සත්සර කියලා… එයාගේ අයියා…”

නිර්මාණි වහා මා දෙස බැලුවේ මා විනිවිද යන සුලු බැල්මකිනි. මා දැන් අතටම අසුවී ඇත. අහස් මෙතන්ටම පැමිණ ගියේ මා නාඳුනන අයෙකු මෙන් සලකා කිසිදු හිතවත් කමක් පවා නොපෙන්වාමය. එය ඇගේ සිතේ සැකයක් ඇති කළ කාරණයක් විය හැකිය. නිර්මාණි දෙස බැලීමට පවා මට බියක් දැනේ.

“මොකක්… එතකොට මේ විහඟගේ අයියාද…?”

ඈ මා දෙසත් සංජය දෙසත් මාරුවෙන් මාරුවට බලමින් ඇසුවාය. ඈ පුදුමයෙන් සිටින්නට ඇත්තේ නම් ඔහු මා සමඟ කිසිදු කතාබහක් නොකරම ඉවතට යෑම ගැන විය යුතුය.

“ඔව්… ඇයි…?”

“එතකොට මෙයාද අහස්…?”

මට රැවුමක් පා කළ නිර්මාණි යළි ඇසුවාය.

“ඔව්.. ඔයා කොහොමද එයාගේ නම දන්නේ…?”

සංජය මෙවර පුදුමයෙන් ඇසුවේ ඔහු එම නම සඳහනක් හෝ නොකළ බැවිනි. මම බිමට නෙත් යොමාගෙන අතුරුපස බඳුන හැන්දෙන් කැළතීමි. හිම කිරම දියවී ඇත.

“මොකද මේ දෙන්නා මාරුවෙන් මාරුවට මූණෙන් මූණ බලාගන්නේ… මං නිසා කතා කරන්න බැරි දෙයක්ද…?”

ඔහු අසන විට මම වහා සංජය දෙස බැලීමි.

“නැහැ… නැහැ… මිස්ටර් සංජය… එහෙම මොකුත් නැහැ…”

මම වහා කීවේ නිර්මාණි කිසිත් කීමට පෙරය. ඔහු මඳහසකින් යුතුව මදෙස බලා සිටියේය.

“මේ… මේ අරවින්දි… ඔය මිස්ටර් කෑල්ල අයින්කරලා… නිකම් සංජය කියන්න…”

එවර සිනහවක් නැඟුණේ මා මුවටය.

“ඒ පාර මොකද හිනාවෙන්නේ…?”

ඔහු ඇසුවේ මවිතයෙනි.

“නැහැ… නිරූ අඳුන්නලා දෙනකොට ඒ කෑල්ල අමතක වුණා වෙන්නැති…”

ඔහු ප්‍රශ්නාර්ථයක් දෑසේ රඳවාගෙන නිර්මාණි දෙස බලන විටත් ඈ කළේ මට රැවීමය.

“මොනවද අමතක වුණා කිව්වේ…?”

සංජය නැවත ඇසීය.

“සංජය නමට මුලින් නිකම් කියලා කෑල්ලකුත් තියනවා කියලා… නිකම් සංජය ෆඩිනෑන්ඩූ… එහෙමද…?”

එවර ඔවුන් දෙදෙනම එකතුව සිනහසුණේ එම කතාව වැටහී ගිය නිසාය.

“පෙනේද හිමිජ්ජි වගේ හිටියට කට කොහොමද කියලා…”

නිර්මාණි යළි ඇසුවාය.

“ඒකනේ… දැන්නේ දන්නේ…”

ඔහුද එයට එකඟව කීය.

“දැන් නිකම් සංජය කියන්නද… නැත්නම් සංජය අංකල් කියන්නද…?”

මම යළිත් අසන විට නිර්මාණි මට රැව්වේ මුවින් නොබැන මුත් ඔහු නම් සැහැල්ලුවෙන් සිනහසුණේය.

“ඔයාගේ කැමැත්තක්…”

ඔහු කීවේ මුවේ පහව නොගිය සිනහවෙන්මය.

“සොරි… සොරි… මං විහිළුවක් කළේ… අහස් සර් කියපු නිසා…”

මා මුවින් පිට විය. එය යළි ඇද ගන්නට් නොහැකිය.

“අහස් සර්… ඔයා කොහොමද එයාව දන්නේ… දැන් නිකම් නම කිව්වේත් හරියට ගොඩ කාලයක් දැනන් හිටියා වගේනේ…”

මම යටි තොළ සපාගෙන නිර්මාණි දෙස යළිත් බලන විට ඇයත් මදෙස බැලුවේ පෙර ලෙසම රවමිනි.

“ඔන්න… ඔන්න… දෙන්නා ආයේ පටන් ගත්තා… මොකක්ද මේ දෙන්නාගේ රහස… මට ඒක කියනවද…?”

ඔහු ඇසුවේ නිර්මාණිගෙනි.

“මෙයාගෙන්ම අහගන්න…”

ඈ නැවත වරක් මුව ඇද කරගනිමින් කීවාය. ඔහු මා දෙසම බලාසිටියේ මා කතාකරන තුරුය.

පෙර දින පටන් සිදුවූ සියල්ල මම ඔහු හා පැවසීමි.

“ඕ…හෝ… ඒකයි මේ ස්ටෝරිය… අයි සී… මට දැනුයි තේරුණේ… ඒත්…”

ඔහු එසේ කියා නිහඬ වූයේ කල්පනාකාරි බවක් පෙන්වමිනි.

“ඇයි ඒත් කිව්වේ… මොකක් හරි අවුලක්ද… ඒ පවුලේ අය නරක එහෙම නැහැනේ…?”

නිර්මාණි වහා ඇසුවේ මා එහි සේවයට යැවීමට සුදුසු නොවේදැයි සැකයෙන් මෙනි. මමද සංජය කතා කරන තුරු බලා සිටියේ දෙගිඩියාවෙනි.

“නරක… කිසිම නරකක් නැහැ… මිසිස් රොසයිරෝ හරිම හොඳ ලේඩි… ඒත් අරවින්දි කැමතිද එහේ වැඩ කරන්න… මේක නිකන් හවුස්මේඩ් ජොබ් එකක් වගේනේ…?”

ඔහු සැකමුසු හඬකින් ඇසීය.

“හවුස්මේඩ් වගේම නෙවේ… අහස් සර් කිව්වේ නම් එයාට ඇසිස්ටන්ට් කෙනෙක්වත් ඕන කියලා… එතන වැඩ ටික කරන ගමන් ඒ මැඩම් ගාව ඉන්නයි… මහ ලොකු දෙයක් නැහැනේ…”

සැහැල්ලු ලෙස මම කීවෙමි.

“එතන නම් ඔයාට බය වෙන්නම දෙයක් නැහැ… මිසිස් රොසයිරෝ නම් ඔයාව හොඳට බලාගනියි… ඒක ෂුවර්… මං කල්පනා කළේ ඒක නෙවේ… අහස් දන්නවා මං අපාර්ට්මන්ට් එකක් රෙන්ට් කරනවා කියලා… සමහරවිට එයා මාව කන්ටැක් කරගන්න ට්‍රයි කරන්න ඇත්තේ ඔයා ගැන මොනවා හරි ඉන්ෆොමේෂන් එකක් දැනගන්න වෙන්නත් පුළුවන්… එනි වේ… මං මිසිස් රොසයිරෝට කෝල් කරලා කියන්නම් ඔයාව මම දන්නවා කියලා… එතකොට වඩා හොඳයිනේ… නැත්ද…?”

ඔහු ඇසුවේ නිර්මාණිගෙනි. මා සිටියේ වෙන සිතුවිල්ලකය. අහස් මෙහි පැමිණියේත් සංජය අද මෙහි පැමිණෙන බව දැනද කියා සැකයක් මා සිතේ ඇති විය. එය දැනගත යුත්තේද සංජයගෙන්ම මුත් එය එක එල්ලේ එසේ ඇසීම සුදුසු නැත. නමුත් නිර්මාණි මට ඉස්සර වූවාය.

“අහස් දන්නවාද අද ඔයා මෙහෙ ඩිනර් එකකට එනවා කියලා…?”

ඈ එක්වරම විමසුවාය.

“ආහ්… ඔව්… මට හවස කෝල් කරලා තිබ්බට මට කෝල් බැක් කරන්න බැරි වුණා… මෙසේජ් කරලා අහලා නම් තිබ්බා මාව මීට් වෙන්න ඕන කියලා… මං ඒ වෙලේ නම් කිව්වා අද නම් බැරි වෙයි අද මෙහෙම ඩිනර් එකකට මෙහෙ එනවා කියලා…”

එසේනම් මගේ සැකය නිවැරදිය. නිර්මාණිද මා ලෙසම සිතා ඇත.

“සී. අයි. ඩී කාරයෙක්ම තමා…”

මම සිතුවෙමි.

“එහෙනම් අහස් මෙහෙ එන්න ඇත්තේ ඒක තමා…”

නිර්මාණි කියන විට මම ගෙල හරවා පසුපස බැලුවේ ඔහු අහළ පහළ සිටිනවාදෝ කියාය. නුදුරු මේසයක හිඳගෙන ඔහු මිතුරෙකු සමඟ කතාබහකය. මම හැරී බලන විට ඔහුද මා දෙස බැලුවෙන් මම වහා ඉවත බැලීමි.

“එහෙනම් ඔයා පොඩ්ඩක් එයාට කියලා තියන්න… සංජු… දැන් මෙයා එනවාම කියලානේ ඇවිත් තියෙන්නේ…”

නිර්මාණි කීවාය.

“දැන් නම් ඉතින් කෝල් කරන්න ඕනත් නැහැ වගේ නිරූ…”

ඒ මන්දැයි කියා අපි දෙදෙනම ඔහු දෙස බැලුවේ මවිතයෙනි.

“ඇයි ඒ…?”

නිර්මාණි වහා ඇසුවාය.

“මෙයාව දැනටම හිතට අල්ලපු කෙනෙක් ඉන්නේ ඔය… හොඳටම බලාගනියි…”

ඔහු එල්ලකළේ ඇනුමපදයකි. මා මුහුණ රතුව යන බව මට දැනිණි. නිර්මාණි කළේ මා දෙස බලා ඔච්චමට මෙන් සිනහසීමය. මම නොමනාපය මුසු බැල්මක් ඈ වෙත හෙළීමි.

“දෙන්නා එකතු වෙලා මාව බයිට් කරනවා නේද…?”

මම ඇසුවේ මවාගත් නොමනාපයකින් යුතුවය.

“එහෙම නෙවේ… බට් අයි ගෙස්… අහස් මාව මීට්වෙන්න ඕන කියන්න ඇත්තේ නම් මේ ගැන අහන්න තමා කියලයි මට හිතෙන්නේ… දැන් ඉතින් මෑන් දන්නවා එහෙනම්… විස්තරේ…”

ඔහු එසේ අප ගැන සොයන්නට දැරූ උත්සාහයකි මේ.

“සේරම දැනගෙන මෙතන්ට ඇවිත් ගියේ මොකුත් නොදන්නා ගානටනේ… මෙයත් නිකමට ඇඟෙව්වේ නැහැ එයාව දන්නවා කියලවාවත්…”

නිර්මාණි එවර මටද චෝදනා කළාය.

“මං මොනවා කරන්නද…?”

මම ඇසුවේ නොසතුටෙනි. සංජය විමසුවේ මා එහි යාමට කැමතිද කියාය.

“එතන ආරක්ෂාවක් තියනවා… අනික මම මැඩම්ට කැමතියි…”

සංජයගේ මුවේ ඇඳුණේ අපහැදිළි සිනහවකි.

“මැඩම්ට විතරද…?”

එය සරදමට කී දෙයක් වුවද මා මුව අලුතින් රත් වී යනු මට දැනිණි.

ඔහු අපව නවාතැනට ගෙනවිත් හැරලවන විට මධ්‍යම රාත්‍රියටද ආසන්නය. ඔවුන් දෙදෙන ආලින්දයට වී කතා බස් කරමින් සිටින විට මම ඔවුන් මඟහැර සඳළුතලයට පැමිණියේ ඔවුනට බාධාවක් නොවන පිණිසය. මුහුද සිප හමා ආ සුළඟේ වූයේ සීතලකි. ළය මතින් දෑත් බැඳගෙන මම බිත්තියට පිට දී සිටගතිමි. මසිතෙහි යම් තරමකට හෝ සැහැල්ලුවක් විනැයි කියා මටම සිතිණි. ඒ රැකියාවක් සොයාගත් නිසාවන්නට ඇත. මා මුවින් සැනසුම් සුසුමක් පිටවූයේ මාද නොදැනුවත්වමය. අහස පුරා තරු මල් පිපී තිබුණේ රටාවකටය. අපි නොසිතුවද සියල්ල සිදුවන්නේ එසේම රටාවකටය. සියල්ල එකිනෙකට බැඳුණු අමුතු සිදුවීම්ය. මේ දින කීපයේද සිදු වූයේ එවැනි දේ නොවේද කියා මට සිතුණේ හදිසියේමය. මුහුදු රළ පෙළ බිඳී නැගෙන හඬ පවා මට පැහැදිළිව ඇසෙන තරම් නිහඬබවක් රාත්‍රියේ විය. නිර්මාණි මා අමතනු ඇසී මම හුන් තැනින් මෑත්ව යළි ඇතුළට පිවිසුණෙමි.

-හෙටත් හමුවෙමු-

Latest news

ගජ මිතුරු නඩයට දුන් තුටු පඬුරු

ගජ මිතුරු නඩයට දුන් තුටු පඬුරු ශුද්ධ වූ සියල්ල කෙලෙසෙමින් ඇත. පව්කාරයෝ මුනිවර වෙස් ගෙන මුනිවරයෝ පව්කාරයෝ වී ඇත. කොටින්ම...

IMFඑකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක්

IMF එකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා...

බිමල්ගේ අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඔහු ඒ...

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , අබුඩාබි නුවර රැඳී සිටිමින් මැදපෙරදිග යුද්ධයේදී භාවිත කළ ඩ්‍රෝන යානා,...
- Advertisement -spot_img

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , අබුඩාබි නුවර රැඳී සිටිමින් මැදපෙරදිග යුද්ධයේදී භාවිත කළ ඩ්‍රෝන යානා,...

ගලක් පමණක්ම නොවූ බොදු උරුමයක ලකුණ – තොප්පිගල

ගලක් පමණක්ම නොවූ බොදු උරුමයක ලකුණ - තොප්පිගල යුද්ධය නිමවූ ආසන්න කලකදී අපි මඩකලපුවේ සහ තොප්පිගල සංචාරය කළෙමු. එදා අපේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you