NovelsRath Dothaluරත් දෝතළු - 29

රත් දෝතළු – 29

-

spot_img

රත් දෝතළු – 29

නිර්මාණි ඇගේ ඇඳුම් අල්මාරිය අදිමින් මට සුදුසු ගවුමක් සොයන අතරේ මම සිතමින් සිටියේ අද දින සිදු වූ සිදුවීම් පෙළ ගැනය. එය සිහිනයක් මෙනි. අහස් මා හද මුළුමනින්ම කළඹා ඇති බවක් මම ඈ හා කීමට නොසිතුවෙමි. කිසිවෙකු හා එය පැවසුවා නම් එහි ඇති අපූරු සුන්දරත්වයට හානියක් වෙනු ඇතැයි කියා මට සිතිණි. ඔහු පිළිබඳව සිතීමත් සිහිනයක්ම බව මම දැන නොසිටියා නොවේ. නමුත් වරින් වර මට ඔහු සිහි විය.

“තාමත් කල්පනාව… ඔය ගවුම ඇඳලා බලනවා දවල් හීන බලන්නැතුව…. විහඟ හිටියා නම් ඔය මොකුත් නැහැ… වොලට් එක දුන්නා… ආවා… ඇත්තටම මෙහෙම දෙයක් වුණේ පුදුම වෙලාවටද කියලාත් හිතෙනවා…”

එවර ඇගේ මුහුණේ වූයේ බැරෑරුම් බවකි. ඈ දුන් ලා දම් පැහැ පසුබිමේ තද දම් පැහැති විසල් රෝස මල් ඉහිරුණු සේද ගවුම ගෙන මම ඒ දෙස බලා සිටියේ ආසාවෙනි. එය ලස්සනය. තවමත් අලුත් වාගේමය. මා හැඳ සිටි ගවුමට උඩින් මම එය හැඳ බලන්නට සූදානම් වන විට නිර්මාණි කෑ ගැසුවාය.

“ඕක ගලවලා ඇඳලා බලනවා… මෙතන කොල්ලෝ නැහැ මෙයාගේ රූ සපුව බලන්න…”

මට ලැජ්ජා සිතිණි. නිර්මාණි වුවද ඈ ඉදිරියේ ගවුම ගළවා දමන්නට මට නොහැකිය. යට සායක් හැඳ සිටියද මා උඩුකයට හැඳ සිටියේ තනපටය පමණි. ඇයට පිටුපා මම ගවුම ගළවා දමන්නට සැරසෙන විට ඈ උස් හඬින් සිනහසුණාය.

“උඹට තියන ඒවාම තමා බොල මටත් තියෙන්නේ…”

ඈ එසේ කියා ලැබුණු කෙටි පණිවඩයකට අවධානය යොමු කරන අතරේ මම වහා ඈ දුන් ගවුම හැඳ බැලීමි. එය මගේ සිරුරටම සරිලන සේ මැසූවක් මෙන් ගානට තිබිණි. උඩු කොටස සිරුරටම ඇලෙන සේ මසා තිබූ එය සාය කොටස දිගු සහ රැළි සහිත දණහිස තෙක් දිගු වූවකි.

“ෂා.. ඔය තියෙන්නේ ලස්සනට… මට වඩා උඹ ඇන්දාම ඒක ලස්සනයි අරවින්දි…”

ඈ යහනින් නැඟිටවිත් මා අසල සිටගනිමින් කීවාය. මමද කැඩපතින් මගේ රුව දෙස මොහොතක් බලා සිටියෙමි. ඒ මොහොතේත් මට අහස් සිහියට ආවේය.

“ඒ පාර ආයේ මනෝ ගහනවා… මොකද අහස්ස්ස් මතක් වුණාද… හරි… හරි… ඔහොම ගිහින් ආයේ දවසක මුණ ගැහෙන්නේ නැතැ… කවුද දන්නේ ඉස්සරහට මොනවා වෙයිද කියලා…”

ඈ පැවසුවේ විහිළුවට වුවද මසිත ගැස්සී ගියේය.

“විකාර… පේන බලනවද… නැත්නම් හඳහන් ගළපන්නද හදන්නේ…?”

නොසතුටෙන් පැවසූ මම ගවුම ගළවා දමා මා හැඳ සිටි ගවුම හැඳ ගතිමි.

“ඒකත් ගැළපෙයි මේ යන විදියට…”

“විකාර නැතුව ඉන්න… මගේ කතාව තවම ඉවර නැහැ…”

“ඉවර නැහැ.. ඉතින්… දැන්නේ පටන් ගත්තේ… අහස් කුමාරයා යාළුවෙන්න ඇහුවද දුටු මොහොතේම පිළිබඳ සිත් පහළ වුණා කියලා…”

ඈ පැවසුවේ විහිළුවට වුවද මා මුහුණට ලේ පිරෙනු මටම දැනිණි. මා නිර්මාණිට පිටුපා සිටීම වාසනාවකි. නොඑසේ නම් ඈ එයත් අළලා මට තවත් ඇනුම්පද කියනු ඇත.

“ඉන්නවද පනින්නේ නැතුව…”

ආරූඪ කරගත් නොමනාපයකින් මම කීවේ ගවුම මැදීමට සූදානමිනි.

“හරි… හරි… කියනවකෝ…”

ඈ එසේ කියන විට වටින් ගොඩින් රැකියාව පිළිබඳව පැවසීමට මම වචන ගොනු කළෙමි. ඈ මට දොස් පවරනු ඇතැයි බියකුත් මා සිතේ විය.

“ඒ මැඩම් හරි පව් නිරූ…”

“දැන්…උඹේ අනුකම්පාව…ආච්චි අම්මා ගැනද නැත්නම් මුණුබුරා ගැනද…?”

ඈ යළිත් බාධා කරමින් ඇසුවේ උපහාසයෙනි.

“විකාරද බං… අහස් කියන්නේ මුණුබුරා නෙවේ… මං කලිනුත් කිව්වේ… ඒ නංගිගේ පුතා…”

“මොකා හරි… මට මොකද… දැන් ඕක අද කියලා ඉවර කරනවද… ලැහැස්ති වෙන්න ඕන…”

“අද එහෙ ඉන්ටර්වීව් එකක් තිබිලා තියෙන්නේ ඒ මැඩම් ළඟ තියන්න කෙනෙක් ගන්නලු… හරියටම කෙනෙක් හමුවෙලා නැහැ… කරන්න මහ ලොකු දෙයකුත් නැහැලු… වෙලාවට බෙහෙත් ටික දෙන්නයි… එයාගේ තනියට ඉන්නයි… පොඩි පොඩි වැඩ ටිකක් කරන්න තියනවා කිව්වේ… අහස් සර්ට ගෙදර ඔෆිස් එකටත් ඇසිස්ටන්ට් කෙනෙක් ඕන කියා කියාලු හිටියේ…”

“ඉතින්…?”

කිසිදු උනන්දුවක් නොපෙන්වා නිර්මාණි අසනවිට මා සිතේ ඇති වූයේ බලාපොරොත්තු කඩවීමකි.

“ඒ මනුස්සයා පව් කියලා හිතුණා… නැත්ද…?”

ගවුම මැද අවසන්ව මම ඉස්ත්‍රික්කයද පේනුවෙන් ගළවා දමා නිර්මාණි වෙත හැරුණෙමි.

“ඊට වඩා අන්ත අසරණ මිනිස්සු කොයිතරම් ඉන්නවද අරවින්දි…?”

“හ්ම්ම්… ඒක ඇත්ත…”

“ඔච්චර අනුකම්පාව නම් ඉතින් ගියා නම් හරිනේ… ලස්සන කොල්ලෙකුත් ඉන්න එකේ…”

ඈ එසේ අසනවිට මසිත උඩ පැන්නේය.

“මම ඒත් ඇහුවා… තවම කවුරුවත් නැත්නම් මම එන්නද කියලා…”

නිර්මාණි මදෙස බැලුවේ අදහාගත නොහැකිව මෙනි.

“සීරියස්ලි…?”

මම හිස ඉහළ පහළ වැනුවෙමි.

“ඔව් නිරූ… ඒත් මට පස්සේ හිතුණේ මම ඉක්මන් වුණාදත් කියලා… මට තිබුණේ ඔයාගෙනුත් අහලා ඒක කියන්න… ඒත් නිරූ මෙතන පඩියත් හොඳයි… අහස් සර්ගේ වැඩ ටික පුරුදු වුණාම පඩිය වැඩිකරයිනේ… ඉඩමේ උකස බේරගන්නත් පුළුවන් වෙයි මට ඉකමනින්ම… අනික එතන ආරක්ෂාවත් තියනවා… කෑම බීම දෙන නිසා පඩියම මට ඉතුරු කරගන්න පුළුවන් වෙයි.”

මගේ හඬේ වූයේ අලුත් බලාපොරොත්තුවක ස්වරයක් බව මටම දැනිණි. නිර්මාණි මෙවර කිසිඳු බාධාවක් නොකර සියල්ල අසා සිටියේ නිහඬවය.

“හොඳයි… අපි බලමුකෝ…”

අවසන ඈ කීවේ යහන මතින් නැඟිටිමිනි.

“ඒත්… නිරූ… මං කිව්වා… මං අනිද්දාට එන්නම්… කියලාත්…”

“මොකක්… අනිද්දාට…?”

ඈ කෑගැසුවේ පුදුමයෙනි.

“එච්චර ඉක්මනට…?”

මම ඊට හිස සැළීමි. වෙනත් යමක් කීමට පෙර විදුලි සීනුව නද මම ඒ කවුදැයි විමසන බැල්මකින් නිර්මාණි දෙස බැලුවෙමි.

“දෙවියනේ…! සංජු ඇවිත්ද…? මෙච්චර ඉක්මනට… ලැහැස්ති වෙලත් නැහැ…”

කලබලයෙන් කී නිර්මාණි දොර විවර කිරීමට දිව යන විට මම ගැහෙන සිතින් බලා සිටියෙමි. හදිසියේ ඔහු මෙහි පැමිණෙනු ඇතැයි කියා මම නොසිතුවෙමි. නිර්මාණි ද ඒ බවක් පැවසුවේ නැත. ලැජ්ජා මුසු චකිතයක් මා සිතේ ඉපදිණි. ඔහුට මුහුණ දීමට මැළිකමක් දැනුණ මුත් පලා යා හැකි මඟක්ද නොවීය.

“අරවින්දි…”

නිර්මාණි මා අමතන හඬින් මම පිටතට පැමිණියේ පැකිළෙමිනි. මේ සූදානම මට ඔහුව හඳුන්වා දීමටය. සුදු පැහැ ගැන්වුණු හිසකෙස්, තලෙළු සිරුර, ඉදිරියට නෙරූ කුසකින් යුත් තලත්තෑනි මිනිසෙකු මා ඉදිරියේ සිටගෙන සිටිනු දකින්නට මා බලාපොරොත්තුවෙන් ඔවුන් වෙත ගියේ බිමට යොමාගත් හිසිනි. ඇයට මීට වඩා හොද තීරණයක් ගත හැකිව තිබුණා නොවේදැයි කියා මට ඒ මොහොතේත් සිතිණි. මා කුමක් සිතුවත් මේ ඇගේ තීරණයයි. එසේ සිතමින් මම හිස ඔසවා බලන විට නිර්මාණිගේ බඳ වටා දෑත යවා සිනහ මුහුණින් යුතුව එහි සිටගෙන සිටියේ හාත්පසින්ම වෙනස් අයෙකුය. ඔහු අහස් තරමටම මෙන් උසැති පුළුල් උරහිසින් යුත් කඩවසම් පෙනුමකින් යුත් තරුණ පිරුමියෙකු විය. හතළිස් ගණන් වල යැයි ඈ මට කී දේ නම් බොරුවක් විය යුතුය. මා සිතින් සිතාගෙන සිටි එක් දෙයක් නම් නිවැරදිය. ඔහුගේ කෙස් ගස් කීපයක් නම් සුදු පැහැ ගැන්වී ඇත. නිර්මාණි ඔහුට මා හඳුන්වා දෙන්නට පෙරම ඔහු අත දිගු කළේ මා නම අමතමිනි. මමද ඔහුගේ අත සෙමෙන් අල්ලාගෙන සෙළවූයෙමි.

“මේකි හරි ලැජ්ජාකාරී…”

නිර්මාණි කීවාය. ඔහුගේ මුවේ ඇඳුණේ පියකරු සිනහවකි. මම වහා එතනින් මෑත් වූයේ සූදානම් වීමේ අරමුණිනි.

-හෙටත් හමුවෙමු-

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you