TIN එකක් අරන් හිඟා කමු
දේශපාලනය යනු පුදුමාකාර රංග පීඨයකි. එහි රඟපාන නළුවන් වේදිකාවේ වමට කැරකෙන විට කියන කතා, දකුණට කැරකෙන විට අමතක වීම ලාංකීය අපට අලුත් අත්දැකීමක් නොවේ. එදා රනිල් වික්‍රමසිංහගේ පාලන සමයේ, වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සෑම පුරවැසියෙකුටම බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකයක් හෙවත් TIN (Taxpayer Identification Number) අංකයක් ලබා ගැනීම අනිවාර්ය කිරීමට ගිය අවස්ථාවේ එදා විපක්ෂයේ සිටි, අද ආණ්ඩු බලයේ ඉන්නා උදවිය රට වටේම ටිං ටිං ගාමින් කෑගැසූ හැටි අපට තාමත් මතකය. “මේක ජනතාව මිරිකා මරා දමන බදු රජාගේ මර උගුලක්”, “හිඟන්නාගේ සිඟමන් පාත්රයටත් විදින්න හදන මංකොල්ලයක්” යැයි කියමින් එදා වේදිකා දෙදරුම් හැරවූ මන්ත්‍රීවරුන් සහ ක්‍රියාකාරීන් අද කොහේදැයි සෙවීමට “ටින්” එකක් ගෙන තට්ටු කර බැලිය යුතු තැනට වැඩ සිද්ධ වී ඇත.

එදා කී ‘ටිං ටිං’ කතා සහ අද ‘ටින්’ එක වෙනුවෙන් පෙනී සිටින අපූරුව
එදා විපක්ෂයේ සිටි උදවිය එදිනෙදා ජනතාවට TIN අංකය හඳුන්වා දීම හැඳින්වූයේ ජනතාව පිට පටවන දරාගත නොහැකි බරක් ලෙසය. රනිල්ගේ බදු ප්‍රතිපත්තියට එරෙහිව පාරට බැස “අපෙන් බදු අරන් උන් සැප විඳිනවා” යැයි කියූ නායකයන් අද ආණ්ඩුවේ පුටුවල වාඩි වී සිටින්නේ සිනාමුසු මුහුණිනි. හරි සැපෙනි. දැන් කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. 2026 නොවැම්බර් මස මුල සිට ක්‍රියාත්මක වන පරිදි බැංකු ගිණුම් ඇරඹීම, වාහන ලියාපදිංචිය, ඉඩම් පැවරීම සහ ක්‍රෙඩිට් කාඩ්පත් ලබා ගැනීම ඇතුළු අත්‍යවශ්‍ය සේවා 8ක් සඳහාම TIN අංකය අනිවාර්ය කර තිබේ. අද වන විට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පවසන්නේ “TIN එක කියන්නේ බද්දක් නෙවෙයි, ඒක රටේ විනය සහ මූල්‍ය පාලනය ඇති කරන්න තියෙන උදාර මෙවලමක්” කියාය. එදා “මර උගුල” වූ TIN එක, අද “රට හදන උදාර මෙවලමක්” වී ඇත්තේ බලය නමැති රසවත් ඖෂධය මොවුන් පානය කරන නිසා විය යුතුය.

දේශීය ආදායම් කාර්යාල ඉදිරිපිට පෝලිම් සන්දර්ශනය
“අපි ආවම පෝලිම් යුගය ඉවරයි” කියා බලයට පත් වූ පාලකයන්ගේ TIN වික්‍රමය නිසා අද දේශීය ආදායම් දෙපාර්තමේන්තු කාර්යාල ඉදිරිපිට හැදෙන පෝලිම්, ලංකාවේ පැරණි “තෙල් පෝලිම්” මතක් කර දීමට සමත් වී ඇත. වැස්සේ තෙමෙමින්, පෝලිම්වල රක්තපාතය හැදෙනකම් ඉන්නා ජනතාවට අන්තර්ජාලයෙන් මෙය කරගත හැකි යැයි බලධාරීන් කීවද, අධික තදබදය නිසා දේශීය ආදායම් වෙබ් අඩවියද ‘ටින්’ එක වැදී අක්‍රිය වී ඇත. මේ අතර, ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරුන් පාර්ලිමේන්තුවේදී පවසන්නේ “අයියෝ කලබල වෙන්න එපා, TIN එක නැතත් ජාතික හැඳුනුම්පතෙන් වැඩ කරගන්න පුළුවන්” කියාය. එහෙත්, බැංකුවකට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගිය විට “කෝ ටින් එක?” කියා අසන නිලධාරීන් හමුවේ අසරණ වන ජනතාවට සිදුවන්නේ ආණ්ඩුවේ වචන සහ ක්‍රියාව අතර ඇති “ටින්” කිරි දෙස බලා සිටීමටය.

හිඟා කන්නත් TIN එකක් ඕනෑ වෙන ලකුණු
වත්මන් ආර්ථික ක්‍රමය දෙස බලන විට, රටේ සාමාන්‍ය මිනිසාට ජීවත් වීම පවා අරගලයකි. බඩු මිල අහස උසටය. රැකියා හිඟය උග්රය. ජනතාවට ඉතිරි වී ඇත්තේ “ටින්” එකක් අතට ගෙන හිඟා කෑමට පමණක් යැයි කීවොත් එය විහිළුවක් නොවේ. නමුත් ලංකාවේ වත්මන් දේශපාලන හා බදු ක්රමයේ හැටියට, ඉදිරියේදී පාරේ හිඟා කන්නට වුවද TIN අංකයක් අනිවාර්ය කරනු ඇතැයි සිතිය හැකිය.මේ එහෙමට බඩුය. හිඟන්නා බඳුනක් තැබීමට පෙර නගර සභාවෙන් “සිඟමන් බලපත්‍රය” ගැනීමට TIN එක ඉදිරිපත් කළ යුතුය, කීවද පුදුම නොවන්න.
තවද කාසියක් දමන දානපතියාට “ඔබ බදු ගෙවන්නෙක්ද?” කියා තහවුරු කර ගැනීමට හිඟන්නාට QR කේතයක් සහිත TIN කාඩ්පතක් ළඟ තබා ගැනීමට සිදු විය හැක. අවසානයේදී, කිවයුතු වනුයේ රනිල්ගේ කාලයේ “ටිං ටිං” ගාමින් විපක්ෂය නැටූ නාඩගම, අද ආණ්ඩුව විසින් “මහා ටින් සංදර්ශනයක්” ලෙස රඟදක්වමින් සිටින බවය. එදා බදු වලට විරුද්ධ වූවන් අද බදු දැල එළාගෙන බලා සිටින්නේ “රට වෙනුවෙන්” යැයි කියමිනි. ජනතාවට ඉතිරි වී ඇත්තේ එදා වේදිකාවල සිදුවූ දේශපාලන විගඩම් දෙස බලා, තමන්ගේ හිස් වූ පසුම්බිය දෙස බලා, උපහාසයෙන් සිනාසීම පමණි. මන්ද, අවසානයේදී පාලකයන් කවුරු වුවත්, “ටින්” එක වදින්නේ මහජනතාවටම බැවිනි. මහජනතාවගේ ජිවිතත් දැන් හිස් ටින් එකක් ගානය.




