හෝර්ටන් තැන්නට නොදෙවෙනි සඳතැන්න – Thulana Travel to Sandathenna
හෝර්ටන් තැන්න දෙස් විදෙස් කාගෙත් ආකර්ෂණය ලද ඉතා සුන්දර භූමියකි. ජෛව විවිධත්වයෙන් හා පුරා විද්‍යාත්මක වටිනාකම අතින්ද විශේෂිත අසිරිමත් වූ ජාතික වනෝද්‍යානයකි. මෙය මුලින්ම හඳුන්වා ඇත්තේ මහ එළිය නමින් බව සඳහන් වෙයි. මුහුදු මට්ටමේ සිට මීටර් 1200ත් 3000ත් පමණ උසින් මධ්‍යම කඳුකරයේ පිහිටි උසම තැනිතලා භූමියද වන ලොව මවිත කළ හෝටන් තැන්න වසර මුළුල්ලේම සංචාරකයන්ගෙන් පිරී පවතී.
නුවරඑළියේ සංචාරය කරන ඔබ නොවරදවාම යන හෝර්ටන් තැන්නට නොදෙවෙනි අසිරිමත් ඉතා මනස්කාන්ත වූ ස්ථානයක් දැක බලා ගැනීමට අපට වාසනාව ලැබුණි. මෙතෙක් නුවරඑළියේ නුදුටු ආකර්ෂණීයම ස්ථානයක් ලෙස මෙය හැඳින්වීම නිවැරැදි යැයි හැඟෙයි. නුවරඑළිය නගරයේ සිට කිලෝමීටර් පහක් වැනි ඉතා ආසන්නයේ දුරකින් මෙම ස්ථානය පිහිටා ඇත. සොබා දහමේ අපූරු නිර්මාණයක් වන මෙය සඳතැන්නයි (Moon plain).

නුවරඑළියේ, සීතා එළිය, බීජ අර්ථාපල් ගොවිපොළ අතරින් තවත් කිලෝමීටර් තුනක ගමනාන්තයෙන් අනතුරුව මේ අසිරිමත් ස්ථානය හමුවෙයි. එම ගමන අතරතුර කිලෝමීටර් තුනක් පුරාම ජෛව විවිධත්වය අපූර්වත්වය නරඹමින් ඉමක් කොණක් නොදකින ස්වභාදහමේ විස්මිත නිර්මාණය දැක බලා ගනිමින් සංචාරය කළ හැකිය. සඳතැන්න සංචාරකයන්ට විවෘත කර ඇත්තේ 2004 වසරේදීය. සීතාඑළිය, බීජ අර්තාපල් කෘෂි ගොවිපළ හා නුවරඑළිය මහ නගර සභාව එක්ව මෙය සංචාරකයන්ට විවෘත කර තිබේ. මෙහිලා විශේෂයෙන්ම නුවරඑළිය හිටපු නගරාධිපති මහින්ද දොඩම්පෙගමගේ මහතා විශාල කාර්යභාරයක් කර තිබීම සිහිපත් කළ යුතුය. වසර විස්සක පමණ කාලයක් පුරා දැරූ වෙහෙසක ප්‍රතිඵලයක් ලෙස සංචාරකයන්ට සඳතැන්න දැක බලා ගැනීමේ වාසනාව උදාවී ඇත්තේය.

සඳ තැන්න මුහුදු මට්ටමේ සිට අඩි හයදාස් දෙසීයක උසකින් යුක්ත වූ තැනිතලා භූමියකි. මෙහි යන ඔබට අවට ප්‍රදේශය අංශක 360ක් දර්ශනය වෙයි. අවට නෙත ගැටෙන කඳු අතර උසම කඳු දහයෙන් නවයක්ම දර්ශනය වීම මෙහි ඇති සුවිශේෂී බවයි. එම කඳු නමය අතර පිදුරංගල (අඩි 8281), සිංගල් ට්‍රී (අඩ 6890), කිකිළියාමාන (අඩි 7339), ග්‍රේට් වෙස්ටර්න් (අඩි 7257), කොනිකල් හිල් (අඩි 7339), කිරිගල් පොත්ත (අඩි 7835), තොටුපළ කන්ද (අඩි 7737), හග්ගල (අඩි 7110), නමුණුකුල (අඩි 6358) වෙයි. එසේම හග්ගල, පිදුරංගල හා හෝර්ටන් තැන්න මැදි කරගත් සඳතැන්න ජෛව විවිධත්වයෙන් හා පාරිසරික වටිනාකමින් යුක්ත වූ මනස්කාන්ත ස්ථානයක් ලෙසින් සැලකිය හැකිය. මෙහි සංචාරය කරන ඔබට ශ්‍රී පාදය මෙන්ම ඉර සේවය හොඳින්ම දර්ශනය වන තැනක් ද වෙයි. අගක් මුලක් නැති ඉමක් කොණක් නොපෙනෙන සඳතැන්න ඔබ පුදුම කරවනු නොඅනුමානය.

සඳතැන්නට යන ඔබට උදේ හා සවස් කාලයේදී ගෝනුන් සිය ගණන් නැරැඹීමට වාසනාව උදාවෙයි. එසේම මුවන්, හාවුන්, කුළු හරකුන්, දිවියන්ද දැකබලා ගත හැකිවෙයි. එපමණක් නොව නුවරඑළියට නුහුරු නුපුරුදු මොනරුන්ද සඳතැන්නේදී දැක බලා ගැනීමට හැකිවීම තවත් විශේෂත්වයකි. ඌව පළාත මෙහි එක් කොනකට සම්බන්ධ වීම නිසා මොනරුන් සංක්‍රමණය වී ඇති බව සංචාරක මඟ පෙන්වන්නෝ සඳහන් කරති.

සඳතැන්න කුරුළු විශේෂ බොහොමයකින් යුක්තය. එම ප්‍රදේශයටම ආවේණික කුරුළු විශේෂ සිටින අතර පැළෑටි, මල් වර්ගද එලෙසමය. බැලූ බැලූ අත සුන්දර දසුන් නෙත ගැටෙන සඳතැන්න රැක ගැනීම අප සතු වගකීමක්ද වෙයි. හෝර්ටන් තැන්නට නොදෙවෙනි වූ සඳතැන්න නුවරඑළියේ සංචාරය කරන ඔබට නැවුම් අත්දැකීමක් ලබා දෙනු ඇත. රට සතු මහඟු සම්පතක් වන සඳතැන්න රැක ගැනීමට නගරාධිපති මහින්ද දොඩම්පේගම මහතා මෙන්ම බීජ අර්තාපල් ගොවිපළෙහි නිලධාරීන් ද දරණ උත්සාහයද විශේෂයෙන්ම මෙහිදී පැසසීමට ලක් කළ යුතුය.





